මෙ කල අප ජීවත් වන්නේ බොහෝ ම කාර්යබහුල සහ තරගකාරීත්වය පෙරටු කරගත් සමාජයක. පිරිසක් සමාජයේ සුභසිද්ධිය වෙනුවෙන් වෙහෙසෙන කොට තවත් පිරිසක් මේ සමාජය නොයෙකුත් දුරාචාරවලින් අඳුරට ඇඳ දමනවා. මෙතනදි පිරිසක් විදියට පෙනුණත්, යහපතට හරි අයහපතට හරි දායකත්වය ලබා දෙන්නේ තනි තනි පුද්ගලයන් වශයෙන්.

සමාජයක් ගත්තොත්, පවුල කියල කියන්නේ සමාජයක මූලික තැනුම් එ්කකය. එහෙනම් සමාජයක යහපත් හෝ අයහපත් කල්කිරියාව තීරණය කරන ප‍්‍රධාන සාධකයක් විදියට පවුල් පසුබිම සලකන්නට පුළුවනි. යහපත් හා සුහදශීලි පවුලක් තුළින් සමාජයටත් යහපතක් සැලසෙනවා වගේ ම ගැටලූ සහගත පවුල් පසුබිමකින් සමාජයට හදල දෙන්නේ ගැටලූවක් ම තමයි.

කෙනෙක් කුඩා අවදියේ ඉඳල ම සමාජය පිළිබඳ අවබෝධයක් ලබාගෙන සමාජගත වෙනකොට සමාජ සබඳතා ගොඩ නගාගන්න උපකාර කරගන්නේ, ආදර්ශයට ගන්නේ තමන්ගේ පවුල තුළ ඇති සමාජ වටපිටාවයි. ගෙදරක දෙමාපියන් එකිනෙකාට සෙනෙහෙවන්තව උපකාර කරගනිමින් නම් ජීවත් වන්නේ, දරුවන්ගේ යහවර්ධනයට එ්ක හොඳ රුකුලක් වෙනවා. කෙනෙකුට තමන්ගේ පවුල් පසුබිම තුළ ම ගෞරවය, රැකවරණය ලැබෙනවා නම් ඔහු තමා අවට සමාජයටත් ගෞරවය හා රැකවරණය ලබාදෙන්නට මැලිවන්නේ නැහැ.

තමන් හැදී වැඩෙන පරිසරය අනුව පුද්ගලයාගේ ගති ගුණ හැඩ ගැසෙන බවට හොඳ ම නිදසුනක් තමයි සත්තිකුම්භ ජාතකයේ එන ගිරාපෝතකයන් දෙදෙනා. ශීල තපෝ ගුණයෙන් යුතු තාපසවරුන්ගේ ආරාමයේ ඇසුරට පත් වුණ ගිරවා යහපත් වචන ම පුරුදු කරන කොට, යහපත් ක‍්‍රියා ම පුරුදු කරන කොට හොරු රංචුවකගේ ඇසුරට පත් වුණ ගිරවා නපුරු, පරුෂ වචන ම, නපුරු ක‍්‍රියා ම පුරුදු වුණ හැටි අපි පුංචි කාලේ ඉඳල අහලා තියෙනවා. බලන්න, සමීපව ලැබෙන ඇසුර මත පුද්ගල ස්වභාවයන් වෙනස් වෙන ආකාරය. එ් කියන්නේ සමාජයට යහපත් පුරවැසියෙක් තිළිණ කරන්න පදනම සැකසෙන්න ඕන පවුල තුළින්.

වර්තමානයේ අපේ පවුල් සංස්ථාවන්ට මොකද වෙලා තියෙන්නේ? අද අපිට දකින්නට ලැබෙන ප‍්‍රධාන ගැටලූවක් තමයි ස්වාමියා සහ භාර්යාව අතර ඇතිවන ගැටුම්. සමහර වෙලාවට බොහෝ දුරදිග යන මේ ගැටුමකට මුල ඉතා කුඩා කරුණක්. එ් ගැටුම් ඇවිළිලා යන්නේ හරියට පුළුන් ගොඩකට ගිනි පුපුරක් ගැටුන වගේ. එකිනෙකා සමීපව ඇසුරු කරන පවුල් ජීවිතයක් තුළ එහෙම වෙන්න පුළුවන් ද?

