“ස්වාමීනී, නාගසේනයන් වහන්ස, තථාගතයන් වහන්සේගේ මේ බුදු සසුන ඉතා මහත් ය. ඉතා සාරවත් ය. ඉතා උතුම් ය. ඉතා ශ්‍රේෂ්ඨ ය. ප්‍රවර ය. අනුපම ය. පිරිසිදු ය. නිර්මල ය. ඉතා සුදු පැහැ ගත්තේ ය. වරදින් තොර වූයේ ය. එනිසාවෙන් හුදෙක් ගිහියෙකු වූ පමණින් කෙනෙකු මෙවන් බුදු සසුනක පැවිදි කරන්නට නොවටියි. ගිහි ව සිටිය දී ම එක්තරා මාර්ගඵලයකට හික්මවා යම් කලෙක ගිහි ගෙය සිහි කොට සිවුරු හැර නොයන ස්වභාවයට පත්වෙයි ද, එකල්හී පමණක් පැවිදි කළ යුත්තේ ය. එයට කාරණය කුමක් ද යත්, මේ ඇතැම් අනුවණ දුර්ජන කෙනෙක් මෙබඳු බුදු සසුනෙහි පැවිදි ව පිළිවෙත් පිරීමෙහි උත්සාහවත් වීම වෙනුවට ආපසු හැරී ලාමක වූ ගිහි බවට වැටෙන්නාහු නම්, ඔවුන් සිවුරු හැර යළිත් ගිහි ජීවිතය කරා යෑම හේතුවෙන් මහාජනතාව මෙසේ පවසා සිටින්නේ ය.

‘භවත්නි, ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ බුද්ධ ශාසනය ඒකාන්තයෙන් තුච්ඡ වූ දෙයක් වන්නේ ය. මේ උදවිය යමක් නිසා ප්‍රතිපත්තිය අත්හැර නැවත හැරී ගෙදර ආවා නොවැ’ යි. මෙහි ඇති කරුණ මෙය යි.”

“මහරජාණෙනි, එය මෙබඳු දෙයකි. යම් සේ ඉතා පිරිසිදු, අති නිර්මල, සීතල දියදහරින් පිරී ගිය මහා විලක් ඇත්තේ ය. එකල්හී කිලිටි වූ, දුහුවිලි, මඩ ආදියෙන් තැවරී ගිය සිරුරක් ඇති පුද්ගලයෙක් එම විල කරා එයි. එහි ඇති පිරිසිදු ජලයෙන් ස්නානය නොකරයි. කිලිටි වී ගිය සිරුරෙන් ම ආපසු හැරී යයි. මහරජාණෙනි, එහිලා බුද්ධිමත් මිනිසුන් විසින් ගැරහිය යුත්තේ කිලිටි සිරුරෙන් ම හැරී ගිය පුද්ගලයාට ද? නැතහොත් පවිත්‍ර වූ ජලය පිරී ගිය විලට ද?”

“ස්වාමීනී, නුවණැති ජනතාව විසින් ගැරහිය යුත්තේ කිලිටි ලෙස ම ගොස්, කිලිටි ලෙසින් ම පැමිණි පුද්ගලයාට යි. ‘මොහු විලට ත් ගියා නොවැ. එහෙත් ස්නානය නොකොට ගිය කිලුටින් ම ආපසු හැරී ආවා නොවැ’ කියා ය. කිම? ස්වාමීනී, ස්නානය කරනු නොකැමති මේ පුද්ගලයා ව ඒ ජලාශය තමන් ම ඇවිත් නහවන්නේ ද? ජලාශයේ ඇති කවර දෝෂයක් ද?”

“මහරජාණෙනි, එසෙයින් ම තථාගතයන් වහන්සේ විසින් උත්තම වූ විමුක්තිය නම් වූ පවිත්‍ර දිය දහරින් පිරිපුන් ශ්‍රී සද්ධර්ම ජලාශයක් මවන ලද්දේ ය. ඒ ‘ක්ලේශ මලකඩින් කිලිටි වී ගිය, චේතනා සහිත බුද්ධිමත් සත්වයෝ සිටිත් ද, ඔවුහු සද්ධර්ම ජලාශයෙහි ස්නානය කොට සකල ක්ලේශයන් පහකොට දමන්නාහු ය’ කියා ය.

ඉදින් මහරජාණෙනි, යම් කිසිවෙක් එම ශ්‍රී සද්ධර්ම ජලාශය වෙත ගොස් ස්නානය නොකොට කෙලෙස් සහිත ව ම සිවුරු හැර යළි ලාමක ගිහි බවට වැටෙයි නම් නුවණැති ජනයා ගරහන්නේ ඔහුට ම ය. ‘මේ උතුම් බුදු සසුනෙහි පැවිදි ව එයින් කිසි පිහිටක් නොලැබ මොහු සිවුරු හැර ලාමක වූ ගිහි ජීවිතය කරා ආවා නොවැ’ කියා ය. කිම? මාර්ග ප්‍රතිපදාවෙහි නොයෙදුණු තැනැත්තෙකුට බුදු සසුන තෙමේ ම අවබෝධ කරවන්නේ ද? බුද්ධ ශාසනයෙහි ඇති දෝෂය කුමක් ද?

මහරජාණෙනි, යම් සේ පුරුෂයෙක් දරුණු රෝගාබාධයකින් යුක්ත වූයේ වෙයි. රෝග හටගැනීමෙහි හේතු දැනීමෙහිලා ඉතා දක්ෂ වූ, ඉතා ප්‍රතිඵල සහිත ව රෝගීන් සුවපත් කරන, නිවැරදි ප්‍රතිකාර බල ඇති වෛද්‍යවරයෙකු දැක ඔහු කරා ගෙන යයි. එහෙත් එම වෛද්‍යවරයාගේ පිළියම් ඔහු නොපිළිපදියි. ගිය රෝගයෙන් යුක්ත ව ආපසු හැරී යයි. මහරජාණෙනි, ජනයා ගැරහිය යුත්තේ කාට ද? රෝගියාට ද? වෛද්‍යවරයාට ද?”

“ස්වාමීනී, නුවණැති ජනයා ගරහන්නේ රෝගියාට ය. ‘මෙවැනි වූ රෝග හටගන්නා හේතු දැනීමෙහි දක්ෂ වූ, ප්‍රතිඵල සහිත ව රෝගීන් සුවපත් කරන, නිවැරදි ප්‍රතිකාර බල ඇති වෛද්‍යවරයෙකු දැක ත්, ඔහු ළඟට ත් ගොස්, ප්‍රතිකාර නොගෙන ම රෝගය සහිත ව ආපසු හැරී ආවා නොවැ’ යි. කිම? මේ තැනැත්තා ප්‍රතිකාර නොකරගන්නා හෙයින් වෛද්‍යවරයා තෙමේ ම ප්‍රතිකාර කරවන්න ද? වෛද්‍යවරයාගේ කවර දෝෂයක් ද?

එසෙයින් ම මහරජාණෙනි, තථාගතයන් වහන්සේ බුදු සසුන නැමැති රන් බඳුනෙහි අමෘතය නම් මහානීය ඖෂධ රත්නයක් බහා ලූ සේක. එය සියළු කෙලෙස් රෝග සංසිඳවීමෙහිලා ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. කෙලෙස් රෝගයෙන් පීඩිත ව සිට ප්‍රතිකාර සොය සොයා සිටි බුද්ධිමත් ජන කෙනෙක් සිටිත් ද, ඔවුහු ඒ අමා ඔසු පානය කොට සකල ක්ලේශ රොගාබාධයන් සංසිඳුවාගෙන සුවපත් වන්නාහු ය. ඉදින් යම් කෙනෙක් ඒ අමා ඔසු නොවළඳා, ක්ලේශ රෝගාබාධයෙන් යුතුව ම, සිවුරු හැර ලාමක ගිහි බවට වැටෙත් නම්, එහිලා නුවණැති මිනිස්සු ඔවුන්ට ගරහති. ‘මොහු බුදු සසුනෙහි පැවිදි වී එහි කිසි පිහිටක් නොලැබ ලාමක වූ ගිහි ජීවිතය කරා හැරී ආවා නොවැ’ යි. කිම? මාර්ග ප්‍රතිපදාවෙහි නොයෙදුණු තැනැත්තෙකුට බුදු සසුන තෙමේ ම අවබෝධ කරවන්නේ ද? බුද්ධ ශාසනයෙහි ඇති දෝෂය කුමක් ද?

මහරජාණෙනි, යම් සේ කුසගින්නෙන් බලවත් ව පීඩාවට පත් පුරුෂයෙක් මහා පින්වතෙකු විසින් ප්‍රණීත ආහාරපාන දෙනු ලබන දන්සැලක් වෙත පැමිණෙයි. එහෙත් ඔහු ඒ දන්සැලෙන් බත් අනුභව නොකොට කුසගිනි පීඩාවෙන් ම ආපසු හැරී යයි. මහරජාණෙනි, එවිට ජනයා ගැරහිය යුත්තේ කාටද? කුසගින්නෙන් පීඩා විඳින පුරුෂයාට ද? ප්‍රණීත බොජුන් දෙන දන්සැලට ද?”

“ස්වාමීනී, ජනයා ගැරහිය යුත්තේ කුසගිනි ඇති පුරුෂයාට යි. දන්සැලට නම් නොවෙයි. ‘මේ බඩගිනි පීඩා ඇති තැනැත්තා දන්සැලකට ත් ගියා නොවැ. එහෙත් දන්සැලෙන් බත් ලැබී ත්, අනුභව නොකොට ම ආපසු හැරී ආවා නොවැ’ යි. කිම? බත් නොකන්නා වූ මොහුගේ මුඛයට භෝජනය තෙමේ ම පිවිසෙන්නේ ද? භෝජනයේ ඇති කවර දෝෂයක් ද?”

“එසෙයින් ම මහරජාණෙනි, තථාගතයන් වහන්සේ බුදු සසුන නම් වූ රන් බඳුනෙහි පරම උත්තම වූ, ප්‍රවර වූ, ශාන්ත වූ, සුන්දර වූ, ප්‍රණීත වූ, අමා වූ, ප්‍රවර මධුරත්වයෙන් පිරී ගිය කායගතාසති භාවනාව නම් වූ අමා බොජුන් තබා වදාළ සේක. කෙලෙස් බඩගින්නෙන් පීඩිත ඇතුළාන්තයක් ඇති, තණ්හාවෙන් පරිපීඩිත සිත් ඇති, එයින් බේරීමට සිතුවිලි සිත සිතා සිටි බුද්ධිමත් ජන කෙනෙක් වෙත් ද, ඔවුහු මේ මධුර භෝජනය වළඳා කාම – රූප – අරූප යන භවත්‍රය කෙරෙහි ම ඇති සියළු තණ්හා පහ කරන්නාහු යැයි කියා ය එය තබා වදාරණ ලද්දේ.

ඉදින් යමෙක් ඒ මධුර වූ කායගතාසති භෝජනය නොවළඳා, තෘෂ්ණාවට ම වසඟ ව සිට, සිව්පසයට ලොල් ව සිට, සිවුරු හැර ලාමක වූ ගිහි ජීවිතය කරා හැරී ගියේ වෙයි ද, එවිට ජනයා ගරහන්නේ ඔහුට ම ය. ‘මොහු බුදු සසුනෙහි පැවිදි වී එහි කිසි පිහිටක් නොලැබ ලාමක වූ ගිහි ජීවිතය කරා හැරී ආවා නොවැ’ යි. කිම? මාර්ග ප්‍රතිපදාවෙහි නොයෙදුණු තැනැත්තෙකුට බුදු සසුන තෙමේ ම අවබෝධ කරවන්නේ ද? බුද්ධ ශාසනයෙහි ඇති දෝෂය කුමක් ද?

මහරජාණෙනි, ඉදින් තථාගතයන් වහන්සේ එක්තරා මාර්ගඵලයක හික්ම වූ ගිහියෙකු පමණක් පැවිදි කරන සේක් නම්, කෙලෙස් ප්‍රහාණය පිණිස මේ පැවිද්ද නොවන්නේ ය. පිරිසිදු බව පිණිස ද නොවන්නේ ය. පැවිදි වීමෙන් අමුතුවෙන් කළ යුතු දෙයක් නැත්තේ ය.

මහරජාණෙනි, යම් සේ පුරුෂයෙක් නොයෙක් සිය ගණන් කර්මාන්ත ජනයා ලවා ජලාශයක් කණවයි. යළි පිරිසට මෙසේ අනුශාසනා කරයි. ‘පින්වත්නි, ඔබ කිසි කෙනෙක් දුහුවිලි, මඩ ආදී අපිරිසිදු දේ සහිත ව මේ පොකුණට නොබසිත්වා! සිරුරෙහි ඇති දූවිලි, මඩ ආදි සෝදා පිරිසිදු කොට, නිර්මල ව, ඔප දැමූ සිරුරු ඇති ව පමණක් මේ ජලාශයට බසිත්වා!’ යි. කිම? මහරජාණෙනි, ඔවුන්ගේ සිරුරු වල දුහුවිලි, මඩ ආදිය පහව ගොස් ඇත්නම්, පිරිසිදු නම්, නිර්මල නම්, ඔප දැමූ කය ඇත්නම්, ජලාශයෙහි ඇති ජලයෙන් ඒ ජනයා හට කවර නම් ප්‍රයෝජනයක් ඇත්තේ ද?”

“නැහැ ස්වාමීනී, යම් කරුණක් උදෙසා ඒ ජලාශය වෙත යා යුත්තේ ද, ඔවුන් විසින් එය වෙන තැනකදී ම කරන ලද්දේ ය. ඔවුන්ට ඒ ජලාශයෙන් ඇති ඵලය කිම?”

“එසෙයින් මහරජාණෙනි, ඉදින් තථාගතයන් වහන්සේ එක්තරා මාර්ගඵලයක හික්ම වූ ගිහියෙකු පමණක් පැවිදි කරන සේක් නම්, කරගත යුතු දේ ඔවුන් විසින් එහිදී කරන ලද්දේ ය. ඔවුන් හට පැවිදි වීමෙන් කවර ඵලයක් ද?

මහරජාණෙනි, ස්වභාවයෙන් ම ඍෂිවරයෙකු වැනි, අසන ලද නොයෙක් මන්ත්‍රපද ඇති, නිසැක ලෙස රෝගෝත්පත්ති දැනීමෙහි දක්ෂ වූ, සාර්ථක ප්‍රතිඵල ලබා දෙන, බලසම්පන්න ප්‍රතිකාර ඇති, අතිදක්ෂ වෛද්‍යවරයෙක් සකල රෝග සමනය කරන්නා වූ විස්මිත බෙහෙතක් උපදවා ජනයා රැස් කොට මෙසේ කියයි. ‘පින්වත්නි, කිසිකෙනෙක් රෝග පීඩා සහිත ව මා වෙත නොපැමිණෙත්වා! ව්‍යාධි රහිත වූ, නීරෝග වූවෝ පමණක් මා වෙතට පැමිණෙත්වා!’ යි.

කිම? මහරජාණෙනි, ව්‍යාධි රහිත වූ, නීරෝග වූ, පිරිපුන් වූ, ඔද වැඩී ගිය සිත් ඇත්තවුන් හට ඒ වෛද්‍යවරයාගෙන් ප්‍රයෝජනයක් තිබෙයි ද?”

“නැහැ ස්වාමීනී. යම් කරුණක් උදෙසා වෛද්‍යවරයෙකු සොයා යා යුතු නම්, එකරුණ ඔවුන් විසින් වෙන තැනකදී ම කරන ලද්දේ ය. ඔවුන්ට ඖෂධ සෙවීමෙහි අවශ්‍යතාවයක් නැත්තේ ය.

“එසෙයින් ම මහරජාණෙනි, ඉදින් තථාගතයන් වහන්සේ එක්තරා මාර්ගඵලයක හික්ම වූ ගිහියෙකු පමණක් පැවිදි කරන සේක් නම්, කරගත යුතු දේ ඔවුන් විසින් එහිදී කරන ලද්දේ ය. ඔවුන් හට පැවිදි වීමෙන් කවර ඵලයක් ද?

මහරජාණෙනි, යම් සේ එක්තරා පුරුෂයෙක් ප්‍රණීත සූප ව්‍යංජන සහිත ව නොයෙක් සිය ගණන් බත් සැළි පිසවා මනා ව පිළියෙල කොට පිරිස කැඳවා මෙසේ කියයි. ‘පින්වත්නි, කිසිවෙක් බඩගින්නෙන් පෙළෙත් නම් ඔවුහු මාගේ මේ බත් අනුභව කරන්නට නොපැමිණෙත්වා! මනාකොට කා බී සිටින, තෘප්තිමත් වූ, සෑහීමට පත් වූ, මැනැවින් අනුභව කළ පිරීගිය කුස ඇති අය පමණක් මාගේ බතට පැමිණෙත්වා!’ යි.

මහරජාණෙනි, හොඳට බත් කා, මැනැවින් අනුභව කොට, තෘප්තිමත් ව, පිරී ගිය කුස ඇති ව සිටින අයට ඒ දන්සැලෙහි ඇති භෝජනයෙන් කවර ප්‍රයෝජනයක් ද?”

“නැහැ ස්වාමීනී, යම් අර්ථයක් පිණිස දන්සැලක් කරා යා යුතු නම් ඒ අර්ථය වෙනත් තැනකදී ම ඔවුන් විසින් කරන ලද්දේ ය. ඔවුන් හට දන්සැලක් සෙවීමෙහි ඵලයක් තිබේ ද?”

“එසෙයින් ම මහරජාණෙනි, ඉදින් තථාගතයන් වහන්සේ එක්තරා මාර්ගඵලයක හික්ම වූ ගිහියෙකු පමණක් පැවිදි කරන සේක් නම්, කරගත යුතු දේ ඔවුන් විසින් එහිදී කරන ලද්දේ ය. ඔවුන් හට පැවිදි වීමෙන් කවර ඵලයක් ද?

මහරජාණෙනි, එනමුදු යම් කෙනෙක් බුදු සසුනෙහි පැවිදි ව සිට සිවුරු හැර යළි ගිහි බවට පත් වෙත් ද, ඔවුහු බුද්ධ ශාසනයට ම පමණක් හිමි වූ, අතුල්‍ය වූ ගුණ පසක් දක්වති. ඒ කවර පසක් ද යත්;

1. පැවිදි ජීවිතයේ ඇති මහා උදාරත්වය දක්වති.
2. පැවිදි ජීවිතයේ ඇති පාරිශුද්ධ නිර්මල භාවය දක්වති.
3. පාපී පුද්ගලයන් හා නිර්මල පැවිදි ජීවිතය එක් නොවන බව දක්වති.
4. ඔවුන් හට ධර්මාවබෝධයෙහි ඇති දුෂ්කරභාවය දක්වති.
5. පැවිදි ජීවිතය බොහෝ සෙයින් ඉන්ද්‍රිය සංවරයෙන් ආරක්ෂා කරගත යුතු දෙයක් බව දක්වති.

1. පැවිදී ජීවිතයේ ඇති මහා උදාරත්වය කෙසේ දක්වත් ද?

මහරජාණෙනි, යම් සේ නීච කුලයක උපන්, ධනහීන පුරුෂයෙක් සිටියි. විද්‍යා – ශිල්ප ශාස්ත්‍රාදියෙහි කිසිදු විශේෂ හැකියාවක් නැති, හීන බුද්ධි ඇති ඔහු මහා රාජ්‍යයක අධිපති බව ලබයි. එහෙත් ඉතා සුළු කලකින් ඔහු පිරිවර සහිත සකල සම්පත්තියෙන් පිරිහෙන්නේ ය. වැටෙන්නේ ය. නැසෙන්නේ ය. ඒ යස ඉසුරු මහා ධන සම්පත් ඔහුට දරා සිටිය නොහැක්කේ ය. ඒ මක් නිසා ද යත්, රාජ්‍ය ශ්‍රී සම්පත්තියෙහි ඇති මහා උදාරත්වය නිසා ය.

එසෙයින් ම මහරජාණෙනි, කුසල් උපදවා ගැනීමෙහි හැකියාවක් නැති, අකුසල් නැසීමෙහි හැකියාවක් නැති, පෙර ආත්ම භාවයන්හි කළ පින් නැති, පිරිහී ගිය නුවණ ඇති, යම්කිසි කෙනෙක් උතුම් බුදු සසුනෙහි පැවිදි වෙත් ද, ඔවුහු මාර්ගඵල ශ්‍රමණ ඵලයන්ට හිමිකම් ලැබෙන අයුරු වූ උතුම් පැවිදි ජීවිතයක් දරා සිටින්නට අසමර්ථ වෙති. වැඩි කලක් නොයා ම ශ්‍රමණ ගුණයන්ගෙන් පිරිහී, නැසී, ලාමක වූ ගිහි බව කරා යන්නාහු ය. මාර්ගඵල සහිත නිර්මල බුදු සසුන දරා සිටින්නට අසමර්ථ වෙති. ඒ මක් නිසා ද යත්, බුද්ධ ශාසන භූමියෙහි ඇති මහා උදාරත්වය නිසා ය. එසේ පැවිදි ජීවිතයේ ඇති මහා උදාරත්වය දක්වති.

2. පැවිදි ජීවිතයේ ඇති පාරිශුද්ධ නිර්මල භාවය කෙසේ දක්වත් ද?

මහරජාණෙනි, නෙළුම් පෙත්තෙහි දිය බිඳු විසිර යයි. බැහැරට යයි. රූරා වැටෙයි. නොරැඳෙයි. නෙළුම් පෙත්තෙහි නොපිහිටයි. ඒ මක් නිසා ද යත්, නෙළුමෙහි ඇති නිර්මල පිරිසිදු බව නිසා ය.

එසෙයින් ම මහරජාණෙනි, කපටි වූ, ඇති ස්වභාවය සඟවන, මායා ඇති, වංක, කෛරාටික, විෂම දෘෂ්ටිගත යම්කිසි කෙනෙක් තථාගත සසුනෙහි පැවිදි වෙති. ඔවුහු ඉතා පාරිශුද්ධ වූ, නිර්මල වූ, අලාමක වූ, උත්තම වූ, බුදු සසුනෙහි සීල – සමාධි – ප්‍රඥා යන ත්‍රිශික්ෂාවෙහි හික්මී රැඳී සිටින්නට අසමත් වෙති. නොබෝ කලකින් පිළිවෙතින් බැහැරට විසිර ගොස්, නැසී ගොස්, වැනසී ගොස්, ධර්ම විනයෙහි පිහිටා සිටිය නොහැකි ව, කැරකී වැටී ලාමක වූ ගිහි බවට පත්වෙති. ඒ මක් නිසා ද යත්, ජින ශාසනයෙහි ඇති පාරිශුද්ධ නිර්මල බව නිසා ය. මෙසේ ඔවුහු පැවිදි බව තුළ ඇති පාරිශුද්ධ නිර්මල බව දක්වති.

3. පාපී පුද්ගලයන් හා නිර්මල පැවිද්ද එක් නොවන බව කෙසේ දක්වත් ද?

මහරජාණෙනි, යම් සේ මහා සමුද්‍රය මළකුණු හා එක් ව වාසය නොකරයි ද, මහරජාණෙනි, මහා සමුද්‍රයෙහි යම් මළකුණක් ඇත්තේ නම් එය වහා ම වෙරළට පමුණුවයි. ගොඩබිමට නගාලයි. ඒ මක් නිසා ද යත්, මහා සමුද්‍රය තිමිර, පිංගල ආදී මහා සත්වයන් හට වාස භවනය වන බැවිනි.

එසෙයින් ම මහරජාණෙනි, පාපී වූ, ඉන්ද්‍රිය සංවරයෙන් තොර වූ, පවට ලැජ්ජා නැත්තා වූ, ශ්‍රමණ ගුණ නොපුරන්නා වූ, දුර්ජන වූ මනුෂ්‍යයෝ ද බුදු සසුනෙහි පැවිදි වෙති. ඔවුහු වැඩිකල් නොයා ම නිර්මල වූ, ක්ෂීණාශ්‍රව වූ, රහතුන් වන මහා සත්වයන්ගේ වාස භවන වූ බුදු සසුනෙහි වසනු නොහැකි ව එයින් බැහැරට නික්ම යති. උතුමන් හා එක් නොවී ලාමක වූ ගිහි බවට පෙරලා වැටෙති. ඒ මක් නිසා ද යත්, පවිටු පුද්ගලයන් හා බුදු සසුන එක් ව වාසය කිරීමක් නැති නිසා ය. මෙසේ ඔවුහු පවිටු පුද්ගලයන් හා නිර්මල පැවිද්ද එක් නොවන බව දක්වති.

4. ධර්මය අවබෝධ කිරීමෙහි දුෂ්කර බව කෙසේ දක්වත් ද?

මහරජාණෙනි, යම් සේ ධනුශ්ශිල්පයෙහි අදක්ෂ වූ, නුපුහුණු වූ, ශිල්පය නොවැටහෙන, ප්‍රඥා රහිත වූවෝ සිටිත් ද, ඔවුහු විදුලි කොටන එළියෙන් දුන්න නගාගෙන ඊතලය ඇද අශ්වලෝමයෙහි අග ඇති ඉලක්කය විදගන්නට නොහැකි ව පලා යන්නාහු ය. ඒ මක් නිසා ද යත්, අශ්ව ලෝමයෙහි අග වූ, ඉතා සියුම් වූ, ඉතා මෘදු වූ ඉලක්කයට එල්ල කරගැනීමට අසීරු නිසා ය.

එසෙයින් ම මහරජාණෙනි, ප්‍රඥා රහිත වූ, ජඩ වූ, කෙළතොළු වූ, මෝඩ වූ, කරුණු වටහා ගැනීමෙහි ඉතා ප්‍රමාද වූ, මනුෂ්‍යයෝ බුදු සසුනෙහි පැවිදි වෙති. ඔවුහු අතිශයින් ම මෘදු, සියුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත නොහැකි ව බුදු සසුනෙහි ගුණධර්ම වැඩීමට අසමත් ව පලා යති. සිවුරු හැර ලාමක ගිහි බවට පත්වෙති. ඒ මක් නිසා ද යත්, චතුරාර්ය සත්‍ය ධර්මයෙහි ඇති අතිශයින් ම මෘදු වූ, සියුම් වූ, අවබෝධයෙහිලා ඇති දුෂ්කරත්වය නිසා ය. ධර්මාවබෝධයෙහි ඇති දුෂ්කරත්වය මෙසේ දක්වති.

5. පැවිදි ජීවිතය බොහෝ සේ ඉන්ද්‍රිය සංවරයෙන් ආරක්ෂා විය යුතු බව කෙසේ දක්වත් ද?

මහරජාණෙනි, කිසියම් පුරුෂයෙක් මහත් වූ යුද්ධ භූමියකට පැමිණෙන්නේ ය. සතුරු සේනාව විසින් හාත්පස දිශා අනුදිශා වටකොට ගන්නා ලද්දේ ය. ආයුධ අත් ඇති ව පැමිණෙන ජනයා දැක භීතියට පත් වන ඔහු පසු බසියි. ඉදිරියට නොගොස් ආපස්සට හැරී පලා යයි. ඒ මක් නිසා ද යත්, නොයෙක් අයුරින් ඇති යුද්ධය ඉදිරියෙහි ආරක්ෂාවට ඇති භය නිසා ය.

එසෙයින් ම මහරජාණෙනි, පවිටු ගති ඇති, අසංවර වූ ඉන්ද්‍රිය ඇති, පවට ලැජ්ජා නැති, ශ්‍රමණ ධර්මය නොපුරන, ඉවසීමක් නැති, වහා කම්පා වෙන, පවිටු සිත් ඇති, අනුවණ මනුෂ්‍යයෝ බුදු සසුනෙහි පැවිදි වෙති. ඔවුහු නොයෙක් අයුරින් ඇති ශික්ෂා පද අනුව ආරක්ෂා වෙන්නට නොහැකි වෙති. ලාමක හැඟීම් දරාගත නොහැකි ව පිළිවෙතින් බැහැරට පලා ගොස් වැඩිකල් නොයා ලාමක වූ ගිහි බවට වැටෙති. ඒ මක් නිසා ද යත්, බොහෝ ඉන්ද්‍රිය සංවරයෙන් පැවිද්ද ආරක්ෂා කරගත යුතු නිසා ය. මෙසේ මහරජාණෙනි, පැවිදි ජීවිතය බොහෝ සෙයින් ඉන්ද්‍රිය සංවරයෙන් රැකගත යුතු බව දක්වති.

මහරජාණෙනි, ගොඩබිම හටගන්නා උතුම් දෑසමන් මල් පඳුරෙහි පවා පණුවන් විසින් විදින ලද පුෂ්පයෝ වෙති. එහි පණුවන් විදීමෙන් හැකිලී ගිය මල් පොහොට්ටු ඇද්ද, ඒවා නොපිපී තිබිය දී ම බිම වැටෙයි. නරක් වූ මල් පොහොට්ටු බිම වැටී ගිය පමණකින් ඒ සුවඳ හම දෑසමන් මල් පඳුරට ගැරහීම නොහොබියි. එහි මනාව පිපී තිබෙන දෑසමන් මල් ඇද්ද, ඒවායෙහි සොඳුරු සුවඳ දිශා අනුදිශාවෙහි පැතිර යන්නේ ය.

එසෙයින් ම මහරජාණෙනි, යම් කෙනෙක් තථාගත සසුනෙහි පැවිදි ව සිට සිවුරු හැර ලාමක ගිහි බවට වැටෙත් ද, ඔවුහු ජින ශාසනය නම් දෑසමන් මල් පඳුරෙහි පණුවන් විදින ලද මල් පොහොට්ටු වැනි ය. පැහැයෙන් ද, සුවඳින් ද තොර වූ, පැහැපත් වීමට නොහැකි වූ, පිපීමට අයෝග්‍ය වූ මල් පොහොට්ටු වැනි ය. එබඳු වූවන් ලාමක ගිහි බවට පත් වූ පමණින් බුදු සසුනට ගැරහීම නොහොබියි. මේ ජිනවර සසුනෙහි නිවන් සාරයෙහි සුපිහිටි භික්ෂූහු ද සිටිති. නිවන් මගෙහි පිළිවෙත් පුරන්නා වූ, සසුන් ඵලයන්හි අපේක්ෂාවෙන් සිටින්නා වූ භික්ෂූහු ද සිටිති. ඔවුහු දෙවියන් සහිත ලෝකයා උතුම් ගුණ නැණ සීල සුගන්ධයෙන් සුවඳවත් කරති.

මහරජාණෙනි, නීරෝග වූ, ඉතා සුවඳැති, රත් හැල් කුඹුරෙහි පවා ‘කාරම්භක’ නම් වල් හැල් හටගෙන ඵල නූපදවා ම විනාශයට පත්වෙති. එසේ වල් ගොයම් ඵල නූපදවා නැසී ගිය පමණකින් සුවඳවත් රත් හැල් කෙතට නින්දා කිරීම නොහොබියි.

එසෙයින් ම මහරජාණෙනි, යම් කෙනෙක් බුදු සසුනෙහි පැවිදි ව සිට ලාමක ගිහි බවට පත්වෙත් ද, ඔවුහු සුවඳවත් රත් හැල් කෙතෙහි හටගත් කාරම්භක නම් වල් ගොයම බඳු වෙති. ජින ශාසනයෙහි නොවැඩී, පිහිටක් නොලැබ, විපුලත්වයට පත් නොවී, අතරමගදී ම, සිවුරු හැර ලාමක ගිහි බවට පත්වෙති. ඔවුන් ගිහි බවට පත්වීම හේතුවෙන් බුදු සසුනට නින්දා කිරීම නොහොබියි. යම් මේ භික්ෂූහු ධර්ම විනය තුළ මැනැවින් පිහිටා සිටිත් ද, පිළිවෙතෙහි හැසිරෙත් ද, ඔවුහු උතුම් මාර්ගඵලාවබෝධය සාක්ෂාත් කරන්නට සුදුසුකම් ලබන්නාහු ය.

මහරජාණෙනි, කැමති දෙයක් දෙන්නා වූ චින්තා මාණික්‍ය රත්නය උපදින තැන ම කර්කශ වූ රළු පරොළු කැට කැබිලිති උපදියි. ඒ මාණික්‍ය රත්නය උපදින තැන කර්කශ ගල් පතුරු තිබෙන පමණින් ඒ මාණික්‍ය රත්නය නින්දා ලැබිය යුතු නොවෙයි. එහි පිරිසිදු ව බබලන යම් චින්තා මාණික්‍ය රත්නයක් ඇද්ද, එය ජනයා හට සතුට උපදවා දෙයි.

එසෙයින් ම මහරජාණෙනි, යම් කෙනෙක් ජින ශාසනයෙහි පැවිදි ව ලාමක වූ ගිහි බවට වැටෙත් ද, ඔවුහු බුදු සසුනෙහි උපන් කර්කශ, රළු පරොළු ගල් පතුරු බඳු ය. ඔවුන්ගේ ලාමක ගිහි බවට පත්වීම නිසාවෙන් බුදු සසුන නින්දා ලැබිය යුතු නොවෙයි. එහි යම් මේ භික්ෂූහු ධර්ම විනය තුළ මැනැවින් පිහිටා සිටිත් ද, පිළිවෙතෙහි හැසිරෙත් ද, ඔවුහු දෙව් මිනිසුන්ට උතුම් සතුට උපදවන්නාහු ය.

මහරජාණෙනි, ජාතිමත් රත්සඳුන් හරෙහි පවා ඇතැම් කොටස් කුණුවන්නේ වෙයි. සුවඳ රහිත වූයේ වෙයි. එපමණකින් ජාතිමත් සඳුන් හර නින්දා ලැබිය යුතු නොවෙයි.

එසෙයින් ම මහරජාණෙනි, යම් කෙනෙක් බුදු සසුනෙහි පැවිදි ව සිවුරු හැර ලාමක ගිහි බවට හැරී යත් නම්, ඔවුහු බුදු සසුන නම් ජාතිමත් සඳුන් හරෙහි තිබෙන්නා වූ ඉවත දැමිය යුතු කුණු වූ කොටස් බඳු ය. ඔවුන්ගේ ලාමක වූ ගිහි බවට පත් වීම හේතුවෙන් බුදු සසුන නින්දා ලැබිය යුතු නම් නොවෙයි. එහි යම් මේ භික්ෂූහු ධර්ම විනය තුළ මැනැවින් පිහිටා සිටිත් ද, පිළිවෙතෙහි හැසිරෙත් ද, ඔවුහු දෙවියන් සහිත ලෝකය උත්තම සීල ගුණ නැණ සඳුන් සුවඳින් සුවඳවත් කරති.”

“යහපති ස්වාමීනී, නාගසේනයන් වහන්ස, ඒ ඒ දෙයට ගැලපෙන කරුණු වලින්, ඒ ඒ දෙයට සමාන කරුණු දක්වමින් ඉතා යහපත් අයුරින් ධර්මය මතු කරන ලද්දේ ය. ශ්‍රේෂ්ඨ වූ බුදු සසුන පරිදීපනය කරන ලද්දේ ය. ලාමක ගිහි බවට පත්වන උදවිය පවා බුද්ධ ශාසනයෙහි ඇති ශ්‍රේෂ්ඨ භාවය පෙන්වන අයුරු වදාළ ආකාරය ඉතා මැනැවි.”

මිළිඳු රාජ ප්‍රශ්නය – සිවුරු හැර ගිහිවීම ගැන පස්වෙනි ප්‍රශ්නය යි.

සිංහල පරිවර්තනය – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ.