සතර සතිපට්ඨානයට අයත් කායානුපස්සනා භාවනාවේදී බුදුරජාණන් වහන්සේ වදාළ පළවෙනි භාවනාව තමයි, ආනාපානසතිය. ආනාපානසති කියලා කියන්නේ ආශ්වාස ප්‍රශ්වාස ගැන සිහිය පිහිටුවා ගැනීම. අපි ඉපදුණු දවසේ ඉඳලා හුස්ම ගන්නවා, හුස්ම හෙළනවා. ඉපදුණු දවසේ ඉඳලා අපි හුස්ම ගත්තත් හෙලුවත්, මේ ගන්න හුස්ම, හෙළන හුස්ම මුල් කරගෙන සිහිය දියුණු කරලා සිත පිරිසිදු කරන්න පුළුවන් බව අපි දැනගෙන සිටියේ නැහැ.

ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ආනාපානසති භාවනාවේදී ඉස්සෙල්ලාම ආරණ්‍යයකට ගිහින්, එහෙම නැත්නම් රුක් සෙවණකට ගිහින්, එහෙම නැත්නම් හිස් තැනකට ගිහින් හුදෙකලා වෙන්න කියලයි. මේකේ තේරුම කලබල ගතිය නැති නිශ්ශබ්ද පරිසරයකට යන්න කියන එකයි. ඔබට පුළුවනි, ඔබ සිටින කාමරයේ ම වුවත් හුදෙකලා වෙන්න.

අපි කියමු ඔබ සිටින කාමරයේ තුන් දෙනෙක් භාවනා කරනවා කියලා. එතකොට තුන් දෙනා තුන් තැනක වාඩිවෙලා ඇස් වහගෙන භාවනාවට සුදුසු විදිහට ඉරියව්ව සකස් කරගන්න කොට එයා හුදෙකලා වෙලා. මේ විදිහට හුදෙකලා භාවයක් ඇතිකරන්න පුළුවන්. එහෙම නැත්නම්, ඔබට බෝ මළුවක භාවනා කරන්න සුදුසු විදිහක් හරිගස්ස ගන්න පුළුවන්. ඒ වගේ නිදහස් තැනක් තෝරා ගැනීම ගොඩාක් උපකාරී වෙනවා.

පූර්ව කෘත්‍යයන්….

ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළා, ඒ කෙනා (නිසීදති පල්ලංකං ආභුජිත්වා) පළඟක් බැඳගෙන වාඩි වෙනවා. පළඟක් බැඳගෙන වාඩිවෙනවා කියලා කියන්නේ කකුල් දෙක නවාගෙන බිම වාඩිවෙන එකයි. හැබැයි, ඒකෙ තියෙනවා, (උජුං කායං පණිධාය) කියලා. පළඟක් බැඳගෙන වාඩිවුණාට පස්සේ කොන්ද කෙලින් කරගන්න ඕන. උජුං කායං පණිධාය කියලා කියන්නේ ඒකටයි.

බොහෝ දෙනෙකුට පළඟක් බැඳගෙන, ඒ කියන්නේ කකුල් දෙක නවාගෙන බිම වාඩිවෙන්න අමාරුයි. මෙය අපේ රටේ බොහෝ දෙනෙකුට තිබෙන ගැටලුවක්. සමහරු එහෙම පළඟක් බැඳගෙන බිම වාඩිවුණත් කොන්ද කෙලින් කරගන්න අමාරුයි. මේක අපි කොහොමද විසඳුමක් කරගන්නේ? මොකද, අපේ ඉලක්කය සිත දියුණු කර ගැනීම. සමාධිය දියුණු කරගැනීම, ප්‍රඥාව දියුණු කර ගැනීම. මේකට වුවමනා කරන ආකාරයට අපේ වාඩිවෙන ඉරියව්ව සකස් කරගන්නේ කොහොමද කියන එක. මේකෙදී ඔබට විශේෂයෙන්ම වාඩිවෙන ආසනය ගැන කල්පනාවෙන් සිටීම ප්‍රයෝජනවත් වේවි.

වාඩි වීම අපහසු නම්…

මේකට පොඩි උපක්‍රමයක් තියෙනවා. උපක්‍රමය තමයි, ඔබට පුළුවනි, අඟල් තුන හතරක් විතර උසට පුංචි කොහු මෙට්ටයක් හෝ පුංචි බංකුවක් හදාගන්න. ඊට පස්සේ ඒකේ වාඩිවෙලා කකුල් දෙක පහළට දාගෙන කොන්ද කෙළින් කරගන්න පුළුවන්. ඉතින් ඔබ ඒකෙදි සැලකිලිමත් වෙන්න හේත්තු නොවී සිටීමට. හේත්තු වෙන්න පුරුදු වෙන්නෙ නැතුව ආසනයේ වාඩිවෙලා කොන්ද කෙලින් කරගන්න පුරුදු වෙන්න. සමහරුන්ට බොහොම ලස්සනට බිම වාඩිවෙලා එරමිණිය ගොතාගෙන හොඳට කොන්ද කෙලින් කරගන්න පුළුවනි. ඔබට ඒ විදිහට බැරිවුණා කියලා පසුබට වෙන්න එපා. ඔබටත් ඒ විදිහට වාඩිවෙලා කොන්ද කෙළින් කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඔබගේ මූලික කරුණ හරි.

භාවනාව පටන් ගන්න…

දැන් (පරිමුඛං සතිං උපට්ඨපෙත්වා) භාවනා කරන අරමුණේ සිහිය පිහිටුවාගෙන භාවනා කරන්න. දැන් ඔබට නිමිත්තක් තියෙනවා. නිමිත්ත තමයි ආනාපානසතිය. ආනාපානසතිය හැර වෙන නිමිති හොයන්න යන්න එපා.

මොකක්ද මේ ආනාපානසති නිමිත්ත?

බුදුරජාණන් වහන්සේ වදාළා, (සෝ සතෝව අස්සසති) එයා සිහියෙන්ම හුස්ම ගනියි. (සතෝ පස්සසති) සිහියෙන්ම හුස්ම හෙලයි. ඕක තමයි ඔබටත් කරන්න තියෙන්නේ. සිහියෙන්ම හුස්ම ගන්නවා. සිහියෙන්ම හුස්ම හෙලනවා.

ඔබ මතක තියාගන්න, එතකොට අපි අවධානය යොමු කරගන්නේ හුස්ම ගැන. දැන් ඔබ සිහියෙන්ම හුස්ම ගන්නවා, සිහියෙන් හුස්ම හෙලනවා. ඔබ ඒ සඳහා මූලික සුදුසුකමක් හැටියට කය ඍජු කරගෙන භාවනාවට වාඩිවුණා.

ආනාපානසතියට පෙර…

හැබැයි, මේකෙදි ආරම්භයක් ලෙස ඔබ ටිකක් වෙලා බුදු ගුණ වඩන්න. ආනාපානසති භාවනාව වඩන්න ඉස්සර වෙලා බුදුරජාණන් වහන්සේගේ ගුණ ගැන සිංහලෙන්, ඔබේ භාෂාවෙන් සිහිකරන්න. උන්වහන්සේට අරහං කියන්නේ මොකද? සම්මා සම්බුද්ධ කියන්නේ මොකද? විජ්ජා චරණ සම්පන්න කියන්නේ මොකද? සුගත ගුණය මොකක්ද? ලෝකවිදූ, අනුත්තර පුරිසදම්ම සාරථී, සත්ථා දේවමනුස්සානං බුද්ධ, භගවා කියන මේ බුදු ගුණ සිහි කරලා ඔබේ සිතේ ප්‍රසන්න පැහැදීමක් ඇතිකර ගන්න.

බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිකරද්දී, ඔබේ සිත බොර වූ වතුරක් තැන්පත් වෙනවා වගේ තැන්පත් වෙනවා. සැනසීමට ලක් වෙනවා. සතුටක් ඇතිවෙනවා. මෙන්න මේක ඔබට ආනාපානසති භාවනාව දියුණු කිරීමට ලොකු රුකුලක් වෙනවා. ඊළඟට ඔබ සිහියෙන් හුස්ම ගන්නවා, සිහියෙන් හුස්ම හෙලනවා. ඔබට මේ ආනාපානසති භාවනාවේ ආරම්භයේම කරන්න තියෙන්නේ ඔච්චරයි.

මේක අමාරු එකක් නෙවෙයි. බලන්න, කොච්චර සරල ප්‍රවේශයක්ද තියෙන්නේ කියලා. හැබැයි, මේකෙදි ඔබ සිහියෙන් හුස්ම ගන්න, සිහියෙන් හුස්ම හෙලන්න පටන් ගත්තට පස්සේ ඔබට තේරෙන්න ගනීවි, සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ පවත්වපු සිහිය කොච්චර හිතුවක්කාර එකක්ද කියලා. සිහිය ඔබට ඕන හැටියට පවත්වන්න බැරි බව ඔබටම අවබෝධ වෙන්න පටන් ගනීවි.

සාමාන්‍ය සිතේ ස්වභාවය…

ඔබට තේරේවි, ඔබ හුස්ම ගැන සිහිය පිහිටුවන්න යන විට ඔබේ සිත එක එක තැන්වල දුවනවා. එක එක අරමුණුවල දුවනවා. එක එක කල්පනාවල දුවනවා. අතීතයට දුවනවා. අනාගතය මවනවා. බාහිර ශබ්දවලට යනවා. එතකොට ඔබට තේරේවි, මෙවැනි ආකාරයේ සිතකින් යුතු සිහියක් ද මං පැවැත්තුවේ කියලා. ඔබට ඔබේ සිහිය ගැන එහිදී හොඳ අවබෝධයක් ලබාගන්න පුළුවන්.

ඊට පස්සේ ඔබට කරන්න තියෙන්නේ හොඳින් වීරිය ඇතිකර ගැනීමයි. සිත විසිරෙන කොට නැවතත් ආනාපානසතියේ සිහිය පිහිටුවා ගන්න. මේකෙදී ඔබ විශේෂයෙන්ම මතක තියාගන්න ඕන කරුණක් තියෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ වදාළා, “සතිපට්ඨානය දියුණු කිරීමේදී ඇලීම් ගැටීම් දෙක ඉස්සෙල්ලාම ඔබ අත්හරින්න ඕන” කියලා.

ඇලීම් ගැටීම් දුරලමින්…

හිතට ඇලෙන අරමුණු එනවිට ඒක ගන්න එපා. ගැටෙන අරමුණු එන විට ඒකත් ගන්න එපා. ඔබ ඒ ඇලීම් ගැටීම් දෙක බැහැර කරන්න ඕන. ඔබ කුසලතා තුනක් ඔබ තුළ ඇතිකර ගන්න ඕන. ඒ තමයි, (ආතාපි) ඔබේ මානසිකව ගොඩනැගුණු දුර්වලතා බැහැර කරන්න පුළුවන් හැකියාව දියුණු කරන්න ඕන. (සම්පජාන) ඔබ සිහිනුවණින් සිත හසුරුවන්න ඕන. (සතිමා) හොඳ කල්පනාවෙන් අවධානයෙන් සිටින්න ඕන.

සතිපට්ඨානය දියුණු කරගන්න තියෙන්නේ මෙන්න මේ කරුණු තුන පදනම් කරගෙන. ඒ තමයි ආතාපි, සම්පජානෝ, සතිමා. කෙලෙස් තවන වීර්යෙන් යුක්තව, මනා නුවණින් යුක්තව, සිහි ඇතුව.

සිහියේ වටිනාකම…

අන්න එතකොට ඔබ ආවාට ගියාට ආනාපානසතිය කරන කෙනෙක් නෙවෙයි. දැන් ඔබ අවබෝධයෙන් යුක්තව ආනාපානසතිය කරන කෙනෙක්. ඔබ දන්නවා හිත යම් යම් කරුණුවලට ඇලිලා තියෙනවා නම්, කාම අරමුණුවල දුවනවා නම්, ඒ වෙලාවේ ඔබට ආනාපානසතිය කරන්න බැහැ. ඒ වගේම යම්කිසි ගැටීමක් ඇතිවෙලා තියෙනවා නම් ඒ වෙලාවෙදිත් ඔබට ආනාපානසතිය කරන්න බෑ.

එහෙනම් ඔබ මේ දෙකෙන් බැහැර වූ වෙලාව තමයි සිත සංසිඳවන්න පුළුවන් වෙලාව. අන්න ඒ වෙලාව තමයි නිශ්ශබ්ද පරිසරයක් තුළින් ඔබ හදාගන්නේ. ඊට පස්සේ ඔබට පුළුවනි, සිහියෙන් හුස්ම ගන්න. සිහියෙන් හුස්ම හෙලන්න. මේක තමයි ආනාපානසති භාවනාවේ තියෙන පළවෙනි අභ්‍යාසය. දැන් ඔබට මේක හොඳට පුරුදු කරන්න පුළුවන්.

මීළඟට ආනාපානසති භාවනාවම තවත් දියුණු කරන්න පුළුවන් ආකාරය අපි විස්තර කරලා දෙනවා. දැන් ඔබට තියෙන්නේ සිහියෙන් හුස්ම ගැනීම, සිහියෙන් හුස්ම හෙළීම දියුණු කරන්නයි. හැබැයි, ඔබ හිත විසිරෙන්නේ නැතුව පවත්වා ගන්න වුවමනයි.

ඒකට වීරිය, නුවණ, සිහිය වුවමනයි. මේකට ඔබ පොඞ්ඩක්වත් මානසිකව දුක්වෙන්නේ නැති, පසුබහින්නේ නැති, පසුතැවෙන්නේ නැති පරිසරයක් හදාගන්න ඕන. ආනාපානසතිය වඩද්දි සිත එකඟ වෙන්නේ නෑ කියලා තැවෙන්න එපා. ඔබ කළ යුත්තේ දිගටම ආශ්වාස ප්‍රශ්වාස ගැන සිහිය පිහිටුවීමයි…..

– පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ‘සිතට සුව දෙන භාවනා’ ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී.