පරාර්ථකාමීත්වය, විරාගය, කාරුණික බව, කැපවීම, බුද්ධ ගෞරවය පිරී ඉතිරී ගිය උත්තරීතර චරිත කතාවක එක් පරිච්ඡේදයක්…

මේ… කෝටි පහක් තරම් ජනකාය ගැවසුන නමුත් පසෙකින් ගලන අචිරවතියෙන් සුරම්‍යවත් වූ ශ්‍රාවස්ථි නුවරයි. කෝසල රාජ්‍යයේ අගනුවර වූ සැවැතෙහි ප්‍රාණය සේ ගලන අචිරවතියේ දකුණු ගං ඉවුරට නුදුරුව තිබෙන අක්කර තිස්දෙකක පමණ භූමි ප්‍රදේශය නිරන්තරයෙන්ම ආශ්චර්යවත් වූ සිදුවීම් සිදුවන ලොව අසම වූ භූමියක් බවට පත් වුණා. 54 කෝටියක ධනය වියදම් කොට කරවූ විහාරාරාමය, ධන බලයෙන් මිල මුදලින් මිනිය නොහැකි වූ ලොව සියලු වටිනාකම් ඉක්මවා ගිය අප ගෞතම සම්බුදුරජුන් ප්‍රමුඛ මහ සඟරුවනට පිදූ දා පටන්, නොයෙක් වර ඒ භූමිය සතුටින් කම්පිතව සෙලවී ගියා. තවත් විටෙක දිවා රෑ දෙකෙහි හාත්පස මහා එළි විහිදී ගියා. තව විටෙක බලා සිටියදීම අසිරිමත්ව නොයෙකුත් දේ මැවෙමින් දෙව් මිනිසුන් මවිත කළා. බොහෝවිට ඒ භූමියේ සිට නැගුන සාදු නාදයන් බඹලොව දක්වාම විහිදී ගියා.

දිනපතා උදෑසන වරුව දානපතීන් හට සැප උපදවන පින් පුරනා හෝරා කිහිපයක් බවට පත් වුණා. තවත් විටෙක කෙනෙක් සංසාර දුක අවම කරමින් සතර අපායෙන් මිදී ගියා. තවත් විටෙක කෙනෙක් සියලු සංස්කාර දුක, ඔව්! සියලුම දුක්ඛස්කන්ධය ඒ භූමියේ දී සදහටම කෙළවර කළා. තවත් කෙනෙකුගේ සංසාරයක් පුරා අකීකරුකමින්, දරදඬු බවින්, නොසංසිඳීමෙන් කෙලෙසුන ජීවිතය, ඒ භූමියේදී සදහටම දමනය වුණා. එපමණක් ද නොවෙයි, එය රජවරු, සිටුවරු, මැතිඇමතිවරු, සැපයෙන් පිරුණු සියුමැලි කුමර කුමරියන් මෙන්ම මිනීමරුවන්, සිරුර විකුණා ජීවිකාව ගෙවන ගණිකාවන්, දඩයක්කරුවන්, චණ්ඩාල පුරුෂයින්, සොර දෙටුවන්, දුනුවායින්, දැසිදස්සන් පමණක් නොව මිථ්‍යා අදහස් වලින් පිරුණු අන්‍යාගමිකයින් පවා එකම ශාස්තෘ සෙවණේ ‘ශාක්‍ය පුත්‍රයින්’ බවට පත් වුණ, සැබවින්ම පින්බර භූමියක් ම වුණා. මේ අන් තැනක් නොව ශ්‍රාවස්ථි නුවර ජේතවන අසපුවයි. ඇත්තෙන්ම එවන් පින්බිමක හැමවිටම දකින්නට ලැබුණේ සාමාන්‍ය ලෝකයේ සාමාන්‍ය ස්වභාවයෙන් ඔබ්බට ගිය කිසියම් සුවිශේෂී දෙයක්.

මේ එළඹුණේ ඒ වන අරමේ තවත් එක් අපූරු දවසක්. මේ සියලු අපූර්වත්වයට මූල බීජය වූ ලොව්තුරා බුදුරදුන්ගේ සොඳුරු සිරිපා සැවැතෙහි මහ පොළොව සනසවමින් සුගන්ධ කුටියෙන් නික්මී දම්සභා මණ්ඩපය වෙත වැඩම කළා. අග්‍රශ්‍රාවක මහා ශ්‍රාවකතුමන් වහන්සේලා ප්‍රමුඛ අපගේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු මහ සඟරුවන ශාස්තෘන් වහන්සේ පිරිවරාගෙන වැඩ සිටියා. හැම විටම දෙව් මිනිස් ලෝ සතුන්ගේ හිතසුව පිණිසම වදන් පිටවන සම්බුදු මුවමඬලින් එදා මෙසේ වදාළා.

“පින්වත් මහණෙනි, මා සම්බුදු බව ලබා දැන් වසර විස්සක්ම ඉක්මවා ගියා. මා දැන් ගෙවන්නේ පනස් පස්වන වියයි. යෞවන කාලය ගෙවී ගොස් වියපත් බව උදා වුණා. මෙතෙක් ස්ථිර උපස්ථායකයෙකු නොසිටියත් දැන් මා හට ස්ථීර උපස්ථායකයකු සිටී නම් හොඳයි.” එසැණින්ම නැගී සිටි අප සාරිපුත්ත තෙරුන්, මහ මොග්ගල්ලාන තෙරුන් ඇතුළුව උතුම් මහරහතන් වහන්සේලාගේ ඉල්ලීම් හේතු සහිතව ප්‍රතික්ෂේප වුණා. එය එසේ වුවත් ඒ වෙනුවෙන්ම දීර්ඝ කලක් සසරේ පතා ආ කෘතපුණ්‍ය ලක්ෂණ ඇති උත්තමයන් වහන්සේ තවමත් නිහඬව වැඩ සිටියා. භික්ෂූන් වහන්සේලා ඒ අපගේ ආනන්ද ස්වාමීන් වහන්සේව ඒ උතුම් තනතුර වෙනුවෙන් නොයෙක් අයුරින් උත්සාහවත් කරද්දී,

“ආයුෂ්මතුනි, එය සුදුසු නැහැ. මා ඊට සුදුසු නම් භාග්‍යවතුන් වහන්සේගේ අභිප්‍රාය මා කෙරෙහි වේ නම්, බුදු පියාණන් වහන්සේම ඒ බව වදාරනවා ඇති.” යි අනඳ හිමියන් පැවසුවා.

සියලු තතු දක්නා, සියලු තතු දන්නා, අපගේ ශාස්තෘන් වහන්සේ, “පින්වත් මහණෙනි, ආනන්දයන්ව උත්සාහවත් කරන්න එපා. කිසිවකු විසින් ආනන්දයන්ව පෙළඹවිය යුතු නැහැ. ආනන්දයන් තමන් විසින්ම දැන මා හට උපස්ථාන කරාවි.” යැයි වදාළා.

තුන් ලොවට නායක වූ, දෙව් මිනිසුන්ගේ ශාස්තෘ වූ ගෞතම සම්බුදු මුවින්, රහතුන් අතර නිහඬව වැඩ සිටි තමන් වහන්සේ අරභයා එවන් වදන් පෙළක් පිටවෙද්දී අපගේ ආනන්ද ස්වාමීන් වහන්සේට කුමක් නම් සිතෙන්න ඇති ද?

ඔව්! සැබැවින්ම ඒ සිරුර හාත්පසින් කිළිපොළා ගියා.

අසිරියක්මයි. නැවතත් ඒ භූමියේ සුවිශේෂී දෙයක් සිදුවන ලකුණු පහළ වුණා.

ආත්මාර්ථකාමීත්වයෙන් යුතුව තැන, නම ඇතුළුව ලෞකික වූ සැපයම හඹා යන ලෝකයේ… පරාර්ථකාමී බවම මුලට ගෙන උඩුගම් බලා වඩින අපගේ උතුම් ආනන්ද තෙරුන් එක්වරම ඉදිරිපත් නොවී බුදුපියාණන් වහන්සේගෙන් ඉල්ලීම් හතරකුත්, ප්‍රතික්ෂේප කිරීම් හතරකුත් සහිතව වර අටක් ඉල්ලා සිටියා. ලොව්තුරා බුදුරජුන්ගේ අසමසම සිරිපා යුග්මය සිරසින් වැඳ නැඟී සිටි අප ආනන්ද තෙරුන්,

“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, තථාගතයන් වහන්සේට ලැබෙන ප්‍රණීත පිණ්ඩපාතය මා හට නොදෙන සේක්වා!

තථාගතයන් වහන්සේට ලැබෙන වටිනා චීවර මා හට නොදෙන සේක්වා.

කිසිම දිනක භාග්‍යවතුන් වහන්සේගේ සුගන්ධ කුටියෙහි වාසය කිරීමට නොදෙන සේක්වා!

භාග්‍යවතුන් වහන්සේට ලැබෙන දානාදී ආරාධනා සඳහා කිසිම විටෙක මා හට ආරාධනා නොකරන සේක්වා!” ලෙස නමස්කාර පෙරටුව පවසා සිටියා.

එවේලෙහි භාග්‍යවතුන් වහන්සේ එසේ ප්‍රතික්ෂේප කිරීම් සිදුකරන්නට හේතුව කුමක්දැයි අසා වදාළා.

“ස්වාමීනි, මාගේ ශාස්තෘන් වහන්ස, ඕනෑම තරාතිරමක පිරිස් භාග්‍යවතුන් වහන්සේට ප්‍රණීත දානමාන වටිනා සිවුරු ආදිය පූජා කරද්දී ඒ සිව්පසයෙන් මා හටත් ලැබුණොතින්, ඒ වගේම ශාස්තෘන් වහන්සේට ලැබෙන ආරාධනා සඳහා මා ද කැටුව ගියහොත් ඔය විදිහේ ලාභ සැලකිලි ලැබෙද්දී කාට නම් ඔය කටයුත්ත කරන්නට නොහැකි ද යන කෙලෙස් සහිත සිතිවිලි යම් කෙනෙකු තුළ ඇති විය හැකි නිසා, ඒ චෝදනාවෙන් නිදහස් වීම පිණිසත් – අන් අයට කෙලෙස් නූපදවන අයුරින් කටයුතු කිරීම පිණිසත් මම ඒ ලාභයන් ප්‍රතික්ෂේප කරමි.

එනමුත් ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මා යම් ආරාධනාවක් බාර ගත් විට තථාගත මගේ බුදුපියාණන් වහන්සේ වැඩම කරන සේක්වා!

ඒ වගේම බොහෝ දුර බැහැර සිට වෙහෙස මහන්සි වී භාග්‍යවතුන් වහන්සේ බැහැ දැකීමට පැමිණෙන යම් කෙනෙක් ඒ මොහොතේම ශාස්තෘන් වහන්සේ ළඟට කැඳවාගෙන එන්නට මා හට අවසර ලබා දෙන සේක්වා! ඒ වගේම ස්වාමීනි යම් දහම් කරුණක් දැනගැනීමට, යම් සැක ඇති තැනක් විසඳා ගැනීමට ඕනෑම මොහොතක මා හට භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණීමට අවසර ලබාදෙන සේක්වා!

ඒ වගේම ස්වාමීනී බඹලොව, දෙව්ලොව, මනුලොව ආදී ඕනෑම තැනක සිට මා නොසිටිය දී භාග්‍යවතුන් වහන්සේ යම් දහමක් දේශනා කරයි ද ඒ දහම නැවතත් මා හට අනුකම්පාවෙන් දේශනා කරන සේක්වා!”

එසේ ඉල්ලීම් සිදු කරන්නට හේතුව භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ කල්හි අපගේ අනඳ තෙරුන් මෙසේ පැවසුවා.

“භාග්‍යවතුන් වහන්සේ ළඟින්ම ඉඳගෙනත්, එවන් දෙයක් හෝ කිරීමට නොහැකි යැයි කෙලෙස් සහිත අපවාදයක් කෙනෙකුගෙන් නොලැබීම පිණිසත්, දහම් කරුණු අන් අයට පහදා දීමට හැකියාව තිබිය යුතු නිසාත් මෙසේ ඉල්ලීම් කරන මා හට අවසර ලබා දෙන සේක්වා!”

එවිට දීපදෝත්තම වූ බුදුරජාණන් වහන්සේ විසින් පරාපවාද රහිත වූ අවංක පිරිසිදු උපස්ථානයකට සූදානම් වන අපගේ අනඳ මුනිඳුන් හට ඒ සියලු වරයන් ලබා දුන් සේක.

අපගේ උතුම් ආනන්ද මුනිඳුන් කෘතපුණ්‍ය ධර්මයන් පරිපූර්ණ කොට මේ ගෞතම ශාසනයේ අග්‍ර උපස්ථායක තනතුරට පත් වූ සේක.

සුදුස්සා හට සුදුසු තැන ලැබුණු කල, ගුණයෙන් සුදිලෙනා මහ සඟරුවන සාධුනාද පැවැත්වූහ. එතැන් පටන් අපගේ ශාස්තෘ වූ ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානා තුරුම වසර විසිපහක් මුළුල්ලේ අපගේ ආනන්දයන් වහන්සේ බුදු සමිඳුන්ට සලසාලූ සුවපහසුව ගැන ලියන්නට තරම් වචන හෝ ඉඩහසර හෝ මා සතුව නැහැ.

සෙවණැල්ල පසුපසින් යන්නා සේ මෛත්‍රී සහගත ක්‍රියාවෙන්, වචනයෙන්, සිතුවිලිවලින් උපස්ථාන සලසමින් කල්ප ලක්ෂයක් පුරා පතා ආ ඒ උතුම් තනතුරෙහි කිසිදු අඩුවක් නොතබා මනා අවබෝධයකින් උන්වහන්සේ කටයුතු කළා.

සොඳුරු වූ, අසාමාන්‍ය ගුණයෙන් සුවහසක් සිත් සැනසූ උන්වහන්සේ සෝතාපන්න ඵලය පමණක් ලබා සිටියත් අරහත්වයට පත්වන තුරුම රාග සිතක් ඇති නොවීම සියල්ලටම වඩා අසිරියක් නොවේ ද? ගෞතම ශාසනය තුළ උතුම් අරහත්වයට පත් නොවී සිටිය දී ම උතුම් අග තනතුරු පහකින් ම පිදුම් ලද එක ම උත්තමයන් වහන්සේ ද අපගේ ආනන්ද මුනිඳුන්ම යි. එසේ නම් උන්වහන්සේගේ සීලය, ගුණය, නුවණ, ධර්ම ඤාණය, කැපවීම ආදී ගුණාංග ගැන අපට සිතන්නට හෝ නොහැකිමයි. එපමණක් ද නොව කසාවතක් දරා සොඳුරු ප්‍රතිපදාව තුළ හික්මෙමින් ජීවිත පෙළා දමන මහා දුක්ඛස්කන්ධය කෙළවර කොට නිවනින් සැනසෙන්නට කාන්තාවන් හට ඍජුවම ඉඩහසර සලසා දුන් අපගේ ගැලවුම්කරුවාණන් වහන්සේ ද උතුම් ආනන්ද මුනිඳුන්මයි. එපමණකින් ද නොනැවතී නිර්වාණ සම්ප්‍රයුක්ත නිර්මල ශ්‍රී සද්ධර්මය පළමු ධර්ම සංගායනාවේ දී දේශනා කරමින් අපටත් බුදුරජුන්ගේ දහම දායාද කළෝ උන්වහන්සේමයි. සියලු කෙලෙස් දුරු කොට උතුම් අරහත්වය සාක්ෂාත් කරමින්, පරාර්ථකාමීත්වය ම හදෙහි රුවා පිරිනිවන් පා වදාළ, සිහි කරද්දී පවා නන්දනීය බව ම ඇති කරවන අපගේ ආනන්ද මහරහතන් වහන්සේට කෘතගුණ සිහිකොට හද පුරවා නැගෙන නමස්කාරය වේවා!

අසූහාරදහසක් ධර්මස්කන්ධය දරා වැඩ සිටි ඒ උතුම් ආනන්ද මුනිඳුන්ගේ ශ්‍රී නාමයෙන් ගල්නෑව මහමෙව්නාව භාවනා අසපුවෙහි ඉදිවන උතුම් ශ්‍රී ආනන්ද මහා සෑ රජාණන් වහන්සේට කුමන අයුරකින් හෝ උපස්ථාන කොට කෘතගුණ නොසැලකූ යම් කෙනෙක් වේ නම් ඒ කෘතගුණ පූජාව හා එක් වීමට කාලයයි මේ!

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.