මිනිසුන් මැරී බොහෝ අවස්ථාවල තිරිසන් ලෝකයේ උපත ලබන බව බුදුදහමේ විස්තර වේ. තිරිසන් ලෝකයේ උපත ලැබූ අයට නැවත මිනිස් උපතක් ලබාගත හැකි වුව ද එය අතිශයින්ම දුර්ලභව සිදුවන්නකි. එයට හේතුව සත්ව ලෝකයෙහි සීලාදී ගුණධර්ම රැකීමට අවස්ථාවක් නැත. පින්දහම් කිරීමක් නැත. එහි තිබෙන්නේ ඔවුනොවුන් මරාගෙන කෑමකි. දුර්වලයාව ගොදුරු කරගැනීමකි.
කුරුල්ලා මනුලොව උපත ලබයි.
“ඇතැමෙක් මව්කුස තුළ පිළිසිඳ ගනිති. පව්කම් කළෝ නිරයට යති. සොඳුරු ගති ඇත්තෝ සුගතියේ (දෙව්ලොව) උපදිති. කෙලෙස් නැත්තෝ පිරිනිවන් පාති.”
මණිකාර කුළුපගතිස්ස තෙරුන්ගේ කථාවේ මැණිකක් හොරකම් කළ බවට සැක කර රහත් හිමිනමක් මරා දැමූ මැණික්කරු නිරයේ උපත ලැබීය. ලේ තැවරුණු මැණික ගිල දැමූ, ගෙදර ඇති දැඩි කළ කොස්වා ලිහිණියා සිල්වත් බිරියගේ කුස තුළ පිළිසිඳ ගත්තේ ය. තෙරුන්ට බැති සිතින් දන් දුන් බිරිය (කලකට පසුව) මැරී දෙව්ලොව උපන්නී ය. කෙලෙස් නැති රහතන් වහන්සේ පිරිනිවන් පෑ සේක.
මෙහිදී ගෙදර ඇති දැඩි වූ කුරුල්ලා ඒ ගෙදර ම දරුවකු වී උපන් බව දැක්වේ.
සමථ විපස්සනා භාවනා වඩන අය ද ඇතැම් අවස්ථාවල තමන් පෙර භවයන්හි දී තිරිසන් ආත්ම ගත කළ අයුරු සිහි කර ගනිති.
මා දන්නා එක් සිල් මාතාවක් තමා පෙර ජීවිතයක පිඹුරෙකු වී කාණුවක වැටී මහත් දුක් විඳ මිය ගිය අයුරු, තවත් මාතාවක් එළුදෙනක වී පැටවුන් තිදෙනෙක් (විවිධ වයස් වූ) සමඟ කල් ගත කළ අයුරු සිහියට නගා ගත්තෝ ය. මෝහන විද්‍යාවෙන් ද ඇතැම් අයගේ පෙර ජීවිතය තිරිසන් ආත්මයක් බව පර්යේෂණ මගින් සොයා ඇත. ඇතැම් රෝගවලට හේතුව පෙර ආත්මයක ඇති වූ ප්‍රශ්නයක් විය හැක. මේ නිසා බටහිර වෛද්‍යවරු ද රෝගීන්ගේ පෙර ජීවිතවලට ගොස් රෝග කාරක හේතු සොයා ගැනීමට මෝහන විද්‍යාව විද්‍යාව පිහිට කර ගනිති. Past Life Therapy (පෙර ආත්ම ප්‍රතිකාර ක්‍රමය) යනුවෙන් මෙය හැඳින්වේ.
අලියා මිනිසකු වී උපත ලබයි.
මහනුවර එච්. බී. ජයසිංහ මනෝවෛද්‍යතුමා දිනක් තමා හමුවට ආ ගොත ගහන තරුණයෙකු පරීක්ෂා කර බැලුවේ ය. ගොතගැසීමට හේතුවන භෞතික සාධක නැති බව දැන මේ රෝගියා මෝහනය කර බැලූ විට මොහු පෙර භවයේ අලියකු වී සිටි බවත්, මිනිසුන් මොහුගෙන් බර වැඩ ගනිද්දී මොහුට ඒ ගැන කථා කර කීමට බැරිකම නිසා බොහෝ චිත්ත පීඩාවෙන් කල් යැවූ බවත්, ඒ පීඩාව යටිහිතේ තැන්පත්ව අදත් කථා කිරීමේ අපහසුතාවෙන් පෙළෙන බවත් සොයා ගත්තේ ය. මොහුගේ රෝගයට හේතුවන පාප කර්මයේ මුල් බීජය පැළ වන්නේ අලියාගේ ආත්මයට පෙර භවයේ දී ය. අලියකු වීමට පෙර දකුණු ඉන්දියාවේ විසූ මහා ධනවතෙකි. ඔහු මිනිසුන්ගෙන් බර වැඩ ගත්තේ ය. ඔහු මිය ගියේ ද ඒ මිනිසුන් අතින් පහර කෑමෙනි.
මරණයෙන් පසු ඔහු පාවී යන අතර සිඟන්නියක් දැක ඇගේ කුස තුළ ඉපදෙන්ට බැලීය. එතැන පිළිස්සෙන ගතියක් දැනිණි. නැවතත් වනයේ පාවෙමින් යන විට යන්තමින් ඇතින්නකගේ කුස තුළට රිංගා ගැනීමට ඔහුට හැකි විය.
(පාපය බලවත් නිසා මිනිස් ලොව සිඟන ගැහැනියක කුස තුළවත් උපදින්ට බැරි විය.)
අලිපැටවා අල්වා ගත් මිනිස්සු ඔහුගෙන් බර වැඩ ගත්තෝ ය. පෙර ජීවිතයේ මිනිසුන්ගෙන් බර වැඩ ගත් නිසා ඔහුට ද බර වැඩ ම ලැබුණේ ය. තමාගෙන් බර වැඩ ගන්නා මිනිසුන්ට මේ වේදනාව කථාකර පැවසීමට නොහැකි වූ බැවින් ඒ වේදනාව යටිසිතේ තැන්පත් වී මේ ජන්මයේ දී ඔහුට කථාව අපහසු විය. ජයසිංහ මනෝවෛද්‍යතුමාට මෝහන නින්දේ දී ඔහුගේ යටිසිත අස්වසාලීමෙන් රෝගියා සුවපත් කළ හැකි විය.
මුව පැටියකු මිනිස් ලොව උපත ලබයි.
සමථ විදර්ශනා භාවනා මගින් අධි මානසික කුසලතාවයන් ලැබූ ගුරු මහත්මියක් ඇල්පිටිය පළාතේ සිටී.
දිනක් රත්නපුර පළාතේ ඉංජිනේරු මහතෙක් තම කුඩා පුතු සමඟ (වයස අවුරුදු 3 පමණ) කේන්දරය බලවා ගැනීමට ඇය හමුවට ආවේ ය.
ගුරුතුමිය කේන්දරය බලද්දී ඉදිරියේ ඇති කොට බිත්තියේ ඔළුව හප්පමින් පස්සට පනිමින් බබා දඟ කරන්නට විය. ගුරුතුමී කේන්දර බැලීම නවතා සුරතල් දරු පැටියාට, “අනේ මගෙ පුතේ මෙහෙ එන්න. මොනවද ඔයා ඔය කරන්නේ?” යැයි පැවසුවා ය.
“මට පුතේ කියන්න එපා.” දරුවා කීය.
“එහෙනම් මොකක්ද මම කියන්නේ ඔයාට?”
“මට මුවපැටියා කියන්න.”
“මුව පැටියා මොකක්ද ඔය කරන්නේ?”
“මම මගේ යාළුවෝ දෙන්නත් එක්ක සෙල්ලං කරනවා.”
“කවුද මුව පැටියගේ යාළුවෝ?”
“මයිනො දෙන්නෙක්. මම මයිනො දෙන්නත් එක්ක සෙල්ලං කරනවා.”
“කොහෙද මුව පැටියා ඉන්නේ?”
“මං හිටියෙ රද කැලේ. මයිනො දෙන්නෙක් එක්ක සෙල්ලං කර කර, අන්දර ගහකට නැගපු මිනිහෙක් මගෙ මෙන්න මෙතනට වෙඩි තිබ්බා.”
බබාගේ නළලට උඩින් හිසේ, පෙර භවයේ වෙඩි වැදීමෙන් වූ තුවාල කැළල දුටු බව ගුරුතුමිය මා හා පැවසුවා ය.
මිනිසුන් මැරී තිරිසන් ලෝකයේ උපත ලබන අවස්ථා ඇද්දැයි මා විමසූ විට ආශාවන් නිසා බොහෝ මිනිසුන් තිරිසන්, ප්‍රේත ආදී ලෝකවල උපදින බව ඇය පැවසුවා ය.
එක් අම්මා කෙනෙක් කෙකිණියක් වී උපත ලැබ ගේ ඉදිරිපිට ගසක් තම වාසභවනය කරගෙන කුඩා දියණියන් දෙදෙනා බලාගන්නා අයුරු ද ගැරඬියකු වී උපත ලද එක් මවක් ලොකු පුතා ගෙදරට එන දින ඇදී එන අයුරු ද ලොකු පුතා මිදුල උදලු ගාන විට ගසකට නැගී ඔහු දෙස බලා ඉන්නා අයුරු ද තවත් අම්මා කෙනෙක් කොරවක්කෙකු වී උපත ලැබ දරුවන් පාසල් යන විට ගසින් ගසට පැන දරුවන් බලන අයුරු ද ඈ මා හා විස්තර කළා ය.
මියපරලොව ගිය බොහෝ මාපියන් තම නිවසට, දරුවන්ට ඇති ආශාව අතහැර දමා යා නොහැකිව ප්‍රේතලොව ඉපිද දුක් විඳින අයුරු ද ඇගේ අපූරු ඤාණ ශක්තියෙන් ඇය දකින්නී ය.
“මෑණියනි, ඔබතුමිය මේ අපූරු හැකියාවන් ලබා ගත්තේ කෙසේ දැ?” යි මම විමසුවෙමි. සුදු සාරිය අඳින මේ පින්වත් ගුරුතුමිය දසසිල් මාතාවක් ලෙස සලකා අපි ඇය “මෑණියන්” නමින් අමතමු.
ඇය මඳ සිනාවක් පා මම Brain Waves යවා බලමි. Telepathy ද ප්‍රයෝජනයට ගනිමි. (දිවැස හා පරසිත් දක්නා නුවණ ද ඇයට ඇත.)
තමා මේ අපූරු ඤාණ විශේෂ ලබා ගත්තේ කුඩා කල තලගල භාවනා මධ්‍යස්ථානයේ (හෝමාගමට නුදුරු තැනකි) භාවනාවේ යෙදී සිටිද්දී බව ඈ මා හා පැවසුවා ය. ඇගේ වයස එවකට අවුරුදු 11කි.
මේ විෂය ගැන උනන්දුවක් දක්වන මා දන්නා මහාචාර්යවරු ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිටින නිසා මම ඇයට එම විශ්වවිද්‍යාලයේ සිසුන්ට දේශනයක් දීමට පැමිණෙන ලෙස ආරාධනා කළෙමි.
“අපට ඕවට වෙලාවක් නැහැනේ.” කියා මඳ සිනාවක් පා ඇය ඊට අකැමැත්ත පළ කළා ය.
අමෙරිකාවේ එඩ්ගා කේසිලා මෙන් මොවුහු ලොව පුරා ප්‍රකට නොවෙති. මොවුහු කැළේ පිපී කැළේ ම පරවී යන කැළෑ මල් මෙන් තම ගුණ සුවඳ බෙදා නොදී ම පරවී යති.
ප්‍රේත ලොව උපන් නංගී
මා දන්නා කාන්තාවක් ප්‍රජාපතී ආරාමයේ, උදේ දානය දීමට ඇයට අවශ්‍ය බව පැවසුවා ය. දානයට බඩු ගෙනගිය අපි එදින රාත්‍රී ආරාමයේ නැවතුනෙමු.
රාත්‍රී 9.00ට පමණ මෑණියෝ අප කැඳවූහ. “ඔයාගේ ගෙදර පිටුපස දෙහි ගහ යට කවුද අර ගැහැනු ළමයෙක් අඬ අඬා ඉන්නේ?” මෑණියන්ගේ පැනයට කාන්තාව කිසිවක් නොදන්නා බව පැවසුවා ය.
