ව්‍යවහාර වර්ෂ 1815 මාර්තු 2 වැනි දින උඩරට ගිවිසුම අත්සන් කිරීමත් සමඟම අපගේ මාතෘභූමියට බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ යකඩ සපත්තුවට යට වන්නට සිදු විය. ධර්මදීපය නමින් ප්‍රචලිතව තිබූ මේ සොඳුරු දිවයින ආලෝකවත් කළ සම්බුදු දහම නමැති හිරු මඬල වියැකී යන ලකුණු පහළ වී තිබුණි. සම්බුදු සසුනඹර මිසදිටුව නම් වූ අඳුරු වලාවන්ගෙන් වැසී යමින් ඝන අඳුරු යුගයක පෙර නිමිති පහළ වෙමින් තිබුණි.

උඩරට ගිවිසුමේ සම්බුදු සසුන ගැන තිබූ සියලු වගන්ති නිර්දය ලෙස උල්ලංඝණය කළ පරදේශක්කාර පාලකයෝ බෞද්ධ ජනයාගේ ගෞරවාන්විත ජීවන රටාව උදුරා දැමීමට කටයුතු කළහ. අධ්‍යාපනය, රැකීරක්ෂා වැනි මූලික අවශ්‍යතා ඉටු කර ගැනීමට ද සිහල පරපුර නිර්මලව රැකගෙන ආ බුදු දහම අතහැර මිසදිටු වැළඳ ගැනීමට බොහෝ දෙනෙකුට සිදු විය. එසේ මිසදිටු වැළඳගත් ඇතැම්හු ලාභ සත්කාර මුල් කරගෙන තම අතීත මුතුන් මිත්තන් දිවි මෙන් රැක ගත් බුදු සසුනට අභූතයෙන් ගරහමින් මිසදිටුවට ම ආවඩන්නට වූහ. මිසදිටු පාලකයෝ රාජ්‍ය බලය යොදා ගනිමින් බෞද්ධ ජනයා මිසදිටු ගැන්වීමට නින්දිත අයුරින් වෙරදැරූහ.

මෙවන් අඳුරු යුගයක යන්තමින් හෝ ආලෝකයක් ලබා දීම පිණිස, ජාතියේ පිනට ව්‍යවහාරික වර්ෂ 1823 පෙබරවාරි මස 9 වැනි දින දකුණු පළාතේ බලපිටිය ග්‍රාමයේ ගිංගම ලද්දු අසනේරිස් මැන්දිස් මහතා සහ කළුදුර මල්දොල සිල්වා මැතිණිය යන දෙපළට දාව පින්වන්ත පුත් රුවනක් ජන්මලාභය ලැබී ය. එකල තිබූ පරගැති පසුබිම තුළ මේ දරුවාට ගිංගම ලද්දු මිගෙල් මැන්දිස් යන නම ලැබුණි. එනමුදු භික්ෂු සංඝයා ඇසුර නිතර ප්‍රිය කළ මේ පින්වත් දරුවා පන්සල ඇසුරු කරගනිමින් මූලික අධ්‍යාපනය ලබන්නට පුණ්‍යවන්ත විය. එයින් සැකසුණු මූලික අඩිතාලම ඔස්සේ යමින් පූජ්‍ය බලපිටියේ ගුණරතන හිමිපාණන් යටතේ පැවිදි බිමට ඇතුළු වන්නටත්, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි නමින් 1844 වර්ෂයේ දී උපසම්පදා භික්ෂුවක් ලෙස අභිෂේක ලබන්නටත් මේ දරුවා වාසනාවන්ත විය.
අලසකමින් තොර වීර්යවන්ත සිතක් තිබූ උන්වහන්සේ ලොව්තුරු බුදු දහම ඉගෙනුමට මහත් වෙරක් දැරීය. ත්‍රිපිටක ග්‍රන්ථ සුලභ නොවූ එකල නොයෙක් තැන තිබූ පුස්කොළ පොත් ආදිය සොයමින් ධර්මයේ අරුත් සෙවීමට මහත් වෙහෙසක් දැරීමට උන්වහන්සේට සිදු වූ බව නොඅනුමාන ය. ඒ අතරම සිංහල, පාලි, සංස්කෘත ආදී භාෂා දැනුම ද පෝෂණය කරගත් උන්වහන්සේ එකල බහුශ්‍රැත භාවයේ මිණි කිරුළ පැලඳ සිටි සේක. මෙකල පරදේශක්කාර පාලකයන්ගේ නොයෙකුත් අඩන්තේට්ටම්වලට ලක් වූ ශ්‍රී ලාංකිකයන් නොයෙක් කැරලි කෝලාහල දියත් කළත් යම් යම් අසමගි වීම් නිසා ඒ සියල්ල බොඳ වූ සිහින බවට පත් විය. 1848 කැරැල්ල මර්දනයට බි්‍රතාන්‍ය රජය ගත් දැඩි අමානුෂික මර්දනකාරී ක්‍රියාපිළිවෙත සිංහලයන් යළි නැගී සිටීම වළකාලීමට සමත් විය.

එනමුදු මෙවන් පසුබිමක සොඳුරු බුදු සසුන මිහිතලයෙන් වියැකී නොයනු පිණිස අපගේ අති පූජනීය මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිපාණෝ වෙනත් මඟක් ගත් සේක. මිසදිටු බවේ දුර්ගන්ධයෙන් ලක් පොළොව වැනසී යන්නට පෙර අපගේ හිමිපාණන් විචිත්‍ර ධර්ම කථිකයකු ලෙසින් ලක්වැසි දනන් හට අමා දම් පද ඇසෙන්නට සැලැස්වූ සේක. ඇතැම්විට ඒ සදහම් දේශනා රෑ පහන් වනතුරු පැවතුණි. පරදේශක්කාර පාලකයින්ගේ නොයෙකුත් අඩන්තේට්ටම් මැද බුදු සසුන සුරැකීමට උන්වහන්සේ අප්‍රහිත ධෛර්යයෙන් යුතුව කටයුතු කළ සේක. ඒ සඳහා උන්වහන්සේට කිතුදහම ඉගෙනුමට සිදු විය. උන්වහන්සේ බයිබලයේ ඇති කරුණු උපුටා ගනිමින් මිසදිටුවේ නිසරු බව පෙන්වා දෙන විට මිසදිටුවෝ මවිතයට පත් වූහ.

මේ අතර බුදු සසුන ලක්දිවෙන් මුලින් ම උගුල්ලා දැමීමට තවත් කුමන්ත්‍රණයක් සිදු වෙමින් පැවතුණි. ‘රුක්ෂ වන්දනාව’ යැයි උතුම් බෝධි වන්දනාවට ගරහමින් නගරාශ්‍රිතව වැඩ සිටි බෝධීන් වහන්සේලා කපා ඉවත් කිරීමට මිසදිටු පාලකයෝ ක්‍රියා කළහ. ඒ ගැන සංවේදී වූ අපගේ නාහිමිපාණෝ 1849 වර්ෂයේදී කොළඹ හිල් වීදියේ පීටර් ඩයස් බණ්ඩාරනායක මුදලිතුමාගේ වලව්වට බොදු ජනතාව රැස් කොට ‘බෝධිරාජ සමිතිය’ ආරම්භ කිරීමට පුරෝගාමීව කටයුතු කළ සේක. ඒ සංගමයෙන් සිදු වූ ශාසනික සේවයට මූල බීජය වැපුරුවේ උන්වහන්සේ විසිනි.

මේ අතර මුද්‍රණ ක්ෂේත්‍රයේ පෙරමුණ ගෙන සිටි මිසදිටුවෝ බුදු දහමට එරෙහිව නොයෙකුත් අවලාද ලියන්නටත්, මිසදිටුවට ආවඩන්නටත් පටන් ගත්හ. ඒ සියලු අවලාදයන්ට, හරවත්, ධර්මානුකූල පිළිතුරු සපයමින් අපගේ හිමිපාණෝ යළි යළිත් සමදිටුව ඉස්මතු කොට පෙන්වා වදාළ සේක. මෙසේ ලියූ ග්‍රන්ථ අතර ක්‍රිස්තියානි වාද මර්දනය, බුද්ධ ඇදහිල්ල, සත්‍ය ප්‍රකාශනය, රිවිරැස ආදී ග්‍රන්ථ පෙරමුණෙහි ලා සැලකේ.

බුදු සසුනෙහි ඇති සත්‍ය ම වූ සාරය පෙන්වා දීමට ඇතැම් අවස්ථාවල උන්වහන්සේට ක්‍රිස්තියානි ආගමික නායකයන් සමඟ වාදයට එළැඹීමට ද සිදු විය. බුදු දහමෙහි සාරය වාද විවාද පිණිස නොවුණත් ඒ යුගයේ එය අත්‍යවශ්‍ය ම කරුණක් විය. මේ වාද අතර ප්‍රමුඛත්වයේ ලා සැලකෙන පංච මහා වාදයන්හි දී බුදු දහමේ වටිනාකම මනා ව ඉස්මතුකොට පෙන්වා දීමට උන්වහන්සේ සමත් වූ සේක. ‘වාදීභසිංහ’ නාමයෙන් පිදුම් ලත් අපගේ නාහිමිපාණෝ ව්‍යවහාර වර්ෂ 1873 අගෝස්තු 26 දින පැවති පානදුරාවාදයෙන් දස දහස් ගණන් බෞද්ධ කිතුනු ජනකාය මැද්දේ බුදු දහමේ අසිරිය ලොවට විදහා පෙන්වූ සේක.

සැදැහැති දනන්ගේ ධන පරිත්‍යාගයෙන් එම වාදයේ පිටපත් සිංහල, ඉංග්‍රීසි මාධ්‍යයන්ගෙන් ප්‍රසිද්ධ කොට බෙදා හරින ලදී. මෙයින් පිටපතක් ලද පිබන් නමැති ඇමෙරිකානු ජාතිකයා එහි ඇති දහම් රසයට වශී වී තෙමේ ද පිටපත් බෙදා හරින්නට විය. එයින් පිටපතක් කියවා බුදු දහම ගැන පැහැදී ලෝක බුද්ධ ශාසනයට ඉමහත් සේවයක් කළ හෙන්රි ස්ටීල් ඕල්කට්තුමාගෙන් සිදු වූ අමිල මෙහෙයට අපගේ වාදීභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිපාණන්ට ගෞරවය හිමි වන්නේ ම ය. මුල් කාලයේ ඕල්කට්තුමා ලංකාවේ නොයෙකුත් ගම් ප්‍රදේශවල ඉංග්‍රීසි මාධ්‍යයෙන් සිදු කළ දේශනා සිංහලට පරිවර්තන කිරීම ද අප නාහිමිපාණන් විසින් සිදු කෙරිණ. පසු කලෙක එය අනගාරික ධර්මපාලතුමා විසින් සිදු කෙරිණ.

කොටහේන දීපදුත්තාරාම විහාරස්ථානය මූලික කරගෙන බොහෝ ශාසනික කටයුතු සිදු කළ උන්වහන්සේ 1836 පෙබරවාරි පළමුවෙනි දින ආරම්භ කළ කලම්බු ඇකඩමිය ඇතුළු බෞද්ධ දරුවන්ට ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබිය හැකි පාසල් කොළඹ, නුවර, හලාවත, යාපනය වැනි ප්‍රදේශවල ඇති කිරීමට පුරෝගාමීව කටයුතු කළ සේක. ඕල්කට්තුමාගේ පැමිණීමෙන් පසු එතුමාගෙන් ඒ සඳහා ලැබුණ සහයෝගය සිහි කළ යුතු මනා ම ය. 1880 වර්ෂයේ දී පරමවිඥානාර්ථ සංගමය පිහිටුවීමේ දී ද අප හිමිපාණන්ගේ සහය මැනවින් ඕල්කට්තුමා හට ලැබුණි. පසු කලෙක එම සංගමයේ ක්‍රියාකාරීත්වය ගැන සෑහීමට පත් නොවූ අපගේ නා හිමිපාණෝ එම සංගමය සමඟ ක්‍රියාකාරීව සම්බන්ධ වීමෙන් වැළකුණු සේක. එනමුදු ඕල්කට්තුමාගේ නොමඳ ගෞරවයට අප නාහිමිපාණෝ නිරතුරුව ම පාත්‍ර වූ සේක.

බෞද්ධයන් සඳහා විධිමත් කොඩියක් නොතිබුණු මේ යුගයේ මිසදිටුවන් සමඟ වාදයට වැඩි අප නාහිමිපාණෝ තමන් විසින් සකසවා ගත් බෞද්ධ කොඩියක් රැගෙන වැඩි සේක. සම්බුදුරජුන්ගේ ශ්‍රී දේහයෙන් විහිදුණු ශඩ් වර්ණ යොදා ගනිමින් නිර්මාණය කළ ත්‍රිකෝණ හැඩැති එම කොඩිය පසුකලෙක ඕල්කට්තුමන් විසින් මූලිකත්වය ගෙන විධිමත් අයුරින් නිර්මාණය කෙරුණු වර්තමාන බෞද්ධ කොඩියට මූලික පසුබිම සැපයීය.

අභයගිරි විහාරයේ පුරාවිද්‍යා කැණීම් කරන මුවාවෙන් පුරාවස්තු මංකොල්ල කෑමට තැත් දැරූ ඉංග්‍රීසි ආණ්ඩුවේ කූට උපක්‍රම බිඳ වැටුණේ අප නාහිමිපාණන් වහන්සේගේ අප්‍රතිහත කැපවීම නිසාවෙනි. තායිලන්තයේ රජ කුමරෙකු වූ ඩේන් ජුම්සායි කුමරා අප හිමිපාණන් වහන්සේගෙන් බණ අසා පැහැදී රජසිරි අතහැර ලක්දිව තුළ දීම පැවිදි වීම අප හිමිපාණන්ගේ ශාසනික සේවය තවදුරටත් පිළිබිඹු කරයි.

අනගාරික ධර්මපාලතුමන්ට පවා සිය ශාසනික මෙහෙය ඉටු කිරීමට මූලික පසුබිම සැකසූයේ අප හිමිපාණන් වහන්සේ යැයි කිවහොත් එහි වරදක් නැත. අප නාහිමිපාණෝ මෙවන් වූ ශාසනික මෙහෙයක් සිදු කළේ ඇතැම් විට “වාදයට ආවොත් කපමි. කොටමි” ආදී නොයෙකුත් තර්ජන මැද්දේ ය. එනිසා ඇතැම්විට වාදයන්ට වඩින අප නාහිමිපාණන්ට ජීවිත ආරක්ෂාව පිණිස වෙස් වලාගෙන වැඩම කිරීමට සිදු විය. ඒ සියලු අර්බුද මැද ශාසනික උන්නතිය ගැන ම සිතූ උන්වහන්සේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා පසුපස නොදිවූ සේක.
ඕල්කට්තුමා විසින් අප හිමිපාණන්ට ගෞරවයක් වශයෙන් කොළඹ මැලිබන් වීදීයේ ආරම්භ කළ බෞද්ධ පාසලට “ගුණානන්ද” නාමය දීමට තැත් කළ ද අප නාහිමිපාණන් එයට තදින්ම විරුද්ධ වූ සේක. ඒ අනුව වර්තමාන සුප්‍රසිද්ධ ආනන්ද විද්‍යාලයට ‘ආනන්ද’ යන නාමය ලැබුණි.

මෙවන් වූ උදාර ශාසනික මෙහෙවරක් කළ අපගේ සංඝ පීතෘන් වහන්සේ ඒ උතුම් මෙහෙවර නිමා කරවමින් ව්‍යවහාර වර්ෂ 1890 සැප්තැම්බර් 21 වන දින බොදු ලොව හඬවමින් අපවත් වී වදාළ සේක. අඳුරු වලා මැදින් බුදු සසුනේ සොඳුරු එළිය විහිදවූ මහා සඳ මඬල වූ අති පූජනීය වාදීභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද නාහිමියන්ට ජාතියේ නමස්කාරය වේවා…! නාහිමිපාණෝ නුදුරු භවයක දී ම නිවන් පුරයට වැඩම කරත්වා…!

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසිනි.