“මොකද අබිලිං මේ හතිදාගෙන. මහසෝනාවත් දැක්ක ද?”

“දැක්කනං මොකෝ එන්සිනෝ, අන්න ගුරුන්නාන්සෙට මහසෝනා ආවේස වෙලා. ලොකු හාමුදුරුවන්ට හොඳටෝම බැණලා, අඩිය පොළොවෙ හප්පල ආවලු. ආයෙ මැරෙනකං පන්සලේ පස් පාගන්නෙ මේ කකුල් දෙකෙන් එහෙම නෙමෙයි කියල.”

අබිලිං ඔය කථාව කියද්දි සොමි නෝනගෙ ඇස්වලින් කඳුළුත් පැන්න. දයාවතී කම්මුලේ අතක් තියාගෙන කටත් ඇරන් තමයි අහං හිටියෙ. ඒ වුණාට ඩිංගි මහත්තයයි සෝමදාස ළමයයි නම් වැඩිය ගනං ගත්තෙ නෑ.

එතකොට ආයෙත් අබිලිං “ඕං අහගත්තනෙ හොට් හොට් නිව්ස්. මේ අබිලිං යමක් කිව්වොත් ආයෙ ඒකෙ දෙකක් නෑ. ඕං කිවුවා මේං ගියා.” කියලා යන්න ගියා.

ඊට පස්සෙ එන්සිනා කියනවා “ඈ සොමිනෝනො, මොකක්ද ඒ අබිලිං ඇදබෑව හරුපෙ තේරුම. මගේ මුළු සර්වාංගෙම හීතල වුණා ඒක අහද්දි.”

එතකොට සොමිනෝනා, “ඒක නේන්නං එන්සිනෝ, මගෙත් පපුව හෝස් ගාල පිච්චිල ගියා ලොකු හාමුදුරුවන්ට බැණ්නයි කිව්වම. අපෙ අප්පේ අහස පොළොව උහුලන දෙයක් ද මේ අපරාධෙ. ඒත් ඉතිං පන්සලේ සද්ධාවන්ත ම උපාසකයා ගුරුන්නාන්සෙ නොවැ. උන්දැගෙ ශ්‍රද්ධාවට මක්ක ද වුණේ.”

කම්මුලට අත තියං හිටි දයාවතී කියනව “සර්ධාව විතරයෑ ගුරුන්නාන්සේගේ පරඤ්ඤාව. අප්පේ මහණ නූනට ලොකු හාමුදුරුවො වගේ ම යි. අගේට බණත් දන්නව. හොඳට කල්පනා කොරලා ගැඹුරින් කියන්නෙ. මං අහන්නේ මේ ගමේ කාටද තියෙන්නෙ ඒ වගේ පරඤ්ඤාවක්. ඇත්තටම ලොකු හාමුදුරුවන්ගෙ වැරැද්දක්වත් ද?”

දයාවතීට උත්තර බැන්දෙ සෝමදාස ළමයා.
“ලොකු හාමුදුරුවන්ගේ නෙමෙයි. ඔහෙලගේ වැරදි.”

ඔන්න දයාවතීගෙ මූණ රතු වෙන වෙලාව. රෙද්ද හිර කර කර දයාවතී කියනවා, “ඈ බොලව් අහවල් පලහිලව්වට ද අපි වැරදි. ගුරුන්නාන්සෙයි ලොකු හාමුදුරුවන්ට බැණ්නෙ. අහක ඉන්න අපි තමා දැන් වැරදිකාරයො. තුක් විතරක්….”

එතකොට ඩිංගි මහත්තයා, “නෑ නෑ දයාවතී අක්කෙ. කේන්ති ගන්න දෙයක් නෑ. මේ සෝමදාස ළමයා කියන කතාවෙ පොඩි ඇත්තක් තියෙනවා. නැතුව නෙවෙයි. හැබැයි නොදන්න දේවල්වලට කට ගහන්ඩ ගිහින් ලොකු හාමුදුරුවන්ට දොස් කිව්වොත් හරි හිත අපහදවගත්තොත් හරි ඒක නං මහ ම මහ පාපයක්. මොකද ඒ උත්තමයනෙ අපිට බණ පදයක් හරි ඉගැන්නුවෙ. අනික මේ ගමේ මිනිස්සු යහමගට ගන්ඩ කොච්චර ලොකු දෙයක් කෙරුව ද? ලොකු හාමුදුරුවො ගැන අපිට ඒ කෙළෙහිගුණේ තියෙන්ට ඕනේ.”

සොමිනෝනා ටිකක් හිනාවෙලා කියනව, “ඇත්තටම සෝමදාස ළමයො ඔය දයාවතී කියනව වගේ ගුරුන්නාන්සෙ හරි පරඤ්ඤාවන්තයි කියලනේ මාත් හිතුවෙ.”

ඒකට උත්තර දුන්නෙ ඩිංගි මහත්තයා. “නෑ සොමිනෝනො, මට මතකයි අපේ ලොකු හාමුදුරුවො කියනවා ගොඩක් අයට ප්‍රඥාවයි, පටිභානයයි දෙක පැටලෙනවලු. පටිභානය කියන්නේ යමක් විස්තර වශයෙන් නිර්මාණශීලී ව වැටහෙන ගතියට. ප්‍රඥාව යෝනිසෝ මනසිකාරයෙන් ඇතිවන දෙයක්. නේ ද සෝමදාස ළමයො?”

“ඔව් ඩිංගි මහත්තයො. හරි සියුම් කරුණක්. බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ ‘පඤ්ඤා නරානං රතනං’. මනුෂ්‍යයාගෙ වටිනා ම මැණික ප්‍රඥාව කියලයි. ප්‍රඥාව ඇතිවෙන්නෙ යෝනිසෝ මනසිකාරයෙන් කියනව. ඒ කියන්නෙ අපේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය ඒ විදිහට ම නුවණින් මෙනෙහි කරන එකයි යෝනිසෝ මනසිකාරය කියන්නෙ.
උදාහරණයක් ගන්නකො, ඨාන සූත්‍රයේ තියෙනවා ගිහියෙක් හරි පැවිද්දෙක් හරි කාරණා 5ක් නිතර සිහිකරන්න කියලා. මං ජරාවට පත්වෙනවා, ලෙඩ වෙනවා, මැරෙනවා, ප්‍රියමනාප දෙයින් මට වෙන් වෙන්ඩ වෙනවා, මං කර්මය දායාද කරගෙන ඉන්න කෙනෙක්. ඊ ළඟට මං විතරක් නෙමෙයි. ලෝකෙ හැම සත්වයෙක් ම මේ සොබාවෙන් යුක්තයි කියල නිතර දෙවේලෙ සිහිකරන්ඩ, එතකොට නිවන්මග උපදිනවා කියල වදාළ නොවැ.

ඕක ඇහුවට පස්සෙ අපි මොකද කරන්න ඕන? ඒ විදිහට ම සිහි කරන්න ඕන. ඒක තමයි යෝනිසෝ මනසිකාරය කියන්නෙ. සරලයි වගේ පෙනුනට අපිටත් ගැඹුරු ප්‍රඥාවක් කරා යන්ඩ ඔය දේශනාව ඔය විදිහට ම සිහිකිරීම හොඳට ම ප්‍රමාණවත්. බුදු කෙනෙක් වදාළ ධර්මයක් නොවැ.”

ඒ වෙලාවෙ එන්සිනා කියනවා, “අනේ ඩිංගි මහත්තයො ඔය පටිභානය කියන වචනෙ ගැනත් තව ඩිංගක් කියලා දුන්නනං…”

“මෙහෙමයි එන්සිනෝ, අපේ භාග්‍යවතුන් වහන්සේ ඨිති කියන සූත්‍රයේ දී වදාළා තථාගතයන් වහන්සේ වර්ණනා කරන්නෙ ශ්‍රද්ධා, සීල, ශ්‍රැත, චාග, ප්‍රඥා, පටිභාන කියන කුසල්වල දියුණුවීමයි කියල. එතකොට පටිභානය කියන්නෙ කුසලයක්. ධර්මයේ අර්ථය විස්තර වශයෙන් වැටහෙන එකයි එතන පටිභානය කියන්නෙ. ඒක ප්‍රඥාවට උපකාරයි. ඒක කුසල්වල දියුණු මට්ටමක්. හැබැයි ඊට කලින් සමහරුන්ට හොඳ නිර්මාණශීලී හැකියාවක් පටිභානය වගේ පිහිටන්න පුළුවන්. එතකොට එයා ලස්සනට පොත් ලියනවා. කවි ලියනවා. හැඩට බණ කියනවා. ලස්සන ගොඩනැගිලි හදනවා. ඒක ධර්මයේ දියුණුවක් නොවෙයි. හිතේ හැකියාවක්. මතක ශක්තිය වගේ. ඒ නිර්මාණශීලී හැකියාව නිහතමානීව ශ්‍රද්ධාවෙන් හිත රැකගෙන පාවිච්චි කළොත් කුසල් උපදවන්ඩ පුළුවං. නමුත් අනුන් හෙළා දැක්කොත්, මාන්නෙ ඇති වුණොත්, තමන්ට ආයෙ කවුරුත් ඕන නෑ කියලා හිතුවොත් ඉතිං හැකියාව ම විනාසයට හේතු වෙනවා. ඒ කියන්නේ අයෝනිසෝ මනසිකාරයයි, නිර්මාණශීලී හැකියාවයි තමා හිතේ වැඩ කරන්නෙ. නමුත් හැඩට බණ කියනකොට, ගැඹුරු පොත් ලියනකොට පිටට පේන්නෙ ධර්මය තුළ දියුණුවෙලා කියල. තමනුත් රැවටෙනවා. අනුනුත් රැවටෙනව. ඔක්කොම අමාරුවෙ වැටෙනව. පැහැදිලියි නේ ද?”

සෝමදාස ළමයා කියනවා එතකොට, “හොඳට පැහැදිලියි ඩිංගි මහත්තයො. දැං ගමුකො මතක ශක්තිය. ඒක හිතේ හැකියාවක් නොවැ. කෙනෙක් ඒ හැකියාවෙන් ධර්මය මතක තියාගෙන ගුණධර්මවල පිහිටල බණ කියනවා. පිං කර ගන්නවා. තව කෙනෙක් තමන්ගෙ මතක ශක්තියෙන් මාන්නෙ ඇති කරගෙන අනුන් පහත් කරල දානව. එතකොට හැකියාවක් විතරයි. කුසල් උපදින්නෑ.”

“අන්න හරි සෝමදාස ළමයො. එතකොට ගුරුන්නාන්සෙට හොඳ මතක ශක්තියකුයි, නිර්මාණශීලී හැකියාවකුයි තිබ්බා. හැබැයි අයෝනිසෝ මනසිකාරයේ යෙදුණා. අන්තිමට උගන්නපු ගුරුවරයත් අමතක වුණා. තමන් තමයි කෙරුම කියලා හිතුවා.”

එතකොට සොමිනෝනා කියනවා, “අපිත් ඉතිං ගුරුන්නාන්සෙ කිය කිය උන්දැටත් ලොකු හාමුදුරුවන්ට වගේ සැලකුවනෙ. නිකම් ම මාන්නෙ එන්ඩ ඇති.” සෝමදාස ළමයට හිනා ගියා. “ආං ඒකයි දයාවතී අක්කෙ මං මුලිං කිව්වෙ අපිත් වැරදියි කියල. ගුරුවරයා තියන්ඩ ඕන ආසනේ වෙන කෙනෙක් තිබ්බට හරියන්නෑ. තිබ්බ ගමං කාටත් වැරදෙනවා.”

ඩිංගි මහත්තයා කියනවා, “අනික සෝමදාස ළමයො ඕකෙ තියෙන ලොකු ම අනතුර තමයි සමහරු ඊට පස්සෙ ධර්මයත් තමන්ට ඕන ඕන විදිහට අර්ථ දක්වන්ඩ ගන්නවා. භාග්‍යවතුන් වහන්සේත් ඉක්මවා ගන්ඩ ගිහිල්ල අන්තිමට හොම්බ බිම ඇනගන්නව. හැබැයි ඉතිං හිතං ඉන්නෙ සුපිරි කියල. අං දෙකයි, වලිගෙයි උස්සගෙන ගුරුවරයටත් ඇනල දුවනවා. ආයෙ ඇල්ලිලි බොරු.”

