දැන් අපේ ඇහැට නොපෙනෙන්නේ අපාය, දිව්‍ය ලෝක පමණක් නොවෙයි. අපේ ඇහැට නොපෙනෙන කොයිතරම් දේවල් ලෝකයේ තිබෙනවාද? ඇසට නොපෙනෙන කොච්චර දේවල් නම් අපි විශ්වාස කරනවාද? දැන් අපි උදාහරණයක් ලෙස ජල බිංදුවක් ගනිමු. ජල බිංදුවේ සංයුතිය H2O යැයි පවසනවා. නමුත් ඒවා අපේ ඇස්වලින් දැකලා නැහැ. අපිට පාසලේදී උගන්වපු නිසා අපි ඉගෙන ගත්තා.

මේ වගේ අපි ඇස්වලින් නොදැකපු කොයිතරම් දේවල් සංකල්ප හැටියට භාවිතා කරනවාද? නමුත් මේක සංකල්පයක් නොවෙයි. මේක යථාර්ථයක් කියලා පැහැදිලිව ම තේරුම් ගන්න තියෙන්නේ තමා තුලින් ම යි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේදී ඇස් දෙකින් බැලීමටකට වඩා තියෙන්නේ තමා තුළින් දැකීම යි. ඒ නිසයි ‘ඇවිත් බලන්න’ කියලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට කියන්න පුළුවන්කම තියෙන්නේ.

‘ඇවිත් බලන්න’ කියන්නේ ඇවිත් ඇස් දෙකින් බලන්න නොවෙයි. ඇවිත් ප්‍රඥාවෙන් බලන්න කියලයි. ප්‍රඥාවෙන් බලන්න නම් තමා තුළට පමුණුවාගෙනයි බලන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනාකර ඇති පරිදි තමන්ගේ ජීවිතය සකස් වෙන ආකාරය තමන්ගේ ජීවිතය තුළින් තමන්ට ම බලාගන්න පුළුවන්.

කෙනෙකුට පුළුවන් සමාධියක් දියුණු කරන්න. සමාධියක් දියුණු කළාට පසුව එයාට පුළුවන් සමාධිය කියන්නේ මොකක්ද කියලා අත්දකින්න. ඒ වගේම කෙනෙකුට ද්වේශයක් ඇති වූ පසුව ද්වේශයේ තියෙන භයානක බවත් අත්දකින්න පුළුවන්. මේ වගේ තමන්ගේ ජීවිතය තුළ සිදුවන සිදුවීම් පිළිබඳව නුවණින් විමසන කෙනෙකුට තමන්ගේ ජීවිතය තුළින් ම අත්දැකීමක් කරා යන්න පුලුවන්.

අනෙක් කාරණාව තමයි දැන් අපට පැහැදිලිව පෙනෙනවා මේ මිනිස්සු අතර ජීවත්වන විට සමහර මිනිස්සු තුළ දිව්‍යත්වයක් ගොඩනැගෙනවා. සමහර මිනිස්සු තුළ මහා යක්ෂ, ප්‍රේත මානසිකත්වයක් ගොඩනැගෙනවා. පැහැදිලිව ම පෙනෙනවා පුද්ගලයා මරණින් මත්තේ ඒ ලෝකය කරාම යනවා කියලා. ඒ නිසා ඒක අපිට ඇස් දෙකෙන් ම පෙන්වලා දෙන්න අවශ්‍ය නැහැ. මනුස්සයෙකුට බුද්ධිය පාවිච්චි කරන්න පුළුවන් නම් එයාට ඒක තේරුම් ගන්න පුළුවන්.