සත්ව ලෝකයේ උපන් අයට තම පෙර භවය පවා සිහි කරගත හැකි බව බෞද්ධ කථාවලින් පමණක් නොව වර්තමාන සිද්ධිවලින් ද අපට පැහැදිලි කර ගත හැක.

නාගයා තම පෙර හවය සිහි කරයි

බුදුරජාණන් වහන්සේ වැඩ වසන සමයේ ජීවිතය ගැන කලකිරුණු එක් හිමිනමක් දිවි නසා ගැනීමට උපායක් සිතමින් සිටි සේක. එම පන්සලේ සිටි භික්ෂූන් වහන්සේලා දිනක් වත්තේ සිටි නයෙකු අල්ලා කළයකට දමා ඌ කැලයට මුදා හැරීමට යාමට සූදානම් වන විට කලකිරී සිටි භික්ෂුව ඒ වැඩය බාර ගත්තේ ය.

මොහු කැලයට ගොස් නයා සිටි කළය තුළට අත දැම්මේ ය. දෙවැනි තෙවැනි වර ද කළය තුළට අත දැම්මත් නාගයා ඔහුට දෂ්ට කළේ නැත.

පුදුමයට පත් භික්ෂූන් වහන්සේ නාගයා කැලයට මුදා හැර මේ පුදුමාකාර සිද්ධිය ගැන තම මිතුරු භික්ෂු පිරිසට පැවසූ සේක. භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ හමු වී මීට හේතුව විචාළෝ ය.

බුදුරජාණෝ මෙය පුදුමයට කරුණක් නොවන බවත්, එම නාගයා මේ භික්ෂුවගේ පෙර ආත්මයක ඉතා හිතවත් සේවකයෙකු වී සිටි බවත්, තම ස්වාමියා හඳුනාගත් නාගයා ඔහු කෙරේ නොකිපී මෛත්‍රිය ම පැතිරූ බවත් භික්ෂු පිරිසට පහදා දුන් සේක.

අවුරුද්දේ දානයට කලින් දින කුරුල්ලෙකු වී නිවස සොයා පැමිණි මල්ලි

මා ශාස්ත්‍රපති විභාගයට උගන්නා සමයේ අප පන්තියේ ම සිටි ගුරු මහතෙක් දිනක් මා හමුවී,‍ “මහත්මිය, ඔබ පුනර්භවය ගැන සොයා බැලීමට කැමතියි නේද? මගේ අම්මා සහභාගි වූ එක් බණ ගෙදරක මියගිය පුතා කුරුල්ලෙකු වී බණ ඇසීමට පැමිණ ඇත. හම්බෙගමුව පළාතේ (ඇඹිලිපිටිය තණමල්විලට කිට්ටු ගමකි) සිදු වූ මේ පුවත පිළිබඳ විස්තර සොයා දැනගන්න.”‍ යැයි තම මවගේ අත්දැකීම විස්තර කළේ ය.

මගේ සොයුරන් උඩවලවේ අභයභූමිය නැරැඹීමට ගිය දිනෙක මම ද හම්බෙගමුව කුරුලු‍ උපත සිදු වූ නිවස සොයා බැලීමට ඔවුන් සමඟ ගියෙමි.

හම්බෙගමුව මහ විදුහලට තරමක් ඈතින් පිහිටි මේ නිවස තුළ අප යන විට සිටියේ මියගිය තරුණයාගේ අක්කා සහ අම්මා ය. අක්කා ඒ සිද්ධිය අප හා විස්තර කළා ය.

ත්‍රස්තවාදය පැවතුණ 1989 වසරේ මියගිය මල්ලිගේ වයස විසි අටකි. ඔහු හදිසියේ ම මරණයට පත් විය. ඉන් වසරකට පසු අවුරුද්දේ දානයට කලින් දින භික්ෂූන් බණට වඩින දිනයයි. ඊට පෙරදින රාත්‍රී මල්ලී සිහිකර හඬමින් නිදාගත් අක්කා සිහිනයක් දුටුවා ය. කැලේ අතරමං වී මල්ලී සොයමින් සිටි ඇය දුටු සුදු හැඳි තවුසෙක් වැනි කෙනෙක්, “මල්ලි හෙට ගෙදර එනවා. ඔබ දැන් ගෙදර යන්න.”‍ යැයි පැවසී ය.

පසුදා නින්දෙන් පිබිදුණු ඇය, “අද මල්ලී ගෙදර එනවා.”‍ යැයි ගෙදර සැමට පැවසුවා ය.

උදේ 9.00ට පමණ ඇය කෙටි බිත්ති ඇති කුස්සියේ මැද ඇති ලී කණුවට හිස තබා මල්ලී මතක් වී හඬමින් සිටියා ය.

හදිසියේ ම කහපාට කොළපාට වර්ණ ඇති පුංචි කුරුල්ලෙක් ඇගේ හිස මතට වී කීපවරක් ම නාද කරන්නට විය. ඉන්පසු ගේ වටා කෑගසමින් තෙවරක් පියඹූ කුරුල්ලා නැවතත් කුස්සියත්, සාලයත් අතර ඇති කොට බිත්තියේ වසා නාද කරන්ට විය. ගෙදර අයගේ කලබලය අසා අම්මා ද දිව ආවා ය. “අනේ පැටියෝ, මගේ අතටත් එන්නකො.”‍ කියා අම්මා දෑත් දිගු කළා ය. කුරුල්ලා මොහොතකින් අම්මාගේ උරහිසේ වසා නාද කරන්ට විය. ගෙදර අය මේ කුරුල්ලා කෑම බීම තබා කූඩුවක දැමුවෝ ය. රාත්‍රි දහම් දෙසීම සඳහා හිමිවරු වඩින තුරු ඌ සතුටින් සිටින බව පෙනුණි.

බණට හිමිවරු දෙනමක් වැඩියෝ ය. හිමිනමකගේ දහම් දෙසුම ඇරඹෙත් ම කුරුල්ලා සතුටින් කෑ ගසා තටුසලා නිසලව දහම් ඇසුවේ ය. බණ ඇසීමට පැමිණි කාන්තාවක්,‍ “අනේ මේ කුරුල්ලා අපේ මැරුණු කලු‍මහත්තයා නම් මොහු මේ බණ අසා මිය යනු නිසැකයි.”‍ යනුවෙන් කීවා ය.

දහම් දෙසුම අවසන සියල්ලෝ ම කා බී නින්දට ගියෝ ය. උදේ ඇහැරී බලන විට කූඩුවේ සිටි කුරුල්ලා මැරී සිටිනු දක්නට ලැබිණි.

පෙර ආත්මය සිහි කළ වසුපැටියා

ඌරාපොළ පැත්තේ අයියාමලෝ දෙදෙනෙක් කුඹුරක් කළෝ ය. අයියාගේ කුඹුර වැඩ කළේ මල්ලී ය. අයියාගේ අටුවට දමන වී මල්ලී සොරකම් කළේ ය. බිරිය ඊට විරුද්ධ වන විට “ඊළඟ කන්නයේ වී ලැබුණු විට මේ ණය මං ගෙවනවා.” යයි කියයි. මල්ලී හදිසියේ රෝගාතුර වී මිය ගියේ ය.

මාස කීපයකට පසු අයියාගේ එළදෙන වසු පැටවකු වැදුවා ය. ඌ උපන් දින ම මල්ලීගෙ බිරිය දැක ළඟට විත් ලෙවකමින් ආදරය පෑවේ ය. ඇය ද මහත් ආදරෙන් වසු පැටවාට සලකන්ට වූවා ය.

පැටියා උස් මහත් වී කරත්තය බඳින දින උදා විය. ඌ මහත් දුකින් කෙඳිරි ගාමින් මල්ලිගේ බිරියට තම දුක පළ කළේ ය.

ඇය ද උගේ හිස පිරිමදිමින්, “‍දැන් ඉතින් කරන්න දෙයක් නෑනේ, මං කීවානේ අයියාගේ වී හොරකම් කරන්න එපා කියලා. දැන් ණය ගෙවන්න වැඩ කරන්න වෙනවානේ.”‍ කීවා ය.

මේ කථාව රහසේ අසා සිටි අයියා මෙහි තේරුම කුමක්දැයි නංගීගෙන් විමසා සිටියේ ය. ඇය සියල්ල නොවළහා අයියාට පැවසුවා ය. මේ කථාවෙන් මහත් සංවේගයට පත් අයියා ගොන් වස්සාගේ හිස මහත් ආදරයෙන් පිරිමැද,‍ “අනේ මල්ලියේ උඹ මට ණය නැහැ. බුදු මල්ලියේ මම උඹට සමාව දෙනවා.”‍ යැයි බලවත් සහෝදර ප්‍රේමයෙන් පවසන්නට විය.

අයියාගේ වචනවලින් බලවත් සතුටට පත් ගොන් වස්සා මහත් ආදරෙන් අයියා ලෙවකන්නට වූයේ ය. උගේ සිත ප්‍රීතියෙන් පිනා ගොස් වැඩි වේලාවක් ගත වූයේ නැත. ගසක් කපා හෙළුවාක් මෙන් වස්සා අයියාගේ පාමුල මැරී වැටුණේ ය.

වස්සකු වී උපත ලැබීමට හේතු වූ අකුසල ජනක කර්මය අයියාගෙන් සමාව ලැබී සිත පිනා යාමෙන් ගෙවී යාම නිසා වස්සාට ඒ දුක්ඛිත උපතින් මිදීමට හැකි වූ බව මේ කථාව මා සමඟ ප්‍රකාශ කළ අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී නා හිමියන්ගේ අදහස විය.

පෙර ජීවිතයේ තමා ආදරය කළ ඥාතීන් හමුවීමෙන් ද බුදුබණ ඇසීමෙන් ද සිත පිනා ගිය සැණින් (පින් මතුවී) හම්බෙගමුවේ කුරුල්ලා ද මියගිය බව මේ අනුව අපට සිතා ගත හැක.

පෙර භවය සිහි කළ බැල්ලක්

තිරිසන් ලෝකය පිළිබඳව බුදුදහමේ බොහෝ විස්තර වී ඇත්තේ තිරිසනුන් වී උපදින්නේ අපේ ම සොයුරන් බව, මාපියන් බව දන්නේ ඉතා ම ටික දෙනෙක් පමණි. ඇමෙරිකාවේ “Fate” (ඉරණම) නම් සඟරාවේ පළවූ එඩ්වඩ් රේමස් (Edward Rhemus) මහතාගේ බැල්ල පිළිබඳව කථාව සත්ව ලෝකය පිළිබඳව ඉගෙනීමට ආශා කරන්නන්ගේ සිත් ඇදගන්නක් විය හැක.

එඩ්වඩ් රේමස් සිය බිරිය සමඟ කැලිෆෝනියාවේ සිට තම කාරයෙන් විනෝද චාරිකාවක යෙදී සිටියේ ය. වැන්කුවර් නගරය පසුකර යද්දී ඔහුගේ බැල්ල ඩොක්සි (Doxie) එක් ගොවි නිවසක් ළඟ දී කලබල කරන්නට වූවා ය. කාරය පැයට කිලෝමිටර් 60ක වේගයෙන් ගමන් ගනිද්දී ඇය වහා ම කාරයෙන් පැන්නා ය. ඔවුන් පසුකර ආ ගොවි නිවස දෙසට ඈ වේගයෙන් දිව ගියා ය.

එඩ්වඩ් හා ඔහුගේ බිරිය ඈන් වහා ම කාරය නවතා ගොවි නිවසේ වැටෙන් රිංගා යාමට තැත් කරන බැල්ල ළඟට දිව ගියෝ ය. ඈන් වහා ම ඩොක්සි වඩා ගත්තා ය.

මේ ශබ්දය ඇසී සුදු හිසකේ ඇති මහලු‍ කතක් නිවසින් පිටතට ආවා ය. ඩොක්සි ඇය දුටු වහාම බිමට පැන වැට උඩින් පිම්මේ පැන දිවගොස් මහලු‍ කත ලෙවකමින් මහත් ප්‍රීතියෙන් ඇගේ ආදරය ගෞරවය පළ කරන්ට වූවා ය.

මීළඟට ඇය විවර වී තිබුණු දොරින් ගේ තුළට වැද නිවස තුළ සියල්ල හරි බව දැන වහා ම නිවසින් පිටත පිහිටි ධාන්‍ය අටුව වෙත දිව ගියා ය. හද සසල කරන පුදුම සිද්ධිය වූයේ ඉන් පසුව ය. අටුව තුළ ඉනිමඟක් විය. ඩොක්සි මොහොතක් හෝ පමා නොවී ඉනිමඟ නැගගත්තේ ඇයට ඒ සඳහා මනා පළපුරුද්දක් ඇති බව හඟවමිනි. ඉනිමඟ නැග ගත් ඇය අටුවේ සිට මහත් නොඉවසිල්ලෙන් ඉව කර බලන්නට වූවා ය. ඇය අටුව පුරා ම ඉව කර බැලු‍වා ය. රේමස් ඇය සනසා පහළට ගෙනාවේ ය. කලබලයටත්, දුකටත් පත්ව සිටි බැල්ල සන්සුන් වූ පසු සියලු‍ දෙනාම තේ පානයට සූදානම් වූහ. මහලු‍ කාන්තාව ඇගේ කථාව කීම ඇරඹුවා ය.

ඉන් වසර 6කට පෙර එනම් 1948 දෙසැම්බර් මාසයේ දී ඇයටත්‍ “ක්විනි”‍ නම් වූ මෙවැනි ම බැල්ලක් සිටියා ය. ඇගේ පුතු රොබට් ක්විනිට ඉනිමඟ නැඟීමට හොඳ පුහුණුවක් ලබා දුන්නේ ය. ක්විනි දෙසැම්බර් මාසයේ පැටවුන් කීප දෙනෙකුම වැදුවා ය. ඉනිමඟට ඉහළින් ඇති මේ අටුව පැටවුන්ට ආරක්ෂිත ම තැන බව සිතූ ක්විනි දරුවන් වැදීමට මේ අටුව තෝරා ගත්තා ය. පැටවුන් ලබා දින දෙකකට පසු රොබට් පාසැලේ පසුවෙද්දී රොබට්ගේ මවට තම සැමියා අනතුරකට ලක් වී රෝහල්ගත කළ බව අසන්ට ලැබිණි. කලබලයට පත් වූ ඇය වහාම දොරවල් වසා රෝහලට පැමිණියා ය. කුස්සියේ කෑම කමින් සිටි බැල්ල ගැන ඇයට මුළුමනින් ම අමතක විය.

දින දෙකකට පසු ඇය නිවසට පැමිණි වහා ම ක්විනි ඉනිමඟ වෙත පැන දිව්වා ය. පැටවුන් සිටි අටුවේ අයින්වල හිම මිදී පැවතිණි. ක්විනි පැටවුන්ට කිරි දීමට මහත් කලබලයෙන් දිව ගිය නිසා හිම මිදී පැවති බිමින් ඇය ලිස්සා වැටුණා ය. ක්විනි මොහොතේ ම මිය ගියා ය. ඇගේ පැටවුන් ද සීතලෙන් හා බඩගින්නෙන් පීඩා විඳ ඇයට කලින් මිය ගොස් තිබිණි.

සතුන් පිළිබඳව ආදරය දක්වන මිනිසුන්ට ක්විනිගේ මේ කථා පුවත අපූරු අත්දැකීමක් වනු ඇත. මේ කථා පුවත ඩග්ලස් හන්ට් මහතාගේ (The Famous British Book – “Exploring the Occult” – Douglas Hunt) පොතකින් උපුටා ගන්නා ලදී.

එංගලන්තයේ කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලයෙන් උපාධි ලත් ඩග්ලස් හන්ට් මහතා ඉංග්‍රීසි ජාතිකයෙකි. ඔහු වසර 12ක් තිස්සේ ජර්මනිය, ඇමෙරිකාව, ජපානය ආදී රටවල සැරිසරමින් විවිධ දාර්ශනිකයන්, මනෝවිද්‍යාඥයන් පූජකවරුන් හා අභිඥයන් (විශේෂ අධිමානසික ඤාණ ලැබූ අය) හමුවී පර්යේෂණ පවත්වමින් ඒ දැනුම පොත්පත් සඟරා ආදිය මගින් ලොවට ද දුන්නේ ය. මෝහන විද්‍යාව, සිහින, ජ්‍යෝතිෂ විද්‍යාව, භූත විද්‍යාව ගැන පමණක් නොව බුදුදහමේ ඉගැන්වෙන පුනර්භවය, පරසිත් දැකීම, දිවැස, අනාගත ඤාණය, එකවර දෙතැනක පෙනී සිටීමේ හැකියාව (Rebirth, Telepathy, Clairvoyance, Precognition Astral Projection) වැනි බොහෝ කරුණු ගැන ද ඔහු පර්යේෂණ කළේ ය.

කේ. කමලා කුලතුංග