එ් 2006 වර්ෂයේ මැයි මාසයේ දිනයකි. එදින කොළඹ සිට සේරුවිලට පැමිණෙන රියක් තුළ සංඝයා වහන්සේ නමක් ද උසස් හමුදා නිලධාරියෙක් ද සිටියහ. සේරුවිල රජමහා විහාරයට කිලෝමීටර් කීපයක් නුදුරින් රිය ගමන් කරමින් තිබිය දී දකින්නට ලැබුණු දර්ශනයෙන් එ් සංඝයා වහන්සේ විස්මයට පත් වූහ.

‘‘මහ ඇළේ වතුර හිඳිලා. මේ වෙලාවෙ ඔය වගේ දෙයක් වෙන්න බැහැ. ගොයමට වතුර ඕන වෙලාව. මොකක් හරි කඩාකප්පල්කාරී වැඩක්…”

උන්වහන්සේගේ විස්මය වචන බවට පත් විය. රිය නතර කෙරිනි. රියේ හුන් හමුදා නිලධාරියා ඇළට ළංව බැලූවේ ය.

‘‘එහෙමයි හාමුදුරුවනේ. වතුර ඇත්තේ ම නැහැ.”

‘‘මහත්තයා, මේ ගැන හොයලා මට රෑට කියන්න.”

රාති‍්‍රයේ සේරුවිල රජමහා විහාරයට ලැබුණ දුරකථන ඇමතුමෙන් කියැවුණේ මෙවැන්නකි.

‘‘හාමුදුරුවනේ, මේක කොටින්ගේ වැඩක්. කොටි මාවිල්ආරු අමුණේ දොරවල් වහලා….”

එවක යුද හමුදා මේජර්වරයෙකු වූ නන්දලාල් රණවිරුවාගෙන් ලද එ් පණිවිඩය නිසා එදා රැුය පුරාවට උන්වහන්සේ වෙත නින්ද පැමිණියේ නැත. අක්කර තිස්දහසක පමණ ගොයම වපුරා නිමා වුණ මේ මොහොතේ ජලය නො ලැබීමෙන් එ් ගොයම විනාශ වන බව උන්වහන්සේ සිහිපත් කළේ සංවේගයෙනි. සිංහල, දෙමළ, මුස්ලිම් ගොවීන් සහ ඔවුන්ගේ දුවා දරුවන් ඇතුළු පනස්දහසකට වැඩි පිරිසකගේ පිපාසය ද කුසගින්න ද නිවූ මේ ජල පහර නවතාලූ මිලේච්ඡ ත‍්‍රස්තවාදය කෙසේ හෝ නිමා කළ යුතු ම මොහොත මෙය බවත් උන්වහන්සේ එ් රාත‍්‍රියේ දී කල්පනා කළහ.

පසුදින උදයේ මහ ඇළ අද්දර ගණ දෙවි කෝවිල අසලට එන්න යැයි දායකයන් කිහිප දෙනෙකුට ම පණිවිඩ යැවූ උන්වහන්සේ උදෑසනින් ම පිබිද කටයුතු නිම කොට එහි වැඩියහ. හරියට ම උදෑසන අටට එහි හිඳගත් උන්වහන්සේ ‘‘මාවිල්ආරු සොරොව්ව විවර කරන්නට ත‍්‍රස්තයන්ට සිත් පහළ වන තුරු මම උපවාසයේ යෙදෙමි” යි කියා උපවාසය ඇරඹූහ.

තිස් වසරක කාලයක් පුරා ඇවිළ ගිය යුද්ධයක් අවසාන කළ මානුෂීය මෙහෙයුමක හැරවුම් ලක්ෂය බවට පත් වූ එ් උපවාසය අරඹමින්, යුද්ධයෙන් අඳුරු වී ගිය ලාංකේය ජන ජීවිත ත‍්‍රස්ත ග‍්‍රහණයෙන් මුදවා ගැනීමේ වීරෝධාර මෙහෙයුමේ සමාරම්භය සනිටුහන් කළ එ් ශ්‍රේෂ්ඨ සංඝ පීතෘන් වහන්සේ නම් අද හැත්තෑ හතර වන ජන්ම දිනය සමරන නැගෙනහිර අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ අනුනායක ධුරන්දර, තමන්කඩුව දෙපළාතේ ප‍්‍රධාන සංඝනායක, සේරුවිල මංගල රජමහා විහාරය, මඩකලපුව මංගලාරාමය, ත‍්‍රිකුණාමලය ජයසුමනාරාමය, ලංකාපටුන සමුද්‍රගිරි රජමහා විහාරය, කල්අඩි පාෂාණ පබ්බත විහාරය, වාන්ඇළ බෝධි මංගලාරාමය, වාන්ඇළ පන්සල, ගොඩැල්ල රජමහා විහාරය, මුතූර් උතුරුගිරි විහාරය, සීගිරිය කිඹිස්ස උප්පුලාදේවි රජමහා විහාරය යන විහාරයන්හි විහාරාධිපති අති පූජනීය සේරුවිල සරණකිත්ති නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ය.

යුද්ධයේ කුරිරු පීඩාවන් විඳ දරා ගනිමින්, උතුරු – නැගෙනහිර බෞද්ධ උරුමය සුරකින්නට ජීවිතය කැප කළ මේ යතිවරයාණන් වහන්සේ ජාති, ආගම් පසෙක ලා මනුෂ්‍ය වර්ගයාගේ යහපත පිණිස කැප වූ, උතුම් ශ්‍රී සද්ධර්මය ද බුදු පහස ලද පුදබිම් ද සුරක්ෂිත කරගනිමින් ශාසන කාර්යභාරය ඉටු කරන්නා වූ ශ්‍රේෂ්ඨ සඟ රුවනක් බව චිරප‍්‍රකට ය.

එම්. එ්. පියදාස පියාණන්ගේත්, ජේ. ලිසිනෝනා මෑණියන්ගේත් දරු සත්දෙනා අතර පස්වැන්නා වූ ජයසුමන උපන්නේ 1940 මාර්තු මස 26 වන දා ය. එ් ගම්පහ උඩුගම්පොළ ප‍්‍රදේශයේ දී ය. 1948 වර්ෂයේ මේ පවුල මුතුර් ප‍්‍රදේශයට සංක‍්‍රමණය වූ අතර සේරුවිල රජමහා විහාරයේ ඇසුර ලබන්නට ජයසුමන දරුවා වාසනාවන්ත වූයේ මේ හරහා ය.

කැලෑවෙන් වැසී ගිය පස් ගොඩක් බවට පත්ව තිබුණු සේරුවිල මංගල මහා සෑ රජාණන් සොයා ගොස්, මහ සෑ රජුන් ප‍්‍රතිසංස්කරණය කරවා තථාගත ලලාට ධාතූන් වහන්සේ වැඩ වෙසෙනා එ් සෑය යළි සුදුවනින් බැබළවූ පරම පූජනීය දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර නා හිමිපාණන් වහන්සේ එවක සේරුවිල රජමහා විහාරයේ විහාරාධිපති ව වැඩ හුන්හ. එ් ශ්‍රේෂ්ඨ සංඝ පීතෘන් වහන්සේගේ ශිෂ්‍යයෙකු වශයෙන් 1952 වර්ෂයේ නොවැම්බර් 03 වන දා ජයසුමන දරුවා උතුම් පැවිදි භූමියට පත් වූයේ සේරුවිල සරණකිත්ති යන නාමයෙනි. මාතලේ වනරතන හිමිපාණෝ උන්වහන්සේගේ උපාධ්‍යායන් වහන්සේ වූහ.

කැලයෙන් වැසී තිබූ සේරුවිල මංගල මහා සෑය මෙන් ම සේරුවිල ප‍්‍රදේශය ද යළි එළි පෙහෙළි කරමින් ජනාවාස ගොඩ නගන්නට මුල පිරූ ස්වකීය ගුරු දේවෝත්තම පරම පූජනීය දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර නා හිමිපාණන් වහන්සේ කෙරෙහි සරණකිත්ති ස්වාමීන් වහන්සේගේ සිතේ තිබුණේ ඉමහත් භක්ත්‍යාදරයකි. පිරිවෙන් අධ්‍යාපනය ලබමින් සිටි උන්වහන්සේ සෑම නිවාඩුවක ම සේරුවිලට පැමිණියේ එහි සිදු වන ශීඝ‍්‍ර සංවර්ධනය දැක ගනිමින් මහත් සතුටකිනි. මේ ගොවි ජනපද ව්‍යාපාරයට මුල් වූ සිය ගුරු හිමියන් ගැන අපමණ ගෞරවයෙන් යුතු වූ සරණකිත්ති ස්වාමීන් වහන්සේ නිරන්තරයෙන් උන්වහන්සේගේ වචනය ගරු කළහ.

1960 වර්ෂයේ දී දොඩන්දූව ශෛලබිම්බාරාමාසන්න උදකුක්ඛේප සීමා මාලකයේ දී සරණකිත්ති ස්වාමීන් වහන්සේ උපසම්පදාව ලැබූහ. අග්ගමහා පණ්ඩිත දර්ශන විශාරද සාහිත්‍ය චක‍්‍රවර්තී පොල්වත්තේ ශ්‍රී බුද්ධදත්ත නා හිමියෝ උන්වහන්සේගේ උපාධ්‍යායන් වහන්සේ වූ අතර පරම පූජනීය දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර නා හිමිපාණන් වහන්සේ උන්වහන්සේගේ ආචාර්යපාදයෝ වූහ.

1961 වසරේ ගුරු හිමියන් ගිලන් වීමත් සමඟ ම පිරිවෙන් අධ්‍යාපනයට සමුදුන් සරණකිත්ති හිමියෝ සේරුවිල රජමහා විහාරයට වැඩම කරවා ගුරු හිමියන්ගේ උපස්ථාන කටයුතු සිදු කිරීමත්, උන්වහන්සේගේ අනුශාසනාවන් අනුව ඉදිරි සංවර්ධන කටයුතු පවත්වා ගැනීමත් ඇරඹූහ. දිඹුලාගල රජමහා විහාරාධිපතිව වැඩ විසූ අති පූජනීය කිතලගම සීලාලංකාර හිමිපාණන් වහන්සේගේ ඇසුර ද මෙකල සරණකිත්ති හිමියන්ට ලැබිණි. ජීවිතය දෙවැනි කරමින්, ධර්මය රැුඳුන සිංහල දේශය සුරකින්නට කැපවීම පිණිස සරණකිත්ති හිමිපාණන් වහන්සේට එ් ප‍්‍රතාපවත් සඟ රුවනේ ඇසුර ද හේතු වන්නට ඇත.

1984 වර්ෂයේ අගෝස්තු 12 වන දා පරම පූජනීය දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර නා හිමිපාණන් වහන්සේ අවුරුදු 91ක් ආයු වළඳා අපවත් වී වදාළ පසු සේරුවිල සරණකිත්ති හිමියන් සේරුවිල රජමහා විහාරයේ විහාරාධිපති බවට පත් වූහ. එයට හරියට ම වසරකට පෙර යාපනයේ දී ජාතිවාදී කලකෝලාහල ඇරඹිණි. එ් නිසා 1984 වර්ෂය වන විට සේරුවිල පැවතියේ ද නො සන්සුන් වාතාවරණයකි.

අලි කොටි වග වලසුන්ගෙන් පිරුණ සේරුවිල හැර නො ගොස් ලලාට ධාතු සුරැකුන පුණ්‍ය භූමිය ගොඩ නැංවූ ගුරු දේවෝත්තම පරම පූජනීය දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර නා හිමිපාණන් වහන්සේ තමන් වහන්සේ වෙතින් අපේක්ෂා කළේ මේ පින්බිමත්, එ් හා බැඳුනු ජන ජීවිතත් සුරැකීම බව දැන සිටි සරණකිත්ති හිමිපාණෝ කිසි විටෙකවත් සේරුවිල හැර යන්නට නො සිතූහ. කිහිප අවස්ථාවක දී ම උන්වහන්සේගේ ජීවිතය හානි කරවන්නට ත‍්‍රස්තවාදීන් උත්සාහ කළ ද ජාතියේ වාසනාවට එ් කිසිවක් සාර්ථක වූයේ නැත. කලින් කලට පත් වූ රාජ්‍ය නායකයන් පවා රාජ්‍ය අනුග‍්‍රහය ලබා දෙමින් උන්වහන්සේව කොළඹට වැඩම කරවන්නට උත්සාහ දැරූහ. එහෙත් මේ පින්බිම කුරිරු ත‍්‍රස්තවාදයට බිලි දී උන්වහන්සේ නික්මුණේ නැත. එසේ නික්ම නො ගියා පමණක් නොව සේරුවිල සෑ රජුන් සේ ම අකම්පිතව උන්වහන්සේ යුද්ධයෙන් පීඩාවට පත් සිංහල, දෙමළ, මුස්ලිම් ජනයාගේ සුභසිද්ධිය උදෙසා ඇප කැප වූහ. එ් දුක්ඛිත කාලය පුරාවට නැගෙනහිර ජනයාට මහා සවියක් වූයේ මේ නා හිමිපාණන් වහන්සේ ය.

සේරුවිල මං මාවත්, රෝහල් ආදිය ගොඩනැගුණේ උන්වහන්සේ නැගූ හඬ නිසාවෙනි. යුද්ධයට බිය වැදී වග කිවයුත්තන් අධි ආරක්ෂිතව හිඳිමින් යුද්ධය ම පෝෂණය කළ කාලවල පවා මේ යතිවරයාණන් වහන්සේ යුග යුග ගණනින් නො නැසී පැවත ආ හෙළ බොදු උරුමය සුරක්ෂිත කරගනිමින් සේරුවිල පින්බිමේ වැඩ සිටියේ අභීත සිංහරාජයකු මෙනි.

මාවිල් ආරු සොරොව්වේ අරගලයෙන් ඇරඹි මානූෂීය මෙහෙයුම පුරා රටේ එ්කිය භාවය වෙනුවෙන් යුද වැදුණු සොල්දාදුවන්ට මේ යතිවරයාණන් වහන්සේගේ දසුන ඉතා සුලබ විය. කඳවුරෙන් කඳවුරට වැඩම කරමින් සෙබළ සිත්වල සුරක්ෂිත බව ගැන හැඟීම ද දිරිය ද වැඩූ උන්වහන්සේ ත‍්‍රස්තවාදය මුලිනුපුටා දැමීප පසුපස සිදු කළ කාර්යභාරය සුළුපටු වූවක් නො වේ.

වසර තිහක් පුරා ත‍්‍රස්තවාදී ග‍්‍රහණයේ පැවති කල් අඩි ප‍්‍රදේශය 2006 වසරේ මාවිල් ආරු සටනින් පසු රජයේ පාලනයට නතු වූ අතර ක‍්‍රි. ව. පළමුවැනි සියවසේ මහා දාඨික රජු මෙහි ඉදි කළ පාෂාණපබ්බත විහාරයේ බුද්ධ අණසක යළි පිහිටුවන්නට මැදිහත් වූයේ ද අපගේ නා හිමිපාණන් වහන්සේ ය. 2009 වර්ෂයේ එබිම වූ කන්ටේනරයක් තුළ වස් වාසය කළ උන්වහන්සේ අඩි 120ක් පමණ උස වූ සන්නිවේදන කුලූණේ ඉහළට ම වැඩම කොට එහි බුද්ධ ප‍්‍රතිමා වහන්සේ නමක් තැන්පත් කළහ. එසේ ම හමුදා සහය ඇතිව උන්වහන්සේ සේරුනුවර සිට සෝමාවතියට කෙටි මඟක් ද කපා සකස් කළහ.

ත‍්‍රස්තවාදී ග‍්‍රහණයෙන් ද වනසතුන් ග‍්‍රහණයෙන් ද බැට කෑ මේ උත්තම පුණ්‍ය භූමීන් නිදහස් ශ්‍රී ලංකාව තුළ අපරිමිත බුද්ධ ගුණයන් හඬ ගා කියන පූජනීයත්වයෙන් යළි ගොඩ නංවන්නට සේරුවිල සරණකිත්ති නා හිමියන් කරනා මෙහෙවර වචන කළ හැක්කක් නො වේ. උන්වහන්සේගේ තේජෝ බල පරාක‍්‍රමයෙන් සේරුවිල රජමහා විහාරය, ලංකාපටුන විහාරය, ගිරිනුවර රජමහා විහාරය, ගල්ලෙන් විහාරය, කල් අඩි පාෂාණපබ්බත විහාරය යනාදියත්, වැව් කිහිපයකුත් සංවර්ධනය වෙමින් පවතී.

ජීවිතයේ හැත්තෑ සතර වසරක් ගෙවී යන මේ මොහොත වන විට සේරුවිල මංගල මහ සෑ රජුන් තරමට ම විශාලව උන්වහන්සේගේ ගුණකඳ වැඞී වර්ධනය වී දසත සුවඳ පතුරුවන්නේ ය. සීලවෘද්ධ, තපෝවෘද්ධ, ගුණවෘද්ධ මෙවන් යතිවරයාණන් වහන්සේලා හෙළබිමට ද ගෞතම සම්බුද්ධ රාජ්‍යයට ද මහත් වූ ලැබීමක් ම ය. එවන් යතිවරයාණන් වහන්සේලාගෙන් මේ සසුන් කෙත කිසිකලෙකත් හිස් නො විය යුත්තේ ම ය.

අප‍්‍රමාණ ගුණ සමුදායක් දරා වැඩ වෙසෙනා, හෙළදිව ගෞතම සම්බුද්ධ ශාසනය එකලූ කරනා අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ අනුනායක ධුරන්දර, තමන්කඩුව දෙපළාතේ ප‍්‍රධාන සංඝනායක, සේරුවිල මංගල රජමහා විහාරයේ විහාරාධිපති අති පූජනීය සේරුවිල සරණකිත්ති නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා! යහපත චිරජීවනය සැලසේවා! මේ උත්තුංග ශාසනික මෙහෙවර චිරාත් කාලයක් පවත්වා ගැනීමට සියලූ දෙවිවරුන්ගේ නො මඳ ආරක්ෂාව, උපකාරය සැලසේවා! යි අපි නමස්කාර පූර්වකව ප‍්‍රාර්ථනා කරන්නෙමු.

තෙරුවන් සරණයි!