බටහිර අහසේ රන් පැහැයෙන් නෙක විසිතුරු සිතුවම් මවමින් ඈත සිතිජයේ හිරු ගිලී යන දසුන සැබැවින් ම චමත්කාරජනක ය. මම එ් දසුන ඕනෑ තරම් දැක ඇත්තෙමි. එහෙත් නැගෙනහිර අහසේ උදාවන හිරුගේ පළමු රැුස් දහර ඊට කිසිසේත් නො දෙවෙනි වන වග පසක් කර ගැනීමට නම් ඔබ අලූයම් කාලයේ නැගෙනහිර වෙරළ තීරයේ සිටිය යුතු ම ය.

පෙරදා රාත‍්‍රියේ මඩකලපුවේ වෙරළාසන්නයේ නවාතැන් ගත් අපි එ් සූර්යෝදයේ මනරම් දසුන් නෙත් පුරා විඳ ගනිමින් උදෑසන අපගේ පුණ්‍ය චාරිකාව පිටත් වීම සඳහා ලහි ලහියේ සූදානම් වීමු.

උදෑසන මඩකලපුවෙන් පිටත් වූ අප කල්ලඩි පාලම මතින් පැමිණ නැගෙනහිර වෙරළේ සිරි විඳ ගනිමින් එරාවුර්, මාලච්චේන පසු කොට වාකරේ හරහා වෙරුගල් වෙත ළඟා වනවිට හෝරා කීපයක් ගත වී තිබිණි. මෙම ප‍්‍රදේශ ත‍්‍රස්තවාදී ග‍්‍රහණයට නතුව පැවති සමයේ දී කොටිහඬ ගුවන් විදුලි සම්පේ‍්‍රෂණ මධ්‍යස්ථානයක්ව පැවති ස්ථානය අද පින් බිමකි. එහි පිහිටි උස් ගල්කුළක් මත පිහිටුවා තිබූ ගුවන් විදුලි කුලූන අදත් එ් ආකාරයෙන් ම දක්නට ඇත. වෙනසකට ඇත්තේ එ් කුලූන මුදුනේ අද දැකිය හැක්කේ මෙත්, කරුණා පිරුණ නෙතින් ලොව බලන සම්බුදු පිළිරුවක් වීම පමණි.

පාශාන පබ්බත විහාරය පසු කොට මුතූර් දෙසට යන විට අලි ඔළුව හන්දිය හමු වේ. අපගේ ගමනාන්තය කරා යෑමට අප එ් හන්දියෙන් දකුණට හැරවිය යුතු ය.

අද අප මහත් ආදර ගෞරවයෙන් වන්දනා කරන ගෞතම සම්බුදු සමිඳුන්ගේ වාම ශ්‍රී දළදා වහන්සේ පළමු වරට මේ ලක් දෙරණට ගෙන වැඩි එ් සොඳුරු තොටුපළ වන ලංකා පටුන ශ්‍රී සමුද්‍රගිරි රජ මහා විහාරය වන්දනා කර ගැනීම අපගේ අරමුණයි.

එක් පසෙකින් විශාල ප‍්‍රදේශයක් කරා පැතිරුණ කලපුවත්, අනෙක් පසින් කලපුව මහා සමුද්‍රයට යා වන බිම් තීරයත් මවා පාන්නේ අතිශය සුන්දර දසුනකි. කලපුවෙන් එපිට මහා සමුද්‍රයට මායිම් ව පැන නැගුන උස් බිම් තීරය මත ශ්‍රී සමුද්‍රගිරි විහාරයේ චෛත්‍ය රාජයාණන් වහන්සේ ඈතට දිස්වන දසුන මනරම් ය.

අතීතයේ, පණ්ඩුවාසදේව රජුට අග මෙහෙසිය වූ භද්දකච්චායනා කුමරියගේ ඥාතීන් ලෙස මෙහි පැමිණි ශාක්‍ය වංශික කුමාරවරුන් ජනපද පිහිටුවා ජනාවාසව පැවති මෙම ප‍්‍රදේශය එකල දියුණු ව පැවති වෙළඳ වරායකි.

කිත්සිරිමෙවන් රජ සමය වනවිට මෙම වෙළඳ වරාය ‘ලංකාපට්ඨන’ නමින් හඳුන්වා තිබූ බවට ඉතිහාසය සාක්ෂි දරයි. පුරාවිද්‍යා ගවේෂණයන්ගෙන් සනාත වී ඇති පරිදි අනුරපුර යුගයේ දී ලංකාපටුන පුදබිම මහා සංඝයා වහන්සේ වෙනුවෙන් වෙන් කර සංඝාවාස තනවා තිබී ඇත. මෙහි ශිලා පර්වතය මත ඉපැරණි දාගැබක පේසාව, කපරාරුව, එ් සඳහා භාවිත කරන ලද බදාම කොටස්, බොර දම් (ලීස්තරවල කළ කැටයම්) ආදිය අදටත් ඉතා හොඳින් ආරක්ෂා වී පවතී. මෙහි වැඩසිටි ස්වාමීන් වහන්සේලාගේ පරිහරණයට ජලය ලබා ගන්නට පොකුණු දෙකක් ද නැගෙනහිරට වන්නට තිබූ බව පුරාවිද්‍යා මතය වී ඇත. අක්කර 20ක පමණ භූමි භාගයක් පුරා පැතිරී ඇති මේ නටබුන්වලින් කියාපාන්නේ සිරි දළදා හිමි ලක් දෙරණට වැඩමවා වදාළ මේ පින් බිම චිරාත් කාලයක් තිස්සේ සැදැහැතියන්ගේ වන්දනාමානයට නො අඩුව පාත‍්‍ර වී තිබූ පින් බිමක් බව ය.

කලපුවට මෙපිටින් සිට අවට සොඳුරු සිරි නැරඹූ අප විහාරය වෙත ළඟා වීමට නම් මේ විසල් කලපුව තරණය කළ යුතු ය. එ් සඳහා අපි තොටුපළ අසලට පැමිණ බෝට්ටුවක් එනතුරු බලා සිටියෙමු. බෝට්ටුවෙන් කලපුව තරණය කිරීමට පෙර සියලූ දෙනා ම ජීවිතාරක්ෂක කබා පැලඳ ගත යුතු වේ.

අප කණ්ඩායමේ සියලූ දෙනා ම සීරුවෙන් අසුන් ගෙන කලපුව තරණය කරද්දී කලපුව මැද දී බෝට්ටුවේ ඇන්ජිම ක‍්‍රියා විරහිත විය. එවිට බෝට්ටුව ගමන් කරන්නේ සුළඟට සහ රළ පහරට වුවමනා අතට මිස අපට වුවමනා අතට නො වේ… හේමමාලා කුමරිය හා දන්ත කුමරු පැමිණි නෞකාව මහා සමුද්‍රය මධ්‍යයේ දී මෙසේ නැවතුණ බව මා අසා ඇත. වැඩි වේලා නො ගොස් ඇන්ජිම නැවත පණ ගැන්වුණ බැවින් අපට ලංකාපටුන හෙවත් ශ්‍රී සමුද්‍රගිරි විහාරය පිහිටි පින්බිම වෙත සුවසේ ළඟා වීමට හැකි විය.

මුහුද අද්දර පිහිටියත් මේ බිමට ඇතුළු වෙද්දී ම දක්නට ලැබෙන පරිසරය වනගත ආරණ්‍යයක සිරි උසුලයි…. දකුණු පස වන රොද ඔස්සේ ඉහළට නැගීමට ඇති පියගැටපෙළ තරණය කරමින් අපි චෛත්‍ය මළුවට පිවිසුණෙමු… රැගෙන ආ මල් පහන් පූජා කර සෑ රජුන් වන්දනා කළෙමු…

මේ ස්ථානයට පසෙකින් මහා සමුද්‍රයත්, අනෙක් පසින් කලපු තීරයත් බොහෝ ඈතට දිස්වන්නේ අපූරු ආකාරයට ය. එය මෙහි පැමිණ දෑසින් ම විඳ ගත යුතු ය. වන රොද ඔස්සේ ඈතට සීරුවෙන් නෙත් යොමු කළහොත් සේරුවාවිල සෑ රජාණන් වහන්සේගේ කොත් කැරැුල්ල දැක ගැනීමට හැකි වනු ඇත.

