බුදුරජාණන් වහන්සේලා දෙනමක් එකට නූපදින බව ගැන ප්‍රශ්නය. 

“ස්වාමීනී, නාගසේනයන් වහන්ස, මෙකරුණ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය.

‘මහණෙනි, එක් ලෝකධාතුවක අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දෙනමක් පෙර පසු නොවී එක්වර උපදින්නාහු ය යන යමක් ඇද්ද, එය සිදු නොවන දෙයකි. එබඳු දෙයකට අවකාශ නැත. එබඳු දෙයක් ලොවෙහි දකින්නට නොලැබෙන්නේ ය’ යනුවෙනි.

ස්වාමීනී, නාගසේනයන් වහන්ස, සියළු තථාගතයන් වහන්සේලා ම සත් තිස් බෝධිපාක්ෂික ධර්මයන් දෙසන සේක. වදාරණ කල්හි ත් චතුරාර්ය සත්‍ය ධර්මය වදාරණ සේක. හික්මවන කල්හි ත් සීල – සමාධි – ප්‍රඥා යන ත්‍රිවිධ ශික්ෂාවෙහි හික්මන සේක. අනුශාසනා කරන කල්හි ත් අප්‍රමාදී ප්‍රතිපත්තියෙහිලා අනුශාසනා කරන සේක.

ඉදින් ස්වාමීනී, නාගසේනයන් වහන්ස, සියළුම තථාගතයන් වහන්සේලාගේ දේශනාව ද එකක් ම නම්, ධර්ම කථාව ද එකක් ම නම්, ශික්ෂාව ද එකක් ම නම්, අනුශාසනාව ද එකක් ම නම්, කවර කරුණක් නිසාවෙන් තථාගතයන් වහන්සේලා දෙනමක් එක්වර නූපදින්නාහු ද? එක ම බුදුවරයන් වහන්සේ නමකගේ පහළ වීමෙන් මේ ලෝක ධාතුව ඒ තාක් ආලෝකවත් වූයේ වේ ද, ඉදින් දෙවෙනි බුදුවරයන් වහන්සේ නමකුත් පහළ වෙත් නම්, දෙනමක් වූ බුදුවරයන් වහන්සේලාගේ ප්‍රභාවෙන් මේ ලෝක ධාතුව අතිශයින් ම බලවත් ව බබලන්නේ ම ය. තථාගතයන් වහන්සේලා දෙනමක් අවවාද කරන කල්හී සුවසේ අවවාද කරන්නාහු ය. අනුශාසනා කරන කල්හී සුවසේ අනුශාසනා කරන්නාහු ය.

ස්වාමීනී, මෙකරුණ පිළිබඳ ව මා තුළ ඇති සැකය දුරු වන්නේ යම් අයුරකින් නම්, එහිලා මා හට කරුණක් වදාළ මැනැව.”

“මහරජාණෙනි, මේ දස දහසක් ලෝක ධාතුවට උසුලා දරා සිටිය හැක්කේ එක් බුදුවරයන් වහන්සේ නමක් පමණි. එක ම තථාගතයන් වහන්සේ නමකගේ ගුණස්කන්ධය පමණක් දරා සිටියි. ඉදින්, එක්වර ම අන්‍ය වූ දෙවැනි බුදුවරයන් වහන්සේ නමකුත් උපදින සේක් නම්, එය මේ දස දහසක් ලෝක ධාතුවට උසුලා දරාගත නොහැකි වනු ඇත. සැළී යනු ඇත. කම්පා වනු ඇත. යටට නැමෙනු ඇත. උඩට නැගෙනු ඇත. විසිරෙනු ඇත. නැසෙනු ඇත. වැනසෙනු ඇත. යහපත් අයුරින් පවත්වා ගත නොහැකි වනු ඇත්තේ ය.

මහරජාණෙනි, එය මෙබඳු දෙයකි. එක් පුරුෂයෙකු පමණක් උසුලාගෙන එතෙර වනු හැකි කුඩා නැවක් ඇත්තේ ය. එක් පුරුෂයෙක් එයට නැගගත් කල්හී ඒ නැවට සමබර ලෙස උසුලා ගත හැක්කේ ය. එකල්හී අර නැග ගත් පුරුෂයාට ම සමාන වූ ආයුෂ ඇති, වර්ණ ඇති, වයස ඇති, කෘශ – ස්ථුලතා ඇති, සියළු අඟපසඟින් එක සමාන වූ අන්‍ය පුරුෂයෙක් පැමිණෙන්නේ නම්, ඔහු ත් එම නැවට ම ගොඩවන්නේ නම්, කිම? මහරජාණෙනි, එකල්හී ඒ නැවට පුරුෂයන් දෙදෙනාම උසුලාගන්නට හැකිවන්නේ ද?”

“බැහැ ස්වාමීනී. එසේ වුවහොත් ඒ නැව සැලෙනු ඇත. කම්පා වෙනු ඇත. නැමෙනු ඇත. යටට නැමෙනු ඇත. උඩට නැගෙනු ඇත. විසිරෙනු ඇත. නැසෙනු ඇත. වැනසෙනු ඇත. යහපත් ලෙස පවත්වමින් යාගත නොහැකි වනු ඇත. ජලයෙහි ගිලෙනු ඇත.”

“මහරජාණෙනි, මෙය ද එබඳු දෙයකි. මේ දස දහසක් ලෝක ධාතුවට උසුලා දරා සිටිය හැක්කේ එක් බුදුවරයන් වහන්සේ නමක් පමණි. එක ම තථාගතයන් වහන්සේ නමකගේ ගුණස්කන්ධය පමණක් දරා සිටියි. ඉදින් එක්වර ම අන්‍ය වූ දෙවැනි බුදුවරයන් වහන්සේ නමකුත් උපදින සේක් නම් එය මේ දස දහසක් ලෝක ධාතුවට උසුලා දරාගත නොහැකි වනු ඇත. සැළී යනු ඇත. කම්පා වනු ඇත. යටට නැමෙනු ඇත. උඩට නැගෙනු ඇත. විසිරෙනු ඇත. නැසෙනු ඇත. වැනසෙනු ඇත. යහපත් අයුරින් පවත්වා ගත නොහැකි වනු ඇත්තේ ය.

තව ද මහරජාණෙනි, යම් සේ පුරුෂයෙක් හැකි තාක් භෝජනය පිළිගනිමින්, උගුර දක්වා පිරී යන තෙක් අනුභව කරන්නේ ය. හේ එයින් සම්පූර්ණයෙන් ම තෘප්තියට පත් වෙයි. සෑහීමට පත් වෙයි. පරිපූර්ණ බවට පත්වෙයි. තවදුරටත් කුසෙහි ඉඩකඩ නැති බවට පත්වෙයි. එයින් ම වෙහෙසට ද පත්වෙයි. සුවසේ සිරුර හැරවිය නොහැකි ව දණ්ඩක් මෙන් වෙයි. ඒ පුරුෂයා යළිත් ඒ මොහොතේ ම එබඳු ම බොජුන් ප්‍රමාණයක් අනුභව කරන්නේ නම්, කිම? මහරජාණෙනි, ඒ පුරුෂයා සුවපත් වන්නේ ද?”

“නැහැ ස්වාමීනී. ඔහු ඒ මොහොතේ ම තව එක් වරක් අනුභව කළහොත් මරණයට පත්වෙනු ඇත.”

“එසෙයින් ම මහරජාණෙනි, මේ දස දහසක් ලෝක ධාතුවට උසුලා දරා සිටිය හැක්කේ එක් බුදුවරයන් වහන්සේ නමක් පමණි. එක ම තථාගතයන් වහන්සේ නමකගේ ගුණස්කන්ධය පමණක් දරා සිටියි. ඉදින් එක්වර ම අන්‍ය වූ දෙවැනි බුදුවරයන් වහන්සේ නමකුත් උපදින සේක් නම් එය මේ දස දහසක් ලෝක ධාතුවට උසුලා දරාගත නොහැකි වනු ඇත. සැළී යනු ඇත. කම්පා වනු ඇත. යටට නැමෙනු ඇත. උඩට නැගෙනු ඇත. විසිරෙනු ඇත. නැසෙනු ඇත. වැනසෙනු ඇත. යහපත් අයුරින් පවත්වා ගත නොහැකි වනු ඇත්තේ ය.”

“කිම? ස්වාමීනී, නාගසේනයන් වහන්ස, බුදුකෙනෙකු තුළ ඇති ගුණ ධර්මයන්හි අධිකත්වය හේතුවෙන් ද පෘථිවිය සැලෙන්නේ?”

“මහරජාණෙනි, මෙහි මාණික්‍ය රත්නයන්ගෙන් මුවවිට පුරවන ලද කරත්ත දෙකක් තිබේ යැයි සිතමු. ඉදින් එක් කරත්තයකින් සියළු මාණික්‍ය රත්නයන් ගෙන අනිත් කරත්තයෙහි පුරවන්නේ නම්, කිම? මහරජාණෙනි, කරත්ත දෙකකට උසුලාගත හැකි ඒ බර තනි කරත්තයකට උසුලාගත හැක්කේ ද?”

“නැහැ ස්වාමීනී. එසේ වුවහොත් රථ නාභිය හෝ පැලෙන්නේ ය. අර හෝ බිඳී යන්නේ ය. රථ රෝදය හෝ ගැලවෙන්නේ ය. කඩඇණය හෝ බිඳී යන්නේ ය.”

“කිම? මහරජාණෙනි, ඒ කරත්තය බිඳී යන්නේ අධික ලෙස පටවන ලද මාණික්‍ය රත්නයන්ගේ බර නිසා නොවේ ද?”

“එසේ ය, ස්වාමීනී. එසෙයින් ම මහරජාණෙනි, තථාගතයන් වහන්සේ නමකගේ ගුණධර්මයන්ගේ අධිකත්වය හේතුවෙන් මහපොළොව සැලෙයි. මහරජාණෙනි, මේ කාරණය අප විසින් පවසන ලද්දේ සම්මා සම්බුදුවරුන්ගේ ගුණධර්ම බලය පෙන්වා දීම පිණිස යි. යම් කරුණක් නිසා සම්මා සම්බුදුවරයන් වහන්සේලා දෙනමක් එක්වර නූපදින සේක් ද යන්න පිළිබඳ ව තවත් අන්‍ය වූ සුන්දරතර කාරණයක් ඇසුව මැනැව.

මහරජාණෙනි, සම්මාසම්බුදුරජාණන් වහන්සේලා දෙනමක් එකවර උපදින සේක් නම් උන්වහන්සේලාගේ ශ්‍රාවක පිරිස් අතර ‘අර ඔබගේ බුදුරජහු ය. මේ අපගේ බුදුරජහු ය’ වශයෙන් වාද විවාද හටගන්නේ ය. දෙපක්ෂයකට බෙදී යන්නාහු ය.

මහරජාණෙනි, බලසම්පන්න වූ අමාත්‍යවරුන් දෙදෙනෙකුගේ පිරිස් අතර පවා ‘ඒ තොපගේ ඇමතිතුමා ය. මේ අපගේ ඇමතිතුමා ය’ වශයෙන් වාද විවාද හටගන්නේ ය. දෙපක්ෂයකට බෙදී යන්නාහු ය.

එසෙයින් ම මහරජාණෙනි, සම්මාසම්බුදුරජාණන් වහන්සේලා දෙනමක් එකවර උපදින සේක් නම් උන්වහන්සේලාගේ ශ්‍රාවක පිරිස් අතර ‘අර ඔබගේ බුදුරජහු ය. මේ අපගේ බුදුරජහු ය’ වශයෙන් වාද විවාද හටගන්නේ ය. දෙපක්ෂයකට බෙදී යන්නාහු ය. යම් කරුණක් නිසාවෙන් සම්මාසම්බුදුවරයන් වහන්සේලා දෙනමක් එක්වර නූපදින සේක් නම්, මෙය ද එක් කරුණකි.

මහරජාණෙනි, යම් කරුණක් නිසා සම්මා සම්බුදුවරයන් වහන්සේලා දෙනමක් එක්වර නූපදින සේක් ද යන්න පිළිබඳ ව තවත් අන්‍ය වූ සුන්දරතර කාරණයක් ඇසුව මැනැව.

ඉදින් මහරජාණෙනි, සම්මා සම්බුදුවරු දෙනමක් එක්වර උපදින සේක් නම්, ‘බුදුරජාණෝ අග්‍ර වන සේක’ යන බුද්ධ වචනයක් ඇද්ද, එය බොරුවක් වෙයි. ‘බුදුරජාණෝ ජ්‍යෙෂ්ඨ වන සේක’ යන බුද්ධ වචනයක් ඇද්ද, එය ත් බොරුවක් වෙයි. ‘බුදුරජාණෝ ශ්‍රේෂ්ඨ වන සේක’ යන බුද්ධ වචනයක් ඇද්ද, එය ත් බොරුවක් වෙයි.

මහරජාණෙනි, බුදුරජාණෝ විශිෂ්ට වන සේක. බුදුරජාණෝ උත්තම වන සේක. බුදුරජාණෝ පරම උත්තම වන සේක. බුදුරජාණෝ අසම වන සේක. බුදුරජාණෝ අසමසම වන සේක. බුදුරජාණෝ අප්ප්‍රතිම වන සේක. බුදුරජාණෝ අප්ප්‍රතිභාග වන සේක. බුදුරජාණෝ අප්ප්‍රතිපුද්ගල වන සේක යන යම් වචනයක් ඇද්ද, එය බොරුවක් වෙයි.

මහරජාණෙනි, යම් කරුණක් නිසා සම්මා සම්බුදුවරු දෙනමක් එක්වර නූපදින සේක් නම් මේ කාරණය ත් එහිලා අර්ථ වශයෙන් ගත මැනැව.

එසේ වුව ද මහරජාණෙනි, එක ම බුදුරජාණන් වහන්සේ නමක් පමණක් ලෝකයෙහි එක්වරකට පහළ වෙති යන මෙකරුණ භාග්‍යවත් බුදුවරයන් වහන්සේලාගේ ස්වභාවික වූ ත්, ප්‍රකෘති වූ ත් ධර්මතාවකි. ඒ කවර කරුණක් නිසා ද යත්, සර්වඥ බුදුවරයන් වහන්සේලාගේ ගුණය අතිශයින් ම මහත් බැවිනි.

මහරජාණෙනි, ලෝකයෙහි අන්‍ය වූ සුවිශාල දෙයක් ඇත්නම්, එය ද ඇත්තේ එකක් වශයෙනි. මහරජාණෙනි, පෘථිවිය යනු ඉතා මහත් දෙයකි. එය ද එකකි. සාගරය යනු සුවිශාල දෙයකි. එය ද එකකි. සිනේරු පර්වතය යනු සුවිශාල දෙයකි. එය ද එකකි. ආකාශය යනු සුවිශාල දෙයකි. එය ද එකකි. සක් දෙවිඳු යනු සුවිශාල චරිතයකි. එය ද එකකි. මාරයා යනු සුවිශාල චරිතයකි. එය ද එකකි. මහා බ්‍රහ්මයා යනු සුවිශාල චරිතයකි. එය ද එකකි. තථාගත අරහත් සම්මා සම්බුදුරජුන් යනු අතිශයින් ම සුවිශාල වූ, සකල ගුණධර්ම රත්නයන්ගෙන් පිරිපුන් වූ අසිරිමත් චරිතයකි. එය ලෝකයෙහි එක ම එකකි. යම් තැනක ඒ සුවිශාල පෘථිවිය ආදිය හටගන්නේ ද, එහිලා එබඳු වූ තවත් දෙයක් හටගැනීමට එතැන අවකාශ නැත්තේ ය.

එහෙයින් මහරජාණෙනි, එකම තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පමණක් ලෝකයෙහි පහළ වන සේක.”

“ස්වාමීනී, නාගසේනයන් වහන්ස, ඉතා මැනැවින් පවසන ලද්දේ ය. සොඳුරු උපමාවන්ගෙන් මේ ප්‍රශ්නය විසඳන ලද්දේ ය. නුවණින් අදක්ෂ වූ කෙනෙකුන් පවා මෙම සොඳුරු ධර්ම විග්‍රහය අසා සතුටු වන්නේ ය. මා වැනි මහා නුවණැතියෙක් ගැන කවර කථා ද? යහපති, ස්වාමීනී, නාගසේනයන් වහන්ස, මම ඒ අයුරින් ම මෙකරුණ පිළිගනිමි.”

බුදුරජාණන් වහන්සේලා දෙනමක් එකට නූපදින බව ගැන පළමු වෙනි ප්‍රශ්නය යි.

(මිළිඳු රාජ ප්‍රශ්නය – පූජ්‍ය කිරිබත්​ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ)