highlights of the week
Home » නුවණ වැඩෙන බෝසත් කථා » 05. තණ්ඩුල නාළි ජාතකය

05. තණ්ඩුල නාළි ජාතකය

සහල් නැළියේ කථාව

පින්වතුනේ, පින්වත් දරුවනේ, අපට ඇති සසර පුරුදු ගැන බලද්දි පුදුම හිතෙනවා. බොහෝ දෙනෙක් කලින් ආත්මවල කරපු දේවල් මේ ආත්මෙත් කරනවා. ඉස්සර කළ මෝඩකම් ආයෙමත් කරනවා. ඉස්සර නුවණින් වැඩ කළ අය මේ ආත්මෙත් නුවණින් වැඩ කරනවා. දැන් අපි ඉගෙන ගන්නේ කලින් ආත්මේ කළ මෝඩකම් ආයෙමත් කළ භික්ෂුවකගේ කථාවකුයි.

භාග්‍යවතුන් වහන්සේ මේ තණ්ඩුලනාළි ජාතකය වදාළේ ඒ භික්ෂුව නිසයි. ඒ භික්ෂුව ගේ නම ලාලුදායි. ඒ සිද්ධිය වුනේ මෙහෙමයි.

මල්ලපුත්‍ර දබ්බ නමැති දරුවෙක් කුඩා අවදියේම සසුන්ගත වුනා. ධර්මයෙන් නිසි ඵල නෙළාගෙන රහත් බවට පත්වුනා. මුන්වහන්සේ ප්‍රසිද්ධ වුනේ දබ්බ මල්ලපුත්‍ර රහතන් වහන්සේ කියල. ඉතින් මේ රහතන් වහන්සේට සිතුනා සංඝයාට උපස්ථාන කරන්න. ඒ ගැන භාග්‍යවතුන් වහන්සේට දැනුම් දුන්නා. එතකොට භාග්‍යවතුන් වහන්සේ මේ භික්ෂුවගේ සසර පැතුම් අනුව භත්තුද්දේසක බවට පත් කළා. ඒ කියන්නේ දානයට ඇරයුම් ලැබුන විට ඒ සඳහා මේ මේ භික්ෂූන් යවන්ට ඕනා කියලා පිළිවෙළකට සංඝයාට දැනුම් දී ඒ දානය සඳහා වඩින්නට සැලැස්වීම යි.

ඉදින් උදේම දානයට සංඝයා යොමු කරද්දී ඇතැම් අවස්ථාවලදී ලාලුදායි තෙරුන්ට ප්‍රණීත දානය ඇති තැන්වලට වඩින්ට ලැබෙනවා. ඇතැම් අවස්ථා වලදී නීරස ලාමක දානය ලැබෙන තැන්වලටත් වඩින්ට ලැබෙනවා. නීරස දානයකට බැරි වෙලාවත් ලාලුදායි තෙරුන්ට යන්ට ලැබුනොත් එදාට හරි අවුල්.

“මේ දබ්බයා මොනවාද දන්නේ…. සංඝයාව පිළිවෙළකට යවන්ට දන්නේ නෑ නොවැ….. අපට මේවා තේරෙන්නේ නෑ කියලද හිතන්නේ…. හනේ…..! මට දුන්නොත් ඔය වැඬේ මං ලා…ස්සනට කරලා පෙන්නනවා” මේ ලාලුදායි තෙරුන් ගෙන් බේරෙන්ට බැරි තැන දබ්බ මල්ල පුත්‍රයන් වහන්සේ දානය සඳහා සංඝයාට තුණ්ඩු දීම ලාලුදායි තෙරුන්ට පැවරුවා.

එදා ඉඳලා ලාලුදායි තෙරුන් තමයි සංඝයාට තුණ්ඩු දෙන්ට පටන් ගත්තේ. මේක හොඳ දානයක් ය, මේක ලාමක දානයක් ය කියල දන්නෙවත් නෑ. භික්ෂූන් ගේ වස් ගණන අනුව සංඝයා තෝරන්ට දන්නෙත් නෑ. දානය පිණිස සංඝයා වැඩලා සිටගෙන සිටිද්දි වස් ගණනට සලකන්නෙත් නෑ. ලාලුදායි භික්ෂුව කරන්නේ භික්ෂුව දානය පිණිස ඇවිත් සිටගත් විට මෙතැන මේ භික්ෂුව සිටියා, අතන මේ භික්ෂුව සිටියා කියලා බිම හෝ බිත්තියක හෝ ලකුණක් දානවා.
අනිත් දවසේ තුණ්ඩු ගන්නා භික්ෂූන් අඩුව හෝ සිටින්ටත් පුළුවනි. වැඩිවෙලා සිටින්ටත් පුළුවනි. එතකොට ලාලුදායි භික්ෂුව ලකුණු කළ තැනින් පහළට භික්ෂූන් ටික නමක් සිට ඊට ඉදිරියෙන් භික්ෂූන් වැඩි දෙනෙක් සිටින්ටත් පුළුවනි. එතකොට දානය සඳහා වැඩලා පෝලිමේ ඉන්න භික්ෂූන් ගැන නොසලකා තමන් ලකුණු කරපු තැන ඉන්න භික්ෂූන්ට තුණ්ඩු දෙනවා. එතකොට ඒ භික්ෂූන් ලාලුදායි භික්ෂුවට මෙහෙම කිව්වා.

“ඇවැත් ලාලුදායි…. ඔබ ලකුණු කළ තැන පස්සෙ තිබ්බත් ඉස්සරහ තිබ්බත් වැඩක් නෑ. ප්‍රණීත දානය ලැබුනේ අසවල් වස් ගණනේ භික්ෂූන්ට. ලාමක දානය ලැබුනේ අසවල් වස් ගණනේ භික්ෂූන්ට.”

එතකොට ලාලුදායි භික්ෂුව එකට එක කියන්න ගත්තා.

“මං මේ විදිහට සලකුණු දාල තියෙද්දි අර විදිහට ගිහින් හිටගත්තේ මක්කටෙයි….? මට කියන්නේ ඔහේලාව විශ්වාස කරගෙන තුණ්ඩු දෙන්ටෙයි කියලද…? මං විශ්වාස කරන්නේ මං දාපු සලකුණයි.”

අලුත් පැවිදි වූ තරුණ සාමණේරවරුන්ට ඒ වැඬේ හරි ගියේ නෑ. ඔවුනුත් එකට එක කියන්ට ගත්තා.

“මේ…. ලාලුදායි…. ඔහේගේ තුණ්ඩු බෙදිල්ලෙන් භික්ෂූන්ට ලැබෙන්න නියමිත සංඝ ලාභය හරි විදිහට ලැබෙන්නෙ නෑ. ඔහේට ඔය වැඬේ කොරන්ට බැහැ….. කොටින් ම ඔහේ සුදුසු නැහැ…. ඔහේ යනවා යන්න” කියලා හයියෙන් කතා කළා. ලාලුදායි තෙරුන් කෑ ගහල රණ්ඩු අල්ලන්න පටන් ගත්තා.

භාග්‍යවතුන් වහන්සේට මේ ඝෝෂාව ඇහුනා.

“ආනන්දය….. දානයට තුණ්ඩු බෙදන තැන මහා ඝෝෂාවක් ඇහෙනවා…. රණ්ඩුවක් වගෙයි…. මොකක්ද ඒ කලබල සද්දේ….?”

එතකොට ආනන්දයන් වහන්සේ ලාලුදායි තෙරුන් ගේ අනුවණ ක්‍රියාකලාපය ගැන භාග්‍යවතුන් වහන්සේට සැලකළා.

“ආනන්දය…. ඔය ලාලුදායි දැන් විතරක් නොවෙයි. පෙර ආත්මයකත් මෝඩකම් කරන්ට ගොහින් සෑහෙන්න පාඩු වින්දා.”

එතකොට භික්ෂූන් වහන්සේලාට ලාලුදායි තෙරුන් ගේ පෙර ආත්මයේ විස්තරේ දැනගන්ට ආසා හිතුනා. භාග්‍යවතුන් වහන්සේගෙන් ඒ පෙර සිදු වූ දෙය කියා දෙන්ට කියලා ආයාචනා කළා. ඒ වේලාවෙහි භාග්‍යවතුන් වහන්සේ මේ තණ්ඩුලනාළී ජාතකය වදාළා.

“මහණෙනි, ඒක වුනේ මෙහෙමයි. ඈත අතීත කාලෙක කසී රටේ බරණැස් පුරේ බ්‍රහ්මදත්ත කියල රජෙක් සිටියා. ඒ කාලේ බෝධිසත්වයෝ ඒ රජ්ජුරුවන් ළඟ වැඩ කළා. භාණ්ඩවල වටිනාකම තක්සේරු කළ නිලධාරියා හැටියටයි රාජකාරි කළේ. මොහු ඇතුන්ව, අශ්වයන්ව රන්, රිදී මුතු මැණික් වලට සාධාරණ මිලක් තක්සේරු කළා. එතකොට ඒ ඒ භාණ්ඩවල හිමිකරුවන්ට ඊට අදාළ වටිනාකමට මුදල් ලැබුනා. නමුත් ඒ රජු මහා ලෝභයෙක්. ඔහු මෙහෙම හිතුවා.

“හපොයි…! මේ තක්සේරු නිලධාරියා හිටියොත් මං සුං. මුන්දෑ හරි ගාණට මිළ නියම කොරනවා නොවැ….. මෙහෙම භාණ්ඩ තක්සේරු කොරන්ට ගියොත්…. තව…. ටික කලක් යද්දී… භාණ්ඩාගාරේ ධනය නිකම්ම හිස් වෙලා යාවි….. බැහැ බැහැ…. එහෙම වෙන්ට දෙන්න නාකයි…. මට ගැලපෙන එකෙක්ව පත් කොර ගන්ට ඕනෑ.

රජතුමා උඩුමහලට ගොහින් සීමැදිරි කව්ලුවෙන් ඈත බලාගෙන ඔය විදිහට දුක්ඛිත සිතුවිලි සිත සිතා හිටියා. එතකොට ගමේ හිටිය මහා ලෝභ කුණෙක් රජ මිදුලෙන් යනවා දැක්කා. දැකලා මෙහෙම හිතුවා.

“ආන්න යනවා….. මගේ වැඬේට ගැලපෙන එකා….. ඒකාව ගෙන්න ගන්ට ඕනා.”

ඉතින් රජු ඔහුව ගෙන්නලා කිව්වා.

“බොල…. මං තට අගේ ඇති රස්සාවක් දෙන්නම්. භාණ්ඩවල මිල නියම කොරන්ඩ තට පුළුවන් නොවැ”

“එහෙමයි… දේවයන් වහන්ස…… මට අගේට පුළුවනි.”

රජතුමා තමන්ගේ වස්තුව රැකගන්ට ලෝභකමෙන් මේ අඥාන පුද්ගලයාව තක්සේරු නිලධාරියා හැටියට පත් කළා. එදා ඉඳලා මේ මෝඩයා හිතුමනාපේ මිල නියම කරනවා. තමන් ඒ තනතුරේ සිටිය නිසා මොහු ගේ නියමය අවසන් තීරණය වුනා.

දවසක් උතුරු ප්‍රදේශයේ ඉඳලා එක්තරා අස් වෙළෙන්දෙක් අශ්වයන් පන්සියයක් අරගෙන බරණැසට ආවා. අශ්වයන් පන්සියය රජ මිදුලට ගෙනාවා. රජ්ජුරුවෝ අර මෝඩ නිලධාරියා කැඳෙව්වා. අශ්වයන් පන්සිය දෙනාට මිලක් නියම කරන්ට කිව්වා. ඔහු ගාම්භීර ලීලාවෙන් ඔලුව හරවා අශ්වයන් දෙස බලා මෙහෙම කිව්වා.

“දේවයන් වහන්ස,…. මට පෙනෙන හැටියට…. මේ…. අස්පයන්ට වටිනාකොම මෙහෙමයි දෙන්ට වෙන්නෙ….. මේ අස්පයන් පන්සිය දෙනාගේ වටිනාකොම සහල් නැළිය යි.”

අස්ස වෙළෙන්දා උඩ ගිහින් බිම වැටුනා. දෑස් ලොකු වුනා. දිව ගිලුනා. දාඩිය දැම්මා. කලන්තෙ හැදුනා. කරන්ට දෙයක් නෑ. රාජකීය තක්සේරු නිලධාරියා ගේ තීරණය නොවැ. අශ්වයන් මාළිගයට ලැබුනා. සහල් නැළිය වෙළෙන්දාට ලැබුනා. වෙළෙන්දා සහල් නැළියත් අරගෙන හඬ හඬා බෝධිසත්වයන් සොයාගෙන ගියා. හැඬූ කඳුළින් විස්තරේ කිව්වා. එතකොට ඔහු වෙළෙන්දාට උපදේශයක් දුන්නා.

මිත්‍රය…. කලබල වෙන්න එපා….. ඔය තක්සේරුකාරයා මෝඩයෙක්…… ඔබ මෙහෙම කරන්න. ඔය පුද්ගලයාට මොකක් හරි තෑග්ගක් දෙන්න. දීල මෙහෙම අහන්න.

“පින්වත, මගේ අශ්වයන් පන්සිය දෙනාට ඔබතුමා එක් සහල් නැළියකට තක්සේරු කළා. ඒ වගේ ම ඔබතුමා ගේ අවබෝධයෙන් ම සහල් නැළියේ වටිනාකම කීයකට තක්සේරු කරනවා ද කියල දැනගන්ට කැමැතියි. ඉතින්…. රජතුමා ඉදිරියේ මේ සහල් නැළියේ වටිනාකම මෙපමණක් ය කියල කියන්ට පුළුවන් නේද…..?”

එතකොට ඔහු අර තෑග්ග ගනීවි. රජතුමා ඉදිරියේ වටිනාකම කියන්ට පුළුවනි කියල පොරොන්දු වේවි.

අස් වෙළෙන්දා බෝධිසත්වයන් කියූ ලෙසට ම ඔහු මුණ ගැහුනා. තෑගි භෝග දුන්නා. තමන්ගේ පැත්තට නම්මවා ගත්තා. අල්ලසට යට වූ ඔහු අස් වෙළෙන්දාගේ ඉල්ලීමට සහල් නැළිය තක්සේරු කරන්ට කැමති වුනා. එදා බෝධිසත්වයෝත් බොහෝ ඇමතිවරුත් මාළිගාවට ගියා.

අස්වෙළෙන්දා රජුට වන්දනා කළා. මෙහෙම කිව්වා.

“දේවයන් වහන්ස, පන්සියයක් වූ අශ්වයන් ගේ වටිනාකම වුනේ එක් සහල් නැළියයි. දේවයන් වහන්ස…. මේ සහල් නැළියේ වටිනාකම කොපමණක් දැයි රාජකීය තක්සේරු නිලධාරියාගෙන් අසා වදාරණ සේක්වා!”

එතකොට රජු තමා පත්කළ තක්සේරු නිලධාරියා දෙස බැලුවා.

“එම්බා තක්සේරුකාරය, පන්සියයක් අශ්වයන් ගේ වටිනාකොම කොපමණ ද….?”

“දේවයන් වහන්ස,…. සහල් නැළියකි.”

“එම්බල…. එය එසේම වේවා. ඒ අශ්වයෝ සහල් නැළියක් ම වටිත්වා! එතකොට සහල් නැළියේ වටිනාකොම කොපමණ ද?”

“දේවයන් වහන්ස…. මේ සහල් නැළිය එසේ මෙසේ දෙයක් නොවේ. ඇතුලු නුවරත් පිටනුවරත් යන දෙකින් යුතු බරණැස් රාජ්‍යය තරම් අගනේය.”

“මොහු කලින් රජුගේ ප්‍රශ්නයන්ට අනුව කටයුතු කිරීමෙන් අශ්වයන් පන්සියයකගේ වටිනාකම එක් සහල් නැළියක් වුනා. නැවත අස් වෙළෙන්දාගෙන් අල්ලස් ගෙන ඒ සහල් නැළිය අභ්‍යන්තර බාහිර සම්පතින් යුතු බරණැස් රාජ්‍යයට තක්සේරු කළා.

මහණෙනි….. ඒ කාලේ ඇතුලු නුවර ප්‍රාකාර වට රවුම දොළොස් යොදුනක් ප්‍රමාණයෙන් යුක්තයි. (කිලෝ මීටර් 120 කි) බාහිර නගරය යොදුන් තුන්සියයක ප්‍රමාණයෙන් යුක්තයි. (කිලෝ මීටර් 3000 කි) මෙසේ ඒ මෝඩ තක්සේරුකාරයා මේ සා සමෘද්ධිමත් බරණැස් රාජ්‍යය එක් සහල් නැළියකට තක්සේරු කළා.

මෙය ඇසූ ඇමැතිවරු හයියෙන් අප්පුඩි ගසා හිනැහෙන්න පටන් ගත්තා.

“දේවයන් වහන්ස…. අපි ඉස්සර අහලා තිබුනේ මහපොළොවත්, රජ්ජුරුවන්වත් වටිනාකම තක්සේරු කරන්ට බැහැ කියලයි… අඳෝමැයි…. දැන් බැලින්නම් රජුන් සහිත බරණැස් රාජ්‍යයේ වටිනාකම සහල් නැළියයි නොවැ. අහෝ…. තක්සේරුකරුවෙකු ගේ ඤාණමහිමයේ හැටි….! මෙපමණ කල් මේ තක්සේරුකරු කොහෙදෑ හිටියේ….? අපගේ දේවයන් වහන්සේ ගේ සිතැඟි අනුව මොහු මෙහෙමද කටයුතු කරන්නේ…?”

රජ්ජුරුවන් ගේ මූණ ලැජ්ජාවෙන් රතු වුනා. කරගන්ට දෙයක් නෑ. වහාම ඒ මෝඩයාව ඉවත් කළා. බෝධිසත්වයන්ට ඒ තනතුරු පැවරුවා. ඒ කාලෙ ලාලුදායි තමයි ඒ මෝඩ වැඩේ කළේ.

පින්වතුනේ, පින්වත් දරුවනේ, මේ ජීවිතයේ දී අපිත් ඕනෑම දෙයකට නිසි වටිනාකම තක්සේරු කරලා දැනගන්ට හැකියාව තියෙන්න ඕනා. දැක්ක නේ…. ලාලුදායි තෙරුන්ට වූ දේ… මව්පියන් ගේ වටිනාකම, ගුරුවරුන් ගේ වටිනාකම දැනගන්ට ඕනා. ඒ වගේ ම සුළු දෙයක් නමුත් අපි පරිහරණය කරන දේ ගැන පවා වටිනාකම දැන ගන්ට ඕනා. එහෙම නොවුනොත් රජුන් සහිත බරණැස් රාජ්‍යය සහල් නැළියකට තක්සේරු කළ මෝඩ පුද්ගලයාට වූ දේ අපටත් වේවි.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

12. නිග්‍රෝධමිග ජාතකය

“හැබෑට ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ ගේ මහාකරුණාව හරි පුදුමයි. අපේ කුමාර කස්සපයන් ගේ මෑණියන් වැරදීමකින් මහණ වුනේ දෙව්දත් පිරිස ළඟ නොවැ. එදා ඇගෙන් කිසිවක් නොවිමසා එළියට බහින්න සිදුවුනා. භාග්‍යවතුන් වහන්සේ කිසිවෙකුට ඇඟිල්ල දික් කරන්න බැරි ලෙස විනයානුකූල විනිශ්චයක් දුන්නා. ඒ නිසා අම්මත් බේරුනා. සිඟිත්තත් බේරුනා.”