කුලීනයන්ගේ දෑසට හසු නොවිය යුතු නීච ස්වභාවයට අයිති යි කියා සැලකුනු, අසූචි කද ඔසවාගෙන යමින් ජීවිකාව උපයා ගත්ත, දීන සිතකින් යුතුව දිවි ගෙවූ සත් හැවිරිදි දරුවෙක් සිටියා…

එක්තරා දිනෙක මහා අසිරියකින් ඔහු දෙව් මිනිස් ලෝකයේ ශ්‍රේෂ්ඨත්වයට පත් වූවා.

එදා රාත්‍රිය පහන් වී හිරු නැග එද්දී සක් දෙවිඳුත්, මහ බඹුත් පැමිණ ඔහු වෙත පැමිණ වැඳගෙන නමස්කාර කළා.

“ඔබ ශ්‍රේෂ්ඨ පුරුෂයෙකි. ඔබට නමස්කාර වේවා! උතුම් පුරුෂය, ඔබට නමස්කාර වේවා! දුක් රහිත මුනිඳුනි, ඔබ තුළ කිසිම ආශ්‍රවයක් නෑ. ඔබ ලෝකයාගේ පුද පූජාවන්ට සුදුස්සෙක්.”

ඒ වෙනස සුනීත මහරහතන් වහන්සේ තුළ ඉපැද්දුවේ ධර්මයෙන්. එක දවසක දී අසූචි කද ගෙනයමින් සිටි ඔහුට සම්බුදුරජාණන් වහන්සේ ව මුණගැසුනා. ධර්මය අසන්නට ලැබුණා. ඒ ධර්මයේ හැසිරීමෙනුයි ඔහු දෙව් මිනිස් ලෝකයේ ශ්‍රේෂ්ඨත්වයට පත් වූයේ…

මේ තවත් දෙයක්… අසීමිත ගුරු භක්තිය නිසා ගුරු පඬුරු පුද දෙන්නට මිනිසුන් මරා දමමින් ඇඟිලි කපමින් හුන් දරුණු සිතැත්තෙක් හිටියා. ගුරුවරයා වෙනුවෙන් අම්මා වුණත් මරා දමන්නට නොපැකිළෙන අයුරින් ඒ සිත දැඩි වී තිබුණා.

එසේ හිත්පිත් නැත්තෙකු සේ මිනිසුන් නසමින් හුන් කෙනෙකු බවට පත් ව සිටි ඔහු විසින් පසු කලෙක දී සිදු කරනු ලැබූ සත්‍යක්‍රියාව කල්පයක් මතුත් ගැබිණි මව්වරුනටත්, සිඟිති දරුවනටත් පිහිට ආරක්ෂාව රැකවරණය සලසන ආනුභාවයකින් යුක්ත වූවා…!

එවන් මහානුභාව සම්පන්න බවක් අංගුලිමාල ස්වාමීන් වහන්සේ තුළ උපන්නේත් ලේ තැවරුනු අත් ඇතිව සිටි ඔහු වෙත සම්බුදුරජාණන් වහන්සේ වැඩම කොට ධර්මය වදාළාට පසුවයි.

ඒ වගේ ම යි… දින දෙකක් තුළ දී සිදු වූ ස්වාමි වියෝවෙන්, උපන් හැටියේ ම දරුවෙකු ද සහිත සිඟිති දරු දෙදෙනෙකුගේ ම වියෝවෙන්, මව පියා හා සොයුරාගේ ද වියෝවෙන් දැවී තැවී සිහි විකල් වී ගිය ඇය පාරක් පාරක් ගානේ දිව ගියේ ඇඟේ නූල්පටක්වත් නැතිවයි.

එසේ පැමිණි ඇය පසු කලෙක දී ප්‍රිය විප්පයෝග දුකින් පෙළී, රිදුම් කන හදවත් ඇතිව පැමිණි සිය ගණනින් වූ කාන්තාවන් සසරේ යළි කවදාකවත් ප්‍රිය විප්පයෝග දුකක් නොලබන උත්තරීතරත්වයට පත් කරලූ උත්තමාවක් බවට පත් වූවා.

ගෞතම සම්බුදු සසුනේ විනයධර භික්ෂුණීන් අතරින් අග්‍ර වූ පටාචාරා රහත් මෙහෙණින් වහන්සේ ඒ උත්තම භාවය උපදවා ගත්තේ, ජනානුකම්පාව ලැබිය යුතු මොහොතක ජනාවේගය ලද ඇයටත් සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසා දරා ගන්නට ලැබුණ නිසයි.

එපමණක් නොවෙයි… දඬුවම් පිණිස අමු සොහොනේ මළමිනියකට තබා ගැට ගසනු ලැබ අන්ධකාර රාත්‍රියේ භීතියෙන් මුසපත් ව කැණහිලුන්ගේ පීඩාවන් විඳින දුක් උරුම කොට ගත් සත් හැවිරිදි සෝපාකයන්…

දරුවා මළ සොවින් සිහි විකල් වී දරුවාට පණ දිය හැකි කෙනෙක්, තැනක්, දෙයක් සොයා මිනිය ඔසවාගෙන දිව ගිය කිසාගෝතමිය…

‘මම රහත්, මම රහත්’ යැයි සිතා, සිතින් මවා ගත් ලෝකයට බැඳී සිසුන් පිරිවරාගෙන නිකෙලෙස් බවට ප්‍රතිඥා දෙමින් හුන් උරුවේල කාශ්‍යපයන්…

පනස් පස් වසරක් මුළුල්ලේ ප්‍රණීත ආහාර තණකොළ කෙළවරකින් පමණක් දිව ගා, බඩ කට පුරා මිනිසුන්ගේ අසූචි අනුභව කළ ජම්බුක ආජීවක…

තම ලෙයින් සහජාත පුතුට තම ලෙයින් සහජාත දියණිය සමඟ සම බිරිඳක් වූ උත්පලවණ්ණාවෝ…

බොහෝ යසස් ඇති, සිව්රඟ සෙන් පිරිවරා රාජ සම්පත් විඳි – නමුත් සැප සේ නින්දක් නොලත් භද්දිය…

මේ සියල්ලෝ වගේ ම දෙව් මිනිස් ලෝකයේ බොහෝ දෙනා සියලු බියෙන්, සියලු දුකෙන්, සියලු පීඩාවන්ගෙන් සදහට ම නිදහස් වූ උත්තම ජීවිත ලද්දවුන් බවට පත් වූයේ බුදුරජාණන් වහන්සේ මුණගැසීමෙන්; ධර්මයේ සරණ ලැබීමෙන්… ඒ ශ්‍රී සද්ධර්මය සැබැවින් ම ආශ්චර්යවත්…!

මේ අතිශයින් ම පුදුම සහගත දෙයක්. එක ම එක ධර්මයක් ඇසීමෙන් සියලු යහපත සලසා ගන්නට හැකි වනවා නම්…, ඒ ධර්මය ම හැර අන් කවරක් ද අපට වුවමනා…

ඒ උත්තම සිරි සදහම් ලොවට දන් දෙමින් සෑසි මුනි සිහනද නැගි ඇසළ පුන් පොහෝ දවසේ ලොව පහළ වූ ධර්ම රත්නයේ ගුණ පසසන්නට, ධර්ම රත්නයේ ගුණ වයන්නට අප කවුරුන් ද… ඒ ධර්මය ම යි ශ්‍රේෂ්ඨ. ඒ ධර්මය ම යි උතුම්. ඒ ධර්මය ම යි අග්‍ර…!!!

කාරණපාලි බ්‍රාහ්මණයා විසින් විමසනු ලදුව පිංගියානි බ්‍රාහ්මණයා විසින් පවසන ලද ඒ ධර්ම රත්නයේ ගුණය මෙබඳුයි.

“යම් ආකාරයකින් අග්‍ර රසයන්ගෙන් සන්තර්පණය වී තෘප්තියට පත් වූවෙකු වෙනත් හීන, ළාමක රසයන්ට කැමති නොවන්නේ යම් සේ ද බුදුරජාණන් වහන්සේ විසින් වදාරණ ලද නවාංග ශාස්තෘ ශාසනයේ යම් ම කරුණක් කෙනෙකු අසයි නම් හේ අන්‍ය ශ්‍රමණ දහමක් අසනු අකමැති වෙයි.

යම් කෙනෙක් කුසගින්නෙන් දුර්වල ව සිටිද්දී මී වදයක් ලබා එහි යම් තැනකින් රස විඳින්නේ ඒ ඒ තැනින් ඉතා මියුරු වූ අතෘප්තිකර රසය ම විඳින්නේ යම් සේ ද බුදුරජාණන් වහන්සේ විසින් වදාරණ ලද නවාංග ශාස්තෘ ශාසනයේ යම් ම කරුණක් කෙනෙකු අසයි නම් හේ ඒ ඒ කරුණින් සොම්නස ලබයි, චිත්ත ප්‍රසාදය ලබයි.

යම් සේ පුරුෂයෙක් සුදු සඳුන් හෝ රත් සඳුන් හෝ වේවා සඳුන් කැබැල්ලක් ලැබ මුලින් හෝ මැදින් හෝ අගින් හෝ යම් තැනකින් සුවඳ බලද්දී අති මිහිරි වූ අතෘප්තිකර සුගන්ධය ලබන්නේ යම් සේ ද බුදුරජාණන් වහන්සේ විසින් වදාරණ ලද නවාංග ශාස්තෘ ශාසනයේ යම් ම කරුණක් කෙනෙකු අසයි නම් හේ ඒ ඒ අයුරින් ප්‍රමුදිත භාවයට පත් වෙයි. සොම්නස ලබයි.

බලවත් ව ගිලන් වූ යම් පුරුෂයෙක්ගේ රෝගය යම් කිසි දක්ෂ වෛද්‍යවරයෙක් විසින් එකෙණෙහි ම බැහැර කරයි ද බුදුරජාණන් වහන්සේ විසින් වදාරණ ලද නවාංග ශාස්තෘ ශාසනයේ යම් ම කරුණක් කෙනෙකු අසයි නම් ඒ ඒ කරුණින් ම ශෝක පරිදේව දුක් fදාම්නස් උපායාසයන් නැති ව යන්නේ ය.

යම් සේ පිරිසිදු දිය ඇති මනහර වැලි තලා ඇති සිත්කළු පොකුණක් වේ ද ග්‍රීෂ්මයෙන් තැවුණු, ක්ලාන්ත වූ, පැන් බොන්නට කැමති පුරුෂයෙක් ඒ පොකුණට පිවිස පැන් සනසා පැන් බී ක්ලාන්තයන්, පරිදාහයන් සන්සිඳවන්නේ යම් සේ ද බුදුරජාණන් වහන්සේ විසින් වදාරණ ලද නවාංග ශාස්තෘ ශාසනයේ යම් ම කරුණක් කෙනෙකු අසයි නම් හේ ඒ ඒ කරුණින් සියලු පරිදාහයන් සන්සිඳවා ගන්නේ ය.”

(කාරණපාලි සූත්‍රය – අං. නි. 03)

අප සරණ ගියේ එවන් අසහාය ධර්මයක්. සාදු! සාදු!! සාදු!!!

ධර්ම රත්නයේ ගුණ ශෝභාවන් මැනැවින් කිව හැක්කේ ඒ ධර්මයෙන් ම උපන් සිත් ඇති නිකෙලෙස් උත්තමයන්ට යි. මිළිඳු රාජ ප්‍රශ්නයේ දී එසේ ශ්‍රී සද්ධර්මයේ ගුණ නොයෙක් අයුරින් ඉස්මතු කෙරෙනවා.

“ස්වාමීනී, නාගසේනයන් වහන්ස, තථාගතයන් වහන්සේගේ මේ බුදු සසුන ඉතා මහත් ය. ඉතා සාරවත් ය. ඉතා ශ්‍රේෂ්ඨ ය. ප්‍රවර ය. අනුපම ය. පිරිසිදු ය. නිර්මල ය. ඉතා සුදු පැහැ ගත්තේ ය. වරදින් තොර වූයේ ය.”

“මහරජාණෙනි, තථාගතයන් වහන්සේ විසින් උත්තම වූ විමුක්තිය නම් වූ පවිත්‍ර දිය දහරින් පිරිපුන් ශ්‍රී සද්ධර්ම ජලාශයක් මවන ලද්දේ ය. ඒ, ‘ක්ලේශ මලකඩින් කිලිටි වී ගිය චේතනා සහිත බුද්ධිමත් සත්වයෝ සිටිත් ද ඔවුහු සද්ධර්ම ජලාශයෙහි ස්නානය කොට සකල ක්ලේශයන් පහ කොට දමන්නාහු ය.’ කියා ය.

මහරජාණෙනි, තථාගතයන් වහන්සේ බුදු සසුන නමැති රන් බඳුනෙහි අමෘතය නම් මහානීය ඖෂධ රත්නයක් බහාලූ සේක. එය සියලු කෙලෙස් රෝග සන්සිඳවීමෙහි ලා ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. කෙලෙස් රෝගයෙන් පීඩිත ව සිට ප්‍රතිකාර සොය සොයා සිටි බුද්ධිමත් ජන කෙනෙක් සිටිත් ද ඔවුහු ඒ අමා ඔසු පානය කොට සකල ක්ලේශ රෝගාබාධයන් සන්සිඳුවාගෙන සුවපත් වන්නාහුය.

මහරජාණෙනි, තථාගතයන් වහන්සේ බුදු සසුන නමැති රන් බඳුනෙහි පරම උත්තම වූ, ප්‍රවර වූ, ශාන්ත වූ, සුන්දර වූ, ප්‍රණීත වූ, අමා වූ, ප්‍රවර මධුරත්වයෙන් පිරී ගිය කායගතාසති භාවනාව නම් වූ අමා බොජුන් තබා වදාළ සේක.

කෙලෙස් බඩගින්නෙන් පීඩිත ඇතුළාන්තයක් ඇති, තණ්හාවෙන් පරිපීඩිත සිත් ඇති, එයින් බේරීමට සිතුවිලි සිත සිතා සිටි බුද්ධිමත් ජන කෙනෙක් වෙත් ද ඔවුහු මේ මධුර භෝජනය වළඳා කාම, රූප, අරූප යන භවත්‍රය කෙරෙහි ම ඇති සියලු තණ්හා පහ කරන්නාහු යැයි කියා ය එය තමා වදාරණ ලද්දේ.”

සාදු! සාදු!! සාදු!!! මේ ධර්මය ම යි අප ව දමනය කරන්නේ. මේ ධර්මය ම යි අප ව හික්මවන්නේ. ඒ ධර්මයේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ තමයි අපගේ ශාස්තෘන් වහන්සේ. ඒ ධර්මයේ පිළිසරණ ලැබූ සංඝයා වහන්සේලා තමයි අපගේ අනුත්තර වූ පින්කෙත. ධර්මස්වාමී බුද්ධ රත්නයටත් අප දන්පැන් පුදා තිබෙනවා. ධර්මයෙන් උපන් සංඝ රත්නයටත් අප දන්පැන් පුදා තිබෙනවා. ශාස්තෘන් වහන්සේට ද ශාස්තෘ වූ, උන්වහන්සේගේ පිරිනිවීමෙන් පසු සිව්වණක් පිරිසට ම ශාස්තෘ වූ ඒ උතුම් ධර්ම රත්නය විෂයෙහි දන්පැන් පුදන්නටත් ඔබ නිසැකයෙන් ම කැමති වේවි. කොහොමද එය කරන්නේ කියන එක නේ ද දැන් හිතේ උපන් ප්‍රශ්නය…

එක්තරා බ්‍රාහ්මණයෙකුටත් මේ ප්‍රශ්නය ම උපන්නා.

‘බුද්ධ රත්නයට මං දන් දීලා තියෙනවා. සංඝ රත්නයටත් මං දන් දීලා තියෙනවා. ඒත් මං ධර්ම රත්නයට දන් දීලා නෑ නෙව… මම ධර්ම රත්නයටත් දන් දෙන්නට ඕන…’

ඉතින් ඒ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ හමුවට ගිහින් තමන්ගේ අභිප්‍රාය පැවසුවා.

“පින්වත් බ්‍රාහ්මණය, එහෙම නම් ඔබ අපගේ ආනන්දයන්ට ඒ දානය දෙන්න.”

මෙසේ සම්බුදුරජාණන් වහන්සේ ධර්ම භාණ්ඩාගාරික ආනන්දයන් වහන්සේට දන් දීමෙන් ධර්ම රත්නයට දන් දුන්නා වන බව පෙන්වා වදාළා.

ඒ බ්‍රාහ්මණයා විසින් ධර්ම භාණ්ඩාගාරිකයන් වහන්සේට පිදූ ඒ දානය උන්වහන්සේ විසින් ධර්ම සේනාධිපතින් වහන්සේට පුදනු ලැබුවා. ධර්ම සේනාධිපතින් වහන්සේ ඒ දානය ධර්ම ස්වාමී වූ බුදුරජාණන් වහන්සේට පූජා කළා. අතින් අතට ගිය ඒ දානය නිමිති කොටගෙනයි සම්බුදුරජාණන් වහන්සේ භික්ඛා පරම්පර ජාතකය වදාළේ.

ධර්ම රත්නයට දන් දෙන්න ඉපදුණු කැමැත්ත නැසී යන්නට පළමුවෙන්, ඒ පරමෝත්තම ධර්ම භාණ්ඩාගාරිකයන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වඩා හිඳුවා සිරි ගෞතම සම්බුද්ධරාජ මාලිගාවේ ඉදි කළ ආනන්ද මහරහත් ප්‍රතිමා වහන්සේව වන්දනා කොට පුද පූජා පවත්වන්නට ඔබට ද හැකි වේවා!!!

මේ මිහිරි ශ්‍රී සද්ධර්මය ලොවට දායාද කළ ධර්මස්වාමී වූ සමාහිත සිත් ඇති ශක්‍ය මුනීන්ද්‍රයාණන් වහන්ස, ඔබ වහන්සේ අවබෝධ කොට වදහළ ඒ සියලු දුක් ක්ෂය කරලන, විරාගය ඇති කරලන, ප්‍රණීතතර අමාව වූ ඒ උත්තම ශ්‍රී සද්ධර්ම රත්නයට අපගේ ජීවිත පූජා කරමු, පූජා වේවා!!!

ආශ්‍රිත ග්‍රන්ථ – ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා, අං. නි. 03, මිළිඳු රාජ ප්‍රශ්නය 03

සටහන – උදුලා පද්මාවතී