ඒබ‍්‍රහම් ලින්කන් ඇමරිකාවේ සිටි දක්ෂ ජනාධිපතිවරයෙකි. උස් මිටිකම් ඉදිරියට දමමින් පුහු නම්බුනාම පතා සමාජයේ ඉහළින් ම වැජඹීමට පොරකන මිනිසුන් අතර ඒ කිසිවකට යට නො වූ රාජ්‍ය නායකයෙකු ලෙස ඔහුව හඳුන්වා දිය හැකි ය. කොන්ද කෙළින් තබා ගෙන දෙපයින් නැඟී සිටින මිනිසුන්ට ආදරය කළ ඔහු යහපත් යමක් ඍජුව කිරීමට පැකිලෙන කොඳු කඩාගත්, බෙලහීන පිරිස් වෙත සපයන්නේ කදිම ආදර්ශයකි. හේ ජනාධිපති ධුරයට පත්ව සිය ප‍්‍රථම කතාව පැවැත්වීමට වේදිකාවට පියමනින අතරතුර අයෙක් මෙසේ පවසන ලදි.

“ලින්කන් මහත්තයා, ඔයා අමතක කරන්න එපා. ඔයාගෙ තාත්ත තමයි අපේ මුළු පවුලට ම සපත්තු හැදුවේ”

මානසික සෝදාපාළුවකට ලක්වහුන් තවත් දේශපාලඥයකුගේ ඒ කුහක කතාව ඇසූ සෙනෙට් සභාව මහ හඬින් සිනා නැඟුවේ ඔවුන් ලින්කන්ව සමච්චලයට ලක් කළෝ ය යන අදහසිනි. නමුත් සමච්චලයට ලක් නො කළ හැකි මහා පෞරුෂයකින් හෙබි වූ ලින්කන්…

“මම දන්නවා මගේ තාත්තා ඔබේ පවුලේ සපත්තු හැදුව කියල. ඔබට විතරක් නෙමෙයි, මෙතන ඉන්න බොහෝ අයගේ පවුල් වලට සපත්තු හැදුවේ මගේ තාත්තා තමයි. ඒකට හේතුව, මගේ තාත්තට වගේ වෙන කාටවත් නිර්මාණශීලීව සපත්තු හදන්න බැහැ. ඔහු නිර්මාණශීලී පුද්ගලයෙක්. ඔහු හදපු සපත්තු නිකම් ම නිකම් සපත්තු නෙමෙයි. ඔහු තමන් හදන සපත්තුවකට සිය ආත්මයම මුසුකලා. මම ඔබෙන් අහන්න කැමතියි…. ඔබ ඒ සපත්තු පිළිබඳව සැහීමකට පත්වෙනව ද? කිසියම් අඩුපාඩුවක් තියෙනවනම් කියන්න. මොකද මමත් දන්නවා සපත්තු හදන්න. මට පුළුවන් ඔබට අලූත් සපත්තු ජෝඩුවක් හදල දෙන්න. නමුත් මම හොඳාකාරව ම දන්නව අද වෙනතුරු මගේ තාත්තගේ සපත්තු ගැන පැමිණිලි ලැබිල නැහැ. මගේ තාත්තා විශිෂ්ටයෙක්. විශිෂ්ට නිර්මාණකරුවෙක්. මට ඔහු ගැන හරි ආඩම්බරයි.”

ලින්කන්ගේ මේ කතාවෙන් මුළු සෙනෙට් සභාවම නිහඬ විය.

අප රටෙහි ද මෙවැනි අභිමානවත් පුද්ගලයෝ ඕනෑ තරම් සිටියහ. අපගේ මුතුන්මිත්තන් උස්පහත් භේදයන් නො සලකා හරි දේ කිරීමට පසුබෑවේ නැත. එවැන්නන් බොහෝ වූයේ බුදු සසුන බැබළුන අනුරපුර යුගයේ දී ය. ඒ පෞරුෂය ඔප්නැංවුණේ ද බුදු දහමෙනි. නමුත් ශ්‍රී ලාංකිකයෝ අධිරාජ්‍යවාදීන්ගේ ගොදුරු බවට පත්වූවාට පසු බිහි වූයේ දැඩි හීනමානයෙන් සහ බෙලහීන පෞරුෂයකින් යුත් නිවට බහුතරයකි. ඒ බටහිරකරණයේ ගොදුරු බවට පත්ව, මායාකාරී අමුතුම මාදිලියේ ලෝකයක අතරමං වූ වත්මන් තරුණයෙකුට ලින්කන් මුහුණපෑ දෙයට මුහුණ පෑමට සිදුවූවා නම් සිය ඉදිරි ගමන එතැනින් ම නවතා දමා සිය පියාටත් ඔහුගේ රැකියාවටත් ශාප කරනු ඒකාන්ත ය.

පෞරුෂත්වය යනු පිරිහෙන ලෝකයේ ගොදුරු බවට පත්වීම නො වේ. සියලූ දුරාචාරයන්හි යෙදීම පෞරුෂය ලෙස දක්වමින් වත්මන් ලෝකය සිදුකරන්නේ ස්වකීය හීනමානයේ නිරුවත ප‍්‍රදර්ශනය කිරීමයි. බටහිරකරණය විසින් අපට උගන්වා ඇත්තේ තෙරුවන් සරණයාම, සිල් රැකීම, මව්පිය උපස්ථානය හා යහපත් ජීවිකාව පෞරුෂාභිමානී කාරණාවන් ලෙස නො වේ. අතිවිශිෂ්ට අතීතයක් හිමිව තිබූ අප අද හසුවී ඇති මේ සමාජ විකෘතිය පිළිකුල් සහගත අයුරින් බැහැර කළ යුතු ය.

කරන්නේ යහපත් දෙයක් නම් එහි තරාතිරම වැදගත් නැත. වැදගත් වන්නේ එය කරන ආකාරයයි. එය ‘සුදු කර්මයක්’ ද ‘කළු කර්මයක්’ ද යන්නයි. එයට මුල්වන දෘෂ්ඨීය හා ආකල්පය යහපත් වූ විට එහි නිමාව විශිෂ්ට නිර්මාණශීලී දෙයක් ම වේ. එය රටක ඍජු සංවර්ධනයට ද හේතු වේ. නමුත් පුහු ආටෝපය පසු පස ම හඹා යන සමාජය යහපත් වෘත්තියක් වුවත් පහත් යැයි සම්මත කොට ඒවායේ නිරත වන්නන් දෙස බලන්නේ අවඥවෙනි. මේ මනුෂ්‍ය ලෝකය අපට තාවකාලික නවාතැනකි. එහි අප සිටින්නේ ඉතාමත් කෙටි කාලයකි. ඉතිං කවර නම් උස්මිටිකම් ද?

සමාජයේ අපේක්ෂාව වන්නේ සුදු කරපටි රැකියාවන් ය. කරපටිය සුදුවූ පමණින් ක‍්‍රියාවන් ‘සුදු’ වන්නේ නැත. සැබැවින් ම අවශ්‍ය කිසිවෙකු පීඩාවට පත් නො කර යහපත් අරමුණින් යහපත් වෘත්තියක නිරත වීමයි.

භාග්‍යවතුන් වහන්සේ වදාළේ වීරියෙන් දෑත වෙහෙසවා, දහඩිය වගුරුවා දැහැමින් උපයන ධනයෙන් සැපවත් ව, සතුටුව, මනාකොට සැප විඳිය යුතු බවයි. දෙමාපිය, අඹුරුවන් පෝෂණය කළ යුතු බවයි. පින් කළ යුතු බවයි. පුද්ගල ධෛර්ය හා කැපවීම අගය කොට සැලකූ ඒ බුද්ධ වචනය මේ යුගයට මනාව ගැළපේ. ඒ උතුම් දහම පුහුමානයෙන් ද වැරදි දෘෂ්ටියෙන් ද ගිනි ගත් වත්මන් ලෝකයට අමා දියවරකි.

ලෝකයෙන් දරිද්‍රතාවය තුරන් නො වන්නේ භෞතික සංවර්ධනය ඉක්මවූ ආධ්‍යාත්මික සංවර්ධනයක් ඉස්මතු නො වන නිසා ය. ඒ ප‍්‍රශ්නය උග‍්‍රව පැන නැගෙන්නේ බටහිර සංස්කෘතිය තුළ යි. අද අප සිටින්නේ බටහිරට නතුව යහපත් දේ අගය නො කරන බෙලහීන බවට පත්ව ය. දැන්වත් අවදි වී කෙලෙසාගත් පෞරුෂත්වය බුද්ධ ශාසනය තුළ හිඳිමින් නැවතත් ඇති කරගත යුතු ම ය.

අපට නිවැරදි දේ කියා දෙමින් අතිශයින් ම සුන්දර දිවියකට මාවත පෙන්වා වදාළ භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේගේ ඒ උතුම් බුද්ධාවවාදයන්ගෙන් සියලූ ලෝ සතුන් අභිමානවත් දිවිපෙවතක සුවපත් වූ සිත් ඇත්තන් වේවා!

සටහන
රසිකා පුෂ්පකුමාරි