අපගේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය අපට දායාද කරන ලද්දේ අපගේ මිහිඳු මහරහතන් වහන්සේ විසින් ය. මිහිඳු මහරහතන් වහන්සේ පර්යාප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේධ යන උතුම් බුද්ධ ශාසනය ඉතා යහපත් ලෙස ලක්දිව ව්‍යාප්ත කළ සේක. ත්‍රිපිටක ධර්මය කටපාඩම් කරවීම ආදියෙන් භාණක පරම්පරා බිහිකොට ලංකාදීපය බැබළවූහ. මහා සඟ පිරිවරක් උන්වහන්සේ පිරිවරා ගත්හ. උන්වහන්සේ ලංකාවට ශාස්තෘන් වහන්සේ හා සමානව ලොවට යහපත පිණිස බොහෝ කටයුතු කොට වදාළ සේක.

උත්තිය රජතුමා රජ වී අට වැනි වර්ෂයේ මිහිඳු මහරහතන් වහන්සේ සෑගිරියේදී එනම් මිහින්තලාවේදී වප් මස පුර අටවකදා පිරිනිවන් පා වදාළ මොහොතේ මිහිමඬල සෙලවී ගියේ, බොහෝ දෙනා හඬමින් වැලපෙමින් මහත් වූ රාජ ගෞරව දැක්වූහ. අනුරාධපුර ථූපාරාම සෑ රජුන් පැදකුණු කොට එකල බද්ධමාලක නම් වූ ස්ථානයේ (ඉසිභූමංගනය) උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කරන ලදී. මහා ජන ගඟක් ඒ ආදාහන පූජාවට සහභාගී වූහ. ඒ ආදාහනය කළ ස්ථානයේ මිහිඳු මහරහතන් වහන්සේගේ ධාතූන් වහන්සේලාගෙන් අඩක් නිදන් කොට මහා සෑයක් උත්තිය රජතුමා කළේ ය. සෑගිරියේ ඉතිරි ධාතූන් වහන්සේලා තැන්පත් කළේ ය. එවකට සංඝයා නිතර ගැවසෙන විහාරවල මිහිඳු මහරහතන් වහන්සේ නමින් ස්ථූප ඉදි කළහ. මේ අනුව ලක් දෙරණ පුරා ම මිහිඳු මහරහතන් වහන්සේ නමින් වන්දනා මාන කිරීම සිදු විය. මේ ඒ අතීත විස්තරය යි.

මේ ආකාරයෙන් පරම්පරාවෙන් වන්දනා කරමින් පැමිණි මිහිඳු ස්ථූප ක්‍රමයෙන් අභාවයට ගිය සේක් ම ය. මිහින්තලාවේ මිහිඳු සෑයේ කැණීම්වලින් ලබාගත් උතුම් ධාතූන් වහන්සේලා අදත් මිහින්තලාවේ විහාර ධාතුමන්දිරයේ ඒ පුරාවස්තු සමඟ ප්‍රදර්ශනයට තබා තිබේ. අප රටවැසි බෞද්ධ ජනයාට ලැබුණු දායාදයක් යැයි ඒ ගැන හැඟේ. එනමුත් අනෙක් වෙහෙර විහාර ගැන හෝඩුවාවක් නොමැත.

මේ අතර “මිහිඳු මහරහතන් වහන්සේගේ ධාතු තැන්පත් ස්ථූපය යි” යනුවෙන් සඳහන් සෙල්ලිපියක් සහිත සෑයක් රජගලින් හමුවිය. රජගල විහාර භූමිය සිතා ගත නොහැකි තරම් පුරාවස්තු හා පුරාගොඩනැගිලි සහිත අද්භූත විහාර සංකීර්ණයකි. අද වුවත් ඒ පින්බිමට ගිය විට ඒ භූමිය ගැන පුදුම සිතේ. ශ්‍රී ලාංකේය ජාතිය ආගම ගැන වචනයෙන් කිව නොහැකි හැඟීමක් නිරායාසයෙන් පහළ වේ. මිහිඳු මහරහතන් වහන්සේ දඹදිව වැඩසිටි සාංචිය යම් සේ ද එය සිහියට නැගේ.

මිහිඳු මහරහතන් වහන්සේ නමින් සෙල්ලිපියක් සහිත එක ම මහා සෑය එය ව තිබෙද්දී වනයට වල් වැදී හුදෙකලා වීම පුදුමයකි. ඒ උතුම් මිහිඳු සෑය දකින්නට, වන්දනා කරන්නට ගිය මොහොතේ අප මහත් සංවේගයට පත් වූවත් වන්දනා කරන්නට ලැබුණු ප්‍රීතියෙන් එය සන්සිඳිණි. ලක්දිවට ශාස්තෘන් වහන්සේනමක් වැනි මිහිඳු මහරහතන් වහන්සේගේ ධාතු ස්ථූපය සකල බෞද්ධයන් විසින් මුදුන්මල්කඩෙහි ලා සත්කාර කළ යුතු නො වේ ද? නමුත් සිදුවී ඇති දේ ඔබ ම ගොස් දැක ගන්න. මිහිඳු මහරහතන් වහන්සේට ණය ගෙවීමට තියෙද්දී අන්ධ බාල අසත්පුරුෂ ජනයා රජගල, රජගහනුවර යැයි වාද කරත්. අඳෝමැයි. සෑ රජුන් වලින් වෙලා ගනිත්. පෘථග්ජනයෝ වාද කරත්. රජගල ගැන පුරාවිද්‍යා ප්‍රකාශය මෙතැන් පටන් විස්තර වේ.

************************************************

රජගල ඉතිහාසය

පිහිටීම

අම්පාර මහඔය මාර්ගයේ අම්පාරේ සිට කි. මී. 26ක් පමණ දුරින් හමුවන බක්කිඇල්ල මංසන්ධියෙන් හැරී කි. මී. 01ක් පමණ ගමන් කිරීමෙන් රජගල කඳුවැටිය හමු වේ. මේ ප්‍රදේශය උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වේ. මුහුදු මට්ටමේ සිට අඩි 1038ක උසකින් යුත් කඳුවැටියේ අක්කර 1025ක තරම් භූමියක නටඹුන් ව්‍යාප්තව පවතී.

රජගල නාමය

මේ ස්ථානය වර්තමානයේ රජගල හෝ රාස්සහෙළ යනුවෙන් හැඳින්වූවත් එය මෑතක යොදාගත් නාමයක් බව පෙනේ. අතීතයේ මේ ස්ථානය හැඳින්වීමට නම් රාශියක් භාවිත කොට ඇත. ගිරිකුම්භීල විහාරය, කුම්භීලතිස්පව් විහාරය, අරියාකර විහාරය, අරියකෝටි විහාරය, අරිත්තරා වෙහෙර වැනි නම් සාහිත්‍ය පොත්පත්වල මෙන් ම ශිලා ලේඛනවල ද යොදා ඇත. අනුරාධපුර රාජ සමයේ යෙදුණ මේ නම් එකී ස්ථානය වනගතව පැවති වසර දහසක කාලයේදී මතකයෙන් මැකී ගොස් වර්තමානයේ රජගල යන නම ව්‍යවහාර වේ.

වැදගත්කම

රජගල යනු අනුරාධපුරය හා පොළොන්නරුව වැනි පැරණි අගනුවර හැරුණ විට එක් ස්ථානයක වැඩිම ස්මාරක සංඛ්‍යාවක් පිහිටා ඇති භූමිය ලෙස සැලකිය හැකි ය. මිහිඳු මා හිමියන්ගේ ධාතු තැන්පත් කළ බවට ශිලා ලිපියකින් සනාතව ඇති එක ම ස්ථානය රජගල වේ. ක්‍රි. පූ. 100 පමණ සිට ක්‍රි. ව. 10 වන සියවස දක්වා වසර දහසක කාලයක් තුළ කෙරුණු ඉදිකිරීම් රජගල භූමියේ දක්නට ලැබේ. දැනට සොයාගෙන ඇති ස්මාරක සංඛ්‍යාව 700කට වැඩි ය. මේ බිමෙන් හමුවී ඇති ශිලා ලේඛන සංඛ්‍යාව සියයකට ආසන්න වේ. පවතින නටඹුන් සියල්ල ම අනුරාධපුර රාජ්‍ය සමයට අයත් ඒවා වේ. පසුකාලීන ප්‍රතිසංස්කරණවලට භාජනය නො වූ අනුරාධපුර සමයට අයත් වැඩිම ස්මාරක රජගලින් හමුවීම ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වශයෙන් ඉතා වැදගත් කරුණකි.

රජගල විහාර සංකීර්ණයේ ආරම්භය

සාහිත්‍ය මූලාශ්‍රය හා ස්ථානයෙන් හමුවන ශිලා ලිපි තොරතුරුවලට අනුව සද්ධාතිස්ස රජුගේ දෙටුපුත් ලජ්ජිතිස්ස කුමරු මෙකී පුදබිම ආරම්භ කළ තැනැත්තා බව පෙනේ. ලජ්ජිතිස්ස කුමරු පිය රජු යටතේ දිගාමඩුල්ල ප්‍රදේශයේ සිටියදී ගිරිකුම්භීල විහාරය ආරම්භ කළ බව දීපවංශයේ හා මහාවංශයේ සඳහන් වේ. මේ රජතුමාගේ කාලයේදී ම පවත්වන ලද විහාරය සඟසතු කොට පූජා කිරීමේ උත්සවයට භික්ෂූන් වහන්සේලා හැට දහසක් වැඩිය බවත්, රජු සැට දහසක් භික්ෂූන්ට තුන්සිවුරු පූජා කළ බවත් මහාවංශය කියයි. ලජ්ජිතිස්ස රජතුමා හා එතුමාගේ බිසෝවරුන් ලෙන් කරවා මේ ස්ථානයට පිදු බව සඳහන් සෙල්ලිපි කීපයක් ම රජගලින් හමු වී ඇත. රජතුමා සීත ලෙන් 25ක් කරවා පූජා කළ බව සඳහන් ශිලා ලිපියක් ද රජගල භූමියේ පවතී.

ඉතිහාසය

ලජ්ජිතිස්ස රජු ගිරිකුම්භීල විහාරය ආරම්භ කිරීමෙන් පසුව අනුරාධපුර රාජ්‍ය සමයේ විවිධ රජවරු ද විශේෂයෙන් රුහුණේ කටයුතු භාරව සිටි යුව රජවරු ද වෙනත් ප්‍රභූවරුන් හා පොදු මහජනතාව ද මෙම ස්ථානයේ අභිවෘද්ධියට කටයුතු කොට තිබේ. මේ නිසා විවිධ ගොඩනැගිලි එකතුවෙමින් විහාරාරාම සංකීර්ණය විශාල පෙදෙසක ව්‍යාප්ත වූ බව දැකිය හැකි ය.

ලජ්ජිතිස්ස රජු විහාරය ඉදිකිරීමෙන් පසුව ශත වර්ෂ 7ක් පමණ ගතවන තෙක් මේ විහාරයේ කටයුතු ගැන මහාවංශයේ කිසිවක් සඳහන් නො වේ. එහෙත් මේ කාලයේ රජගල ඉතිහාසය ගොඩනැගීමට හැකි තොරතුරු රැසක් වෙනත් සාහිත්‍ය මූලාශ්‍රවල මෙන් ම මෙතෙක් රජගලින් හමු වී ඇති ශිලා ලේඛනවල ද ඇතුළත් වී තිබීම භාග්‍යයකි. සීහලවත්ථූපකරණය, රසවාහිනිය, අට්ඨකථා, සද්ධර්මාලංකාරය වැනි සාහිත්‍ය මූලාශ්‍රයවල ගිරිකුම්භීල විහාරය පිළිබඳ කතා කිහිපයක් දක්නට ලැබේ. ඒ අනුව මහාදත්ත තෙරුන් පිළිබඳ ප්‍රවෘත්තිය, අරියාකර විහාර වත්ථු නම් කතාව, රසවාහිනියේ එන ධම්මාගේ කථා වස්තුව ආදියෙහි රජගල ඉතිහාසයට අදාළ යම් යම් තොරතුරු සඳහන්ව තිබේ. මේ කාලයට අදාළව රජගලින් ලැබී ඇති ශිලා ලේඛන දෙස බලන විට කූටකණ්ණ තිස්ස රජු, භාතික තිස්ස රජු, මහසෙන් රජු, බුද්ධදාස රජු, දෙවන මහින්ද රජු ආදී රජවරුන්ගේ කාලවලදී රජගල විහාර සංකීර්ණයේ විවිධ ඉදිකිරීම් කටයුතු සිදුව තිබෙන බව තහවුරු වේ. මහාවංශයේ සඳහන් වන ආකාරයට පළමුවන දප්පුල රජු හා පළමුවන උදය රජුගේ කාලවලදී රජගල පැරණි තපෝවනයේ බොහෝ නවකම් සිදුකොට ඇත. මේ නිසා ක්‍රි. පූ. 1 වන සියවස සිට ක්‍රි. ව. 10 සියවස දක්වා රජගල විහාරයේ ඉතිහාසය ගොඩනැගීමට යොදාගත හැකි තොරතුරු රැසක් මූලාශ්‍රයවලට ඇතුළත්ව ඇති බව සඳහන් කළ හැකි ය.

මෙතෙක් හමුවී ඇති අභිලේඛන හා පුරාවස්තු

මෙතෙක් රජගලින් හමු වී ඇති සියයකට ආසන්න ශිලා ලේඛනවල මෙන් ම ආසන්න ප්‍රදේශවලින් හමු වූ ශිලා ලිපිවල ද ගිරිකුම්භීල විහාරය පිළිබඳව සඳහන්ව තිබේ. මේ ශිලා ලිපි අතර මිහිඳු මා හිමියන්ගේ ධාතු තැන්පත් කළ බව දැක්වෙන ලිපිය ඉතා වැදගත් වේ. රජගල පුරාවස්තු බහුල ප්‍රදේශයේ පෙත්මග අසල ගල්තලාවේ කුඩා ගල්කැට යොදාගනිමින් ඉදිකළ කුඩා දාගැබක පැරණි නටඹුන් දක්නට ලැබේ. ඒ ස්ථානයේ ගල්තලාවේ කොටා ඇති ශිලා ලිපියේ මෙසේ සඳහන් වේ.

“යෙ ඉම දීප පටමය ඉදිය අගතන ඉඩික (තෙරම) හිද තෙරහ තුබෙ”

“මේ දිවයිනෙහි වාසනා මහිමය නිසා මෙහි සැපත් ඉට්ඨිය තෙරුන්ගේ ද මහින්ද තෙරුන්ගේ ද ථූපය යි.”

මේ ශිලා ලිපිය ප්‍රකාශයට පත් කළ පරණවිතාන මහතා අසල ඇති දාගැබ ගැන අදහස් දක්වමින් මිහිඳු හිමියන්ගේ පරිනිර්වාණයෙන් නොබෝ කලකින් ම මේ දාගැබ ඉදිවන්නට ඇතැයි අනුමාන කොට තිබේ. මිහිඳු හිමියන්ගේ පරිනිර්වාණයෙන් පසු උන්වහන්සේගේ ආදාහන කටයුතු නිමවා සියලු ආරාමවල දාගැබ් තනවා ධාතු තැන්පත් කළ බව මහාවංශයේ සඳහන් වේ. රජගල ඇති ඉහත ශිලා ලිපියෙන් මහාවංශයේ එකී පුවත සනාථ වේ.

ශතවර්ෂ දහයක කාලයක් තිස්සේ ඉදිකෙරුණු ලෙන් විහාර, දානශාලා, විවිධ ගොඩනැගිලි, පොකුණු, පෙත්මග, දැගැබ් ආදී නිර්මාණ අති විශාල ප්‍රමාණයක් මේ භූමිය තුළ ඝන වනයෙන් යටව පවතී. ක්‍රි. පූ. අවධියේ සිට කඳු මුදුනේ පැන් පහසුව සපයාගත් කිසිදු ඉඩෝරයකට නොසිඳෙන සීතල ජලය සහිත විස්මිත උල්පතක් අද දක්වා දක්නට ලැබේ. මේ උල්පතෙන් ගල් කාණු තුළින් ජලය ගෙනගොස් දානශාලාව අසල විශාල ගල් පාත්‍ර දෙකකට ජලය පුරවා තිබේ. එම ගල් පාත්‍ර අදට ද දක්නට ලැබේ. ගල්තලා මත අඩි 6 × අඩි 8 පමණින් යුතුව තනි කලු ගලින් බැඳ කලු ගල් පතුරු සෙවිල්ල සඳහා යොදාගත් ගොඩනැගිලි විශේෂයක් ඉතා හොඳ තත්ත්වයේ ගොඩනැගිල්ලක් සහිතව ම හමුව තිබේ. වැඩ නිම කිරීමට පෙර අතහැර දැමූ බුදු පිළිමයක් ඇතුළු තවත් ස්මාරක 500කට වැඩි ප්‍රමාණයක නටඹුන් මේ ස්ථානයේ දක්නට ලැබේ.

**********************************************

මේ අනුව රජගල ගැන යම් දැනීමක් ඔබට ලැබෙන්නට ඇත. ඒත් මේ ලිපියෙන් ඔබට දැනුන දේට වඩා දහසක් හැඟීම් රජගලට ගියොත් දැනෙනු ඇත. රහතන් වහන්සේලා දහස් ගණනක් වැඩ සිටිය බිමකි. සුන්දර විහාර, මහා විහාර තිබූ බිමකි. මං මාවත් අදටත් සිතාගත නොහැකි තරම් සොඳුරු ය. සිය ගණනක් ලෙන් ය. සීත ලෙන් ය, ගල් කුඩ ලෙන් ය, උණුසුම් ලෙන් ය, ලෙන් පිට ලෙන් ය, අසිරිමත් ය. පයින් ගමන් කරන විට ශ්‍රී පාදය සිහිවේ. වාහනවලින් ද ආසන්නයට යා හැකි ය. එහි ඇති සොඳුරු දසුන් අතර ආසනඝරය ලෙස හැඳින්වෙන දම්සභා මණ්ඩපය මනස්කාන්ත ය. විසිතුරු නිර්මාණවලින් ගහණ ය. ඒ අතර ධර්මදේශකයන් වහන්සේට පනවා ඇති ආසනය හරි අගේ ය.

ධර්මාසනයට උඩින් ස්ථූපයකට සේ ශෛල ඡත්‍රයකි. එකල දේශකයන් වහන්සේ ධාතු ස්ථූපයක් සේ සලකා ඇති ඒ ධර්මගෞරවය ඇඟ හිරිගඩු පිපෙන දර්ශනයකි. ස්ථූප 2ක් ප්‍රතිසංස්කරණය වෙමින් වැඩ අවසන් වෙමින් පවතී. ගල් පාත්‍රා විස්මිත ය. මේවා කෙසේ කළෝ ද? මිහිරි දිය දහර අදටත් ගලා බසී.

මෙතරම් විස්තරයක් ලීවේ පුරාවිද්‍යා ගවේෂණයක් සඳහා නොව අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ උතුම් ධාතු තැන්පත් කළ සෑ රජුට මලක් හෝ පූජා කිරීමට ඔබට සිත් පහළ වීම පිණිසයි. පින්වතුනි, ඒ මිහිඳු සෑය වඳින්න. සෑයේ වල් වැවෙන්න දෙන්නට එපා. පිනැති අයගේ, වගකිවයුත්තන්ගේ අවධානය යොමු වී ඒ උතුම් සෑය ප්‍රතිසංස්කරණය වෙනවා නම් කොතරම් හොඳ ද! දහස් ගණන් දෙනා රජගලදී අරහත් මහා මිහිඳු තෙරුන්ගේ ගුණ කියමින් වන්දනා කරනවා නම් කොයිතරම් හොඳ ද!