ඒ, තුන්ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරහත් සම්‍යක් සම්බුද්ධ දසබලධාරී සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේගේ පිරිනිවීමෙන් 235 වන වසරයි. එසමයෙහි අප භාග්‍යවතුන් වහන්සේගේ පර්යාප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේධ ආදී වශයෙන් තෙවැදෑරුම් වූ ශේෂ්ඨ බුද්ධ ශාසනය බැබළවීම උදෙසා ම බඹ ලොවින් මනුලොව වැඩි මොග්ගලී පුත්ත තිස්ස සංඝ පරිණායකයන් වහන්සේ දහසක් රහතුන් පිරිවරාගෙන ධර්මාශෝක මහාධිරාජයන්ගේ අනුග්‍රහයෙන් සැටදහසක් දුසිල් මහණුන් සසුනෙන් නෙරපා ධර්ම විනය සංගායනා කොට බුදු සසුන් පහන් රුක දල්වා ස්ථීර කොට නගා තැබූ සේක. ඒ අපගේ මොග්ගලීපුත්තතිස්සයන් වහන්සේ ‘සහස්සිකා’ මහා සංගීතිය නිමවා අනාගතය බලන සේක්, අනාගතයෙහි ජම්බුද්වීපයේ බුද්ධ ශාසනය නොරැකෙන බව ද, ප්‍රත්‍යන්ත ජනපදයන්හි ශාසනය පිහිටුවීම සඳහා නියම කාලය උදාපත් වූයේ යයිද දැක වදාරා ව්‍යක්ත ප්‍රතිබල මහා ක්ෂීණාශ්‍රවයන් වහන්සේලා ප්‍රත්‍යන්ත දේශයන් පැහැදවීම පිණිස පිටත් කොට වදාළ සේක.

ශ්‍රී සද්ධර්ම සීහ තෛලයෙන් දැල් වූ බුදුසසුන් මිණිපහන මතු පන්දහසක් කල් මුළුල්ලේ නොනිවී බැබළෙමින් දරා සිටින ස්වර්ණ පාත්‍රයක් සදිසි වූ ශ්‍රී ලංකාද්වීපයෙහි සසුන පිහිටුවීම උදෙසා සුදුසු වන්නේ කවුරුන්දැයි බලන කල්හි, ඒ සඳහා සසර පිහිටුවාගත් අධිකාර ඇති බව ද, ශ්‍රී ලංකාද්වීපයෙහි අග්‍රරාජ වූ දෙවනපෑතිස්සයන් දිවමන් සම්බුදු රජුන් සමයෙහි ජාණුස්සෝනි බ්‍රාහ්මණතුමන්ව වසන කල්හි පිලෝතික නම් පරිබ්‍රාජක කෙනෙක්ව ඥානපද සතරකින් බුද්ධ ඥානයට ස්තූති කොට උතුම් බුද්ධරත්නය කෙරෙහි ජාණුස්සෝනි බමුණුතුමන්ගේ සිත පහදවා චුල්ලහත්ථිපදෝපම සූත්‍ර දේශනාව සිදුවීමට මුල්වීම් වශයෙන් පැවතියා වූ දියෙහි සැඟව ගිය උපුල් කැකුළක් සෙයින් භවාන්තරයෙන් වැසීගත් මිත්‍ර සම්බන්ධතාව ද, සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලංකාද්වීප ශාසන ප්‍රතිෂ්ඨාපනය පිළිබඳව වදාරන ලද අනාගත වචනයන් ද දැක තමන් වහන්සේගේ ශිෂ්‍ය වූ උපසම්පදාවෙන් දොළොස්වස් ඇති මහා මහේන්ද්‍ර ස්ථවිරයන් වහන්සේ ඒ සඳහා සුදුසු වන්නේ යැයි තීරණය කළ සේක. ඒ මහ මිහිඳු තෙරුන් ද, උන්වහන්සේගේ සද්ධිවිහාරික වූ ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන තෙරුන් වහන්සේලා ද ඇමතූ මොග්ගලීපුත්ත තිස්සයන් වහන්සේ “දරුවෙනි, තැන තැන සුපිහිටි විල්පතැස් සහිත වන ගහණයෙන් විසිතුරු වූ බැවින් මනෝඥ යැයි කියන ලද ශ්‍රී ලංකාද්වීපයෙහි මනෝඥ වූ ශ්‍රී සම්බුද්ධ ශාසනය තෙපි ගොස් පිහිටුවව්’ යැයි කියා සංඝානුමතියෙන් ආරාධනා කොට වදාළ සේක.

ඒ අපගේ මහ මිහිඳු තෙරණුවෝ ’ශ්‍රී ලංකාද්වීපයට වැඩමවීම පිණිස මේ කාලය වේ දෝ’ හෝ යි බලා වදාරණ සේක්, දැනට ලක්දිව රජු වූ මුටසීවයන්ගේ වයෝවෘද්ධත්වය දැක ‘තවම ලංකාගමනය උදෙසා කල් නොපැමිණියේය’ යි දැන වදාරා, මහා සංඝයාට වැඳ ‘තව නොබෝ කලකින් මාගේ ලංකාගමනය වන්නේ යැ’යි ධර්මාශෝක පිය මහ රජාණන් හට ද දන්වා, උඳුවප් මස පැළළුප් නුවර අශෝකාරාමයෙන් පිටත්ව පිළිවෙළින් රජගහ නුවර වටා දක්ෂිණාගිරි ජනපදයේ චාරිකාවෙහි වැඩම කළාහුය. එසේ වැඩ ඥාති සංග්‍රහ කරමින් තමන් වහන්සේගේ මව් බිසොව වූ වේදිසදේවී විසින් කරවන ලද වේදිසගිරි මහා විහාරයේ වැඩ වසන කල්හි සය මසක් ඉකුත් වූයේය.

දිනක් ඒ මිහිඳු මාහිමියන් වහන්සේ ‘ඥාතීන් හට අනුග්‍රහ වශයෙන් මා විසින් කළ යුතු සියලු කෘත්‍යයන් කොට නිමවන ලදී. ලංකාද්වීපයට වැඩමවීම පිණිස කල් පැමිණියේය. එසේ නමුත් පළමුවෙන් ම මාගේ පියතුමන් විසින් යවන අභිෂේක උපකරණයන්ගෙන් දෙවනපෑතිස් රජු ක්ෂත්‍රීය අභිෂේකය ලබාවා! අභිෂේකෝත්සවය සඳහා ලක්දිවට යන රාජදූතයන්ගෙන් තිස්ස රජුට තෙරුවන් ගුණ අසන්නට ලැබේවා! ඔහු පොසොන් පුන්පෝදා මිස්සක පර්වතයට පැමිණේවා! එකල්හි ලක්දිවට වැඩම කරන්නෙමි’ යි සිතූ සේක. තෙරුන්ගේ සිත සිය සිතින් පිරිසිඳ දත් සක් දෙව් මහ රජාණෝ ඒ ක්ෂණයෙහි ම තෙරුන් වහන්සේ වෙත එළඹ ඇඳිලි බැඳ වන්දනා කරගෙන මෙසේ පැවසුවේය.

“ස්වාමීන් වහන්ස, ලෝකස්වාමී වූ අප භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වයට පත්ව බෝධිමූලයෙහිදී ම ලොව බලා වදාරණ සේක්, ශ්‍රී ලංකාද්වීපය අනාගතයෙහි ශ්‍රේෂ්ඨ බුද්ධ ශාසනයට ජය භූමිය වන බව ද, ඔබවහන්සේ ශ්‍රී ලංකාද්වීපයෙහි ශාසනය පිහිටුවීම කරන බව ද දැක වදාරා ‘අනාගතයෙහි මහින්ද නම් භික්ෂුවක් ලංකාද්වීපය බුදු සස්නෙහි සුපහන් කරන්නේයැ’ යි මෙසේ අනාගත වාක්‍යයක් ප්‍රකාශ කොට වදාළ සේක. එබැවින් ස්වාමීනී, ලක්දිව පැහැදවීම පිණිස වැඩම කරන සේක්වා! අපිත් ඒ සඳහා සහාය වන්නෙමු.”

ඒ අතර ලක්දිව මුටසීව රජු අභාවයට පත් වූයේ, ඔහුගේ දෙවැනි පුතු වූ තිස්සයන් ලක්දිව අග්‍රරාජ පදවියට පත් වූයේය. තිස්ස රජු විසින් සිය අදෘෂ්ට මිත්‍ර වූ දම්සෝ නිරිඳුන් වෙත යවන ලද මහාර්ඝ පුද පඬුරුවලින් විස්මයට පත් වූ ධර්මාශෝක මහාධිරාජයන් විසින් පෙරලා එවන ලද පඤ්ච රාජ කකුධ භාණ්ඩයන්ගෙන් ඒ තිස්ස නරපති තෙමේ වෙසඟ පුන් පෝ දින ’දේවානම්පියතිස්ස’ නාමයෙන් ක්ෂත්‍රීය අභිෂේකය ද ලැබුවේය.

එසමයෙහි තථාගත පරිදීප වචනයෙන් තෙදගන්වන ලද සිත් ඇති අපගේ මිහිඳු මාහිමියන් වහන්සේ ‘ශ්‍රී ලංකාද්වීපය අන්‍ය තීර්ථක මිථ්‍යාදෘෂ්ටිකයන් හට වාසභූමියක් වීම රිසි නොවූ ශාක්‍යමුනි අප භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ තෙවරක් ශ්‍රී ලංකාද්වීපයට වැඩම කළ බව ද, අනාගතයේ බුද්ධ ශාසනය පිහිටුවීම උදෙසා ලක්දිවයින තමන් වහන්සේ විසින් අත්පත් කරගත් බව ද දක්වනු පිණිස අනන්ත බුද්ධානුභාවය පිහිටුවා අටෝරාසියක් මඟුල් ලකුණින් සොබනා රන් සිරිපා සලකුණ සමන් කුළු මුදුනත සටහන් කොට වැඩි සේක. දැන් මා විසින් ඒ ශාස්තෘන් වහන්සෙගේ අභිමතය පරිදි සිදු කළ යුත්තේයැ’යි සිතා වදාරා පොසොන් මස මැදි පොහෝ දින දිවා භාගයේ වේදිසගිරි වෙහෙරින් පැන නැගී තමන් වහන්සේගේ සද්ධිවිහාරික තෙරුන් වහන්සේලා සිව්නම ද, සංඝමිත්තා නැගෙණියගේ පුත්‍ර වූ ෂඞ් අභිඥාලාභී මහා ඉර්ධිමත් වූ සුමන සාමණේරයන් වහන්සේ ද, මෑණියන්ගේ සොයුරියගේ දියණියගේ පුත්‍රයා වූ අනාගාමී භණ්ඩුක උපාසකතුමා ද යන පිරිස පිරිවරාගෙන ගගන තලයෙහි විරාජමාන වූ හංස රාජයක්හු සෙයින් වික්‍රමාන්විත ආශ්චර්ය මනෝරම්‍ය ගමනින් වැඩ ගිරිමුදුනක දිස් වූ සිහරජක්හුගේ විලාසය දක්ව දක්වා, මිහිතලය විසින් දරනු ලබන හෙයින් මහීධර යනුවෙන් ද, නිල් මේ කුළක් බඳු හෙයින් පිලකූට යනුවෙන් ද හඳුන්වනු ලබන්නා වූ අම්බස්ථල පර්වත මස්තකයෙහි පෙනී ගිය සේක.

එකල්හි ඒ ආශ්චර්යය දුටු ලංකාද්වීපයට අධිගෘහිත දෙවියෝ නේකවිධ පූජාවන්ගෙන් අපගේ තෙරුන් වහන්සේව පුදන්නට පටන් ගත්තාහුය. (උන්වහන්සේ දඹදිව්තලයේ සිට ම ඉර්ධියෙන් ලක්දිවට වැඩිවග ක්‍රි.පූ 3 වන සියවසට අයත් අම්පාර රජගලතැන්න අභිලේඛන මූලාශ්‍රය මගින් ද තහවුරු වේ. එනම්, “යෙ ඉම දිප පටමය ඉදිය අගතන ඉඩික තෙර – මහිද තෙරහ තුබෙ” – මෙය මේ දිවයිනට පළමුවෙන් ඉර්ධියෙන් වැඩම කළ ඉට්ඨිය තෙරුන්ගේ ද, මහින්ද තෙරුන්ගේ ද ස්තූපයයි.) paranavithana, inscriptions of Ceylon vol.I, 1970, 468th )

ඒ පොසොන් පුන් පෝ දින ලංකාද්වීපයෙහි මූලනක්ෂත්‍ර නම් නැකැත්කෙළි උළෙල එළඹුණු බැවින් දෙවනපෑතිස් රජ තෙමේ නුවරවැස්සන් හට ‘ජලක්‍රීඩා කරව්’ යයි විධාන කොට සතලිස් දහසක් පුරුෂයන් පිරිවරා දඩ කෙළිය පිණිස නික්මුණේය. අනුරාධපුරයේ සිට පයින් ම දුවමින් මිස්සක පව්ව දෙසට පැමිණියේය. එම පර්වතයට අධිපති දිව්‍යරාජයා තෙරුන් වහන්සේව රජුට දක්වන රිසින් තණ බුදිමින් සිටින රෝහිත නම් මුවකුගේ වෙස් ගෙන රජුට පෙනෙන සේ සිටියේය. ‘ගොදුරු ගනිමින් සිටින සතෙකුට විදීම සුදුසු නොවේය’ යි සිතූ රජ තෙමේ මුවාට ඇසෙන සේ දුනුදිය පෙළීය. එකල්හී ඒ මුවා තණ බුදීම නවතා අඹතලා පව්ව දෙසට වැටී ඇති මග ඔස්සේ දුවන්නට පටන් ගත්තේය. රජ තෙමේ ද ඒ පසුපස ලුහුබඳින්නට වූයේය.

‘අප බොහෝ දෙනෙකුන් දුටු කල්හි මේ රජතුමා බියට පත් වන්නේය. එබැවින් රජතුමා මා පමණක් දකීවා! සෙස්සන් නොදකීවා’ යි සිතූ මිහිඳු මාහිමියන් වහන්සේ වික්ෂිප්තව සිටි රජු දැක ‘තිස්ස, තිස්ස, මෙහි එන්නැ’යි වදාළ සේක. රජ තෙමේ ද තෙරුන් වහන්සේ දැක ‘මේ දිවයිනෙහි උපන් කෙනෙක් නම කියා මා අමතන්නට සමත් නොවෙයි. එහෙත් මේ සුන්බුන් කසාය වස්ත්‍ර දරන හිස මුඩු කරගත් ශ්‍රමණයා නම කියා මා අමතයි. මොහු මනුෂ්‍යයෙක් ද? නැතහොත් අමනුෂ්‍යයෙක් ද?’ යැයි සිතුවේය. රජුගේ ඒ සිතුවිල්ල දත් තෙරුන් වහන්සේ ‘එසේ නොසිතව මහරජාණෙනි, අපි වනාහී ධර්මරාජයන් වහන්සේගේ ශ්‍රාවක වූ ශ්‍රමණයෝ වම්හ. ඔබ කෙරෙහි අනුකම්පාවෙන් ම (හිමවත මහ දඹරුකෙහි අනුහසින් එනම් ලත්) ජම්බුද්වීපයෙහි සිට මෙහි පැමිණියෙමු’ යැයි වදාරා රජු අස්වැසූ සේක. රජ තෙමේ ද සිය මිතුරු අධිරජුගේ හසුන සිහි කොට බිය පහ කර දමා ‘මාගේ විජිතයට ආර්යයන් වහන්සේලා වැඩම කළ සේකැ’ යි සිතා සතුටට පත් වූයේ, දුනුහී බිම හෙලා තෙරුන් වහන්සේ වෙත පැමිණ පිළිසඳර කතාබස් කළේය. මහා සෘෂි වූ අප මිහිඳු මාහිමියන් වහන්සේ ප්‍රශ්න අසා රජුගේ ප්‍රඥාව පරීක්ෂා කොට ඒ පිරිසට චුල්ලහත්ථිපදෝපම සූත්‍ර දේශනාව වදාළ සේක. අතිශයින් ප්‍රසාදයට පත් මහ රජු ප්‍රමුඛ සතලිස් දහසක් පුරුෂයෝ දේශනාවසානයෙහි උතුම් තිසරණයෙහි පිහිටියාහුය.

රජ තෙමේ භණ්ඩුක උපාසකතුමන් පසෙකට කැඳවා තෙරුන් වහන්සේගේ කුලගෝත්‍ර ආදී සියලු තොරතුරු අසා දැනගෙන අතිශයින්ම සතුටට පත්ව ‘මාගේ ප්‍රිය මිත්‍ර ධර්මාශෝක අධිරාජයාගේ පුත්‍ර වූ තෙරුන් වහන්සේ අද මාගේ විජිතයට වැඩි සේක. ඒකාන්තයෙන්ම මෙය මට මහත් ලාභයෙකි. මෙතැන් පටන් මම ජනතාව සමඟ යහපත් කටයුතුවල නිරත වන්නෙමි. තෙරුන් වහන්සේ ඇසුරු කරගෙන පූජායතනයක් පුදන්නෙමි’ යි සිතමින් පසුදින නගරයට වැඩම කිරීම සඳහා තෙරුන්ට ආරාධනා කොට පහන් සිතින් නගරයට නික්මුණේය.

ඉනික්බිතිව මිහිඳු මාහිමියන් වහන්සේ භණ්ඩුක උපාසකතුමන්ව පැවිදි උපසම්පදා කරවූ සේක. ඒ භණ්ඩුකයන් වහන්සේ ද නොබෝ වේලාවකින්ම අරහත්වයට පත් වූ සේක. ඒ පොසොන් පුන් පෝ දින සන්ධ්‍යා භාගයෙහි සුමන සාමණේරයන් වහන්සේ මහ තෙරුන්ගේ විධානයෙන් චතුර්ථ ධ්‍යානයට සමවැද ඉන් නැගී සිට මුළු ලක්දිවට ඇසෙන සේ ‘ධර්ම ශ්‍රවණය සඳහා කල් පැමිණියේය’ යැයි ධර්ම ඝෝෂා පැවැත්වූ සේක. ඒ ධර්මඝෝෂාව මිහිතලයේ පටන් බඹතලය දක්වා ම පැතිර ගියේය. රැස් වූ මහා දේව සමාගමයෙහිදී අපගේ මහ මිහිඳු තෙරුන් වහන්සේ සමචිත්ත පරියාය සූත්‍රය දේශනා කළ සේක. එම දෙසුම බොහෝ අසංඛ්‍ය ගණන් දෙවිබඹුන් හට මගඵල නිවන් සුව සාක්ෂාත් කරවමින් සඵල වූයේය.

පසු දින නගරයට වැඩි තෙරුන් වහන්සේ රජ මැදුරෙහි දන් වළඳා ජනතාව සංවේගයට පත් කරවීම පිණිස පේතවත්ථුව ද, සංවිග්න වූ ජනයා අස්වැසීම පිණිස විමානවත්ථුව ද, අස්වැසුණු ජනයා හට ‘සියලු සංස්කාරයෝ අනිත්‍යයෝය. එබැවින් මෙහි ආශ්වාද නොකරව්! සියලු සංස්කාරයන් සංසිඳී ගිය බැවින් උතුම් ආස්වාදය ලැබ දෙන අමා මහ නිවන් පසක් කිරීමට වෑයම් කරව්’ යනුවෙන් සත්‍යය අවබෝධ කරවීම පිණිස සච්ච සංයුත්තය ද වදාළ සේක. එය ඇසූ මහානාග යුවරජුගේ බිසව වූ අනුලා දේවී ප්‍රමුඛ පන්සියයක් පරිවාර ස්ත්‍රීහු සෝතාපන්න ඵලයට පත් වූවාහුය.

දෙවැනි දින මංගල හස්තියාගේ ශාලාවෙහිදී මහා ධර්මකථික මිහිඳු මහ තෙරුන් වහන්සේ දේවදූත සූත්‍රයෙන් කළ දම් දෙසුම අසා දහසක් මනුෂ්‍යයෝ සෝතාපන්න ඵලයට පත් වූවාහුය. ඉනික්බිතිව නන්දන වනයෙහිදී බාලපණ්ඩිත සූත්‍රයෙන් කළ දෙසුම අසා දහසක් කුලවත් ස්ත්‍රීහු සෝතාපන්න ඵලයට පත් වූවාහුය. එදින රාත්‍රී තෙරුන් වහන්සේලා නන්දන උයනට දකුණු දෙස පිහිටි මහමෙව්නා උයන්හී වැඩවිසූ සේක. පසුදින රජ තෙමේ මිහිඳු තෙරුන්ගේ සුරතෙහි පැන් වඩා මහමෙව්නා උයන බුදු සස්නට පූජා කළේය. එසේ වැඩූ පැන් පොළොවෙහි පතිත වීමත් සමඟ ම ‘ලංකාද්වීපයෙහි බුදු සසුන් පිහිටියේයැ’යි පවසන්නාක් මෙන් සාගරය සීමා කොට ඇති මහා පෘථිවි මණ්ඩලය ශතරාව සහශ්‍රරාව නංවාලමින් තදින්ම ප්‍රකම්පිත වූයේය. අප මහ තෙරුන් වහන්සේ රජු සමඟ ඒ මහමෙව්නා උයන්හී වැඩම කරවමින් මේ මහා භද්‍ර කල්පයෙහි ලොව පහළ වූ සිව් බුදුවරයන් වහසේලා ලක්දිවට වැඩමවූ පුවත වදාරා ලෝහප්‍රාසාදය, මහා බෝධීන් වහන්සේ, ස්වර්ණමාලී චෛත්‍ය රාජයා, ථූපාරාමය ආදී දෙතිස් මාලකයන් මතු පිහිටන ස්ථානයන් අට වරක් මහ පොළොව ගුගුරුවාලමින් රජුට දක්වා වදාළ සේක. රජ තෙමේ ද ඒ භූමිය ඇතුළත් වන සේ ඇතුන් යෙදූ රන් නගුලකින් මහා විහාර සීමාව ලකුණු කරවූයේය. එය අවසන් වූ කල්හි නැවත ද මහා පෘථිවිය කම්පා වූයේය.

මිහිඳු මාහිමියන් වහන්සේ ඒ දෙවැනි දින ම අග්ගික්ඛන්ධෝපම සූත්‍රයෙන් ද, තෙවැනි දින ආසිවිසෝපම සූත්‍රයෙන් ද, සිව්වැනි දින අනමතග්ග සංයුත්තයෙන් ද, පස්වැනි දින ඛජ්ජනීය සූත්‍රයෙන් ද, සවන දින ගෝමයපිණ්ඩික සූත්‍රයෙන් ද, සත්වන දින දම්සක් පැවතුම් සූත්‍රයෙන් ද දහම් දෙසූ කල්හි දහස දහස බැගින් ප්‍රාණීහු අමා මහ නිවන් දුටුවාහුය. මෙසේ ඒ මුල් සතිය ඇතුළත මගඵල ලැබූ මිනිසුන්ගේ සංඛ්‍යාව අටදහස් පන්සියයකි.

26 දිනක් තෙරුන් වහන්සේ මහමෙව්නා උයන්හි ම වැස ඇසළ පුර තෙළෙස්වක දින අප්පමාද සූත්‍රයෙන් බණ වදාරා වස් විසීම පිණිස චේතියගිරියට වැඩම කළ සේක. එදින රජුගේ බෑණනුවන් වූ අරිට්ඨ මහාමාත්‍යතුමන් ද ඔහුගේ සොයුරන් වූ පනස්පස් දෙනෙකු ද වස්සූපනායිකක්ඛන්ධකය ශ්‍රවණය කොට පැවිදි වූයේ, කෙස් රැවුල් බාද්දී ම අරහත් ඵලයට පත් වූයේය. ඇසළ පුන් පෝ දින මිහිඳු තෙරුන් වහන්සේ උන්වහන්සේලාව උපසම්පදා කරවා අටසැටලෙන් පූජාව පිළිගෙන සෑගිරියෙහි ම වස් සමාදන් වූ සේක.

වස් පවාරණය කොට නොබෝ දිනෙකින් අප සම්බුදු රජුන්ගේ දකුණු අකු ධාතූන් වහන්සේ යමා මහ පෙළහර පාමින් ථූපාරාම මහා සෑ රජාණන් වහන්සේ තුළ සුපිහිටි සේක. එදා ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධාතු ශරීරයෙන් නිකුත් වූ ජල ධාරාවන්ගෙන් තෙමී සකල ලංකාදීපයෙහි සියලු දාහයන් සංසිඳී ගියේය. එම ජලයෙන් නොතෙමුණු තැනක් ලක්දිව නොවූයේය. ඒ අසිරිය දැක සුපහන් වූ දෙවනපෑතිස් රජහුගේ මලණුවන් වූ මත්තාභය කුමරු ප්‍රමුඛ තිස්දහසක් පුරුෂයෝ බුදු සසුනෙහි පැවිදි බව ලැබූහ. සංඝමිත්තා තෙරණින් වහන්සේ විසින් වැඩම කරවන ලද මහා බෝධීන් වහන්සේ උඳුවප් මස පුර තුදුස්වක් දින සැඳෑ යාමයේ සවණක් රැස් විහිදුවමින් ලක්ධරණී තලයෙහි සුපිහිටි සේක. ඒ ආශ්චර්යය දුටු දසදහසක් පුරුෂයෝ පැවිදිව අරහත්වයට පත් වූහ. පන්සියයක් ස්ත්‍රීන් පරිවාර කොටැති අනුලා දේවී තොමෝ ද සංඝමිත්තාව සමීපයෙහි පැවිදි බව ලබා අරහත්වයට පත් වූවාය. එසේ ලක්දිව කාන්තාවන්ගේ විමුක්ති යුගය ද උදා වූයේය. සුමන සාමණේරයන් විසින් සම්බුදු රජුන්ගේ පාත්‍රය පුරවා ගෙනෙන ලද ධාතූන් වහන්සේලා යොදුනෙන් යොදුන චෛත්‍ය ඉදි කරවා තැන්පත් කරවීමෙන් ලංකා භූමිය සර්වඥයන් වහන්සේට ම පූජා වූ, යොදුනෙන් යොදුන බුදුවරයන් වහන්සේලා වැඩ වසන්නාක් බඳු බුද්ධ භූමියක් බවට පත් වූයේය.

තවද වප් පුන් පොහෝදා මේ හෙළදිව උපන් මව්පියන්ගේ, හෙළදිව උපන් දරුවකු වූ මහා අරිට්ඨ රහතන් වහන්සේ, හෙළදිවදී පැවිදි බව ලැබ, හෙළදිවදී විනය ඉගෙනගෙන, හෙළදිව ථූපාරාම වෙහෙරෙහි, හෙළදිව උපන් සැට අටදහසක් රහතුන් පිරිවරාගෙන මහපොළොව ගුගුරවාලමින් විනය පිටකය සංගායනා කරද්දී, බුදු සසුන මේ සිංහල දීපයෙහි මුල් බැස ගත්තේය. මෙසේ මහ මිහිඳු නම් වූ ඒ අපගේ මහා විමුක්තිදායකයාණෝ බුද්ධාන්තරයකින් ඉක්බිති යළිත් අපගේ මාතෘ භූමියෙහි සැනසිලි යුගයක්, විමුක්ති යුගයක්, අරහත් යුගයක් උදා කළාහුය.

මෙසේ අපගේ මිහිඳු මහ රහතන් වහන්සේ මේ ශ්‍රී ලංකාද්වීපයෙහි නොනිවෙන බුදු සසුන් පහන් රුක් දල්වා නගා තැබූ සේක. මෙලක්දිවෙහි සියලු යහපතට මුල් වූ සේක. ලක්වැසියන් අධර්මයෙන් වළකා කල්‍යාණ වූ සද්ධර්මයෙහි පිහිටුවාලූ සේක. ලක්දිව් වැස්සන්ගේ නුවණ මුහුකුරවාලමින් හික්මවිය යුතු විනේය ජනයා හික්මවාලූ සේක. ලක්දිව නගා සිටුවීමෙහිලා ශාස්තෘන් වහන්සේ හා සමාන වූ සේක. ශ්‍රේෂ්ඨ සම්බදු සසුන ලක්දිව පිහිටුවා අපගේ මේ දිවයිනට දියුණුවේ මග පෑ සේක. ශ්‍රී සද්ධර්මය වෙත ලක්දනන් පමුණුවා උතුම් ධර්ම දායාදය ලබා දුන් සේක. ලක්දිව ම සුපහන් කළ සඳමඩල වූ සේක. අවිදු අඳුරින් මඩනා ලද මේ දිවයිනට මිණි පහනක් බඳු වූ සේක. අද දක්වාත්, මතු පන්දහසක් කල් මුළුල්ලේත් පැතිරෙන්නේ ඒ මහ මිහිඳු මිණි පහනින් විහිදෙන අනුත්තර නිමල සදහම් ආලෝකය මැ යි! 2326 වැනි ශ්‍රී මිහිඳු ජයන්තිය උදාපත් වන මේ පුණ්‍යවන්ත මුහුර්තයෙහි මහ මිහිඳු නම් වූ ඒ දිව්‍ය සුපූජිත උත්තම ශ්‍රී නාමයට අපගේ උත්තමාංග නමස්කාරය වේවා! මේ ලිපිය, ලංකාද්වීපයට ශාස්තෘන් වහන්සේ වැනි අනුබුදු සමිඳු නමින් මහාමේඝයෙහි වැතිරී පිදෙන වනපස මලක් ම වේවා!

‘වංසත්ථප්පකාසිනී’ මහාවංශ ටීකාව ඇසුරෙනි.