විවාහ ජීවිතයක් සුන්දරව පවත්වාගෙන යන්නට නම් අඹු සැමියන් අතර ආදරය, ගෞරවය හා එකිනෙකා පිළිබඳ අවබෝධය නිරන්තරයෙන් ම තියෙන්නට ඕන. අද අපට පෙනෙන කාරණයක් තමයි ස්වාමියා කියන කරන දැ පිළිගන්නට බිරිඳ කැමති නැහැ. බිරිඳ විසින් කරන කියන දැ පිළිගන්නට සැමියා කැමති නැහැ. මේ දෙය සිද්ධ වෙන්නට ප‍්‍රධාන හේතුව තමයි දෙදෙනා අතර එකිනෙකා කෙරෙහි ගෞරවයක් සහ විශ්වාසයක් නොමැතිකම.

ඕනෑම කෙනෙක් ගැන විශ්වාසවන්ත බව ගොඩනැගෙන්නේ ඔහුගේ සිල්වත් බවත් එක්කයි. බිරිඳ දන්නවා නම් තමාගේ සැමියා සිල්වත් කියලා, මුළු මහත් සමාජය ම සැමියට චෝදනා කළත් බිරිඳ සැමියාගේ පැත්තේ ඉන්නවා. සිල්වත් බිරිඳකටත් එ් ප‍්‍රතිලාභය හිමියි. එ් වගේ ම තමයි සිල්වත් අය අතර එකිනෙකා කෙරෙහි කීකරු බව නිසැකයෙන් ම පිහිටනවා.

ගෙදරක අම්ම තාත්තා දෙන්නා නිතර තරහින් කලකෝලහල ඇති කරගන්න ගියොත්, එ්ක ඔවුන් දෙදෙනාට වගේ ම ඔවුනගේ දුවා දරුවන්ටත් ගොඩක් නරක විදියට බලපානවා. ළමයින්ගේ අධ්‍යාපන කටයුතු නිසි ආකාරව කරගෙන යන්නට නො හැකි වෙනවා. එ් වගේ ම තමයි ඔවුන්ගේ මානසික මට්ටම ගොඩක් පහළට වැටෙනවා. එතකොට එ්ක ඔවුන්ගේ ශාරිරික අපහසුතාවයන් දක්වා ම දුර දිග යන්නත් පුළුවනි.

ගෙදරක දෙමාපියන් දරුවන් ගැන නිසි ආකාරට හොයලා බලන්නේ නැතුව නිතරම රණ්ඩු සරුවල් වෙමින් නම් ජීවත්වන්නේ, දරුවන් කෙරෙහි තිබිය යුතු මනා අවධානය ඔවුන්ගෙන් ගිලිහිලා යනවා. එ් අවසරයෙන් දරුවන් නො දැනුවත්කම නිසා ම විවිධාකාර වූ දුරාචාරයන් ඔස්සේ නො මඟට යොමුවන අවස්ථා කොතෙකුත් දකින්න තියෙනවා. ගෙදරින් නො ලැබෙන ආදරය, සෙනෙහස, අවධානය බාහිර සමාජය තුළින් හොයාගෙන යන එ් අහිංසකයන් මේ විෂම සමාජය තුළ මොන තරම් ඛේදනීය ඉරණම්වලට බඳුන් වෙනව ද කියන එක අපිට නො රහසක්.

බොහෝ අය නරක මිතුරන් ඇසුරෙන් මත්පැන්වලත්, මත්ද්‍රව්‍යවලත් ගොදුරු බවට පත්වෙනවා. එ් වගේ ම තවත් අය හොර මැරකම්, අනාචාරයේ හැසිරීම් ආදියට පුරුදු වෙනවා. මේකෙන් අපට පෙනෙනවා, පවුල කියන්නේ සමාජයේ කුඩා ම එ්කකය වුණත් පවුල් තුළ ඇතිවන අවුල් නිසා මුළු මහත් සමාජය ම අවුල් වන බව.

අද අපේ රටේ තිබෙන බරපතළ ම සමාජ අර්බුදයක් තමයි මත්පැන් හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම. සමාජයේ බොහෝ දෙනා උගත්, නූගත්, දුප්පත්, පොහොසත් භේදයකින් තොරව මත් උවදුරේ ගොදුරු බවට පත්වෙලයි තියෙන්නේ. මත් උවදුර තුළින් පවුල තුළ තියෙන සමගිය වගේ ම ආර්ථික මට්ටම ද පුච්චලා දියකරලා දානවා. මේ අවුලෙ මුලත් පවුල තුළ ම තිබීම ශෝචනීය කාරණයක්.

පවුල් ජීවිත දෙදරා යාමට හේතුවන තවත් ප‍්‍රධාන කාරණයක් අද සමාජයේ අපට දක්නට ලැබෙනවා. එ් තමයි විවිධාකාරයෙන් අනාචාරයේ හැසිරීම. තම ස්වාමියාගෙන්, තම බිරිඳගෙන් සතුටු විමට නො හැකිව බොහෝ දෙනා වෙනත් අයගේ ඇසුරට පෙළෙඔනවා. එයින් විවාහ ජීවිතය මුළුමනින් ම කඩාගෙන වැටෙනවා. කාම මිථ්‍යාචාරය නම් වූ මේ අකුසලයේ දිට්ඨධම්මවේදනිය විපාකයන් හැටියට ම විවිධ සමාජ රෝග වැළඳීමෙනුත් ජීවිත විනාශ වෙනවා. මේ ස්වභාවය එන්න එන්න ම වැඩි වෙනවා මිසක් අඩුවීමක් නම් පෙන්නුම් කරන්නේ නැහැ. දැන් දැන් අපේ රටෙත් බොහෝ අය යොමුවෙන දෙයක් තමයි සමාජශාලාවල කාලය ගත කිරීමට පුරුදු වීම. එයින් අපේ කාලය, ධනය වගේ ම මනසත් ඉතා වේගයෙන් පිරිහිලා යනවා. මේ හැම දුරාචාරයක් ම පණ ලබන්නේ පවුලේ අවුල් සහගත ස්වභාවයන් එක්කයි. නිරවුල් පවුලක් තුළ හොඳ මිසක් නරක පණ ලබන්නට ඉඩක් නැහැ.

පවුලක සමඟිය බැහැර කරන තවත් කරුණක් තමයි, එකිනෙකාගේ අඩුපාඩු සොයමින් එ්වා ම ඉස්මතු කරකර පෙන්වන එක. ඇත්තටම හිතල බැලූවොත් අපි නිතර ම අඩුපාඩු වැරදි හොයන්නේ අපි ළඟින් ම ඇසුරු කරන, අපට ගොඩක් ම උදව් උපකාර කරන අයගෙයි. අපිට දුරින් ඉන්න, ඇසුරක් නැති අයගෙ අඩුපාඩු අපි ගණන් ගන්නේ නැහැ. බලන්න අපේ හිත කොච්චර නම් අපිරිසිදු වෙලා ද කියල. අපේ ළඟින් ම ඉඳගෙන අපට ඇප උපකාර කරන අයගේ ගුණය ඉස්මතු කරල දකින්න අපිට කොච්චර අමාරු ද? අපි මොන තරම් පහසුවෙන් සුළු හරි නුගුණය නිසා සමීපතමයන් හෙළා දකිනව ද? එහෙම කරන්නෙ වරද සකසන්න නෙමෙයි, යටපත් කොට තබා ගන්නයි. එහෙම වුණා ම අවුලක් ම තමයි ඇතිවෙන්නේ…

ඇත්තටම පවුල් ජීවිත තුළ බොහෝ අසහනකාරී ලෙස කල්ගෙවන එක නතර කරන්නට බැරි ද? එය කරන්නට පුළුවනි. එ් වෙනුවෙන් අපට මනස සුවපත් කරගන්නට තිබෙන මාර්ගය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් නොයෙක් අවස්ථාවන්වල මහා කරුණාවෙන් යුතුව දේශනා කොට වදාළා.

එයින් අප කවුරුත් හොඳින් අසා තිබෙන දේශනාවක් තමයි සිඟාලෝවාද සුත‍්‍රය. එහි දී භාග්‍යවතුන් වහන්සේ විසින් බිරිඳ – සැමියා අතර ආදරය, ගෞරවය, විශ්වාසය, දියුණු කරගැනීමට එකිනෙකා කෙරෙහි ඉටුවිය යුතු යුතුකම් පිළිබඳව මැනවින් විස්තර කොට වදාළා. තම බිරිඳට සෙනෙහස දක්වන සැමියා නිතර ම තම බිරිඳව ප‍්‍රශංසාවට ලක් කරනවා. අවමන් කරන්නේ නැහැ. එ් වගේ ම තම බිරිඳ ඉක්මවා වෙනත් ස්ත‍්‍රීන් කරා යන්නේ නැහැ. නිතර ම ගෙදර දොර වැඩකටයුතු හොයල බලල කරන්නට බිරිඳට වගකීම් පවරනවා. එ් වගේ ම තමයි බිරිඳගේ ඕනෑ එපාකම් සොයලා බලලා ඇයට අවශ්‍ය ඇඳුම් පැලළඳුම් ආදිය ගෙනත් දෙන්නටත් ඔහු අමතක කරන්නේ නැහැ. ඉතින් මේ විදිහට තම ස්වාමියා තමන්ට හොඳින් සලකන කොට බිරිඳත් ගෙදර දොරේ වැඩ කටයුතු ආදිය බොහෝ ම වුවමනාවෙන් හොයලා බලලා ඉටු කරනවා. තම නිවසට එන ස්වාමියාගේ නෑදැ හිතමිතුරන්ටත් හොඳින් සංග‍්‍රහ කරනවා. එ් වගේ ම බිරිඳත් තම ස්වාමි පුරුෂයා ඉක්මවා හිතන්නේ නැහැ. තම සැමියා මහන්සි වී උපයන ධනය ඉතා පරිස්සමෙන් හා අරපිරිමැස්මෙන් යුතුව පාවිච්චි කරනවා. එ්ත් එක්කම බිරිඳත් කරන වැඩකටයුතු ඉතා දක්ෂව ඉටු කරන්නට වගබලා ගන්නවා.

බලන්න… බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කොච්චර නම් පරිපූර්ණ ද? අපි දන්නව එකල හිටිය සුන්දර ස්වාමි භාර්යා දෙපළක් තමයි නකුල මාතා සහ නකුල පිතා කියලා කියන්නේ. ඊළඟ ජීවිතයේදීත් එකට ජීවත් වීමට ලැබෙන ක‍්‍රමය භාග්‍යවතුන් වහන්සේ මේ දෙදෙනාට දේශනා කොට වදාළා. එහි තිබුණ සුන්දර දහම් කරුණක් තමයි, දෙදෙනා ම සමානව සීලය දියුණු කිරීම.

ආශ්චර්යවත් ම කාරණය තමයි අද සමාජයේ තිබෙන පවුල් අවුල් සන්සිඳුවා ගැනීමට තිබෙන හොඳ ම විසඳුමත් එය ම වීම. එ් කියන්නේ එකිනෙකා සිල්වත් වීම…

ඉතින් අපිත්, තම තමන් සීලය තුළට පැමිණීමෙන් පවුල් එ්කකය සුවපත් කරගෙන මුළු රටේ ම, මුළුමහත් ලෝකයේ ම යහපතට, සුභසිද්ධියට දායක වෙමු.

සටහන
කෝසල සමරසේකර