ආශාවන් අඩු බව (අප්ප (අඩු) + ඉච්ඡ (ආශා) = අප්පිච්ඡ) අල්පේච්ඡ බවයි. ධර්මය තුළ සඳහන් වන්නේ තමන් තුළ ඇති කර ගන්නා ගුණධර්ම අනිත් අය දැනගන්නවාට ආශා නොකර ගුණධර්ම සඟවා ගන්නා බව අල්පේච්ඡ බව කියා ය.

(අනුරුද්ධ සූත්‍රය) ධුතාංග අල්පේච්ඡතාවය, පර්යාප්ති අල්පේච්ඡතාවය, අධිගම අල්පේච්ඡතාවය සහ ප්‍රත්‍ය අල්පේච්ඡතාවය යනුවෙන් අල්පේච්ඡතා සතරක් තිබෙනවා.

තමන් රකින යම් ධුතාංග ආදී කුසල් වැඩෙන ප්‍රතිපදා ඇත්නම් ඒවා ප්‍රකට නොකර සඟවාගෙන සිටීම ධුතාංග අල්පේච්ඡතාවය යි. තමන්ගේ දහම් දැනුම තවත් කෙනෙක්ව යටපත් කිරීම උදෙසා හෝ ලාභ සත්කාර ලබාගැනීම උදෙසා භාවිතා නොකර තම දහම් දැනුමෙන් උදම් නොවී වාසය කිරීම පර්යාප්ති අල්පේච්ඡතාවය යි. තමන් මගඵලලාභියෙකු බව සඟවාගෙන වාසය කිරීම අධිගම අල්පේච්ඡතාවය යි. සිව්පසය පිළිගැනීමේ පමණ දන්නා බව ප්‍රත්‍ය අල්පේච්ඡතාවය යි. දකින අහන හැම දේට ම ආශා කිරීම තුළ දුක් පීඩාවන් හටගනී. සරලව, ආශා අඩුවෙන්, අල්පේච්ඡ ව ජීවිතය ගත කිරීම සැහැල්ලුව, සතුට, සැනසිල්ල පිණිස හේතුවේ.