“වසර 16ක පමණ ගැහැනු ළමයෙක්. කොණ්ඩය කොටට කපලා. වස බීලා මැරිලා තියෙන්නේ?”
“අනේ මෑණියනේ මගේ නංගී වස බීලයි මැරුණේ. වයස 16 දී ඇති වූ ප්‍රේම සම්බන්ධයක් නිසා. මං කොහොමද ඇයට සලකන්නේ?”
“හෙට උදේ ඇගේ නම කියා පින් දෙන්න. මමත් පින් දෙන්නම්. ඇය පින් අරගෙන සුවයක් ලබාවි.” මෑණියෝ ඇය අස්වසාලූවෝ ය.
ප්‍රේතලොව උපන් මාපියෝ
රජයේ ඉතා ඉහළ නිලයක් දැරූ ධනවතෙක් රජයේ මුදල් අයුතු ලෙස ලබා ගත්තේ ය. ගෙදරට ආ ගිය තරුණියකගේ විළිබිය ද සිඳ දැමුවේ ය.
ඔහුගේ බිරිය රියදුරු සමඟ අනියම් සබඳකමක් ගොඩ නගා ගත්තා ය. කලකට පසු මේ මහා ප්‍රභූවරයා මියගොස් උපන්නේ නගරයේ වැසිකිළි වළ තුළ ය.
ප්‍රභූවරයාගේ දියණිය තම මිතුරිය සමඟ පන්සලකට ගොස් බෝධිපූජාවක් කර පියාට පින් දුන්නා ය. ඒ සමඟම දියණියට පියාගේ ආවේශයක් ඇති විය. ඇය (ප්‍රභූවරයා) කථා කර ළඟ සිටින මිතුරියගෙන් ඇය අනාථ කළ වරදට සමාව ඉල්ලන්නට විය.
ප්‍රභූවරයා අතින් අතවරයට ලක්වී තිබුණේ මේ තරුණියයි. තමා නගරයේ වැසිකිළි වළ තුළ ඉපදී සිටින බවත්, ඇය තමාට සාප කරන හැම විටම තමාගේ සිරුරින් ගිනිදැල් නිකුත් වී මුළු සිරුරම පිළිස්සී යන බවත් හඬමින් පැවසුවේ ය.
“සර්, ඔබ තනිව ම ද ඔය වළ තුළ සිටින්නේ?” යනුවෙන් ඇය ඇසූ පැනයට පිළිතුරු දුන් ඔහු තමා මෙන්ම වැරදි කළ තවත් ප්‍රභූවරු මේ වළ තුළ සිටින බවත්, මේ අයගෙන් කොන්ත්‍රාත් ගෙන රජයේ මුදල් අයුතු ලෙස පාවිච්චි කළ තවත් පිරිසක් එහි උපත ලබා සිටින බවත් විස්තර කළේ ය.
දියණියගේ මිතුරිය ඔහුගේ මිය ගිය බිරිය කොහිදැයි ඇසූ විට ඇය අනියම් සබඳකම නිසා නිර්වස්ත්‍ර ප්‍රේතියක් වී එම රියදුරා සමඟ ම ගේ ඉදිරිපිට වත්තේ කොස්ගස යට බඩගින්නේ පසුවන බවත්, තමන්ට මේ නරාවළෙන් ගොඩ ඒමට නොහැකි වුවත් මෑණියන්ට පින් පමුණුවා ඇය ඒ දුකින් නිදහස් කර ගැනීමට දියණියට කියන ලෙසත් මිතුරියට දන්වා සිටියේ ය.
පියාගේ ආවේශය ඉවත් වූ පසු මිතුරිය ප්‍රභූවරයාගේ දියණියට සියලු විස්තර පැවසුවා ය.
සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායේ “ප්‍රේත වත්ථු” ප්‍රේත ලෝකය පිළිබඳව කරුණු දැනගැනීමට උනන්දු වන අයට වටිනා දැනුම් සම්භාරයක් ලබා දෙන්නකි.
කේ. කමලා කුලතුංග
Recent Comments