රැකියා ස්ථානයේදී අර්බුද හටගැනීම වළක්වාගෙන සාර්ථකව සියලු කටයුතු සිදු කර ගැනීම පිණිස බෙහෙවින් උපකාරී වන්නේ මෙත් සිත සහ ඉවසීම පුරුදු පුහුණු කර ගැනීම යි. එමෙන්ම තමාගෙන් රැකියා ස්ථානයට හා එහි පිරිසට ඉටු විය යුතු යුතුකම් හා වගකීම් මනාකොට ඉටුකිරීම සාර්ථකත්වයට හේතුවනවා සේ ම එය තමා රැස්කර ගන්නා පිනක් ද වෙනවා.

සිඟාලෝවාද සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ ස්වාමිවරු සහ සේවකයන් (නිලධාරීන් සහ සේවක මණ්ඩලය) එකිනෙකාට යුතුකම් ඉටු කරමින් සහයෝගයෙන් කටයුතු කරන ආකාරය මෙසේ පෙන්වා දී තිබෙනවා.

ස්වාමිවරුන් (නිලධාරීන්) විසින් සේවකයන්ට ඉටු කළ යුතු යුතුකම්

1) සේවකයන්ගේ හැකියාවන්ට ඔරොත්තු දෙන ලෙස වැඩකටයුතු පැවරීම.
2) ආහාරපාන වැටුප් ආදිය යහපත් ලෙස ලබා දීම.
3) අසනීප වූ විට විශේෂ උපකාර ලබා දීම.
4) විශේෂ රසවත් දේවල් සේවකයන් සමඟ බෙදා හදා ගැනීම. (ප්‍රසාද දීමනා ලබා දීම)
5) අවශ්‍ය අවස්ථාවන්හිදී සේවකයන්ට නිවාඩු ලබා දීම.

සේවකයන් විසින් ස්වාමිවරුන්ට ඉටු කළයුතු යුතුකම්.

1) නියමිත වේලාවටත් කලින් ම නැගිට වැඩකටයුතු සඳහා සූදානම් වීම. (නියමිත වේලාවට කලින් ම සේවයට වාර්තා කිරීම)
2) හැමට පසුව නින්දට යනතෙක් ම වැඩෙහි යෙදී සිටීම. (නියමිත සේවා කාලය අවසන් වනතුරු ම රැකියාවේ කටයුතුවල යෙදීම)
3) දුන් දේ පමණක් ගැනීම. (සොරකම් නොකිරීම)
4) ඉතා හොඳින් සිය සේවා කටයුතු සිදුකිරීම.
5) ස්වාමියාගේ හොඳ නම සිය කැමැත්තෙන් ම පැතිරවීම (බලධාරීන්ගේ හා සේවා ස්ථානයේ කීර්තිනාමය වර්ධනය කිරීම)

සැබැවින් ම මෙම යුතුකම් එකිනෙකාට ඉටුවන්නේ නම් රැකියා ස්ථානයන්හි අර්බුද හටනොගනී.