දර ගෙන යන ළඳගේ කථාව

පින්වතුනේ, පින්වත් දරුවනේ, මේ කථාවත් ගොඩාක් වටිනවා. හරි පුදුම විස්තර තියෙන්නේ. මිනිසුන් ගේ යහපත වෙනුවෙන් අපගේ භාග්‍යවතුන් වහන්සේ කටයුතු කොට වදාළ ආකාරය තේරුම් ගන්ට මේ කථාවත් උදව් වෙනවා.

සමහර විට ඔබ අහලා ඇති වාසභඛත්තියා ගැන. මේ ජාතක කථාව දේශනා කරන්ට හේතු වුනේ ඈ නිසයි.

ශාක්‍ය ජනපදයේ සුද්ධෝදන රජුගේ අභාවයෙන් පස්සේ මහානාම ශාක්‍යයා රජ බවට පත්වුනා. ඒ ශාක්‍යවරුන්ගේ මාළිගාවේ ඉතාම ලස්සන රූප ශෝභා ඇති නාගමුණ්ඩා නමින් දාසියක් සිටියා. මහානාම ශාක්‍ය රජු නිසා මේ නාගමුණ්ඩාට දියණියක් ලැබුනා. මව් පක්ෂයෙන් දාසියක් වුනාට පිය පක්ෂයෙන් රාජ කන්‍යාවක්. ඈත් ගොඩාක් ලස්සනයි. දුටු දුටුවන් ගේ නෙත් සිත් පැහැර ගන්නවා. ඈ තමයි වාසභඛත්තියා.

කොසොල් ජනපදය ශාක්‍ය ජනපදයට යාබදව පිහිටි මහා රාජ්‍යයක්. බුදුරජාණන් වහන්සේ වැඩි කලක් ගත කළේ සැවැත් නුවර නිසා ත්, උන්වහන්සේට සියලු සොළොස් මහා ජනපදවල ඇති මහා පිළිගැනීම නිසාත්, කොසොල් රජතුමාට ශාක්‍ය වංශය සමඟ නෑදෑකමක් ගොඩනගා ගන්ට ඕන වුනා. ඒ කාලේ බොහෝ රජවරු නෑදෑකම් ගොඩනගා ගත්තේ රජ කුමර කුමරියන්ගේ ආවාහ විවාහ වලින්.

ඉතින් කොසොල් රජුටත් ශාක්‍ය කුමාරියක් තමන් ගේ අන්තඃපුරයට කැඳවා ගන්න ඕන වුනා. රජදූතයෝ ගිහින් ශාක්‍ය රාජ සභාවට දැනුම් දුන්නා. එතකොට ශාක්‍යවරු ශාක්‍ය කුමාරියක් ලෙසට වාසභඛත්තියා සරසලා පිටත් කෙරෙව්වා. කොසොල් රජු වාසභඛත්තියා ගේ රුවට වශී වුනා. කොසොල් රජු නිසා වාසභඛත්තියාට පුත් කුමරෙක් උපන්නා. ඔහු ගේ නම විඩූඩභ. මොහු කුමාරයෙකුව සිටියදී මව් පක්ෂයේ නෑදෑයන් බලන්ට ශාක්‍ය ජනපදයට ගියා. කවුරුවත් කිසි වෙනස් කමක් දැක්වූයේ නෑ. පිළිගැනීමේ උත්සවය හොඳට කළා. ඉතා හොඳින් කෑම් බීම් වලින් සංග්‍රහ කළා. විනෝද වුනා. රාජකීය සැලකිලි ලැබුනා.

කුමක්දෝ සසරේ කළ පවකට වාගේ විඩූඩභ කුමාරයා ආපසු යද්දී ඔහු ළඟම සිටි ආරක්ෂක භටයෙකුට කඩුව අමතක වුනා. කඩුව ගේන්ට රැස්වීම් ශාලාවට දුවගෙන යද්දී, වාසභඛත්තියා ගේ සම්පත් වලට ඊර්ෂ්‍යයා කළ එක්තරා දාසියක් වාසභඛත්තියාට දාසිය කියමින් බැණ බැණ විඩූඩභ කුමාරයාට දාසී පුත්‍රයා කියා බැණ බැණ කුමාරයා වාඩි වී සිටි ආසනය සෝදමින් සිටියා. නීච කෙනෙක් වාඩි වෙලා කුලවතුන් ගේ ආසනය අපවිත්‍ර වුනා කියලයි එය සේදුවේ.

ආරක්ෂක භටයා ඒ හැම දෙයක් ම හොරාට අහගෙන හිටියා. ගිහින් විඩූඩභ කුමාරයා ගේ කනේ තිබ්බා. විඩූඩභ වෛර බැඳගත්තා. ඔය වගේ කතා සඟවන්ට බැහැ. හෝ හෝ ගාලා හැම තැනම පැතිරුනා. පැතිරුනේ වාසභඛත්තියා රාජ කන්‍යාවක් නොවේ. ඈ දාසියක්. විඩූඩභ රජකුමරෙක් නොවේ. දාසී පුත්‍රයෙක් කියලා.

කොසොල් රජතුමාර කරගන්ට දෙයක් නෑ. වස ලැජ්ජාව. මූණ රතු කරගෙන ඉන්නවා. ඇමතිවරුන්ට මූණ දෙන්ටත් අමාරුයි. පුරෝහිත බමුණොත් අමුතු විදිහට බලනවා. රජතුමා වහාම ක්‍රියාත්මක වන පරිදි වාසභඛත්තියා අගබිසෝ තනතුරින් ඉවත් කළා. විඩූඩභ කුමාරයට දීලා තිබුන රාජකුමාර පදවියත් ඉවත් කළා. දැන් දෙන්නාම මාළිගයෙන් එළියට එන්නේ නෑ. හැංගිලා වගේ ඉන්නේ. විඩූඩභ දවසින් දවස ශාක්‍යයන්ගෙන් පළිගන්න දිනය එනතුරු ඇඟිලි ගණන් කර කර ඉන්නවා.

භාග්‍යවතුන් වහන්සේට මේ හැම දෙයක් ම පේනවා. වෙන්න තියෙන හැම දෙයක් ම දන්නවා. මේ දෙන්නා ගේ වෛරය සංසිඳුවන්න ඕනා කියල භාග්‍යවතුන් වහන්සේ පන්සියයක් භික්ෂූන් පිරිවරා උදේ වරුවක මාළිගයට වැඩියා. කොසොල් රජු වහා ඇවිත් භාග්‍යවතුන් වහන්සේව ආසනයෙහි වඩා හිඳෙව්වා.

“මහරජතුමනි…. අපේ වාසභඛත්තියා පේන්ට නැත්තේ මොකද… කොහේවත් ගිහින් ද?”

“අනේ භාග්‍යවතුන් වහන්ස…. මං මහා අමාරුවක නොවැ වැටුනේ. දෙන්නාම අයින් කළා. මං කොහොමෙයි දාසි පුත්‍රයෙකුට රජකොම දෙන්නේ? වාසභඛත්තියා කියන්නේ ශාක්‍ය මාළිගයට දර දිය ඇදපු දාසී කෙල්ලක් නොවැ.”

“මහරජතුමනි… වාසභඛත්තියා නාගමුණ්ඩා ගේ දියණියක් බව මටත් දැනගන්ට ලැබුනා. නමුත් ඇගේ පියා කවුද? ඈ කා නිසා ද උපන්නේ? ඈ කාගේ කවුද…..?”

“භාග්‍යවතුන් වහන්ස, ඈ මහානාම ගේ දියණියක් නම් තමා.”

“ඉතින් මහරජතුමනි, වාසභඛත්තියා නමැති මේ රාජ දියණිය මහාරජ කෙනෙකු ළඟටයි ආවේ. ඒ රජු නිසා ම යි පුතෙක් ලැබුනේ. ඒ පුතාට පියා සන්තක රජකම ලබන්ට බැරි මක් නිසාද? මෙතැන කිසි ගැටලුවක් නැහැ රජතුමනි. විඩූඩභ කුමාරයා රජකමට සුදුසුයි. කලින් ලබා දුන් තනතුරු වලට දෙන්නාම සුදුසුයි.

“මහරජතුමනි, ඉස්සර කාලේ කැලෙන් දර කඩා ගෙනියන ළඳකට රජෙකු නිසා පුතෙක් ලැබුනා. රජතුමා ඒ පුත්‍රයාට පවා රාජ්‍යය දුන්නා.”

එතකොට ඒ අතීතයේ සිදු වූ දේ අහන්න කොසොල් රජුට ආසා හිතුනා. භවයේ සැඟවී ඇති ඒ කතාව කියාදෙන්න කියල රජතුමා භාග්‍යවතුන් වහන්සේ ගෙන් ඉල්ලා සිටියා.

“මහරජතුමනි, ගොඩාක් ඉස්සර කාලෙ බරණැස බ්‍රහ්මදත්ත නමින් රජෙක් හිටියා. දවසක් මොහු වන සිරි නරඹන්න මහා යස පිරිවරින් වනයට ගියා. එදා ඒ වනයේ වනමල් නෙල නෙලා, පළතුරු සොය සොයා, ඉතාම ලස්සන සිංදු කිය කියා දර කැබලි රැස් කරමින් සිටින ළඳක් දැක්කා. ඈ ඉතා ලස්සන දිළිඳු දාසියක්. රජතුමා ඇගේ හඬටත් රුවටත් වසඟ වුනා. ඈ සමීපයට ගියා. ඒ වනයේ ම ඈ සමග සංවාසයේ යෙදුනා. එසැණින්ම ඇගේ කුසට බරක් දැනුනා. ඒ බෝධිසත්වයෝ ඇගේ කුසේ පිළිසිඳ ගත් මොහොතයි. එතකොට ඈ හඬන්න පටන් ගත්තා.

“අ…. අනේ…. දේවයන් වහන්ස…. මේ ගැත්තීට අනුකම්පා කරන සේක්වා….! මේ දැන් මගේ කුසට මහාබරක් දැනුනා. දරුවෙක් පිළිසිඳ ගත්තා කියලයි මට හිතෙන්නේ…. අනේ…. මං අසරණ වේවි.”

එතකොට රජතුමා ඇඟිල්ලෙන් රාජලාංඡනය සහිත මුද්දක් ගැලෙව්වා. ඇගේ අතට දුන්නා.

“එම්බල කෙල්ලේ…. තී භය වෙන්ට එපා. මේක රාජ මුද්දක්. දුවෙක් ලැබුනොත් මේ මුද්ද විකුණලා ඈව පෝෂණය කරාපන්. පුතෙක් ලැබුනොත් මේ මුද්ද දීලා රජ මැදුරට එවාපන්” කියල පිටත් වෙලා ගියා.

ඒ දර ගෙනියන ළඳ ගේ කුසින් බෝධිසත්වයෝ උපන්නා. දරුවා දුව පැන සෙල්ලම් කරන කාලේ ආවා. ‘අප්පා නැති එකා නොවැ’ කියල අනිත් ළමයි විහිළු කරනවා.

එතකොට දරුවා මව් වෙත දුවගෙන යනවා…. අනේ අම්මේ….. අපේ තාත්තා කෝ…. මට ළමෝ විහිළු කරනවා. මට තාත්තෙක් නැතිලු. ඇත්තටම කවුද අම්මේ මගේ තාත්තා?”

“මයෙ රත්තරන් පුතේ…. ඔයා නිකං කෙනෙක් නොවෙයි. ඔය ළමෝ දන්නෙ නෑ. ඔයා රජපැටියෙක්…! ඔයා බරණැස මහරජ්ජුරුවන් ගේ පුතා….!”

“අම්මා එහෙම කිව්වාට කොහොමද? අම්මලා හැම ළමයිට ම ඔහොම කියනවා…… ඇත්තට ම අම්මේ…. ඒක එහෙමනම් …. අපි කොහොමද ඔප්පු කරන්නේ….?”

එතකොට ඒ අම්මා ගේ ඇතුළට ගියා. පෙට්ටියක සඟවා තිබූ කුඩා රෙදි පොට්ටනියක් අරගෙන ආවා. මොකක්දෝ දෙයක් ඔතලා ඔතලා තියෙනවා. ඒ ඔතාපුවා එකිනෙක හෙමිහිට ලෙහෙව්වා. පුතා ඇස් විදහා බලා ඉන්නවා.

“ෂා…. අම්මේ… මේ….! හරී ලස්සන මුද්දක්!”

“ඔව් පුතේ… මං මේක පණ වගේ පරිස්සම් කොරන්නේ. මේක තමයි එකම සාක්කිය. මේක පුතා පිළිසිඳ ගත්තු දවසේ රජ්ජුරුවන්නේ අතින් ම යි මට දුන්නේ…. පුතෙක් ලැබුනොත් මේ මුද්ද දීලා එවන්නත් කිව්වා.”

“ඉතිං අම්මේ… ඇයි මාව තාත්තා ළඟට යවන්නෙ නැත්තේ….. අනේ අම්මේ…. මාව එක්කරගෙන යන්ටකෝ….. අනේ!”

දරුවාගෙන් බේරෙන්න බැහැ. ඈ දවසක් පුතාටත් ලස්සන ඇඳුමක් අන්දවාගෙන, මුද්දත් අරගෙන රාජ මාළිගාවට ගියා. දොරටුපාලයාට මුද්ද පෙන්නලා රජතුමාව මුණ ගැහෙන්න ඕනා කියලා කිව්වා. රාජලාංඡනය සහිත මුද්දකුත් රැගෙන ගැහැණියකුයි කොලුවෙකුයි ඇවිත් ඉන්නවා කියලා රජුට සැලකළා. රජතුමා කැඳෙව්වා. අම්මයි පුතයි ගිහින් රජුට වන්දනා කළා.

“දේවයන් වහන්ස, ඔබවහන්සේ වනාන්තරේ චාරිකා කරද්දී මං දර කඩමින් සිටිය අසරණ කෙල්ල…. එදා ඔබවහන්සේ මට මේ මුද්ද දීලා කිව්වා පුතෙක් ලැබුනොත් මේ මුද්ද දීලා මාළිගාවට එවාපන් කියලා….. දේවයන් වහන්ස…. ඔබවහන්සේ නිසා මට ලැබුනු ඒ රත්තරන් පුතා තමයි මේ….”

රජතුමාට හැම දෙයක් ම මතක් වුනා. පිරිස මැද්දේ නිසා මේ ගැන කවුරුත් දැනගන්නවාට කැමති වුනේ නෑ. ලැජ්ජාවට පත් වුනා.

“ම්…. මේ ස්ත්‍රිය ගේ…. කථාව… මට….. මතකයේ…. නම්….. නෑ…. කොහොමත් මේ කොලුවා….. මගේ පුතා වෙන්නෙ කොහොමෙයි….”

“එතකොට දේවයන් වහන්ස, මේ මුද්ද….. එදා මට ඔබවහන්සේ ගේ අතේ ඇඟිල්ලෙන් ගලවා දීපු මුද්ද…. මේ…..”

රජතුමා සේවකයෙකු ලවා මුද්ද ගෙන්නාගෙන බැලුවා. ආයෙමත් බොරුවට කල්පනාවට වැටුනා වගේ හිටියා.

“ම්… මෙහෙම මුද්දකුත් මට තිබුනේ නෑ නොවැ.”

එතකොට ඈ හඬන්න පටන් ගත්තා. බොරු කියල රාජ උදහසට පත්වෙන්නයි දැන් යන්නේ. ඈ හඬ හඬා මෙහෙම කිව්වා.

“අහෝ…… දේවයන් වහන්ස…. දැන් මට සත්‍යක්‍රියා කරනවා හැර වෙන සාක්කියක් නම් නෑ. ඉදින් මේ මාගේ පුත් රුවන ඔබවහන්සේ නිසා උපන්නේ නම් මේ සිඟිත්තා අහසේ සිටීවා! එසේ නොවේ නම් දරුවා බිම වැටේවා!” කියලා ඈ බෝධිසත්වයන් ගේ පාවලින් අල්ලා මහත් වැරින් උඩට වීසි කළා. පුදුමෙනුත් පුදුමයි! රජතුමාව නිකම්ම නැගිට්ටුනා. ඇමැතිවරුන්වත් සිටි තැනින් නැගිට්ටුනා. සිඟිත්තා අහසින් බිම වැටුනේ නෑ. අහසේම පළඟක් බැඳගත්තා. මිහිරි ස්වරයෙන් මෙහෙම කිව්වා.

“මහරජතුමනි මම වෙමි ඔබෙ එක ම පුතු
ඇති දැඩි කළ මැනව මා සෙනෙහසින් යුතු
අන් දරුවන් හදන ඔබ නිති ගුණෙන් යුතු
කිම ඔබ බැහැර කරනුයෙ පුතු තමා සතු”

එතකොට රජතුමා ගේ හදවතෙහි දරු සෙනෙහස උතුරා ගියා. “එන්න මගේ රත්තරන් පුතේ…. මං ඔයාගේ තාත්තා…. මගේ පුතා එන්න….. මං හදාවඩා ගන්නම්” කියලා රජතුමා දෑත් උඩට එසෙව්වා. එතකොට අත් දහසක් මතු වෙලා උඩට එසෙව්වා. “එන්න පුතේ…. මගේ ළඟට එන්න” කියල හැම තැනින් ම දෝංකාර දුන්නා.

එතකොට කුමාරයා රජතුමාගේ දෑතට ආවා. රජතුමා සිඟිත්තාව ඇකයේ තබාගෙන වාඩිවුනා. දරුවාගේ අම්මාට අගමෙහෙසි තනතුර ලැබුනා.

මහරජතුමනි….. පියරජු ගේ ඇවෑමෙන් බෝධිසත්වයන් කට්ඨවාහන රජු නමින් ප්‍රසිද්ධ වුනා…. ඒ කාලේ අම්මා වෙලා හිටියේ මහාමායා බිසොවයි. පියා වෙලා හිටියේ සුද්ධෝදන රජතුමා. පුත් කුමරා වෙලා හිටියේ මම යි.”
එතකොට කොසොල් රජුට හොඳට තේරුම් ගියා. ආයෙමත් වාසභඛත්තියාට අගමෙහෙසි තනතුර ලැබුනා. විඩූඩභට රාජකුමාර තනතුර ලැබුනා.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