‘සත්‍යය’ පිළිබඳව ‘තිත්ත ඇත්ත’ යැයි ප්‍රසිද්ධ හැඳින්වීමකි. මිනිසුන් අතින් වූ වැරදි, හොර රහසේ කළ පවිටු දෑහි සත්‍ය ස්වභාවය හෙළි වූ කල්හි මහා දුකකට, ලැජ්ජාවකට, අපකීර්තියකට, සමාජයට මුහුණ දිය නොහැකි තත්ත්වයකට පත් වන්නේ ය යන අරුතින් එසේ ව්‍යවහාර වේ.

“බොරු නොකියා අද සමාජයේ ජීවත් වෙන්න බෑ. අනික හැමෝම දන්නවා මේවා කරන්නේ මෙහෙමයි කියලා. උඩ ඉඳලා පහළට… කම්කරුවා දක්වාම බොරුවෙන් තමයි ජීවත් වෙන්නෙ. මේ කාලෙ එහෙම නැතුව බෑ.” මෙවන් අනේක අඳෝනා, අනේක ආඩපාලි සත්‍යයට පිටුපා පලායන්නට ම දඟලන වදන් බොහෝ සිත් තුළ මුල් බැස ඇත්තේ නොවේද?

සබඳ…, මොහොතක් සිතන්න. බොරු කීමට ඇති පුරුද්ද එක්තරා ඇබ්බැහි වීමකි. එය සිගරට් හෝ ගංජාවලට ඇබ්බැහි වීමටත් එහා ය. විහිළුවට බොරු කීම ඊටත් එහා ගිය ඇබ්බැහියකි. නමුත් බොරුවක් කී විට එහි ප්‍රතිඵලය නොයෙක් ආකාර වේ. බොරු ඇසූ කෙනා රැවටී නොමඟ යයි. නැතහොත් බොරුව දැනගත් පසු බලවත් සිත්තැවුලකට ලක් වේ. බොරුවක් කී විට ඒ බොරුව වැසීමට තවත් බොරුවක්, දෙවෙනි බොරුව වැසීමට තුන්වෙනි බොරුවකුත් වශයෙන් බොරු වැලක් ම කීමට සිදුවේ.

එපමණක් ද නොවේ. බොරුව එළි නොවීම පිණිස සිත ද කය ද වචනය ද දිවා රෑ මෙහෙයවමින් බොහෝ පව් ද කළ යුතු වේ. ඔහුට ඕනෑම පවක් කර එය වැසීමට මනරම් වූ, විචිත්‍ර වූ බොරු ගොතා කීම සෙල්ලමකි. එනිසාම ය අපගේ භාග්‍යවත් වූ සත්‍යවාදී මුනිරජාණෝ වදාළේ “බොරු කියන්නාට කළ නොහැකි පාපයක් නැත්තේ ය” කියා. අවසානයේ පවට පව බැඳී පව් බොහෝ රැස් වී සෙල්ලම ලෙල්ලම වන දවස එළඹෙනු ඇත. එදින සිය හෘද සාක්ෂිය ම තමාට විරුද්ධව නැගී සිටී නම් ගැලවුම්කරුවෝ කොහිද?

පුනරාවලෝකනය

අප බොරු කීමට තැත් කරන්නට හේතුභූත වන කාරණා ගැන ද සිතා තිබීම අගනේ ය. අපෙන් වූ වැරද්දක් වැසීමට, නින්දා උපදවන හේතු සැඟවීමට, තම ගෞරව නාමයට විය හැකි හානි වැළැක්වීමට, එනම් නම්බුව රැකීමට, අන් අයගේ ආකර්ෂණය, විශ්වාසය රඳවා ගැනීමට, තමන්ගේ දෝෂ අකා මකා පදවි තානාන්තර රැක ගැනීමට, වෙළෙඳාම් වැඩිකර ගැනීමට, වංචා කොට වැඩි ලාභ ලැබීමට මෙකී නොකී බොහෝ කරුණු ඔස්සේ බලන විට බොරු කියන්නේ තම පුද්ගලික ප්‍රතිරූපය බැබළවීමටත්, ලාභ සත්කාර ලැබීමටත් නොවේද? එහෙත්… බොරු කීමෙන් එකී අභිමතාර්ථ සැබැවින්ම ඉෂ්ට වන්නේ ද? බොරුව සත්‍යයක් නොවන බැවින් සැබැවින්ම ලොව පවතින දෙයක් නොවේ. එය හුදු වචන මාත්‍රයකි. එනිසා, ඒ බොරුවට පැවැත්මක් නැත. කල් ගත වී හෝ ඉක්මනින් ම හෝ සත්‍යය හෙළි වේ.

සමහර විට ඔබ එය මෙසේ සාධාරණීකරණය කරනු ඇත.

“මෙකල කවුරුත් බොරු කරත් එහෙයින් මාද එසේ කිරීමෙහි වරද කිම?” එහෙත් සබඳ, එබී බලව තම සන්තානයට. එබී බලව සහෘදයන්ගේ චිත්ත සන්තාන දෙස. විමසව් හෘද සාක්ෂියෙන්…. බොරු ප්‍රලාප දොඩන ඔබ ගැන බොරු ප්‍රලාප දොඩන ඔවුන් ගැන විමසව්… ඔබ සතුටින් ද? ඔවුන් සතුටින් ද? කිම ඔබ හදවතේ ඔවුන් ගැන විශ්වාසනීයත්වයක් තිබේ ද? නැත්නම් ඔබ ගැන ඔවුන් තුළවත්?

මුසා රුකේ ඵල

යමෙකුගේ මුවින් එක බොරුවක් පිටවූ සැණින් ඔහුගේ සිල්වත් බව ගැන සැකය උපදී (මොහු බොරුකාරයෙක් නොවැ කියා). එතැන් පටන් ඔහු යළි බොරු කීවත් නොකීවත් බොරුව ඇසූ කෙනාට ඔහු සදාකල් බොරුකාරයෙක් යැයි සිතේ. ඒ නිසාය, ,ධබජැ ් කස්ර ්කඅ්හි ් කස්ර,, යනුවෙන් ඉංග්‍රීසි කියමනක්ද ඇත්තෙ. ඉන් ගම්‍ය වන අරුත නම්, පුද්ගලයෙකු කෙරේ ඇති විශ්වාසය එකම බොරුවකින් පවා බිඳී යන බවය. වැඩිපුර බොරු ගැන කවර කතාද? ‘බොරුකාරයෙක්’ යනු කිසිවෙක් කිසිසේත්ම හදවතින් ප්‍රියමනාපව, විශ්වාසනීයව, විවෘතව, කැමැත්තෙන් ඇසුරු කරන චරිතයක් නොවේ.

තමාගෙන් සිදු වූ වරදක් වැසීමට කෙනෙකුට අවශ්‍ය වන විට එහි රැකිය යුතු රහසක් තිබේ. ඒ තම දෝෂයයි. නමුදු සබඳ රහස යනු පැවැත්මක් නැති දෙයකි, රැකීමට අතිශයින්ම බිය තැතිගැනීම් පිරිවරා රැක සිටිය යුතු මුත් රහස යනු ඇඟිලි තුඩ අතරින් පවා පලා යන දෙයකි. බලව ඔවුන් සැඟවූ රහස තවමත් රහසක් යැයි ඔවුන් පමණක් හිතද්දී ලොවම එය දැන දැන නොහඟවා සිටිති. රැවටුණෝ ඔවුන් ම ය.

ඉදින් ඒ වරද තවත් බරපතළ වීමට පෙර, වරද වසන්නට තව තවත් බොරු කියමින් නොවෙහෙසී, වරද පිළිගන්නේ නම් එතනින් එහාට තවත් උත්තර සැපයීම් ඇවැසි නැත. විවෘත වීම නම් වූ ආයති සංවර භූමියෙහි වරද වරදක් බවට පිළිගෙන සමාව ඉල්ලන්නාට වරදට සමාව දීමෙන් කතාව අවසන් වේ. කෙළවරක් නැතිව වැරදි කරන්නෙක් පවා වරද වසන්නට බොරු නොකියා හැමවිටම වරද පිළි ගනී නම්, ‘මේකා වැරදි කරාට බොරු කියන්නේ නෑ’ යැයි කීර්තිය ම උපදියි.

ඔහුගේ අවංක භාවය කෙරේ අන්‍යයන් තුළ ප්‍රසාදය හට ගනියි. කිම ඉතා වැදගත් ලෙස පෙනී සිටින්නෙකු එකම වරදක් පමණක් වුවද වැසීමට බොරු කියයි නම් හේ ප්‍රියමනාප වේ ද?

නම්බුව හිස් වීම

ගෞරවය රැකගැනීම පිණිස ද බොරු කියන්නෝ සිටිත් නොවැ. ඒ බොරුව ද යම් මොහොතක, නොසිතූ මොහොතක හෙළි වන්නේ ම ය. එවිට ඔහුගේ සකල ගෞරවය සහමුලින් කෙලෙසී යයි. ඔහු චරිතවත් වුවත්, දානපති වුවත්, ඉවසීම කරුණාව ආදී වෙනත් ගුණයන්ගෙන් යුතු වුවත්, නිහතමානීව උපකාරීශීලීව සිටියත්, අන් අයට ප්‍රිය උපදවන ඒ සියලු ගුණයන්ගේ වටිනාකම එක වචනයකින් කා දමන්නට එක බොරුවකට හැක්කේ ම ය. ඉතා ගෞරවනීය ලෙස ඉහළින් වැජඹෙන, ටයි කෝට් දමා සියල්ලන්ගේම ප්‍රණාමයට බඳුන් වන, ජනයා විසින් මල් මාලා පලඳා පිළිගන්නා කෙනෙක් වුව ද ‘මේ මිනිහා බොරුකාරයෙක්’ යන අපවිත්‍ර දුර්ගන්ධයෙන්, අපකීර්තියෙන්, අගුණයෙන් ඔහු අතිශයින් අප්‍රසන්න කෙනෙක් බවට පත් කරන්නේමය. එහිලා රැකෙන නම්බුවක් නැත. ලැබෙන ආකර්ෂණයක් හෝ ලාභයක් හෝ නැත. මුහුණට කීවද නොකීවද සියල්ලෝ මුසාවාදියා පිළකුල් කරන්නෝය.

ඇත්තෙන්ම තමන් බොරු කියන්නෙ නම් තමන් කෙලෙස ද තමාවත් විශ්වාස කරන්නේ? ඉදින් තමාගේ විශ්වාසය නැති කෙනෙකුට බාහිර කාගේ විශ්වාසයක් ද? අනික බොරු ගොතන සිත කෙතරම් නොසන්සුන් ද? කැළඹිලි සහගත ද? අසහනකාරී ද?

අමරාවික්ෂේපවාදීහු

ඇතැම් විට ‘බොරු නොකියමි’යි කියා ආඳා සේ ලිස්සා යන වචන කීම ද ලොව දුලභ නොවේ. ඔවුහු මේ කීවේ කුමක්දැ යි කියා සිතාගත නොහැකි වන පරිදි ස්ථිර ස්වරයෙන් වගකීම් රහිතව අනේක පද බැඳුම් කරති. මේවා සම්‍යක් ප්‍රයෝග යැයි පවසා අනුන් මුළා කිරීම ම කරත්. ඇත්ත සැඟවීම කරත්. එයට ඔවුන්ට බොහෝ හේතු ඇත. මෙසේ පිරිසිදු වචන ව්‍යවහාරයක් නොමැති තාක් ඒ චරිතය පිළිබඳ අන් අය තුළ ද පිරිසුදු ප්‍රියමනාප හැඟීමක් ඇති නොවේ. “ඔය ඔහොම කිව්වට වෙන දෙයක් කරල ඇත්තේ…” යැයි අන්‍යයෝ සැකයෙන් ම බලති. එහිලා තමා නිසා හෝ අනුන් නිසා හෝ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා නිසා හෝ සත්‍යයට පිටුපා මුසා බස් දොඩන අපිරිසිදු වදන් ඇත්තා සිය ගුණ වගාව පිළිබඳ නිසරු අස්වැන්නක් ලබන අදක්ෂ වගාකරුවෙක් බවට පත් නොවන්නේ ද?

අසත්‍යය කළු ය, ගඳ ය, අප්‍රසන්න ය, අමිහිරි ය, අස්ථාවර ය, අඳුරු ය, බියජනක ය, අසරණය, අසාර්ථක ය, පටු ය, අභාග්‍ය සම්පන්න ය, අශික්ෂිත ය, ළාමක ය, වංකය ය, අධාර්මික ය, අකුසල් ය, අසුර පාක්ෂික ය. අපාය පරායණ ය
.
කල්‍යාණ කීර්තිරාව ආත්මාභිමාන

සත්‍යය… නුපුරුදු වීමට පුළුවන. මුලදී සත්‍ය වචනයෙන් සත්‍යවාදී ක්‍රියාවේ ප්‍රායෝගික අත්දැකීම් දුෂ්කර වීමට ද පුළුවන. එහෙත් එය දිනෙන් දින ඔබව මවිත කරනු ඇත. වෙනදා බොරුවෙන් සතුටු වූ ඔබේම මිතුරන් පසුව ඔබට රහසේ ඔබගේ සත්‍යවාදී වීමේ පෞරුෂය ගැන ආඩම්බරයෙන් කතා කරනු ඇත. ඔබ කෙරේ බලවත් විශ්වාසයෙන් ගෞරවයෙන් ඔබ ඇසුරු කරනු ඇත. පවට බර පාපී මිතුරන් නම් මග හැර යනු ඇත. ඔවුන් අතුරෙන් නුවණැත්තෙක් වේ නම් ඔහු ද සත්‍යයට ම බර වනු ඇත. “මිනිහා පුදුම මිනිහා! මොනා කළත් බොරු කියන්නේ නෑ. වැරැද්දක් වුණත් කියලා සමාව ගන්නවා නේ.” යන සුමිහිරි කීර්තිය තුඩ තුඩ රැව් දෙනු ඇත.

එදාට…. ඔබ බලෙන් ඇති කරගන්නට උත්සාහ කළ ඔබේ ගෞරවය, නම්බුව, ආකර්ෂණය, ලාභය, සැබෑ මිත්‍රත්වය, සතුට ඔබේ දෙපා අභියසට පැමිණෙනු ඇත. විශ්වාසනීය ගනුදෙනුකරුවන් ද ලැබී ඔබේ අතමිට ද සරු වනු ඇත. ඔබෙන් යම් යම් සුළු අතපසුවීම්, අඩුපාඩු සිදු වුව ද ඔබේ සැබෑ ගුණවත්කම් මුල්කරගෙන වහා සමාව ද ලැබෙනු ඇත. පුන්සඳ මඬලක් දෙස බලන්නාක් සේ සියල්ලෝ ඔබ දෙස ප්‍රියමනාප ඇසින් බලනු ඇත. සැඟවී ගිය පුණ්‍ය විපාක මතුවනු ඇත. දුප්පත් වුව ද විරූපී වුව ද නූගත් වුව ද වෙනත් දුබලකමක් තිබුණ ද ඔබගේ සත්‍යවාදී බවෙන් ලොවට උපදිනා සැපය නිසා සත්පුරුෂ ලොවට ඔබව මී පැණි සේ මිහිරි වනු ඇත. ඇත්තෙන්ම තමාගේ ජීවිතයේ ඇති සීලමය හා නේක අඩුපාඩුකම් දුරුකර ගැනීම සත්‍යයෙහි නොපිහිටා කළ නොහැක්කේ ම ය.