සෑ මළුවට වම්පසින් මහා සමුද්‍රය වෙත නෙත් යොමා වැඩසිටින හිටි පිළිම වහන්සේ මෑතක දී ඉදිකරන ලද්දකි. අපි පිළිම වහන්සේත්, බුද්ධ මන්දිරයත් වන්දනා කළෙමු….

මේ විහාරයේ ඓතිහාසික පසුබිම ගැන කරුණු සෙවීමේ දී ඓතිහාසික ශ්‍රී සමුද්‍රගිරි රජ මහාවිහාරයේ විහාරාධිපති අති පූජ්‍ය සේරුවිල සරණකිත්ති නා හිමියන් වහන්සේගේ ආශීර්වාදය මත වසරකට අධික කාලයක් ලංකාපටුන පුදබිම් කාර්යාලයේ සේවය කළ, විශ‍්‍රාමික සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ රූපසිරි ගුණවර්ධන මහතා අපට හමු විය.

‘‘ගුණවර්ධන මහත්තයා, අපිට කියන්නකෝ මේ විහාරයේ ඓතිහාසික පසුබිම ගැන තොරතුරු ටිකක්…”

‘‘අපි දන්නවනේ දඹදිව ගුටසීව රජතුමාට සතුරු ආක‍්‍රමණ එනකොට දළදා වහන්සේ වැඩමවාගෙන ලංකාද්වීපයට යන්න කියලා දන්ත කුමාරයාටත්, හේමමාලා කුමරියටත් පැවරුව වග. ඉතින් එ් දෙපළ මහත් ශ‍්‍රද්ධාවෙන් දළදා වහන්සේ වඩමවාගෙන දඹදිව තාමෘලිප්ත කියන තොටුපළට ඇවිත් එහි නවතා තිබුණ රුවල් නෞකාවට ගොඩ වුණා. නෞකාව ලංකාව බලා යාත‍්‍රා කරන්න බලාපොරොත්තුව හිටියත් සුළං නංවමින් තිබුණෙ විරුද්ධ අතට. එ්ත් මේ යුවළ දළදා වහන්සේ අරගෙන නැවට නැග්ග විතරයි සුළඟ වේගයෙන් දකුණු දෙසට හමන්න වුණා.

ආ… මට කියන්න අමතක වුණානේ. හේමමාලා දන්ත කුමරු යුවළ ගංගා නම් ගෙඟන් එතෙර වෙලා නැව්තොට බලා එද්දි ගං ඉවුරේ වැලිවලින් සෑයක් හදලා දළදා වහන්සේ එ් මැද වඩා හිඳුවලා වන්දනා කළා. එ් වෙලාවේ අහසින් වැඩිය ඛේම කියන රහතන් වහන්සේ රැුස් විහිදෙන මේ සෑය දැකලා එ්කාන්තයෙන් ම මේ නම් භාග්‍යවතුන් වහන්සේගේ ධාතූන් වහන්සේනමක් වැඩ ඉන්න තැනක් වෙන්න ඕන කියලා පොළොවට බැහැල දළදා වහන්සේ බව දැනගෙන වන්දනා කළා…. අතරමගදි යම් කරදරයක් වුණොත් මාව සිහි කරන්න කියලා මේ යුවළට කියල අහසට පැනනැගිලා නො පෙනී ගියා.

ඉතින් මුහුද මැදදි නාගයන් මුහුදෙ දිය කලඹලා නෞකාව නැවතුණ වෙලාවෙ ඛේම රහතන් වහන්සේගේ ඍද්ධි ආනුභාවයෙන් තමයි ආයෙමත් සුවසේ ලංකාපටුන වරායට ළඟා වුණේ.”

‘‘ගුණවර්ධන මහත්තයා, මේ කොයි වකවානුවෙ ද?”

‘‘මහත්තයා මේ කිත්සිරිමෙවන් රජ සමය. (රා. ව. 303 – 331) එදා දන්ත කුමාරයත්, හේමමාලා කුමරියත් සැන්දෑ යාමේ ගොඩ බැහැලා රැය පහන් වනතුරු දළදා වහන්සේට පූජා පවත්වමින් වඩා හිඳවපු පින් බිම තමයි මේ…

එ් වගේ ම මහත්තයා, මේ ටිකත් කියන්න ම ඕනෙ. 1984න් පස්සෙ මේ පුද බිම් ත‍්‍රස්තවාදී ග‍්‍රහණයට නතු වුණාට පස්සෙ වසර 25ක් විතර සැදැහැවතුන්ට වන්දනා කර ගන්ට ලැබුණෙ නෑ.

අති පූජනීය සේරුවිල සරණකිත්ති නා හිමියන් මේ නැගෙනහිර පුදබිම් රැුකගන්ට කළ මෙහෙය අනුපමේයයි. උන්වහන්සේට පින් සිද්ධ වෙන්ට තමයි වසර ගණනක් වල් බිහිවෙලා තිබුණ මේ පුද බිම් අද නිදහසේ වැඳ පුදා ගන්ට අවස්ථාව උදා වෙලා තියෙන්නේ.”

ගුණවර්ධන මහතාට ස්තුතිවන්ත වෙමින් අපි නැවතත් පියගැටපෙළ නැග චෛත්‍ය මණ්ඩපය වෙත පැමිණියෙමු…

බටහිර අහස රක්ත වර්ණ කරමින් හිරු දවසේ මෙහෙවර නිමවන්නට සැරසෙමින් ඇත. නැගෙනහිර සිතිජයෙන් අලූයම හිරු උදාවන චමත්කාරයත්, බටහිර සිතිජයේ සැඟවී යන හිරුගේ අවසන් රැස් දහරත් එකම තැනක සිට දැකගත හැකි තැනක් වේ නම් එ් මේ ලංකාපටුන චෛත්‍ය මණ්ඩපය විය යුතු ය. හිරු බැස ගිය පසු මුළු ලොව අඳුරෙහි ගිලී යයි. එහෙත් බැස ගොස් වසර දහස් ගණනක් ගත වුව ද එ් ආලෝකයෙන් මුළු ලොව එළිය කළ හැකි හිරුමඬලක් ඇත්නම්… එ් සම්මා සම්බුදුරජුන් හැර වෙන කවුරුන් නම් වන්නේ ද? හිරු පෑයූ දහවලේ වුව ද හිරු සැඟවුණ රාත‍්‍රියේ වුව ද අදත් අපි යහපත් ලෙස ලෝකය දකින්නේ එ් සිරි සදහම් ආලෝකය තුළින් නො වේ ද?

පන්සාලිස් වසක් පුරා සම්බුදු මුව මඬලින් දේශනා කොට වදාළ හැම බණ පදයක ම පහස ලැබූ එ් සිරි දළදා වහන්සේ ප‍්‍රථම කොට මේ ලක්දිවට වැඩමවා වදාළ ලංකාපටුන ශ්‍රී සමුද්‍රගිරි විහාරයේ සෑ මළුව මත හිඳ අපි නැවතත් දළදා වහන්සේ වන්දනා කළෙමු.

‘‘ලෝකේකනාථ වදනම්බුජ රාජහංසං
වේනෙය්‍ය කෝමුද වනං කුමුදුාකරන්තං
අද්ධින්දුකාර වරරූප විරාජ මානං
වන්දාමි සාධු මමලං ජිනදන්ත ධාතුං”

මල් පහන් පුදා වන්දනාමාන කළ අප රැුස්කර ගත් සියලූ පින් මේ පුද බිම් ආරක්ෂා කරන දෙවියන්ටත්, මේ පුද බිම් නැවත නිදහසේ වැඳපුදා ගන්නට ඉඩහසර සලසා දුන් රණවිරුවන්ටත්, ත‍්‍රස්ත ග‍්‍රහණයට නතුවී තිබූ කාලයේ පවා මේ බිම් හැර නො ගොස් යළි අපට වන්දනා කර ගැනීමට අවස්ථාව සලසා දීම වෙනුවෙන් අනුපමේය මෙහෙවරක් ඉටු කළ අති පූජ්‍ය සේරුවිල සරණකිත්ති නා හිමිපාණන් වහන්සේටත් අනුමෝදන් කළෙමු.

සටහන
සුදර්ශන ශ්‍රී විජේසිංහ