එදා තමයි මේ ලෝකේ ලස්සන ම දවස. ඒ තමයි අපගේ ගෞතම බුදුරජුන් මේ ලෝකෙට පහළ වුන දවස. එදා ලස්සනට වෙසක් හඳ පෑව්වා. මහා කරුණාවෙන් දහම් දෙසන්න ගයාවේ සිට බරණැසට පිටත් වුණා. මේ ලෝකේ දුක නිවන අමා නිවන් දොර විවෘත වන බව මේ අහසට, පොළොවට, ගහකොළට දැනුනා. ඒ භාග්‍යවතුන් වහන්සේ වල ගොඩැලි තියෙන මේ මහ පොළොවට සක් ලකුණෙන් බැබළුණ ඒ සිරිපා තබද්දී බෙර ඇසක් වගේ සමතලා වුණා. හිරු රැස් වැටිලා ඒ සම්බුදු සිරුර විඩාපත් වෙයි කියලා හිතලා වලාකුළු ඇවිත් හිරු මඬල වසා ගත්තා. බරණැස් මහ තුරු ලතා අග සුවඳැති මල් පිපී ගියා. මඳ සුළඟින් මල් පෙති රැගෙන සම්බුදු සමිඳුන්ට මල් පාවඩ එලුවා.

මිනිස් සිතකට නොදැනුන සම්බුදු ගුණ මේ ඉරට, හඳට, ගහ කොළට, මහ පොළොවට දැනුනා. ථූන ගමේ ළිඳේ වතුර උතුරා ගියේ, පිරිනිවනට වඩිනා ගමනේදී හමුවූ කුඩා නදියේ වතුර පෑදී ගියේ නිකෙලෙස් සම්බුදු සිතක අසිරිය මේ ලෝකෙට දැනුන නිසා.

ඒ බුදු ගුණට උපහාර පිණිසයි මේ බිමේ සෑම මලක් ම පිපෙන්නේ. නෙළුම් මලක්, කුමුදු මලක් පිපිලා කියා දෙන්නේ ඒ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ ගුණයි.

ඔබ මේ දැනගන්නේ ඒ සම්බුදු හද මඬලින් පහළ වන සඟ රුවනේ නාමයෙන් පිපෙන මලක් ගැනයි. සිරිමත් බඹුන්ගේ සිරසේ පාද පිසින ගුණයෙන් යුතු ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂූන් වහන්සේලාට දහසක් සක්වල පැතිරුණ ආඥාවෙන් යුතු සම්බුදු රජාණන් වහන්සේ සිල් පද පනවා වදාළා. ඒ අතර ගස් කොළන්, පැලවෙන දේ සිඳලීම ද වරදකි. තමන් ආදර සිතින් සරණ ගිය සම්බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිකරලා පිපුණ මලක් තම අතින් නෙලලා පූජා කරන්න ඒ උතුමන්ට අවසර නෑ.

උපසම්පදා සිල් සුරකින උතුම් ස්වාමීන් වහන්සේලාට භාග්‍යවතුන් වහන්සේට පුදන්න පිපෙන මලක් තමයි සේපාලිකා. සෑම දිනක ම පාන්දර යාමේ සුදු පලසක් වගේ බිම වැතිරෙන සේපාලිකා මල් කියන්නේ ආර්ය සංඝ රත්නයේ සිල් සුවඳයි. මිනිසුන් නොහිතන සිල් ගුණ ගැන හිතුවේ සේපාලිකා මලයි. ඔබත් උතුම් සිල් සපුරන්න උපකාර වන සේපාලිකා මලක් වෙන්න.

පින්වත් ස්වාමීන් වහන්සේලා ව්‍යංගාර්ථයෙන් පවසන වල් පැල ඉවත් කිරීම් ආදිය ඔබ වටහා ගන්න දක්ෂ වෙන්න. දන් පැන් පූජා කරන විට ඒවා ඉදිරියෙන් තබා නොයා උන්වහන්සේලාගේ අතට ම පූජා කරන්න. ඇල් දිය ටිකක් හැර අතට පූජා නොකළ කිසිවක් උන්වහන්සේලාට වැළඳිය නොහැකි බව දැනුවත් වෙන්න. ඉර අවරට ගිය පසු ආහාර කිසිවක් පිළිගැන්වීමෙන් වළකින්න.

ඔබ කාන්තාවක් නම් උතුම් ස්වාමීන් වහන්සේ නමක් සමග දැනුවත් පුරුෂයෙකු නැති තැනකදී කථා කිරීමට උත්සහ නොකරන්න. කතා බස් නොකළත් ආවරණය වූ තැනක, කාමරයක, වාහනයක රැඳී නොසිටින්න. දුර සිට වන්දනා කරගෙන සංවරව කතා බස් කරන්න.

කෝටියක් සංවර සිල් ඇති, දෙව්ලොව බඹලොව නැති උතුම් උපසම්පදා සිල් සුරකින ස්වාමීන් වහන්සේලා මහ සෑයක්, මහ බෝධියක් වඳින සේ ගෞරවයෙන් ඇසුරු කරන්න.
රෑ යම පිපී හිමිදිරියේ පොළොවේ වැතිරෙන සේපාලිකා මල නිහඬව ම කියන කථාවයි මේ. සිල් පුරන සඟ රුවන නාමයෙන් පිපී සම්බුදු රජුන් අභියස මල් ආසනය මත පරව යන සේපාලිකා මලක් මෙන් ඔබත් සඟ රුවනට සිල් පුරන්නට අනුග්‍රහ කරන්න.

අනගාරිකා මෑණියන් වහන්සේ නමක් විසිනි