මිළිඳු රජ තෙමේ මෙසේ ඇසුවේය.

“ස්වාමීනී, සීලයේ ස්වභාවය කුමක්ද?”

“මහරජාණෙනි, සීලයේ ස්වභාවය සියලු කුසල්දහම්වල පැවැත්ම පිහිටීමයි. ඉන්ද්‍රිය, බල, බොජ්ඣංග, මාර්ගාංග, සතිපට්ඨාන, ඉර්ධිපාද, ධ්‍යාන, විමෝක්ෂ, සමාධි සමාපත්ති ආදිය සීලය මත පිහිටා තිබේ. මහරජාණෙනි, සීලය මත සිටින යෝගාවචර තෙමේ සීලය නිසා ම, සීලය මත සිට ම පංච ඉන්ද්‍රිය වඩයි. ශ්‍රද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය වඩයි. සියලු කුසල් දහම් නොපිරිහෙයි.”

“උපමාවක් වදාළ මැනැව.”

“මහරජාණෙනි, වැඩී වර්ධනය වී විපුල බවට පත්වෙන ගස්කොළන් ආදී පැළවෙන යම්කිසි දේවල් ඇද්ද, ඒ සියල්ල වැඩෙන්නේත්, වර්ධනය වෙන්නේත්, විපුල බවට පත්වෙන්නේත් පොළොව ඇසුරු කොට පොළොව මත පිහිටා ය. මහරජාණෙනි, ඔය අයුරින් ම සීලය මත සිටින යෝගාවචර තෙමේ සීලය නිසා ම, සීලය මත සිට ම පංච ඉන්ද්‍රිය වඩයි. ශ්‍රද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය වඩයි.”

“තවදුරටත් උපමාවකින් වදාළ මැනැව.”

“මහරජාණෙනි, බලය උපදවාලන යම් කර්මාන්ත ආදිය ඇද්ද, ඒ සියල්ල කෙරෙන්නේ පොළොව ඇසුරු කොට පොළොව මත පිහිටා ය. මහරජාණෙනි, ඔය අයුරින්ම සීලය මත සිටින යෝගාවචර තෙමේ සීලය නිසාම, සීලය මත සිටම පංච ඉන්ද්‍රිය වඩයි. ශ්‍රද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය වඩයි.”

“තවදුරටත් උපමාවකින් වදාළ මැනැව.”

“මහරජාණෙනි, නගරය වර්ධනය කරන අය නගරයක් නිර්මාණය කිරීමේදී පළමුවෙන් කරන්නේ නගරය පිහිටන තැන පිරිසිදු කොට කටුකොහොල් බැහැර කරවා භූමිය සමතලා කරවා ඉන්පසු වීථි, සිව්මංසල, සන්ධි ආදී සළකුණු යොදා නගරය නිර්මාණය කිරීමයි. මහරජාණෙනි, ඔය අයුරින්ම සීලය මත සිටින යෝගාවචර තෙමේ සීලය නිසාම, සීලය මත සිට ම පංච ඉන්ද්‍රිය වඩයි. ශ්‍රද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය වඩයි.”

“තවදුරටත් උපමාවකින් වදාළ මැනැව.”

“මහරජාණෙනි, කරණම් ගසන්නා ශිල්ප දක්වනු කැමැතිව පොළොව සාරවා ගල් බොරළු බැහැර කරවා භූමිය සමතලා කරවා සිව්මැලි භූමියක සිට කරණම් ගසයි. මහරජාණෙනි, ඔය අයුරින්ම සීලය මත සිටින යෝගාවචර තෙමේ සීලය නිසා ම, සීලය මත සිට ම පංච ඉන්ද්‍රිය වඩයි. ශ්‍රද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය වඩයි.

මහරජාණෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මෙකරුණ වදාරණ ලද්දේ ය.”

“සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ – චිත්තං පඤ්ඤං ච භාවයං
ආතාපි නිපකෝ භික්ඛු – සෝ ඉමං විජටයේ ජටං”

ප්‍රඥාව සහිත වූ මනුෂ්‍ය තෙමේ සීලය මත සිට සිතත්, ප්‍රඥාවත් වඩයි. කෙලෙස් තවනා වීරියෙන් යුතු අවස්ථාවෝචිත ප්‍රඥාවෙන් හෙබි ඒ භික්ෂුව මේ අවුල ලිහා දමන්නේය.
අයං පතිට්ඨා ධරණීව පාණිනං

ඉදං ච මූලං කුසලාභිවුඞ්ඪියා – මුඛංචිදං සබ්බ ජිනානුසාසනේ
යෝ සීලක්ඛන්ධෝ – වරපාතිමොක්ඛියෝ

ප්‍රාණීන් හට පිහිටක්ව තිබෙන මේ පොළොව මෙන් කුසලාභිවෘද්ධියට මුල වන්නේ මෙයයි. සියලු බුද්ධානුශාසනයට මුඛ්‍ය කරුණ ද මෙයයි. එනම් යමෙක් උතුම් ප්‍රාතිමෝක්ෂාදියෙහි සීලසම්පන්නව වාසය කරත් ද, එයයි.

“ස්වාමීනී නාගසේනයන් වහන්ස, ඉතා දක්ෂ වන සේක.”

සීලයේ ස්වභාවය ගැන නවවෙනි ප්‍රශ්නය යි.

උපුටා ගැනීම – මිළිඳු රාජ ප්‍රශ්නය

සරල සිංහල පරිවර්තනය – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