highlights of the week
Home » නුවණ වැඩෙන බෝසත් කථා » 14. වාතමිග ජාතකය

14. වාතමිග ජාතකය

සුළඟේ වේගයට දුවන මුවාගේ කථාව

පින්වතුනේ, පින්වත් දරුවනේ,
සිහි නුවණින් කටයුතු කරන්ට අපොහොසත් වීම නිසා මහා පින්වත් උතුමන් පවා පිරිහී යනවා. මෙයත් එවැනි ශෝචනීය කතාවක්. ඉතා හොඳින් ගුණධර්ම වැඩූ භික්ෂූන් වහන්සේ නමක් දානය හේතුවෙන් දායකයින් සමග අනවශ්‍ය ලෙස හිතවත් වීමෙන් විපතට පත්වූ විස්තරයකුයි මෙහි සඳහන් වෙන්නේ.
අපගේ භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර වැඩ වසද්දී මහා ධනවත් සිටු පවුලක තිස්ස නමින් එකම කුමාරයෙක් හිටියා. මොහුත් නිතරම බණ අසන්න වේළුවනාරාමයට ගියා. මොහුටත් සසර දුකින් එතෙර වෙන්න දැඩි කැමැත්තක් ඇතිවුනා. ගිහි ජීවිතේ අත්හැර පැවිදි වෙන්න තීරණය කළා. මා පියන් ගෙන් අවසර ඉල්ලුවා. ඒත් සිටුයුවළ තමන්ගේ එකම පුත්‍රයා පැවිදි වෙනවාට කිසිසේත් කැමැති වුනේ නෑ. ඔවුන් ඒ අදහසට දැඩිසේ විරුද්ධ වුනා. එතකොට තිස්ස කුමාරයාත් රට්ඨපාල කුමාරයා වගේ සතියක් නිරාහාරව බිම වැතිරිලා හිටියා. අන්තිමේදී දරුවාගේ ජීවිතය රැකගැනීම පිණිස මා පියන් පැවිද්දට අවසර දුන්නා.
තිස්ස කුමාරයා මහත් ශ්‍රද්ධාවෙන් පැවිදි වුනා. භාග්‍යවතුන් වහන්සේ චාරිකාවේ වඩිද්දී මේ භික්ෂුවත් ඒ සමග වැඩියා. පිළිවෙළින් සැවැත් නුවරටත් වැඩියා. මේ භික්ෂුව දන් වැළඳුවේ පිණ්ඩපාතෙන් විතරයි. සියළු ධුතාංග සමාදන් වුනා. ‘චුල්ල පිණ්ඩපාතික තිස්ස තෙරුන් වහන්සේ’ නමින් අහස් තලයේ පුන් සඳක් සෙයින් සෑම තැනම ප්‍රසිද්ධ වුනා. බොහෝ නවක භික්ෂූන් මේ චුල්ල පිණ්ඩපාතික තිස්ස තෙරුන් වගේ වෙන්න ආසා කළා.
ඔය කාලේ රජගහනුවර එක්තරා නැකැත් උත්සවයක් පැවැත්වුනා. ඒ නැකැත් උත්සවය දවසේ තිස්ස තෙරුන් ගේ දෙමාපියන් කුමාරයාගේ ආභරණ තැන්පත් කළ රිදී කරඬුව ළඟට ගියා. ඒ ආභරණ එළියට ගත්තා. ඒවා අත ගගා හඬන්න පටන් ගත්තා.
“හනේ…. අයියෝ…. ඉස්සර අනෙක් කුමාරවරු නැකැත් කෙළියට යද්දී අපේ පුත් කුමාරයාත් මේවා පැළඳගෙන රාජකුමාරයෙක් වගේ සැරසිලා ගියා නේද! අනේ අපේ එකම පුතාත් මහණ කරවාගෙන ශ්‍රමණ ගෞතමයන් සැවැත් නුවර ගියා ගියාමයි. අයියෝ…. කිසිම තොරතුරක් නෑ…. කොහේ ඉන්නවාද දන්නෙ නෑ….. හනේ… අපේ සිටු පවුලට වෙච්චි නැස්පැත්තිය!”
ඒ වෙලාවේ ඔවුන් හා හිතවත් එක් වෛශ්‍යා ස්ත්‍රියක් ඒ නිවසට ගියා. සිටු පවුල හඬ හඬා ඉන්නවා දැකලා මෙහෙම ඇහැව්වා.
“අහෝ… සිටුදේවී…. ඇයි මේ…. ආභරණ ගොඩකුත් එළියට අරගෙන මොකෝ මේ හඬ හඬා ඉන්නේ?”
“අනේ දුවේ…. ඔයා ඉතින් දන්නවා නේ…. අපේ තිස්ස කුමාරයා මහණ වුන වග. සැවැත් නුවර ගියා ගියාමයි. කිසිම තොරතුරක් නෑ…. හ්ම්…. මදෑ අපට වෙච්චි දේ.”
“හා… හ්…. සිටුදේවී…. තිස්ස කුමාරයාට ගොඩාක් ආදරෙයි වගේ.”
“දුවේ…. අපේ එකම පුත්‍රයාට ආදරය නොකොට වෙන කුමක් කරන්ට ද! මේ මහාධන සම්පත්තිය තිබෙන්නේ එයා වෙනුවෙන් නේ!”
“සිටු දේවිය, මං ඔයාලගේ එකම පුත්‍ර රත්නය ආයෙත් කැඳවාගෙන ආවොත් මට මේ ගෙදර සියලු ඉසුරු පවරලා දෙන්න කැමැති ද?”
“අනේ මයෙ දුවේ…. මොනවා අහනවා ද…. එහෙම වුනොත් මේ සේරම දේපළ වස්තුව ඔයාට තමයි. ඔයා තමයි මගේ පුත්‍රයා ගේ බිරිඳ වෙන්නේ.”
ඒ වෙසඟනට තම පුතාව පොළඹවා ගැනීමට වුවමනා වියදම් පිණිස ධනයත් සිටු ගෙදරින් ලැබුනා. සේවක පිරිවරත් ලැබුනා. ඔවුන් රහසේ ම සැවැත් නුවර පිටත් වුනා. ධුතාංගධාරී චුල්ල පිණ්ඩපාතික තිස්ස තෙරුන් පිඬුසිඟා වඩින මාවත සොයාගත්තා. නිවසක් කුලියට ගත්තා. සිටු ගෙදරින් ආ සේවක පිරිස නිතරම තෙරුන්ට නොපෙනී සිටින්ට වග බලා ගත්තා. අති ප්‍රණීත ලෙස දානයත්, ප්‍රණීත බීම වර්ගත් සකසලා පූජා කළා. මේ මායාකාරී ස්ත්‍රිය ටිකෙන් ටික චුල්ල පිණ්ඩපාතික තිස්ස තෙරුන් ගේ කැපකරු දායිකාවක් බවට පත්වුනා. දැන් තිස්ස තෙරුන් වහන්සේ මේ දායිකාව සමඟ මොනතරම් හිතවත් ද යත් දැන් ඈ තම නිවසට ම වැඩම කොට දන් වළඳන්න කියලා තිස්ස තෙරුන්ට ආරාධනා කළා. රසයට ගිජුව සිහි නුවණින් තොරව දැන් ඒ නිවසට වැඩම කොට දන් වළඳනවා. ලස්සනට පුණ්‍යානුමෝදනා කරනවා.
දිනක් තෙරුන් වහන්සේ ඒ නිවසට පිණ්ඩපාතේ වැඩියා. සේවක ජනයා පැමිණ තෙරුන් වැඳ පාත්‍රය අතට ගත්තා. තෙරුන්ට නිවසේ වැඩ හිඳින්න සැලැස්සුවා.
“පින්වත්නි… අපේ උපාසිකාව කෝ?”
“අනේ ස්වාමීනී…. ඈට හොඳටෝ… ම අසනීපයි. ඔබවහන්සේ ගෙන් ආශීර්වාද ලබාගැනීමට ඈ මහත් ඕනෑකමින් බලාසිටිනවා. ඈට අනුකම්පා කොට ඇගේ කුටියට වඩින්න ස්වාමීනී.”
එතකොට තිස්ස තෙරුන්ට තමන් මෙතෙක් කල් ධුතාංග සමාදන්ව සිටින භික්ෂුවක් බව අමතක වුනා. රස තණ්හාවට බැඳී තමන් ගේ ධුතාංගත් බිඳගෙන සිහිනුවණත් බිඳගෙන ඇය නිදාසිටි කුටියට පිවිසුනා. කුටියට ඇතුළු වූ සැණින් ඒ වෙසඟන තිස්ස තෙරුන්ව පොළඹවා ගත්තා. සිවුරු හරවා ගත්තා. තමන් පැමිණි කාරණය සැළකළා. අශ්ව රථයක නංවා ගෙන මහත් පිරිවර සහිතව රජගහනුවරට ගියා. කාම මඩගොහොරුවේ ම ගිලී ගියා.
දම්සභා මණ්ඩපයේ රැස්වූ භික්ෂූන් වහන්සේලා තිස්ස තෙරුන්ට අත්වූ මේ කණගාටුදායක ඉරණම ගැන කතාබස් කරන්න පටන් ගත්තා.
“ඇවැත්නි, හරි පුදුම වැඩක් නොවැ වුනේ…. මහාධුතාංගධාරීව හිටියේ. හැම තිස්සේම විනය ගැන සැලකිලිමත් වුනා. නමුත් තමන්ගේ සිත වෙනස් වෙවී ධර්මයෙන් ඈත් වී යන බව දැක්කේ නෑ. වෙසඟනකගේ දාන වේලකට රැවටුනා.
භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ දැනගන්ට ලැබුනා.
“මහණෙනි, ඔය භික්ෂුව රස තණ්හාවට බැඳිලා අනුන්ගේ වසඟයට ගියේ මේ ආත්මයේ විතරක් නොවෙයි. පෙර ආත්මයේත් රස තණ්හාවට හසු වීමෙන් ඔය ගැහැණිය ගේ ම වසඟයට ගියා.”
එතකොට ඒ භික්ෂූන් වහන්සේලා ඒ අතීත කථාව කියාදෙන්න කියලා භාග්‍යවතුන් වහන්සේ ගෙන් ඉල්ලා සිටියා. භාග්‍යවතුන් වහන්සේ මේ වාතමිග ජාතකය වදාළා.
“මහණෙනි, ගොඩාක් ඉස්සර කාලෙ බරණැස් පුරේ බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ට සංජය කියල උයන්පල්ලෙක් හිටියා. රාජ උද්‍යානය බලාකියා ගත්තේ මේ උයන්පල්ලා. ඔය උයනට එක්තරා මුවෙක් එනවා. හුළඟ වගේ වේගයෙන් දුවන ‘වාතමිග’ කියන මුවෙක්. මේ මුවා උයන්පල්ලා දුටු සැණින් නොපෙනී යනවා. එතකොට මේ සංජය කළේ නොදැක්කා වගේ හිටිය එක. වාතමිග නමැති මුවාත් නැවත නැවතත් උයනට එන්න පුරුදු වුනා. සංජය උයන්පල්ලා උයනේ හටගන්නා නොයෙක් මල් පළතුරු දිනපතා මාළිගාවට ගෙනියනවා. දවසක් රජතුමා උයන්පල්ලා ඇමතුවා.
“හා… සංජය… කොහොමද උයනේ තොරතුරු? කිසියම් විශේෂ දෙයක් නැද්ද?”
“දේවයන් වහන්ස, අමුතු විශේෂ දෙයක් නම් නෑ. නමුත් ‘වාතමිග’ කියන වර්ගයේ එක්තරා විශේෂ මුවෙක් නම් උයනට එනවා. දැන් ටික ටික මටත් පුරුදුයි වගේ. කලින් තරම් ම මාව දැක්ක ගමන් පලායන්නෙ නෑ.”
“ඒ මුවාව අපට අල්ල ගන්න බැරිද?”
“මං හිතන්නේ දේවයන් වහන්ස, මට මී පැණි ටිකක් ලැබුනොත් රජ මැදුරට ම ඒ අපූරු මුවාව අරං එන්න පුළුවන් වේවි.”
රජතුමාගෙන් සංජයට මී පැණි ලැබුනා. එදා සංජය උයනට ගිහින් මුවා හැසිරෙන තැන්වල තණකොළ වල මී පැණි ටික ටික තැවරුවා. මුවා වෙනදා වගේ ම ආවා. තණකොළ කෑවා. රසයට වසඟ වෙලා ගියා. වෙන තැන්වල නොගිහින් දැන් කෙලින් ම උයනට එනවා. මී පැණි තැවරුන රසයට හොඳට වසඟ වුන බව තේරුන සංජය උයන්පල්ලා ටික ටික තමන්ව පේන්න සැලැස්සුවා.
දවස් කීපයක් ගෙවිලා ගියා. මුවාට දැන් උයන්පල්ලා ගැන හොඳට ම විශ්වාසෙ ඇතිවුනා. දැන් මුවා ඇවිත් උයන්පල්ලා ගේ අතින් ම තණකොළ කන්න පටන් ගත්තා. ඒ තරමට විශ්වාසය වැඩිවුනා. එතකොට සංජය උයන්පල්ලා රජුට මේ විස්තර දැනුම් දුන්නා. දවසක් උයනේ සිට රජමැදුර දක්වා ඇති වීදියේ දෙපස කලාල වලින් නොපෙනෙන්න වටකළා. තැනින් තැන කොළඅතු දැම්මා. උයනට ම අයිති තැනක් වගේ පෙනෙන්න සැලැස්සුවා. සංජය උයන්පල්ලා ලබු කැටයකට මී පැණි පුරවා ගත්තා. අලුත් තණකොළ මිටියක් කිසිල්ලේ රඳවා ගත්තා. මී පැණි ටික ටික තැවරූ තණකොළ මුවා ඉදිරියෙන් දමන්න පටන් ගත්තා. මුවා දන්නේ ම නැතිව මාළිගාව ඇතුළට ම ආවා. එක්වරම දොරටු වැහුනා. මුවා හිස ඔසවා වටපිට බැලුවා. හැම තැනම මිනිස්සු. හොඳට ම මරණභය ඇතිවුනා. මාළිගයේ ඇතුලේ මිදුලේ වටේට ම මහා කලබලෙන් දුවන්න පටන් ගත්තා.
ප්‍රාසාදයේ සිට රජතුමා මේ මුවා බියට පත්ව කලබලෙන් දුවන හැටි බලා හිටියා. මහත් අනුකම්පාවක් හටගත්තා. රජතුමා මෙහෙම කිව්වා.
“බලන්න මිත්‍රවරුනි, ඔය වාතමිග වර්ගයේ මුවෙක්. යම් තැනක දී මිනිසෙක් දැක්කොත් හත් දවසක් ඒ පළාතටවත් යන්නෙ නෑ. යම් තැනක දී තර්ජනයට ලක්වුනොත් මුළු ජීවිතේට ම ඒ පැත්තට යන්නෙ නෑ. මේ මුවා එබඳු හුදෙකලා සතෙක්. නමුත් බලන්න. රසයට ගිජුවීම නිසා මෙවැනි තැනකටත් ආවා නොවැ. අහෝ! ලෝකයෙහි රස තෘෂ්ණාව යනු ඒකාන්තයෙන් ම ලාමක දෙයක් ම යි!” කියූ රජතුමා මේ ගාථාව පැවසුවා.
“ගේ දොර ගැන හිතමිතුරන් ගැන ඇති
– යම් ඇල්මක් ඇති වේ නම්
ඊට වඩා මහ පවිටු දෙයක් ම යි
– කන බොන දේ ගැන වසඟය නම්
රහසේ වසනා මුවෙකු පවා
– සංජය රසයෙන් වසඟ කළේ නොවැ”
මහණෙනි, දැන් ඒ වෙසඟනට තිස්ස තෙරුන්ව වසඟ කරගන්නට පුළුවන් වුනේ රස තණ්හාවට සිත බඳවා තැබීම නිසයි. කලිනුත් ඔය ගැහැණිය ඕකම යි කළේ. ඒ කාලේ සංජය නමැති උයන්පල්ලා වෙලා හිටියේ මේ වෙසඟන. වාතමිග වෙලා හිටියේ චුල්ල පිණ්ඩපාතික තිස්සයන්. බරණැස් රජු වෙලා හිටියේ මමයි.”
පින්වතුනේ, පින්වත් දරුවනේ,
රස තෘෂ්ණාව කියන්නේ මොනතරම් බරපතල දෙයක් ද කියලා මේ කතාවෙන් හොඳට පැහැදිලි වෙනවා. ධුතාංගධාරීව මහා සිල්වත්ව සිටි තිස්ස තෙරුන්ට ඒ නිසාම තමන් ගැන ඕනෑවට වඩා විශ්වාසය ඇතිවෙන්න ඇති. එහෙම වුනාමත් තමන් පිරිහී යනකල් ම සොයා ගන්නට අමාරුයි. මේ නිසා තමන් ගැන ඕනෑවට වඩා අධිතක්සේරුවක් කරගැනීම නුසුදුසු බව මේ කතාවෙන් පැහැදිලි වෙනවා. තමන්ටත් වරදින්න පුළුවන් කියා සිතූ විට හැම තිස්සේ ම තමන් ගේ ජීවිතයේ ඇති ගුණධර්ම ගැන අවබෝධයකින් ඉන්නට පුළුවන් බව පෙනේ.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

15. ඛරාදිය ජාතකය

“වැඩිහිටියන්ගේ, ගුරුවරුන්ගේ, ආචාර්ය උපාධ්‍යායන්ගේ අවවාදයට ඇහුම්කන් දීම කියන්නේ ඉතා වටිනා ගුණයක්. ඒ ගුණය අහිමි කරගත් කෙනා ඕනෑම අවස්ථාවක ඕනෑම අකරතැබ්බයකට පත්වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා වැඩිහිටි වූ දෙමාපියන්ගේ, ගුරුවරුන්ගේ යහපත් අවවාදයක ඇති උපකාරය තේරුම් ගැනීම ගොඩාක් වැදගත්.”