තෙල් පාත්‍රය මුල් කොට වදාළ කථාව

පින්වතුනේ, පින්වත් දරුවනේ, ජීවිතයේ බොහෝ ආරවුල්, අර්බුද, ගැටළු හටගන්නේ ඉන්ද්‍රියයන් අසංවර වීමෙනුයි. ඉන්ද්‍රිය සංවර නොකර ගැනීමෙන් පැවිදි ජීවිතය පවා අසාර්ථක වෙනවා.

එක්තරා කාලයක අපගේ භාග්‍යවතුන් වහන්සේ සුම්භ නමැති රටෙහි සේතක නම් නියම්ගම ඇසුරු කොට වනාන්තරයක වැඩ වාසය කළා. එහි දී භාග්‍යවතුන් වහන්සේ කායානුපස්සනා භාවනාවෙන් භික්ෂූන් වහන්සේලා කටයුතු කළ යුතු ආකාරය මෙසේ වදාළා.

“මහණෙනි, ජනපද කල්‍යාණිය කියන්නේ ඉතාමත් ම රූප සම්පත්තියෙන් යුතු තැනැත්තියක්. ඈ නටන්ටත් ඉතාම දක්ෂයි. ගී ගයන්ටත් ඒ වගේ ම හපනියක්. නගරය මැද ඇගේ නැටුම් සංදර්ශනයක් තිබුනා. ඈ ගී ගයමින් නටනවා බලන්ට මහජනයා පොරකකා රැස් වුණා.

ඔය අතරේ රජ කෙනෙක් බන්ධනාගාරයෙන් පුරුෂයෙකුව එළියට කැඳෙව්වා. ඔහු අතට කට මට්ටමට පුරවාපු තෙල් පාත්‍රයක් දුන්නා. මෙහෙම කිව්වා. ‘එම්බල පුරුෂය, ඔය තෙල් පාත්‍රය හොඳට දෑතින් අල්ලා ගනින්. තෝ දැන් ජනපද කල්‍යාණි ගී ගයමින් නැටුම් දක්වන සංදර්ශන භූමියේ ඈ ඉදිරියෙන් සෙනඟ මැදින් යන්ට ඕනෑ. තෝ පිටුපසින් කඩුවක් ඔසොවා ගත් පුරුෂයෙක් එනවා. හැබැයි තෝ පාත්තරෙන් එක තෙල් බිංදුවක් හරි බිම වැට්ටුවොත් එතැන දී ම තොගේ හිස ගසා දමනවා.’

එතකොට මහණෙනි, ජීවත් වීමට ආසා කරන, මැරෙන්ට අකැමැති ඒ පුරුෂයා මොහොතකටවත් අසිහියෙන් ජනපද කල්‍යාණි දිහා බලන්නේ නැතුව ඉතාම කල්පනාකාරීව එතැනින් යනවා.

මහණෙනි, තෙල් පාත්‍රය කියන්නේ කායානුපස්සනා භාවනාවට යි. රජ්ජුරුවෝ කියන්නේ තමන්ගේ කර්මයට යි. කඩුව ඔසොවා ගත් පුරුෂයා කියන්නේ මාරයාට යි. ජනපද කල්‍යාණිය කියන්නේ පංච කාමයට යි. ඒ නිසා මහණෙනි, තෙල් පාත්‍රය අතට ගත් පුරුෂයා වගේ මනා සිහියෙන් යුක්තව කායානුපස්සනාවෙන් අප්‍රමාදීව ඉන්ට ඕනෑ.” එතකොට භික්ෂූන් වහන්සේලා මෙහෙම කිව්වා. “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ජනපද කල්‍යාණිය දෙස නොබලා ඒ පුරුෂයා තෙල් පාත්‍රය රැගෙන යාමෙන් කරන්නේ ඉතාම දුෂ්කර දෙයක්.”

“නෑ මහණෙනි, ඒක දුෂ්කර දෙයක් නොවේ. ඒක පහසු දෙයක්. මොකද කඩුවක් ඔසොවා ගත් පුරුෂයෙක් තමා පසු පසින් එනබව ඔහු දන්නා නිසා, ඒ තර්ජනය නිසා ඔහු වඩාත් සැලකිලිමත් වෙනවා. නමුත් මහණෙනි, ඉස්සර නුවණැත්තෝ තමන් ම අප්‍රමාදීව සිහි නුවණ උපදවා ගෙන ඉන්ද්‍රිය බිඳගෙන දිව්‍යරූප වැනි ස්ත්‍රී රූපය දෙසවත් නොබලා ගිහින් රාජ්‍ය ලබාගත්තා. ආන්න ඒක නම් දුෂ්කරයි.”

එතකොට භික්ෂූන් වහන්සේලා අතීතයේ වූ ඒ සිදුවීම කියාදෙන්ට කියා භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. භාග්‍යවතුන් වහන්සේ මේ ජාතකය වදාළා.

“මහණෙනි, ඈත අතීත කාලෙක බරණැස්පුරේ බ්‍රහ්මදත්ත නමින් රජ්ජුරු කෙනෙක් රාජ්‍ය කළා. ඒ බරණැස් රජ්ජුරුවන්ට පුත්‍රයන් සියයක් සිටියා. බෝධිසත්වයෝ ඒ රජ්ජුරුවන්ගේ බාල පුත්‍රයා වෙලා ඉපදිලා සිටියා. ඒ දවස්වල රජගෙදර පසේබුදුවරු වැඩලා දන් වළඳනවා.

දවසක් බෝසත් කුමාරයා මෙහෙම සිතුවා. මට බොහෝ සහෝදරයන් ඉන්නවා නොවැ. ඒ නිසා මේ නගරයේ කුලසන්තක රාජ්‍යය මට ලැබෙන එකක් නෑ. කෝකටත් පසේබුදුවරයන් වහන්සේලාගෙන් මේ කාරණය අසන්ට ඕනෑ. උන්වහන්සේලා අනාගතය ගැන දන්නවා නොවැ.”

දෙවෙනි දවසේ පසේබුදුවරයන් වහන්සේලා වැඩිය වේලාවේ කුමාරයා බඳුනට පැන් පෙරා ගෙන ඇවිත් උන්වහන්සේලාගේ පා දෝවනය කළා. උන්වහන්සේලා හීලට කැවිලි වළඳලා වැඩ හිටියාට පස්සේ කුමාරයා එකත්පස්ව වාඩිවෙලා තමන්ගේ අදහස ඉදිරිපත් කළා. උන්වහන්සේලා මෙහෙම වදාළා.

“කුමාරය, ඔබ මේ නගරයේ රාජ්‍යය ලබන්නේ නෑ. නමුත් මෙයින් එක්සිය විසියොදුනක් දුර ගන්ධාර රටේ තක්ෂිලා නම් නගරයක් තියෙනවා. අන්න ඒ රටට යා ගත්තොත් අදින් සත්වෙනි දවසේ ඔබට එහි රජකම ලැබෙනවා. හැබැයි කුමාරය ගමන දුෂ්කරයි. මහාවත්තනිය නැමැති වනාන්තරේ මැදින් ඇති දුෂ්කර පාරේ ගියොත් ඒ මාර්ගයේ යොදුන් සියයක් යන්ට තියෙනවා. යොදුන් පනහක දුරින් යන්ට පුළුවන් කෙළින් පාරක් තියෙනවා. අමනුෂ්‍ය කාන්තාරයක් මැදින් ඒ ගමන යන්ට තියෙන්නේ. ඒ ගමනේ අතරමග යකින්නියෝ රැකලා ඉන්නවා. ඔවුන් නොයෙක් වෙස් ගන්නවා. ලස්සන ගෙවල් මවනවා. සුවපහසු යහන් මවනවා. දිව්‍යාංගනාවෝ වගේ ලස්සන රූප මවාගෙන පාරේ යන පුරුෂයන්ට මධුර වචනයෙන් අමතනවා. “හානේ…. හරී දුකයි ඔයාලා දකිද්දී. ඔයාලට ගොඩාක් වෙහෙසයි වගේ. මෙහෙ ඇවිත් ටිකාක් ගිමන් හැරලා සිහිල් පැන් වළඳා සුවසේ යන්ට පුළුවනි නොවැ” කියලා මුළාවට පත් කරවනවා. ඔවුන්ට මුළාවන පුරුෂයන් ව වසඟ කරගෙන මරාගෙන කනවා. රූපයට ආසා අයව රූපයෙන් රවටා ගන්නවා. හඬට ආසා අයව මිහිරි ශබ්දයෙන් රවටා ගන්නවා. සුවඳට ආසා උදවියව මිහිරි සුවඳින් රවටා ගන්නවා. රසයට ආසා උදවියව ප්‍රණීත බොජුනින් රවටා ගන්නවා. පහසට ආසා උදවිය මුදුමොළොක් පහසින් රවටා ගන්නවා. ඉන්ද්‍රියයන් නොබිඳගෙන, යකින්නියන්ගේ මායාවලට හසු නොවී, ඔවුන් දෙස නොබලා, මනා සිහි නුවණින් ගමන ගියොත් මෙයින් සත්වෙනි දවසේ රජ වෙනවා ම යි.

එතකොට බෝසත් කුමාරයා මෙහෙම කිව්වා. “වේවා ස්වාමීනී, ඔබවහන්සේලාගේ අවවාද ගත් මං මොකට ද යකින්නියන් දෙස බලන්නේ?” කියලා පසේ බුදුවරයන් වහන්සේලා ලවා වැලිත්, ජලයත්, නූලුත් පිරිත් කරවාගෙන, උන්වහන්සේලාට වන්දනා කොට, දෙමාපියන්ටත් වන්දනා කොට, තමන්ගේ සේවක පුරුෂයන් ඇමතුවා. “මං තක්ෂිලාවේ රජකම ගන්ට යනවා. ඔබලා මෙහෙම ඉන්ට.” එතකොට පස් දෙනෙක් කුමාරයා සමඟ යන්ට පිටත් වුණා. “බෑ…. බෑ…. නුඹලාට මේ ගමන යන්ට අමාරුයි. නානාප්‍රකාර වෙස් අරගෙන මිනිසුන් මුළා කරවා අනුභව කරන යකින්නියන් මං යන පාරේ ඉන්නවා. මං නම් තමාව රැකගෙන යනවා.”

“අනේ නෑ දේවයනි, අපටත් පුළුවනි ස්ත්‍රී මායම්වලට මුළා නොවී ඉන්ට. ඒකුන්ගේ පැත්තවත් අපි බලන්නේ නෑ. අපිත් ඔබවහන්සේ වගේ ම ඒ ගමන එන්ට කැමැතියි.” “හොඳා…. එහෙනම් හොඳ කල්පනාවෙන් ගමනට එන්ට ඕනෑ” කියලා ඒ පස්දෙනාත් සමඟ තක්ෂිලා බලා පිටත් වුණා.

බෝසත් කුමාරයා පස්දෙනාත් සමඟ අමනුෂ්‍ය අධිගෘහිත ප්‍රදේශ මැදින් යන්ට පටන් ගත්තා. යකින්නියෝ අලංකාර නිවාස මවාගෙන මග බලමින් වාඩිවෙලා සිටියා. ඔවුන්ගේ මනමෝහනීය රූප ශෝභාව දුටු එක්කෙනෙකුගේ සිත තදින් ම ඒ කෙරෙහි ඇදී ගියා. එතකොට ඔහු එතැන නැවතුනා.

“මොකද මිත්‍රය නැවතුනේ…. හා…. යමු. මෙතැන නවතින එක හොඳ දෙයක් නොවේ.”

“අනේ දේවයිනි, මගේ පා රිදෙනවා. ඔයාලා යන්ට. මං මෙතැන ටිකාක් ගිමන් හැරලා එන්නම්”

“මේ…. මතක නැද්ද මං කියපු දේ…. ඔය ඉන්නේ මනුෂ්‍ය ස්ත්‍රීන් නොවේ. යකින්නියෝ. ඕකුන්ට අහු වෙන්ට එපා.”

“අනේ දේවයිනි, එහෙම එකක් නොවේ. මට දැන් කොහේවත් යන්ට පුළුවන් කමක් නෑ. මං ටිකාක් විවේක ගන්ට ම ඕනෑ.”

“එහෙනම් මට කරන්ට දෙයක් නෑ. තමන්ට තේරේවි.” කියල බෝධිසත්වයෝ අනික් සතර දෙනා සමඟ පිටත් වුණා. මිනිස් වෙස් ගත් යකින්නිට රැවටුනු ඒ පුරුෂයා ඔවුන්ට ගොදුරු වෙලා විනාශයට පත් වුණා.

පිරිස තව ටික දුරක් යද්දී යකින්නියෝ කලින් ම ගිහින් ශාලාවක් මවාගෙන ඉතාමත් කර්ණ රසායන කන්කළු ගී නදින් ගායනා කරමින් සිටියා. සින්දුවක් අහලම යන්ට ඕනෑ කියා එතැනත් එක්කෙනෙක් නැවතුනා. යකින්නියෝ ඔහුවත් අනුභව කළා. ඉතිරි තුන්දෙනාත් සමඟ බෝසත් කුමාරයා තව ටික දුරක් යද්දී යකින්නියන් ගිහින් සුවඳ කරඬුවල සුවඳ වර්ග පුරවා ගත් වෙළඳ සැලක් මැව්වා. ඔවුන්ට සුවඳ වර්ග ගන්ට කතා කළා. බෝසත් කුමාරයා එපා කියද්දී සුවඳ වෙළඳ සැලේ තව කෙනෙක් නැවතුනා. ඔහුත් යකින්නියන්ගේ ආහාර බවට පත් වුණා.

පස්දෙනාගෙන් දැන් දෙන්නයි ඉතිරි වුණේ. බෝසත් කුමාරයා ඒ දෙන්නාත් සමඟ දිගට ම ගියා. වේලාසනින් ගිය යකින්නියෝ ප්‍රණීත ලෙස සුවඳ හමන භෝජන ශාලාවක් මැව්වා. දුටු පමණින් කටට කෙළ උණන ආකාරයේ ප්‍රණීත ආහාර පාන පිරිලා තියෙනවා. එතකොට කෑම ටිකක් කාලා එන්නම් කියලා තව එක්කෙනෙක් නැවතුනා. යකින්නියෝ ඔහුවත් මරාගෙන අනුභව කළා. බෝසත් කුමාරයා අනිත් කෙනාත් සමඟ දිගට ම ගමන යද්දී යකින්නියෝ අලංකාර ශාලාවක් මවලා ඉතාම සුවපහසු ඇඳන් මවලා තිබ්බා. ටිකක් හාන්සිවෙලා විවේක අරගෙන යන්ට කියලා ඔවුන්ට කථා කළා. එතකොට පස්වෙනියා එතැන නතර වුණා. යකින්නියෝ ඔහුවත් මරාගෙන කෑවා.

බෝසත් කුමාරයා තනි වුණා. දැන් තනියම ගමන යනවා. එතකොට එක යකින්නියක් මෙහෙම හිතුවා. ‘මේකා මහා ඇට්ටරයෙක් නොවැ. කිසිම දේකට නම්මා ගන්ට බැහැ. මේකාව කාලා මිසක් මං නවතින්නේ නෑ’ කියලා ඉතාම අලංකාර ස්ත්‍රියකගේ රූපයක් මවාගෙන බෝසත් කුමාරයාගේ පස්සෙන් ගියා. වනාන්තරේ අවසන් වෙන්ට ආසන්නයේ වනේ වැඩ කරන මිනිස්සු ඒ ලස්සන ස්ත්‍රිය පුරුෂයා පස්සෙන් යනවා දැකලා මෙහෙම ඇහැව්වා.

“ඔයා ඉස්සරහින් ඔය යන පුරුෂයා කව්ද?”

“අයියණ්ඩි, ඒ මගේ තරුණ ස්වාමියා!” එතකොට ඒ මිනිස්සු බෝසත් කුමාරයාට මෙහෙම කිව්වා.

“පින්වත, මේ තරම් සියුමැලි, මලක් සේ මොළකැටි,රන්වන් කුමාරිකාවක් තමන්ගේ දෙමාපියන් අත්හැර ඔබ පසුපසින් එද්දී මැයව පීඩාවට පත් නොකොට මැයව ආදරයෙන් කැඳවාගෙන යනු මැනව.”

“අයියෝ… ඔබ රැවටිලා. ඕකි මගේ බිරිඳ නොවේ. ඕකි යකින්නියක්. ඕකි මං එක්ක ආපු මිනිස්සු පස්දෙනෙක් ම කෑවා”

“අනේ… බලන්ට අයියණ්ඩි. අපේ එක්කෙනා කියන කතා. පිරිමින්නේ හැටි ඔහොම තමයි. කේන්ති ගිය වෙලාවට තමන්නේ ආදර බිරිඳට පවා යකින්නි, පෙරේති කියල බණින හැටි!”

ඒ යකින්නි බෝසත් කුමාරයා පිටුපසින් යද්දී ඇතැම් වෙලාවක ගැබිණියකගේ වෙස් ගත්තා. තවත් වෙලාවක දරුවෙකු ඇකයෙන් වඩාගෙන යන ගැහැනියකගේ වෙස් ගත්තා. බෝධිසත්වයෝ තක්ෂිලාවට පැමිණියා. එවිට යකින්නි යොවුන් ස්ත්‍රියකගේ රූපය මවා ගත්තා. බෝධිසත්වයෝ නගරයේ අම්බලමක නැවතුනා. බෝසතුන්ගේ තේජසින් යකින්නිට ඇතුළට එන්ට බැරිව ගියා. යකින්නිය අම්බලමේ දොරටුවේ සිටගෙන සිටියා. ඒ වෙලාවේ තක්ෂිලාවේ රජ්ජුරුවෝ පිරිවර සමඟ උයනට යමින් සිටියා.

අම්බලමේ දොරකඩ සිටගෙන ඉන්නා අභිරූපී ස්ත්‍රිය දැකලා ඈ ගැන ආශාව ඇති වුණා. ඇය විවාහක ද අවිවාහක දැයි සොයා බලන්ට මිනිසෙක් යැව්වා. ඔහු ගිහින් යකින්නිගෙන් ඒ බව විමසුවා.
“අනේ අයියණ්ඩි, අර ශාලාවේ ඉන්නේ මගේ ස්වාමියා.” එතකොට බෝධිසත්වයෝ කෑගසා මෙහෙම කිව්වා. “ඕකි කියන්නේ බොරු. ඕකි මගේ බිරිඳ නොවේ. ඕකි මිනිස්සු පස්දෙනෙක්ව කාපු යකින්නියක්. ඕකිගේ කතාවට රැවටෙන්ට එපා”

“අනේ බලන්ට අයියණ්ඩි, අපේ එක්කෙනා මාත් එක්ක තරහා වෙලා හිතෙන හිතෙන ඒවා කියනවා.” එතකොට ඒ මිනිහා ගිහින් දෙපැත්තේ ම විස්තරේ රජ්ජුරුවන්ට කීවා. රජ්ජුරුවෝ ‘ස්වාමියා නැති බඩු රාජසන්තක වෙනවා නොවැ’ කියල යකින්නිව ගෙන්නා ගෙන ඇතා පිටේ තබාගෙන මාළිගාවට කැඳවාගෙන ගියා. එදා ම අගමෙහෙසි තනතුරු දුන්නා.

එදා රෑ යහනේ දී යකින්නි නොයෙක් පෙම්බස් දොඩමින් රජ්ජුරුවන්ව රාගයෙන් පෙළඹෙව්වා. එක්වර ම යකින්නි ඇඳේ පෙරලී හඬන්ට පටන් ගත්තා. “ඇයි මගේ සොඳුරී….. ඇයි ඔයා හඬන්නේ?”
“අනේ දේවයන් වහන්ස, මං අතරමග දී කැන්දන් ආපු එකියක්. ඔබ වහන්සේගේ අන්තඃපුර ස්ත්‍රීන් මට වෙනස්කම් කරන්ට පටන් ගනීවි. මගේ මව්පියන්ගේ විස්තර, ජාති ජම්ම අසමින් මාව පීඩාවට පත් කරාවි. අනේ මං හොදටෝ ම අසරණ වේවි. අහෝ ඔබවහන්සේ මට මුළු රාජ්‍යයට ම අධිපති බවත්, අණසක පැතිරවීමේ අවසරයත් දෙනවා නම් ඒ ස්ත්‍රීන් කෝප වෙලා වුණත් මට මුකුත් කියන එකක් නෑ.”

“සොඳුරිය, මගේ සියලු රටවැසියන්ගෙන් එහෙම වෙන්නේ නෑ නොවැ. ඒ නිසා ඔයාට මුළු රටේ ම අධිපති බවත් අණ පැතිරවීමත් දෙන්ට පුළුවන්කමක් නෑ.”

“එහෙම නම් දේවයන් වහන්ස, අඩු ගණනේ මේ මාළිගා පරිශ්‍රයේ ඇතුළු නුවර මාගේ අණසක පවත්වන්ට අවසර දෙන්ට.”

අමනුෂ්‍ය ස්පර්ශයෙන් වසඟව රාගයෙන් මුසපත්ව සිටි රජ්ජුරුවෝ යකින්නිට මුළු මාළිගා පරිශ්‍රයේ ඇතුළුනුවර තමාගේ අණසක පතුරුවන්ට අවසර දුන්නා. එදා යකින්නිය රජ්ජුරුවන්ව සතුටු කරවා නින්දට යන්ට සැලැස්සුවා. රජ්ජුරුවන්ට නින්ද ගිය පසු මධ්‍යම රාත්‍රියෙහි යකින්නී යක් පුරයට ගොහින් යක් සේනාව අරගෙන ආවා. රජ්ජුරුවන්ව පළමුවෙන් මරාගෙන කෑවා. මහ වාසල් දොරටුවේ පටන් ඇතුළු නිවසේ බල්ලන් කුකුළන් ආදී කොට ඇති සියලු සතුන්ව කා දමා ඇට ගොඩ පමණක් ඉතිරි කොට පලා ගියා.

පසුවදා මිනිස්සු මහවාසල් දොරටුව විවෘත කරන තුරු බලා සිටියා. පේන්ට කිසි කෙනෙක් නෑ. අන්තිමේදී මිනිස්සු පොරෝ, ගල් ඉනි අරගෙන ඇවිත් මහවාසල් දොර බින්දා. ඇතුළට ගිහින් බලද්දී හැම තැන ම තිබුණේ ලේ මස් සම් කිසිවක් නැති ඇටසැකිලි විතරයි! එතකොට මිනිස්සු මහත් සංවේගයට පත් වෙලා ඊයේ සිදුවීම ගැන කතා වුණා. “අම්බලමේ නවාතැන් ගත් පුරුෂයා ඇත්ත කිව්වා. ඔහු කිව්වා නොවැ ‘මේකි මගේ බිරිඳ නොවේ. යකින්නියක්’ කියලා. අපේ රජ්ජුරුවෝ ඒ ගැන කිසිවක් නොසොයා නොබලා තමන්ගේ බිරිඳ කරගෙන කර ගත් විපත!” එදා රෑ බෝධිසත්වයෝ තමන් උන් තැන පිරිත් වැලි ඉස, පිරිත් නූල් ඇදගෙන කඩුවක් අතේ තියාගෙන එළිවෙන තුරු නොනිදා අවදියෙන් සිටියා.

මිනිස්සු ගිහින් ඇටසැකිලි ඉවත් කොට මාලිගා පරිශ්‍රය පිරිසිදු කළා. සුවඳ දුම් ඇල්ලුවා. මල් ඉස්සා. ඇමතිවරු මෙහෙම කල්පනා කළා. ‘යම් පුරුෂයෙක් තමන්ගේ ඉන්ද්‍රිය සංවරය බිඳගෙන, දිව්‍ය රූප මවාගෙන පස්සෙන් ආපු යකින්නි දෙස මොහොතකටවත් බැලුවේ නැතිව සිටියා ද සැබැවින් ම ඒ තැනැත්තා අතිශය උදාර කෙනෙක්. මහත් වීර්යයෙන් නුවණින් යුතු කෙනෙක්. එබඳු පුරුෂයෙකුට රජකම දුන්නොත් මේ රට සුඛිත මුදිත කරාවි.’ ඇමැතිවරුත්, නගරවැසියෝත් ඒකච්ඡන්දයෙන් කැමති වෙලා බෝසත් කුමාරයාට තක්ෂිලාවේ රජකම ලබා දුන්නා. බෝධිසත්වයෝ තක්ෂිලාවේ රජ වෙලා සතර අගතියට නොගොස් දසරාජ ධර්මයෙන් රජ කළා.” කියලා භාග්‍යවතුන් වහන්සේ මේ ගාථාව වදාළා.

කට ළඟටම පුරවා ඇති – තෙල් බඳුනක් අල්ලාගෙන
යයි නම් නොසැලී මිනිසා – නොබලා නටනා නළඟන
හැසිරේ නම් දහම් මගේ – ඒ අයුරින් සිත සුරකින
මෙතෙක් නොගිය දිසාව වෙත – ඔහු යනවා නිවන ලැබෙන

“මහණෙනි, ඔය විදියට ඉන්ද්‍රිය සංවර කර ගැනීම නිසා එදා බෝධිසත්වයෝ ඉතා දුෂ්කර දේ ජයගත්තා. ඉන්ද්‍රියයන් බිඳගත් සියලු දෙනා වැනසුනා. එදා තක්ෂිලාවේ රජකමට පත් කුමාරයා වුණේ මම යි. ඒ රජුගේ පිරිස වුණේ බුදු පිරිසයි.”

සරල සිංහල පරිවර්තනය – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