highlights of the week
Home » නුවණ වැඩෙන බෝසත් කථා » 08. ගාමිණී ජාතකය

08. ගාමිණී ජාතකය

ගාමිණී නමැති තරුණ කුමාරයෙකුගේ කතාව

පින්වතුනේ, පින්වත් දරුවනේ, සිත වට්ටා නොගෙන උත්සාහය ඇති කරගැනීම ජීවිතයේ දියුණුවට ඉතාම අවශ්‍ය අංගයක්. බොහෝ දෙනෙක් ඉක්මනින් සිත වට්ටගන්නවා. අනේ මට මෙය කරන්ට අමාරුයි කියා උත්සාහය අත්හරිනවා. ඒ නිසා ම තමන්ගේ දියුණුව වළකිනවා.

බුද්ධ කාලයේත් සැවැත් නුවර සිටිය එක්තරා තරුණයෙක් නිතර නිතර බණ අසන්නට දෙව්රමට ගියා. ඔහුගේ සිතටත් පැවිදි වීමේ ආශාව ඇති වුනා. ඉතා වෙහෙසී මාපියන්ගෙන් අවසර ගත්තා. ගෞතම බුදු සසුනේ පැවිදි වුනා. මොහු පැවිදි වුනේ මහත් බලාපොරොත්තුවක් සිතේ තියාගෙනයි.

“මාත් ඉක්මනින් හුදෙකලා වෙනවා. එතකොට රුක් සෙවනේ, ගිරි ගුහාවල, ලස්සන දිය ඇලි අසල මටත් භාවනා කරන්ට පුළුවනි. ධ්‍යාන උපදවාගන්ට පුළුවනි. මටත් මගඵල පසක් කරන්ට පුළුවනි” කියලා මහා සුන්දර සිහිනයක පැටලුනා.

මේ භික්ෂුව ඉතා ඕනෑකමින් ධර්මය ඉගෙන ගත්තා. අනිත් භික්ෂූන් සමඟ ඉතා සතුටින් හුදෙකලා වාසයට පිටත් වුනා. ඉතා සැදැහැවත් පිරිසක් ඔවුන්ට කුටි සෙනසුන් හදලා දුන්නා. මේ භික්ෂුවත් එහි කුටියක තනි වුනා. තනියම සක්මන් කළා. භාවනා කළා. භාවනාව පටන් ගත් විට එක්කෝ නින්ද යනවා. එහෙමත් නැත්නම් සිත බාහිර අරමුණු වල විසිරෙනවා. නොයෙක් මනස්ගාත වල සිත පැටලි පැටලී යනවා. තමා සිතූ තරම් වැඬේ ලේසි නැහැ. ටික කලක් යද්දී මේ භික්ෂුවට භාවනාව එපා වුනා. හුදෙකලා වාසයත් එපා වුනා. සතිපට්ඨානය වැඩීමත් එපා වුනා. ආපසු ජේතවනයට ම වැඩියා. සාමාන්‍ය විදිහට අතුපතු ගාගෙන ජීවත් වුනා.

“ඇවත, ඔබ ගොඩාක් ආසාවෙන් නේද ඈත අරණ්‍යයට ගියේ. නමුත් ගිය වැඩේ හරි ගියේ නෑ වගෙයි. මොකද වුනේ?”

“අනේ ඇවැත්නි… මාත් උත්සාහ කළා. මට මේ භාවනාව කරගන්ට බැහැ නොවැ. ඉතිං මං මේ වැඩේ අත්හැරියා. මං නිකං මොකටෙයි බර වැඩ කරන්ට යන්නෙ?”

“හා… හා…. එහෙම කියන්ට එපා ඇවත. ඕනෑම දෙයක් පටන් ගනිද්දී අමාරු තමයි. පටන් ගනිද්දී ඕනෑම දෙයක් වරදින්ට පුළුවනි. ඒකෙන්ම යි ඔහු නැවත හරියට කරන්ට ඉගෙන ගන්නේ… අනික භාග්‍යවතුන් වහන්සේ භික්ෂුවකගේ වීර්යය ගැන මොනතරම් ප්‍රශංසා කරනවාද… හා… එහෙනම්… ඉතිං අපි යමු භාග්‍යවතුන් වහන්සේ ළඟට…. උන්වහන්සේට මේක අපි දැනුම් දෙමු.”

ඉතින් අනිත් භික්ෂූන් වහන්සේලා අර උකටලී භික්ෂුව නොකැමතිව සිටියදී ම භාග්‍යවතුන් වහන්සේ වෙත කැඳවාගෙන ගියා.

“භික්ෂුව…. ඇයි ඔබ වීර්යය අත්හැරියේ…? සතිපට්ඨානය පිණිස උත්සාහ නොගන්නේ මන්ද?”

“අනේ ස්වාමීනී… භාග්‍යවතුන් වහන්ස, මං ගොඩාක් උත්සාහ කළා. දැන් මගේ හිසත් රිදෙනවා. ඇඟපතත් රිදෙනවා. භාවනා කරනවා යන කරුණ සිතන්ටත් අමාරුයි.

“භික්ෂුව… ඔබ මේ ආත්මෙ තමයි ඔවැනි සුළු කරුණකට තමන්ට ලැබෙන මහත් ලාභයක් අත්හැර දමා ඉන්නෙ. නමුත් පෙර ආත්මෙක ඔබ මොනතරම් ප්‍රඥාවන්තව මොනතරම් උත්සාහයකින් කටයුතු කළාද…? ඒ කාලේ ඔබ බරණැස රජ්ජුරුවන් ගේ බාල පුත් කුමාරයා. ඔබට වැඩිමහල් සහෝදර කුමාරවරු සියයක් හිටියා. ඒ හැමෝම පරදවා ඔබ එදා රජවුනා නොවැ…. මෙදා මොකද මේ….?”

එතකොට එතැන සිටිය භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම ආයාචනා කළා.

“ස්වාමීනී…. භාග්‍යවතුන් වහන්ස, දැන් මේ උත්සාහ අත්හැරලා දාපු මේ භික්ෂුව ගේ කථාව අපි කවුරුත් දන්නවා. නමුත් භාග්‍යවතුන් වහන්සේ වදාළ ඒ රාජකුමාරයා ගේ කතාන්දරේ අපි දන්නෙ නෑ. අනේ අපට අපි කවුරුත් මෙතෙක් නොදන්නා මොහුගේ පෙර ආත්මයේ උත්සාහය ගැන කථාව වදාරණ සේක්වා!”

“මහණෙනි… ඒක වුනේ මෙහෙමයි. ඕන්න ගොඩාක් ඉස්සර කාලෙක බරණැස් පුරේ බ්‍රහ්මදත්ත නමින් රජෙක් වාසය කළා. මේ රජ්ජුරුවන්ට පුත් කුමාරුවරු සිය දෙනෙක් හිටියා. අන්තිමට උපන් පුත් කුමාරයාගේ නම ගාමිණී.

ඒ කාලයේ බෝධිසත්වයෝ තක්සිලාවේ ආචාර්යවරයෙක් වෙලා හිටියා. ගාමිණී කුමාරයා ඉගෙන ගත්තේ ඒ බෝසත් ආචාර්යවරයා ළඟයි. අනිත් කුමාරුවරු වෙනත් ආචාර්යවරු ළඟ ශිල්ප හැදෑරුවා. ගාමිණී කුමාරයා සිය ආචාරයවරයාට මෙහෙම කිව්වා.

“ආචාර්යපාදයෙනි…. මට වැඩිමහලු කුමාරවරු සිය දෙනෙක් ඉන්නවා. මට රජකම ලැබෙනවා තබා ඒ ගැන සිතාගැනීමත් අමාරුයි.”

“කුමාරය… එහෙම කියන්න එපා. නුවණැත්තන් ගේ අවවාදයේ පිහිටා කටයුතු කළොත්, ආවේගයකට පත් නොවී, උපායශීලීව කටයුතු කරන්නට දක්ෂ වුනොත් තමන් කැමති දේ ලබන්නට පුළුවන්කම තියෙනවා. දානය, ප්‍රිය වචනය, අර්ථචර්යාව, සමානාත්මතාව යන මේ සතර සංග්‍රහ වස්තුවෙන් අන්‍යයන්ට සලකන්ට ඔබ දක්ෂ වුවහොත් රජකම වුනත් ඔබට වැඩි ඈතක තියෙන දෙයක් නොවේ.”

ඉතින් බෝසත් ආචාර්යවරයාගේ උපදෙස් පරිදි ගාමිණී කුමාරයා කටයුතු කළා. ශිල්ප ඉගෙනගත් අනිත් කුමාරවරු පියරජු බැහැදකින්ට ගියා. ගිහින් පියරජුගෙන් ජනපදය බැගින් ඉල්ලාගෙන ඒවායේ පාලකයෝ බවට පත්වුනා. වැඩිමහල් කුමාරවරු බාල කුමාරයා ඇමතුවා.

“මලණ්ඩ, දැන් අපි හැමෝට ම පියරජතුමා ගෙන් ජනපදය බැගින් ලැබුනා. ඔබත් පියරජු බැහැදැක පාලනය කිරීමට ජනපදයක් ඉල්ලා ගන්න.”

එතකොට ගාමිණී කුමාරයා නිශ්ශබ්ද වුනා. තම ආචාර්යවරයාට මේ බව දැනුම් දුන්නා. එතකොට ආචාර්යවරයා කුමාරයාට උපදෙස් දුන්නා.

“කුමාරය… ඔබ ජනපද ඉල්ලාගෙන යන්ට එපා. පිය රජු සමීපයේ ම වාසය කරන්න. මහජනතාවට සතර සංග්‍රහ වස්තුවෙන් සලකන්න. වෙළෙන්දන්ගේ සිත් දිනා ගන්න. අන්තඃපුරවාසීන්ගේ සිත් දිනාගන්න. හැමෝට ම ආදරෙන් සළකන්න.”

ඉතින් ගාමිණී කුමාරයා ආචාර්යවරයා ගේ බසට අවනත වුනා. කලබලේට ජනපදයක් ඉල්ලා ගෙන ගියේ නෑ. රාජ මාළිගාවේ ඉඳගෙන ම හැමෝට ම උපකාරීව වාසය කළා.

මහරජ්ජුරුවෝ මරණ මංචකයට වැටුනා. ඔහු ඇමැතිවරු කැඳෙව්වා.

“ඇමතිවරුනි… මගේ පුත් කුමාරවරුන්ට පණිවුඩ යවන්න. පියරජුට දැන් අසාධ්‍යයි කියන්න”

“දේවයන් වහන්ස… අපි දැනගන්නට කැමැතියි…. ඔබවහන්සේ ගේ ඇවෑමෙන් රජකම හිමිවිය යුත්තේ කාටද?”

“ඇමතිවරුනි,….. කොහෙත් රජකම ලැබෙන්නේ වැඩිමහල් පුත්‍රයාට තමයි. නමුත් මට හිතෙන්නේ මගෙන් පස්සේ රජකම ලැබිය යුත්තේ මගේ බාල පුත්‍රයාට කියලයි. ගාමිණී කුමාරයාටයි. ගාමිණී කුමාරයාට රජකම ලැබීම ගැන ඔබේ අසතුටක් තියෙනවාද?”

“දේවයන් වහන්ස…. අපිත් මේ සිත සිතා සිටියේ මෙකරුණ තමයි. ගාමිණී කුමාරයා රජකමට හැම අතින්ම සුදුසුයි. මේ ඇමතිවරුත් රටවැසියොත් හැමෝම ගාමිණී කුමාරයට කැමතියි.”

ඉතින් රජතුමාගේ ඇවෑමෙන් පස්සෙ ගාමිණී කුමාරයා රජ වුනා. වැඩිමහල් සහෝදර කුමාරවරුන්ට වස්තුව බෙදා දුන්නා. ඔවුන් හැමෝට ම බාල කුමාරයා රජකම ලැබීම ගැන සතුටු වීම හැර වෙන කිසිම දෙයක් කළ හැකිව තිබුනේ නෑ. දවසක් ගාමිණී රජතුමා සිංහාසනයේ සිටිමින් මෙහෙම ප්‍රීතිවාක්‍ය ප්‍රකාශ කළා.

“නුවණැත්තන් ගේ අවවාද අනුව කටයුතු කරනවා නම් ඔහුට කවරදාකවත් වරදින්නේ නෑ. ඔහුට තමා ප්‍රාර්ථනා කරන දේ ලබාගන්නට පුළුවනි. ගාමිණී…. නුඹටත් මේ සියල්ල ලැබුනේ ආචාර්යවරයා ගේ දක්ෂ උපදෙස් නිසයි. ඒ නිසා ගාමිණී…. වැඩිමහල් සහෝදරවරු සියයක් පරදවා රජවුනේ නුඹේ ආචාර්යවරයා නිසාමයි. නුඹේ ආචාර්යවරයා ම යි මෙහි සැබෑම හිමිකාරයා….” කියමින් සතුටු වුනා. බෝසත් ආචාර්යවරයාගේ උපදෙස් පරිදි ගාමිණී රජු ඉතාම ධාර්මිකව රජ කළා.

මහණෙනි…. ඒ කාලෙ ගාමිණී රජ්ජුරුවන් වෙලා හිටියේ මේ භික්ෂුව. ගාමිණී කුමාරයාට රජකමට පාර කියූ ආචාර්යවරයා වූයේ මම යි. දැන් මේ ආත්මේ මං නිවනට පාර කියනවා. දැන් භික්ෂුව ඔබ එදා වගේ ම සිතට ධෛර්යය ගෙන කලබල නොවී ඉවසීමෙන් සිහි නුවණ වඩන්න.”

ඉතින් භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂුවට චතුරාර්ය සත්‍යය ධර්මය දේශනා කළා. ඒ දේශනාවේ කෙළවර එතෙක් උකටලීව සිටි භික්ෂුව උතුම් අර්හත්වයට පත්වුනා.

පින්වතුනේ, පින්වත් දරුවනේ, අපට වුනත් යහපත් දෙයක් කරන්න ගියවිට මොනතරම් අපහසුතා දුෂ්කරතා වෙනවාද. අපිත් ඒ වෙලාවට සිත කලබල නොකරගෙන ඉන්ට ඕනා. සිත නරක් නොකරගෙන ඉන්ට ඕනා. ඉවසීමෙන් ඉන්ට ඕනා. එතකොට නැවත අපට ඒ යහපත් දේ කරගන්න අවස්ථාව ලැබේවි. ධර්මයේ හැසිරීම එහෙම දෙයක් නේද.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

12. නිග්‍රෝධමිග ජාතකය

“හැබෑට ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ ගේ මහාකරුණාව හරි පුදුමයි. අපේ කුමාර කස්සපයන් ගේ මෑණියන් වැරදීමකින් මහණ වුනේ දෙව්දත් පිරිස ළඟ නොවැ. එදා ඇගෙන් කිසිවක් නොවිමසා එළියට බහින්න සිදුවුනා. භාග්‍යවතුන් වහන්සේ කිසිවෙකුට ඇඟිල්ල දික් කරන්න බැරි ලෙස විනයානුකූල විනිශ්චයක් දුන්නා. ඒ නිසා අම්මත් බේරුනා. සිඟිත්තත් බේරුනා.”