“ස්වාමීනී, නාගසේනයන් වහන්ස, මේ ලෝකයෙහි ස්ත්‍රී පුරුෂයෝ යහපත් වූ ත්, පවිටු වූ ත්, පෙර දුටුවා වූ ත්, නොදුටුවා වූ ත්, පෙර කරන ලද්දා වූ ත්, නොකරන ලද්දා වූ ත්, රැකවරණ සැප ඇත්තා වූ ත්, භය ජනක වූ ත්, ඉතා දුරින් සිදුවන දෙයක් ලෙසිනුත්, සමීපයෙහි සිදුවන දෙයක් ලෙසිනුත්, නොයෙක් දහස් ගණන් වර්ණ ඇති සිහින දකිති. ස්වාමීනී, මේ සිහින යනු මොනවා ද? මේ සිහින දකින්නේ කවුද?”

“මහරජාණෙනි, යම් අරමුණක් සිත ඉදිරියට පැමිණෙයි නම් මේ සිහිනය යනු ඒ නිමිත්තයි. මහරජාණෙනි, මේ සය දෙනා සිහින දකිති.

1. වාතය කිපීමෙන් පුද්ගලයෙක් සිහින දකියි.
2. පිත කිපීමෙන් පුද්ගලයෙක් සිහින දකියි.
3. සෙම කිපීමෙන් පුද්ගලයෙක් සිහින දකියි.
4. දෙවියන්ගේ කරුණු දැක්වීමක් වශයෙන් පුද්ගලයෙක් සිහින දකියි.
5. සිත, කය, වචනයෙන් පුරුදු කළ දේ තුළින් පුද්ගලයෙක් සිහින දකියි.
6. ඉදිරියට සිදුවන්නට යන දේ ගැන පෙරනිමිති වශයෙන් පුද්ගලයෙක් සිහින දකියි.

මහරජාණෙනි, එහිදී ඉදිරියට සිදුවන්නට යන දේ ගැන පුද්ගලයෙක් සිහින දකියි නම් එම සිහින පමණක් ඇත්ත බවට පත්වෙයි. අනිත් සිහින මිථ්‍යාවකි.”

“ස්වාමීනී, නාගසේනයන් වහන්ස, යමෙක් පෙරනිමිති වශයෙන් සිහින දකියි නම්, කිම? ඔහුගේ සිත තෙමේ ම ගොස් ඒ සිහිනයට අදාළ නිමිත්ත සොයා ගන්නේ ද? නැත්නම් ඒ නිමිත්ත හෝ සිත ඉදිරියට පැමිණෙන්නේ ද? අන්‍ය වූ කෙනෙක් පැමිණ ඔහුට සිහින වේශයෙන් එය දැනුම් දෙන්නේ ද?”

“මහරජාණෙනි, ඔහුගේ සිත තෙමේ ම ගොස් ඒ සිහිනයට අදාළ නිමිත්ත නොසොයයි. අන්‍ය වූ කෙනෙක් ඇවිදිනුත් නිදා සිටි ඔහුට ඒ නිමිත්ත දැනුම් නොදෙයි. එසේ නමුත් ඒ සිහිනයට අදාළ නිමිත්ත ම තමාගේ සිත ඉදිරියට පැමිණෙයි.

මහරජාණෙනි, කන්නාඩිය තමන් ම කොහේවත් ගිහින් එයට අවශ්‍ය ඡායාවන් නොසොයයි. අන්‍යයෝ කිසිවෙක් ඡායාවන් ගෙනැවිත් ඒ කැඩපතෙහි නොඅලවයි. යම් කලෙක කොතැනකින් හෝ ඡායාවක් පැමිණ කන්නාඩිය ඉදිරියෙහි පෙනී සිටියි ද, එවිට එය කන්නාඩියෙහි දිස්වෙයි.

එසෙයින් ම මහරජාණෙනි, ඔහුගේ සිත තෙමේ ම ගොස් ඒ සිහිනයට අදාළ නිමිත්ත නොසොයයි. අන්‍ය වූ කෙනෙක් ඇවිදිනුත් නිදා සිටි ඔහුට ඒ නිමිත්ත දැනුම් නොදෙයි. එසේ නමුත් ඒ සිහිනයට අදාළ නිමිත්ත ම තමාගේ සිත ඉදිරියට පැමිණෙයි.”

“ස්වාමීනී, නාගසේනයන් වහන්ස, යම් ඒ සිතක් සිහින දකියි ද, මෙබඳු රැකවරණ සැප ඇති විපාකයක් හෝ බිය ගෙන දෙන විපාකයක් හෝ වන්නේ ය කියා ඒ සිත දන්නවා ද?”

“නැත මහරජාණෙනි. මෙබඳු රැකවරණ සැප ඇති විපාකයක් හෝ බිය ගෙන දෙන විපාකයක් හෝ වන්නේ ය කියා ඒ සිත නොදනියි.

මහරජාණෙනි, පෙරනිමිති වශයෙන් සිහිනයක් දුටු කල්හී ඔහු එය අන්‍ය වූ ස්වප්න ශාස්ත්‍රය දත් කෙනෙකුට පවසයි. එවිට ඒ තැනැත්තා ඒ සිහිනයෙහි අරුත් තෝරා බේරා දෙයි.”

“එසේ නම් ස්වාමීනී, මට තවත් කරුණක් දක්වා වදාළ මැනැව.”

“මහරජාණෙනි, යම් සේ තමාට සිදුවන ලාභ අලාභ ගැන වේවා, යස අයස ගැන වේවා, නින්දා ප්‍රශංසා ගැන වේවා, සැප දුක් ගැන වේවා ලකුණු වශයෙන් කෙනෙකුගේ ශරීරයෙහි තල කැලැල්, ලප, ඉනිගැට, දද ආදිය හටගන්නේ ය. මහරජාණෙනි, ඒ තල කැලැල් ලප සටහන් ආදියෙහි සිරුරෙහි උපදින්නේ ‘අපි මෙබඳු වූ අර්ථයක් සදා දෙන්නෙමු’ යි සළකා ගෙන ද?”

“නැහැ ස්වාමිනී. සිරුරෙහි ඒ ඒ තැන ලප, කැලැල් ආදිය හටගත් විට, ඒ ලප කැලැල් ආදී සටහන් දැක නිමිත්ත පාඨකයන්ට කියයි. එවිට ඔවුහු මේ ලකුණුවල ඵල විපාක මේවා යැයි තෝරා දෙති.”

“එසෙයින් ම මහරජාණෙනි, මෙබඳු රැකවරණ සැප ඇති විපාකයක් හෝ බිය ගෙන දෙන විපාකයක් හෝ වන්නේ ය කියා ඒ සිත නොදනියි. මහරජාණෙනි, පෙරනිමිති වශයෙන් සිහිනයක් දුටු කල්හී ඔහු එය අන්‍ය වූ ස්වප්න ශාස්ත්‍රය දත් කෙනෙකුට පවසයි. එවිට ඒ තැනැත්තා ඒ සිහිනයෙහි අරුත් තෝරා බේරා දෙයි.”

“ස්වාමීනී, නාගසේනයන් වහන්ස, යමෙක් සිහින දකියි නම්, ඔහු සිහින දකින්නේ නිදා සිටිද්දී ද? නැතිනම් අවදි ව සිටිද්දී ද?”

“මහරජාණෙනි, යමෙක් සිහින දකියි නම්, ඔහු ගැඹුරු නින්දේ සිටිද්දී එය නොදකියි. අවදි ව සිටිද්දී ත් එය නොදකියි. එසේ නමුත් සාමාන්‍ය නින්දකට පත් ව සිට, අරමුණක් නොගෙන සිටින අවස්ථාවට පත් නොවී සිටියදී, ඒ අතර අවස්ථාවෙහි සිහින දකියි.

මහරජාණෙනි, ගැඹුරු නින්දෙහි සිටින අවස්ථාවෙහි සිත බාහිර අරමුණක් නොගෙන පවතියි. එවිට අරමුණක් නොගත් සිත බාහිර අරමුණක් නොපවත්වයි. බාහිර අරමුණක් නොපවත්වන සිතට සැප දුක් නොදැනෙයි. එසේ සැප දුක් නොදැනෙන ගැඹුරු නින්දට සිත පත්වන අවස්ථාවේදී සිහින නොපෙනෙයි. සැප දුක් දැනෙන අවස්ථාවට සිත පත්වන කල්හී සිහින දකියි.

මහරජාණෙනි, ඝනාන්ධකාරයෙහි කිසි ආලෝකයක් නැති තැනක ඉතා පිරිසිදු, පැහැදිලි, කන්නාඩියක් තිබුණත් ඡායාව නොපෙනෙයි. එසෙයින් ම මහරජාණෙනි, ගැඹුරු නින්දේ දී සිත බාහිර අරමුණක් නොපත්වන හෙයින් තිබෙන්නා වූ ම සිරුර පිළිබඳ ව වත් අරමුණු නොකරයි. බාහිර අරමුණක් නොපවත්වන සිතට සිහින දර්ශනය නොවෙයි. මහරජාණෙනි, කන්නාඩිය යම් සේ ද ශරීරය එසේ දත යුත්තේ ය. අන්ධකාරය යම් සේ ද නින්ද එසේ දත යුත්තේ ය. ආලෝකය යම් සේ ද සිත එසේ දත යුත්තේ ය.

මහරජාණෙනි, යම් සේ මීදුමෙන් වැසී ගිය කල්හී සූර්යාලෝකය නොපෙනෙයි ද, තිබෙන්නා වූ ම සූර්ය රශ්මිය නොපවත්වයි ද, සූර්ය රශ්මිය නොපවත්වන කල්හී ආලෝකය නොපවතියි ද, එසෙයින් ම මහරජාණෙනි, ගැඹුරු නින්දේ දී සිත බාහිර අරමුණක් නොපත්වන හෙයින් තිබෙන්නා වූ ම සිරුර පිළිබඳ ව වත් අරමුණු නොකරයි. බාහිර අරමුණක් නොපවත්වන සිතට සිහින දර්ශනය නොවෙයි. මහරජාණෙනි, හිරු මඬල යම් සේ ද ශරීරය එසේ දත යුත්තේ ය. මීදුමෙන් වැසී යාම යම් සේ ද, නින්ද එසේ දත යුත්තේ ය. හිරු රැස් යම් සේ ද, සිත එසේ දත යුත්තේ ය.

මහරජාණෙනි, සිරුර තිබුණ ත් සිත බාහිර අරමුණක නොපවත්වන දෙදෙනෙක් සිටිති. එනම් ගැඹුරු නින්දට බැසගෙන සිත බාහිර අරමුණක් නොපවත්වන අවස්ථාවෙහි ශරීරය පිළිබඳ ව සිතට අරමුණු නොවෙයි. ඒ පළමුවැන්නායි. නිරෝධ සමාපත්තියට සමවැදී සිටින අවස්ථාවෙහිදී ද තිබෙන්නා වූ ම ශරීරය සිතට අරමුණු නොවෙයි. මේ දෙවැන්නායි.

මහරජාණෙනි, නිදිවරා සිටින අවස්ථාවෙහි සිත අරමුණු ලොල් ව තිබෙයි. අරමුණට විවෘත ව තිබෙයි. ප්‍රකට ව තිබෙයි. නිබඳ ව එක් අරමුණක නොසිටියි. මෙබඳු අවස්ථාවෙහි සිටින තැනැත්තාගේ සිතට සිහින දර්ශනය නොවෙයි. මහරජාණෙනි, රහස් රකිනු කැමති පුරුෂයෝ රහස් හෙලිකරන, ප්‍රකට කරන, විශ්වාස ක්‍රියා නැති, රහස් ක්‍රියා නොරකින, කෙනෙකු යම් සේ දුරු කරත් ද, එසෙයින් ම මහරජාණෙනි, නිදි වර්ජිත ව සිටින පුද්ගලයාගේ සිතට දිව්‍ය වූ කාරණාවක් වත් දර්ශනය නොවෙයි. එහෙයින් නිදිවරා සිටින පුද්ගලයා සිහින නොදකියි. මහරජාණෙනි, බිඳී ගිය ආජීව පාරිශුද්ධිය ඇති, සිඳී ගිය ආචාර ඇති, පවිටු මිතුරන් ඇති, දුස්සීල, කුසීත, හීන වීරියෙන් යුතු භික්ෂුවගේ සිතට සත්තිස් බෝධිපාක්ෂික ධර්ම සංඛ්‍යාත කුසල ධර්මයෝ යම් සේ නොපැමිණෙත් ද, එසෙයින් ම මහරජාණෙනි, නිදිවරා සිටින පුද්ගලයාගේ සිතට දිව්‍ය කාරණය ද නොපැමිණෙයි. එහෙයින් නිදිවරා සිටින පුද්ගලයා සිහින නොදකියි.”

“ස්වාමීනී, නාගසේනයන් වහන්ස, නින්දෙහි පටන් ගැනීමක්, මැදක්, අගක් වශයෙන් තිබෙනවා ද?”

“එසේ ය, මහරජාණෙනි, නින්දෙහි ආරම්භයකුත්, මැදකුත්, අගකුත් ඇත්තේ ය.”

“ස්වාමීනී, නින්දෙහි ඇති ආරම්භය කුමක් ද? මැද කුමක් ද? අග කුමක් ද?”

“මහරජාණෙනි, නින්දට වන් පුද්ගලයාගේ කයෙහි යම් අප්‍රාණික බවක් වෙළී යයි ද, හාත්පසින් වෙළී යයි ද, ශක්තිය අඩුවෙයි ද, කය අකර්මණ්‍ය බවට පත්වෙයි ද, මෙය නින්දෙහි ආරම්භය යි.

මහරජාණෙනි, වහා අවදිවන සුළු නින්දට වැටෙන එනම්, වඳුරු නින්දෙන් පෙළෙන ලද්දේ, එයින් ගැවසුණු සිතින් යුතුව නින්දට පත් වී සිටියි ද, මෙය නින්දෙහි මැද අවස්ථාවයි. අරමුණු නොගන්නා අවස්ථාවට පත්වීම සොයමින් සිටින සිත නින්දෙහි මැද අවස්ථාවට පැමිණෙයි. මහරජාණෙනි, වහා අවදිවනසුළු වදුරු නින්දෙන් යුතුව සිත පවත්වන අවස්ථාවෙහි සිහින දර්ශනය වෙයි.

මහරජාණෙනි, හික්මෙන්නා වූ යම්කිසිවෙක් සමාහිත සිතින් යුතුව, දහමෙහි පිහිටා, අචල බුද්ධියෙන් යුතුව, බාහිර පුද පූජාදී ශබ්ද නැති වනයක් මැදට ගොස් සියුම් අර්ථ විමසයි. ඔහු එහිදී ත් තද නින්දකට නොබැසගනියි. සමාහිත සිතින් යුතුව, ඒකාග්‍ර සිතින් යුතුව සියුම් අර්ථ විමසයි.

එසෙයින් මහරජාණෙනි, නිදිවරන තැනැත්තා නින්දට පත් නොවී සිටින කෙනෙකි. එනමුත් නින්දෙහි මැද අවස්ථාවට පැමිණි තැනැත්තා වහා අවදිවනසුළු නින්දකට වැටී ඇති හෙයින් ඒ අවස්ථාවෙහි ඔහුගේ සිතට සිහින දර්ශනය වෙයි. මහරජාණෙනි, පුද පූජා ශබ්ද යම් සේ ද නිදිවරා සිටීම එසේ දත යුත්තේ ය. හුදෙකලා වනය යම් සේ ද, වහා අවදිවන සුළු වඳුරු නින්ද එසේ දත යුත්තේ ය. එසේ නිදි වැළකීමෙන් යුක්ත ව ගැඹුරු නින්දට ද නොපැමිණ වහා අවදිවන සුළු නින්දට බැසගෙන සිටින අවස්ථාවෙහි පුද්ගලයා සිහින දකියි.”

“ස්වාමීනී, නාගසේනයන් වහන්ස, ඉතා යහපති. මම මෙය ඒ අයුරින් ම පිළිගනිමි.”

සිහින දැකීම පිළිබඳ පස් වෙනි ප්‍රශ්නය යි.

සිංහල පරිවර්තනය – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ.