ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ මෙයින් අසංඛෙය්‍ය කල්ප විස්සකට පෙර සයුරට වන් තම මව සිය දෙවුර මත තබාගෙන සත්දිනක් පුරාවට මහ සයුර පිහිනා පරතෙරට කළ සේක. ඒ අසිරිමත් මොහොතේ දී බ්‍රහ්මරාජයා විසින් ඔබගේ සිතෙහි උපදවන ලද ‘මම අවබෝධ කොටගෙන අන් අයට ද අවබෝධ කරවන්නෙමි. මම කෙලෙසුන්ගෙන් මිදී අන් අයද කෙලෙසුන්ගෙන් මුදවන්නෙමි. මම සසරින් එතෙරව අන් අයද එතෙර කරවන්නෙමි’ යි යන උතුම් සිතුවිල්ලෙන් ද මවගෙන් ඒ උතුම් අරමුණ උදෙසාම ලද ආශීර්වාදයෙන් ද යුතුව ලෝ සත සසරින් මුදවන මහා වගකීම හිසමතට ගත් සේක. අසංඛෙය්‍ය කල්ප දහසයක් එසේ බුදු බව පතා සසරේ පැමිණුන සේක. මෙයින් අසංඛෙය්‍ය කල්ප හතරකුත් කල්ප ලක්ෂයකට පෙර සුමේධ තාපසව ඉපිද දිවකුරු බුදුරජුන් පාමුල ගෞතම නමින් බුදු වන බවට විවරණ සිරි ලද සේක.

ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ දීපංකර බුදුරජුන් පාමුල මතු සම්බුදු බවට විවරණ ලද මොහොතේ පටන් වෙස්සන්තර ආත්ම භාවය දක්වා සාරාසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් පුරාවට බුද්ධකාරක ධර්ම නම් වු දස පාරමිතාවන් පාරමී, උප පාරමී, පරමත්ථ පාරමී වශයෙන් සම්පුර්ණ කළ සේක.

1 ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ දාන පාරමිතාව පුරන සමයේ දිය පිරුණ කලයක් යටට හැරවූ පසු වේගයෙන් දිය ගලා බස්නා ලෙසින් දානය පුරුදු කළ සේක. දිවි නොතකා දන් දුන් සේක. ධන ධාන්‍ය වේවා යස පිරිවර වේවා අඹු දරුවන් වේවා ස්වකීය ඇස් හිස් මස් ලේ වේවා කවර දෙයක් වී ද දන් දීමට අවස්ථාව පැමිණි කල දෙවරක් නොසිතාම, දෙසිතක් නොමැතිවම බුදු බව පිණිසම දන් දුන් සේක. දානයෙන් පරතෙරට වන් සේක. දාන පාරමිතාව සම්පූර්ණ කළ සේක.

2 ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ සීල පාරමිතාව පුරන සමයේ සෙමෙර මුවෙක් දිවි පරදුවට තබා තම වලිගය රකින්නා සේ කාය දුෂ්චරිතයෙන් තම කය රැක ගත් සේක. ප්‍රාණඝාතය නොකළ සේක. සොරකම් නොකළ සේක. වැරදි කාමසේවනය නොකළ සේක. අත් පා වෙහෙසවා, කය වෙහෙසවා ජීවිත පැවැත්ම කළ සේක. ලොවට යහපත කළ සේක. වචී දුෂ්චරිතයෙන් කිලිටි නොවී සිය වචනය රැකගත් සේක. අසත්‍ය වචන නොව සත්‍ය වචනම පැවසූ සේක. අසමඟිය පිණිස නොව සමඟිය පිණිසම වචන පැවසූ සේක. පරුෂ වචන නොව මිහිරි ප්‍රිය වචනම පැවසූ සේක. ළාමක වූ හිස් වචන නොව නුවණැස ලබාදෙන වචනම පැවසූ සේක. තම සීලය ආධ්‍යාත්මික පිවිතුරු බවේ ද පරාර්ථ චර්යාවේ ද කැඩපත කොට ගෙන වාසය කළ සේක. සීලයෙන් පරතෙරට වන් සේක. සීල පාරමිතාව සම්පූර්ණ කළ සේක.

3 ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ විමුක්තිය පිණිස ම කාමයන් අතහැර පැවිදි වීමත්, කාමාශාවන්ගෙන් සිත මුදවාගෙන භාවනා කිරීමත්, ඉන්ද්‍රිය සංවරයත් යනාදියෙන් යුතු වූ නෙක්ඛම්මය තෙවන පාරමිතාව කොටගත් සේක. යම් සේ බන්ධනාගාරගතව දුකින් පීඩිතව සිටියෙකු එහි ඇල්ම නූපදවා ඉන් මිදීම පිණිස පලා යන්නා සේ කාමාදී සියලු භවයන් බන්ධනාගාර ලෙසින් සලකා නෙක්ඛම්මය පුරුදු කළ සේක. නෙක්ඛම්මයේ පරතෙරට වන් සේක. නෙක්ඛම්ම පාරමිතාව සම්පූර්ණ කළ සේක.

4 ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ ප්‍රඥා පාරමිතාව පුරන සමයේ සත්පුරුෂයන්ගේ කුලය ආදිය නොසලකා චරණයම සලකාගෙන සත්පුරුෂ ඇසුර ලබමින්, නුවණින් විමසමින් ස්වකීය බුද්ධි ප්‍රභාව දියුණු කරගත් සේක. එයින් පෝෂණය ලබා පාපී අකුසල විතර්ක දුරු කළ සේක. මෙත් කරුණාදී ගුණධර්ම සිත තුළ පිහිටුවා ගත් සේක. නොඇල්ම පුරුදු කළ සේක. ප්‍රඥාවේ පරතෙරට වන් සේක. ප්‍රඥා පාරමිතාව සම්පූර්ණ කළ සේක.

5 ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ පියවි ගමනින් ගොස් සඳ ඇල්ලීම මෙන් බුදු බව ලැබීම නම් දුෂ්කර කටයුත්තේ දී වීරිය ම පෙරට ගත් සේක. වීරිය ම උපකාර කරගත් සේක. වනයේ හැසිරෙන සිංහයා සිය සියලු ඉරියව් වීර්යයෙන් ම පවත්වන්නා සේ ඔබවහන්සේ ද සියලු කටයුත්තේ දී බලවත් වීර්යකින් යුතුව, අත්නොහළ වීර්යකින් යුතුව සියලු බාධා ජයගත් සේක. උතුම් සම්බුදු බව පිණිස සියලුම කුසල් දහම් වීර්ය ම පෙරටුකොට ගෙන උපදවා ගත් සේක. වීරියේ පරතෙරට වන් සේක. වීර්ය පාරමිතාව සම්පූර්ණ කළ සේක.

6 ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ ක්ෂාන්ති පාරමිතාව පුරන සමයේ ඉවසීම ම බලය කොට ගෙන වාසය කළ සේක. දරුණු කායික වේදනා ඉදිරියේ දී පවා ඉවසීම අත්නොහළ සේක. මහ පොළව වනාහී සඳුන් සුණු ආදී පවිත්‍ර දේ සේ ම කුණපාදී අපවිත්‍ර දේ ද සම ලෙසින් ඉවසන්නේ යම් සේ ද ඔබවහන්සේද ලාභ සත්කාර, කීර්ති ප්‍රසංශා, සැප සම්පත් අබියස මුසපත් නොවී සිටියා සේම සීතල උණුසුම කුසගින්න පිපාසය නින්දා අවමන් අභූත චෝදනා ආදිය ඉදිරියේ ඒ කිසිවකට නොසැලී ඉවසීම පුරුදු කළ සේක. ඉවසීමේ පරතෙරට වන් සේක. ක්ෂාන්ති පාරමිතාව සම්පූර්ණ කළ සේක.

7 ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ ඕෂධී තාරුකාව හේමන්ත වස්සාන ගිම්හාන ඍතුවල දී සිය ගමන් මග වෙනස් නොකරන්නේ යම් සේ ද එපරිද්දෙන් ම සම්බුදු බව පිණිස පැමිණි මඟ, සත්‍යය තුළ ම පිහිටා සිටි සේක. සත්‍යයෙන් බැහැර නොවූ සේක. ජීවිතය උදෙසාවත් සත්‍යය අත්නොහළ සේක. ජීවිතය අත්හළ සේක. සත්‍යයට දිවි පිදු සේක. සත්‍යයෙන් ම සියලු බලවේග දිනූ සේක. සත්‍යනාම නම් වූ සේක. සත්‍යයේ පරතෙරට වන් සේක. සත්‍ය පාරමිතාව සම්පූර්ණ කළ සේක.

8 ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස, පොළවේ මනාව පිහිටි ගල් කුළක් සිව් දිසාවෙන් හමන චණ්ඩ මාරුතයක් ඉදිරියේ නොසෙල්වේ ද අකම්පිත වේ ද අන් තැනකට නොයා ද එලෙසින්ම නුඹවහන්සේ ද සම්බුදු බව පිණිස ඇතිකර ගත් අධිෂ්ඨානය කවරාකාර බාධක අභියෝග ඉදිරියේදීවත් අත්නොහළ සේක. නොසෙල්වී, නොවෙනස්ව නොපසුබටව පැවැත්වූ සේක. බුදු බව තෙක් පැමිණි ගමනේ දිදුලන ආනුභාවය, අධිෂ්ඨානය ම වූ සේක. අධිෂ්ඨානයේ පරතෙරට වන් සේක. අධිෂ්ඨාන පාරමිතාව සම්පූර්ණ කළ සේක.

9 ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස, මවක් සිය එකම පුතුට සෙනෙහස දක්වන්නේ යම් සේ ද කඳුමුදුනකින් ගලා බසිනා දිය දහර සියලු දෙනාවම එක සේ තෙමාලන්නේ යම් සේ ද ඔබවහන්සේ පෙරුම් පුරා එන ගමනේ දී පවා සියලු සතුන්ට සම මෙත් සිතින් යුතු වූ සේක. ඒ සියලු ජීවිතවල දී මෙත් සිත මත පිහිටා සියලු චරණයන් උපදවා ගත් සේක. මෛත්‍රියෙන් පරතෙරට වන් සේක. මෙත්තා පාරමිතාව සම්පූර්ණ කළ සේක.

10 ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ බුදු බව පතාගෙන එන ගමනේ දී පවා ලාභ, යස, ප්‍රශංසා, සැප ඉදිරියේ උද්දාම නොවූ සේක. අලාභ, අයස, නින්දා, දුක් ඉදිරියේ ශෝක නොකළ සේක. අටලෝ දහම අබියස නොසැලී නොවැටී උපේක්ෂාවට පත් වූ සේක. උපේක්ෂාවෙන් පරතෙරට වන් සේක. උපේක්ෂා පාරමිතාව සම්පූර්ණ කළ සේක.

ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස, ලෝකයේ යම්තාක් කුසලතා ඇත්ද ඒ සියල්ල මේ දස පාරමිතා වන සේක. මේ දස පාරමිතාවෝ එක වදනකට ගළපවා කියන්නේ නම් ඒ සම්මා සම්බුදු බව ම වන්නේ ය. යම්තාක් බුද්ධානුභාවයක් වෙත් ද ඒ සියල්ල මේ පරමිතාවන්ගේ ආනුභාවය වන්නේ ය. යම්තාක් බුදුගුණ වන්නේද ඒ සියල්ල මේ පරමිතාවන්ගේ ගුණයෝ ම වන්නාහ. යම්තාක් බුද්ධ තේජසක් වෙත් ද ඒ සියල්ල මේ පරමිතාවන්ගේ තේජස ම වන්නාහ. යම්තාක් බුද්ධ ඤාණයන් වෙත් ද ඒ සියල්ල මේ පාරමිතාවන්ගේ ඤාණයම වන්නේ ය. යම්තාක් බුද්ධ ඉර්ධියක් වෙත් ද ඒ සියල්ල මේ පරමිතාවන්ගේ ඉර්ධිය ම වන්නේ ය. ඔබවහන්සේ සම්මා සම්බුදු වී වදාළෝ, ඒ මේ පාරමිතා ම වන්නාහ.

සාදු! සාදු!! සාදු!!!