කළු වෘෂභයාගේ කථාව

පින්වතුනේ, පින්වත් දරුවනේ,
වගකීම් හැමෝටම දරන්ට බෑ. ඕනෑම වගකීමක් දරන්ට පුළුවන් අය ඉන්නවා. අපගේ භාග්‍යවතුන් වහන්සේ අන්න එබඳු උත්තමයෙක්. දවසක් අපගේ භාග්‍යවතුන් වහන්සේ අසවල් දවසේ ගණ්ඩබ්බ වෘක්ෂ මූලයේදී ප්‍රාතිහාර්යය පානවා කියා ප්‍රසිද්ධියේ ප්‍රතිඥා දුන්නා. එතකොට ඒ කාලේ ශාස්තෘවරු හැටියට ප්‍රසිද්ධව සිටි ෂඞ් ශාස්තෘවරු අපිත් ප්‍රාතිහාර්යය පාන්ට දන්නවා නොවැ කියලා ඉදිරිපත් වුනා. කිසිවක් කරගන්නට බැරිව පසුබා ගොහින් සැඟවුනා. අපගේ භාග්‍යවතුන් වහන්සේ යමක මහා ප්‍රාතිහාර්යය දක්වා දෙව්ලොවට වැඩියා. දෙව්ලොව වස් වැසුවා. වස් පවාරණයෙන් පස්සේ සංකස්සට වැඩම කොට මහා පිරිවර සහිතව ජේතවනයට වැඩියා.

දම්සභා මණ්ඩපයේ රැස්වූ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේගේ මේ ආශ්චර්යය ගැන කථා කරමින් සිටියා. එතැනට වැඩිය භාග්‍යවතුන් වහන්සේ තමන් පෙර තිරිසන්ගත අවස්ථාවේ පවා ඉතා බලවත්ව වගකීම් දැරූ බව වදාළා. ඒ භික්ෂූන් වහන්සේලාගේ ඉල්ලීම මත භාග්‍යවතුන් වහන්සේ මේ ජාතකය වදාළා.

“පින්වත් මහණෙනි, ගොඩාක් ඉස්සර කාලෙක බරණැස් පුරේ බ්‍රහ්මදත්ත නමින් රජ්ජුරු කෙනෙක් වාසය කළා. ඒ කාලේ බෝධිසත්වයෝ ගව යෝනියෙහි ඉපිද සිටියා. මේ ගවයා පැටියා කාලේ එක්තරා මැහැලියකගේ ගෙදර නැවැත්තුවා. හැදූ වැඩූ කුලිය ගෙවාගන්ට බැරිවීමෙන් ඒ මැහැලියට ම වහු පැටියා සින්න වුනා. මේ ආච්චි සිය ගව පැටියාට මහත් ආදරයෙන් යුක්තයි. තමන්ගේ දරුවෙකුට වගේ කන්ට බොන්ට දී ඇතිදැඩි කළා. මේ ගවයා තද කළු පාටයි. මේ නිසා ‘ආච්චිගේ කලුවා’ කියා මේ ගවයා ප්‍රසිද්ධ වුනා. තරුණ වයසට පත්වෙද්දි මොහු මහා උස මහතකින් යුතු වෘෂභ රාජයෙකුගේ පෙනුම ඇති මහා ගවයෙක් වුනා. අනිත් ගවයන් එක්ක මොහු ඇවිදින්ට යනවා. නමුත් කිසි කලබලයක් නෑ. හරිම ශීලාචාරයි. කාටවත් හිංසා පීඩාවක් කරන්නේ නෑ. හැමෝම මේ ගවයාට ආදරෙයි. ගමේ කොලු ගැටව් මේ ගවයාගේ අං දෙකෙන් එල්ලෙනවා. කන් දෙකෙනුත් එල්ලෙනවා. බෙල්ලෙනුත් එල්ලෙනවා. පිටේ නගිනවා. වලිගයෙන් අදිනවා. කොලු ගැටවුන්ට ඕනෑ දෙයක් කරන්ට ඇරලා ආච්චිගේ කලුවා පාඩුවේ ඉන්නවා.

දවසක් බෝධිසත්වයෝ මෙහෙම කල්පනා කළා. ‘අනේ මගේ මෑණියෝ මාව හදාවඩා ගන්ට බොහෝ දුක් වින්දා. මාත් මොකාක්හරි වැඩක් පලක් කරලා මේ දිළිඳු බවින් ඈව මුදවා ගන්ට ඕනෑ’ එදා පටන් මේ ගවයා නිතරම වැඩක් පොලක් සොයමින් සිටියා. දවසක් ගැල්කරුවෙකුගේ පුතෙක් පන්සියයක් ගැල් අරගෙන වැරදි තොටුපලකින් ගොඩකරවන්ට ගොහින් ඒ ගැල් ඔක්කෝම එරුනා. ඔහුගේ ගවයන්ට ඒවා අදින්ට පුළුවන් වුනේ නෑ. ගැල් පන්සීයේම ගොන්නු එක පෙළට තබ්බවලා අදින්ට ගියත් එක ගැලක්වත් සොලවන්ට බැරිවුනා. මේ වෙලාවේ බෝසත් ගවයාත් ගමේ ගවරැල සමගින් ඒ තොටුපල අසළ ගැවසෙමින් සිටියා. ගැල්කරුවාගේ පුත්‍රයා ගවයන්ගේ සළකුණු වලින් ඔවුන් සතු දක්ෂතා හඳුනාගන්ට දන්නවා. අර ගවයන් අතරවත් අපේ ගැල අදින්ට පුළුවන් ගවයෙක් ඉන්නවාද කියලා බැලුවා. එතකොට බෝසත් ගවයාව දකින්ට ලැබුනා. ‘හප්පේ…. යාන්තම් ඇති…. අන්න…. අර ඉන්නේ…. අපූරු ආජානීය වෘෂභ රාජයෙක් නොවැ. මෙයාට නම් ගැල් පන්සීයම වුනත් ගොඩ දමන්ට ඇහැක් වේවි’ මෙහෙම හිතලා ළමයින්ට කථා කළා. “ඒයි ළමයිනේ…. කවුද මේ ගවයාගේ අයිතිකාරයා? හරි අපූරු ගවයෙක් නොවැ. මට මේ ගවයාගෙන් මගේ ගැලට උදව් ගන්ට ඕනෑ. මං ඒකට ගෙවීමක් කරනවා” එතකොට ළමයි මෙහෙම කිව්වා.

“මේ වෙලාවේ මෙතන මෙයාගේ අයිතිකාරයෝ නෑ. එක්කරගෙන ගිහින් ඕනෑ වැඩක් අරගන්ට.”

එතකොට ගැල්කරු පුත්‍රයා බෝසත් ගවයාට නාස් ලණුව දැම්මා. අරගෙන යන්ට ඇද්දා. ගල් කුලක් වගේ බෝසත් ගවයා නොසැලී සිටියා. ගැල්කරු පුත්‍රයාට ගවයාගේ අදහස තේරුනා. ඔහු මෙහෙම කිව්වා.

“ස්වාමී…. මට පිහිට වෙයං. මගේ ගැල් පන්සීය ගොඩ දැම්මොත් එක ගැලකට කහවණු දෙක ගානේ මං නුඹට කහවණු දහසක් දෙනවා. මාව විශ්වාස කරපං.”

එතකොට බෝසත් ගවයා කැමැත්තෙන්ම පිටත් වුනා. මිනිස්සු බෝසත් ගවයාව ගැලේ බැන්දා. ගවයා එක හුස්මට ගැල ගොඩට ඇදගෙන ආවා. ඔය ක්‍රමයෙන් ගැල් පන්සියයම ගොඩ ගත්තා. ගැල්කරු පුත්‍රයා ගවයා ඉදිරියට මල්ලක් ගෙනාවා. ගවයාට පෙනෙන්ට එක් ගැලකට කහවණුව බැගින් කහවණු පන්සියයක් දැම්මා. “ඕං පුතේ…. ගාණ හරි” කියලා ගවයාගේ ගෙලේ බැන්දා. ගවයාට මෙහෙම හිතුනා. ‘ආහා…. දැන් මෙහෙමද මෙයා? කලින් කතා කරපු ගාණ නොදී ඉන්ටයි යන්නේ. මට පොරොන්දු වූ ගාණ දෙනකල් මං මෙයාලට යන්ට දෙන්නේ නෑ’ කියලා ඔවුන්ට යන්ට බැරි විදිහට පාර හරස් කරගෙන සිටගත්තා. ගවයාව පාරෙන් ඉවත් කරන්ට මොනතරම් මහන්සි ගත්තත් බැරිවුනා. ගැල්කරු පුත්‍රයාට ගවයාගේ අදහස තේරුනා. අන්තිමේදී ඉතුරු කහවණු පන්සීයත් ගණන් කරලාම ගවයාට පෙන්නලා මල්ලට දැම්මා. එතකොට ගවයා පාරෙන් ඉවත් වෙලා ඔවුන්ට යන්ට ඉඩ දුන්නා. එදා බෝධිසත්වයන්ට හරි සතුටුයි. සල්ලි මල්ලත් බෙල්ලේ එල්ලාගෙන මෑණියන් ළඟට යන්ට පිටත් වුනා. ගමේ කොලු ගැටව් ගවයාව වටකර ගත්තා. “හාහා…. අද සරුයි වගේ. අපිත් බලමු ආච්චිගේ කලූට මොනවාද ලැබුනේ කියලා” ඔවුන් ළං වුනා. එතකොට ගවයා සැරෙන් පිඹලා ඔවුන්ව පළවා හැරියා. මෑණියන් ළඟට දුවගෙන ගියා.

ගැල් පන්සීයක් ම එක දිගට නොනවත්වා ඇදපු නිසා ගවයා හොඳටම හෙම්බත් වෙලා සිටියා. දෑස් රතුවෙලා තිබුනා. අධික වෙහෙසකින් යුක්ත වුනා. ආච්චි මල්ල අතට ගත්තා. “මයෙ පුතේ…. මොනාද මේ මට ගෙනාවේ…. හප්පේ… කහවණු නොවැ. කොහෙන්ද මේවා?” එතකොට පස්සෙන් දුවගෙන ආපු කොලු පැටව් විස්තර කිව්වා. මෑණියන්ට ගොඩාක් දුක හිතුනා. “අනේ මයෙ පුතේ…. උඹ වැඩපළ කරලා ගේන මුදලින් මට ජීවත් වෙලා මොකටද? අනේ… මෙහෙම දුක් විඳින්ට එපා පුතේ!” කියලා ආච්චි එදා බෝසත් ගවයාව රස්නෙ වතුරෙන් නෑව්වා. මුළු ඇඟේම තෙල් ගෑවා. පැන් පෙව්වා. කෑම කැව්වා. ආදරෙන් උපස්ථාන කළා.

පින්වත් මහණෙනි, දැන් පමණක් නොවෙයි. තථාගතයන් සමාන වගකීම් උසුලන්ට හැකි කෙනෙක් ඒ කාලේ සිටියෙත් නෑ” කියලා මෙය වදාළ භාග්‍යවතුන් වහන්සේ මේ ගාථාව වදාළා.

“යම් යම් තැනදි උසුලයි නම් වගකීම්
කොතරම් බරපතල නමුත් එය උසුලන්නේ ම ය
අන් ගවයන් හට නොහැකිව අසරණ වූ ඒ ගැල
තනියම උසුලා ඒ කළු ගවයා
ඉසිලුවේය වගකීම මැනවින්”

පින්වත් මහණෙනි, එදා ආච්චි වෙලා සිටියේ උප්පලවණ්ණාවෝ ය. ආච්චිගේ කලුවා වෙලා සිටියේ මමයි” කියා භාග්‍යවතුන් වහන්සේ මේ කණ්හ ජාතකය වදාළා.

– පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