සත්‍යයෙන් සත්‍ය ගළපා කතාබස් කරන විට ඔබට එරෙහි ව වහසි බස් දොඩන්නට සමතෙක් ඉතිරි නොවේ. සත්‍යයෙන් ජීවිතය පුරවා ගත් විට ජීවිතයේ සඟවන්නට ද දෙයක් නැති මට්ටමට පත් වූ විට අහෝ කෙතරම් සැහැල්ලු ද ජීවිතය…! සඟවාගත් බරක් නැත. ඕනෑම කෙනෙකුට විවෘත කර පෙන්විය හැකි හදවතක් යනු මහා සොම්නසක් නොවේ ද? මහා විසාරද බවක්, එනම් පිරිස් ඉදිරියේ නොබියව නොපැකිළව මුහුණ දිය හැකි පෞරුෂයක් ඔහු සතු නොවේ ද?

යම් හෙයකින් පූර්ව කර්ම විපාක බලයකින් තමන් අභූත චෝදනාවලට ලක් වුව ද තමා සත්‍යයේ ම පිහිටන්නේ නම් තම සිතෙන් තමාට චෝදනා නොඒ නම්, කිම තම හෘදසාක්ෂිය තමාව ප්‍රීතිමත් නොකරන්නේ ද? ඒ අස්වැසිල්ල තමාගේ සුගති උරුමය රකින්නේ නොවේද? සත්‍යයෙන් වපුල ඒ සාරවත් ස්වල්ප බීජය වුව ද සත්‍යනාම බුදුරජුන්ගේ පරම සාරවත් කෙතෙහි වපුල කල්හි එය සාරවත් ගුණ වගාවක් වී විපුල අස්වැන්නක් ලබා නොදේවි ද? දෙන්නේ ම ය.

සත්‍යය සුදු ය. සුවඳවත් ය. ආලෝකවත් ය. ප්‍රභාෂ්වර ය. ස්ථිර ය. බිය රහිත ය. විසාරද ය. සරණකි. පිහිටකි. සාර්ථකත්වයට මඟකි. සිත වඩ වඩාත් පුළුල් කරන්නකි. මහා භාග්‍ය සම්පන්න ය. ශික්ෂාවට මුල ය. ධාර්මික ය. කුසල් ය. දිව්‍ය පාක්ෂිකය. ස්වර්ග පරායණ ය.

වන්දේ සච්චනාමකං

සත්‍යාවබෝධයෙන් බිහි වූ, සත්‍යම පැවසූ, සත්‍යයෙන් නිර්මිත අපගේ තථාගතයන් වහන්සේ සම්බුද්ධත්වය පිණිස සත්‍ය පාරමිතාව ම මුල් කොටගෙන – පාදක කොටගෙන, සියලු පාරමී පිරූ සේක. බෝසත් අවධියේ කෙතරම් වැරදීම් සිදු වුවද සත්‍ය නම් වූ එකම සොඳුරු ශික්ෂාවෙන් කිසිදිනක මොහොතකදු බැහැර නොවූ සේක. තමන්ගේ කීර්තිය ද තත්ත්වය ද එපමණකින් නොනැවතී ජීවිතය ද අතහැර ඕනෑම දෙයක් වේවා කියා සත්‍ය නොසඟවා හෙළි කිරීමේ මහා පෞරුෂය නිසාම සියල්ල ජයගත් සේක. සත්‍ය නම් බුද්ධ භාෂිතයෝ ය. සත්‍යය නම් ඒ පවිත්‍ර බුදුරජාණෝ ය.

සත්‍යවාදී වූ අපගේ ශාස්තෘන් වහන්සේගේ සංසාරික සත්‍යවාදී බවේ උත්තුංග සාක්ෂිය වූ, සත්‍ය පාරමී අනුහසින් උපන් සම්බුදු සිරසේ නළල් තලයේ සුදෝසුදු පුළුන් රොදක් සේ වැඩ සිටි ඌර්ණ රෝම ධාතූන් වහන්සේ අද ජීවමානව වැඩ සිටින මිහින්තලා මහා සෑයේ ආනුභාවයෙන් අප සැම දෙනාටම නිවන් දකිනා මොහොත දක්වා සත්‍යවාදී වීමේ වාසනාව උදා වේවා!

මහමෙව්නාව අනගාරිකා අසපුවේ මෑණියන් වහන්සේ නමක් විසිනි.