භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළේ කෙළෙහිගුණ සිහිකරන බව, කෙළෙහිගුණ සලකන බව උතුම් සත්පුරිස ගුණයක් බවයි. එමෙන් ම කෙළෙහිගුණ දන්නා, කෙළෙහිගුණ සලකන පුද්ගලයන් දුර්ලභ බවත් දේශනා කොට වදාළා.

(කතඤ්ඤූ කතවේදිනෝ පුග්ගලෝ දුල්ලභෝ ලෝකස්මිං) විශේෂයෙන් ම කෙළෙහිගුණ සලකන්නට නම් අපට උපකාර කළ අය ව ගුණ වශයෙන් හඳුනාගැනීම අවශ්‍යයි. අප ව දස මාසයක් කුසේ දරාගෙන ලේ කිරිකර පොවා, සිප් සතර උගන්වා, දුක් මහන්සියෙන් ඇතිදැඩි කළ දෙමාපියන්ගේ ගුණ භාග්‍යවතුන් වහන්සේ මෙසේ පහදා දුන්නා.

■ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන බ්‍රහ්ම විහරණයෙන් යුතු දෙමව්පියන් බ්‍රහ්මයන් වැනි ය. (බ්‍රහ්මාති මාතාපිතරෝ)
■ ඇවතුම් පැවතුම්, යහපත අයහපත කියාදෙන මුල් ගුරුවරු ය. (පුබ්බාචරියාති වුච්චරේ)
■ කොපමණ දුරක සිටියත්, දරුවන් විසින් සොයාගොස් ඇප උපස්ථාන කරන්නට සුදුසු ය. (ආහුනෙය්‍යා ච පුත්තානං)
■ දරු ප්‍රජාවට අනුකම්පා කරන්නෝ ය. (පජාය අනුකම්පකා)

මව්පියන් කළ ඒ අසීමිත කැප කිරීම, ඔවුන්ගෙන් ලද මිල කළ නො හැකි උපකාර නිතර මෙනෙහි කරමින් දරුවන් විසින් කළගුණ සැලකිය යුතුයි.

වයසක දෙමාපියන්ට උපස්ථාන කරමින් රැකබලා ගත යුතු ය.
■ දෙමාපියන්ගේ කටයුතු සොයාබලා කර දිය යුතු ය.
■ මව්පියන්ගේ කුල පරපුර ඉදිරියටත් පවත්වමින් ආරක්ෂා කළ යුතු ය.
■ මව්පියන්ගෙන් ලද භවභෝග සම්පත් ආදී දායාද මැනවින් පරිහරණය කළ යුතු ය.
■ මව්පියන් මියපරලොව ගියපසු දානාදී පින්කම් කොට පරලොව ජීවිතයේ සුවපත් භාවය පිණිස අනුමෝදන් කළ යුතු ය.

එමෙන් ම යම් කෙනෙක් නිසා අප මනාකොට තිසරණයෙහි පිහිටියා නම්, සිල්වත් දිවියක් ඇති කරගත්තා නම්, චතුරාර්ය සත්‍යය පිළිබඳ අවබෝධය ලැබුවා නම් ඒ සඳහා උපකාර කළ පුද්ගලයාට ද කිසි දිනෙක ප්‍රතිඋපකාර කොට අවසන් කළ නො හැකියි. භාග්‍යවතුන් වහන්සේ දක්ඛිණා විභංග සූත්‍ර දේශනාවේදී පෙන්වා වදාළේ එම උපකාරයට සිව්පසයෙන් පුදා, ගරුබුහුමන් දක්වා ප්‍රතිඋපකාර කොට අවසන් කළ නො හැකි බවයි. එනමුත් යුතුකම් ඉටුකිරීම් වශයෙන් කල්‍යාණමිත්‍ර ශ්‍රමණයන් වහන්සේලා උදෙසා පහත සඳහන් පරිදි කෙළෙහිගුණ සැලකිය යුතු බව සිඟාලෝවාද සූත්‍ර දේශනාවේදී දේශනා කොට තිබෙනවා.

මෛත්‍රී සහගත කායකර්ම පැවැත්විය යුතු ය.
■ මෛත්‍රී සහගත වචීකර්ම පැවැත්විය යුතු ය.
■ මෛත්‍රී සහගත මනෝ කර්ම පැවැත්විය යුතු ය.
■ සිය නිවෙස්හි දොරටු නොවසා ආගන්තුක සත්කාර කළ යුතු ය.
■ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස යන සිව්පසයෙන් උපස්ථාන කළ යුතු ය.

මේ අයුරින් අපට උපකාර කළ, නිවන්මඟ පෙන්වා දුන් දෙමව්පියන්ගේ, කල්‍යාණමිත්‍රයන් වහන්සේලාගේ, ගුරුවරුන්ගේ, ඤාති හිතමිත්‍රාදීන්ගේ ගුණ නිතර සිහිකරමින් කෙළෙහිගුණ සලකන සත්පුරිස බව ඇතිකර ගැනීම ලෞකික ආධ්‍යාත්මික සියලු යහපත උදාවීමට හේතු උපකාර වනවා.