ඒ කථාවට කෝපි කඬේ කාටත් හිනා ගියා. හිනාව අඩුකරගෙන දයාවතී කියනවා, “ඩිංගි මහත්තයා ඔහොම කියනකොට මට හිතෙන්නෙ ඔක්කොටම වඩා වටිනවා අර අප්පුවල, සුවඳල පන්සලට වෙලා අතු පතුගාගෙන වළඳක් හෝදගෙන ඉන්න විදිහ. ගමේ ලොකු ප්ලේස් එකක් නැතුවට කාටත් ඔළුව නමාගෙන ලොකු හාමුදුරුවන්ටත් ගෞරවයෙන් ඔය ඉන්නෙ යස අගේට. පිනකුත් කරගෙන.”

දයාවතී එහෙම කියද්දි සොමිනෝන කියනවා, “ඒකනං හැබෑව, ලොකු හාමුදුරුවොත් නිතර කියන්නෙ පෙලේස් එකට ආසා කොරන්ඩ එපා. පිනටයි ආසා කොරන්ඩ ඕන කියලනෙ. ලොකු ලොකු කී දෙනෙක් නම් අන්තිමට ලොකු හාමුදුරුවො වඩින ඒ දණ්ඩට ගිරීස් වක්කොළා ද? පවු අපේ ලොකු හාමුදුරුවො. ඒත් අපිට ම උදවු කරනව. පුදුම කරුණාවක්.”

එතකොට සෝමදාස ළමයා, “මටත් ආරංචි උනේ ගුරුන්නාන්සෙගේ දෝසෙකට ලොකු හාමුදුරුවො දෙතුන් වතාවක් අවවාද කළාලු. ඒක තමයි ගුරුන්නාන්සෙ වැරදිවට අරං තියෙන්නෙ. පවු ඉතිං පිරිහෙන කාලෙ හැටි. ඔව්ව අපිටත් හොඳ පාඩං. සිහියෙන් හිටියෙ නැත්තම් අපිටත් ඔච්චර තමයි. අර ධම්මපදේ තියෙන්නෙ

“ඕවදෙය්‍යානුසාසෙය්‍ය – අසබ්භා ච නිවාරයේ
සතං හි සෝ පියෝ හෝති – අසතං හෝති අප්පියෝ” කියල. අවවාද අනුශාසනා කරන්ටත් ඕන. වරදින් වළක්වා ගන්නත් ඕන. සත්පුරුෂයන්ට ඒ සත්පුරුෂයන් ව ප්‍රියයි. ඒත් අසත්පුරුෂයෙකුට නම් ඒ සත්පුරුෂය ව අප්‍රියයි කියලයි ශාස්තෘන් වහන්සේ වදාළේ.

ඊට පස්සෙ ඩිංගි මහත්තයා “ඒකනෙ, ලොකු හාමුදුරුවො පහුගිය කාලෙ කිව්වෙම නිහතමානී වෙන්ඩ. කෙළෙහිගුණ තියාගන්ඩ. ගුණධර්ම රැකගන්ඩ. ඊ ළඟට පුළුහාං තරං පිං කරගෙන මේ පිරිහෙන කාලෙ ආයෙත් මනුස්ස ලෝකෙට එන්නැතුව දිවිය ලෝකෙට පැනගනිල්ල කියලමනෙ කියන්නෙ. ඒ දිවිය ලෝකෙට යන්ට කියන්නේ විනෝද වෙන්ට නෙවෙයි බොලව්. සත්පුරුෂ දෙවිවරුන්නේ ආස්සරේ ලබන්ටයි. අබ ඇටේක මොළයක් තියෙන එකෙකුට ලොකු හාමුදුරුවන්ගෙ ඔය අවවාදෙ ම ඇති ජීවිතේ හදාගන්ඩ. එහෙනං ඉතිං ඕං අපි ගියා. කාටත් බුදු සරණයි.” කියපු ඩිංගි මහත්තය කෝපි කඩෙන් එළියට බැස්සා. අනිත් අයත් එක එක්කෙනා පිටත් වුණා. කෝපි කඬේ ලෑලි දොරත් වැහුන.

මහමෙව්නාව අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි