දෙදහස් පන්සිය වසරක අතීත ශ‍්‍රී විභූතියේ ජීවමාන සලකුණක් බඳු රජරට පුරවරයේ කිරි බැබළෙන රන්මැලිමහ සෑ රදුන්ගේ බඳ වටා වෙළී, ජය ශ‍්‍රී මහා බෝ රදුන්ගේ නිල්වන් බෝපත් සිලි සිලි හඬ නංවාගෙන, හමා එන මන්ද මාරුතය බසවක්කුලම වැව් දියේ රැලි නංවමින් අපගේ ගත දැවටෙද්දී සිතට දැනෙන්නේ අපරිමිත වූ සුවයකි.

එදා ගැමුණු නිරිඳුන් විසින් කරවූ බසවක්කුලම වැව අද පාළුවට ගොසිනි. වැවේ මැදට යන තෙක් ම දණකට වඩා වතුර නැත. එහෙත් නො ගැඹුරු දියේ පින් බිම සරසාලන්නට මෙන් ඕලූ මල් නම් ඇතිතරම් පිපී ඇත. හිමිදිරියේ සීතල නො තකමින් අපි බසවක්කුලම වැවේ නො ගැඹුරු දියට බැස සිත් සේ ඕලූ මල් නෙළා ගතිමු. අපගේ අනුරපුර සංචාරක නිකේතනය පිහිටා ඇත්තේ බසවක්කුලම වැව අද්දරට වන්නට ය. ඊයේ රාත‍්‍රියේ අප මෙහි පැමිණ නවාතැන් ගත්තේ අද උදෑසන ම තවත් පුණ්‍ය චාරිකාවකට සම්බන්ධ වන්නට ය.

වියළී ඉරිතැලී ගිය පොළවකට හදිසියේ මහ වරුසාවක් වැටී, එ් නියඟය අවසන් වී, චිරාත් කාලයක් පවතින ලෙස එ් බිමේ ගහ කොළ මල් ඵල දරන්නා සේ, ලක් දෙරණට සදහම් අමා වැසි වැස්සවූ මිහිඳු මා හිමියන් වැඩි මිහින්තලය පුද බිම සොයා එ් උදෑසන අපි ගමන් ඇරඹීමු.

උදෑසන ම නෙළා ගත් ඕලූ මල් ද රැගෙන රන් මැලි සෑයේ කොත් කැරැුල්ල මුදුනින් අරුණලූ පැතිරෙද්දී අපි අනුරපුර මිහින්තලා මාර්ගයට අවතීර්ණ වීමු.

අතරින් පතර වැඩුණ රූස්ස ගස්වල සෙවණ යට සැදුන තුරුවදුලූ අතරින් වැටී ඇති මාර්ගය සිතට ද සුව ගෙන දෙයි. වවුනියාවේ සිට එන රජරට රැුජිණ අප පසුකර යනතෙක් දුම්රිය හරස් මාර්ගය අසල මොහොතක්
නතර වන්නට සිදු විය.

ඉන් පසු මුණගැසෙන්නේ යාපනය හන්දිය යි. එතනින් වම්පසට ඇත්තේ එ් 9 යාපනය කොළඹ මාර්ගය යි. එය පසුකර කෙළින් ම ඉදිරියට යන විට නුවර වැවේ වම් ඉවුර ඔස්සේ මිහින්තලය දක්වා වැටී මාර්ගයට පිවිසිය හැක.

මිහින්තලය හන්දියෙන් දකුණට හැරවූ අපි මඳකට නතර වීමු. පාරෙන් අනෙක් පස අප දෙස නෙත් හෙළා බලා සිටින පිරිසකි. මම ඔවුන් වෙත පිය මැන්නෙමි.

පළමුවැන්නා තේජවන්ත ය. දික්ව වැඩුණු හිසකෙස් හිස මුදුන් කොට බැඳ ඇත. උතුරු සළුව එ්කාංශ කොට පොරවා ඇත. එ් අසල ම සිටි අනෙක් තැනැත්තිය මනහර රූ ඇත්තී ය. කොහොඹ ගසක් සෙවණේ සිටි ඈ සුදෝ සුදු වස්ත‍්‍රයක් පොරවා සිටියා ය. තුන්වැන්නා පාංශුදේහධාරී ය. ඉතා කඩවසම් පෙනුමක් ඇති ඔහු හිසට ජටාවක් බැඳ ඇත්තේ කීරීටයක් පරිද්දෙනි. සතරවැන්නාට නිවුනු පෙනුමක් ඇත. දුටුවන් ප‍්‍රිය උපදවන රූ සොභා ඇත්තේ ය.

ඔවුන් මා නො හඳුනතත් මම ඔවුන් හඳුනාගතිමි. පළමුවැන්නා ලක්දිවින් පළමු කොට බුදු සසුනේ පැවිදි බව ලැබූ අරිට්ඨ ඇමති ය. දෙවැන්නිය පළමු කොට බුදු සසුනේ භික්ෂුණීන් වහන්සේනමක් ලෙස පැවිදි බව ලැබූ අනුලා බිසව ය. තුන්වැන්නා දික් විජය අතහැර ධර්ම විජයෙන් ලොව දිනූ ධර්මාශෝක මහරජාණෝ ය.

සතර වැන්නා දෙවියන්ට පවා ප‍්‍රිය වූ දෙවන පෑතිස් නරනිඳු ය. එ් සමග ම මිහිඳු මාහිමියන්ගේ සහ සංඝමිත්තා තෙරණින් වහන්සේගේ ද පිළිරූ නෙළා ඇත. කලාශූරී ආරියවංශ වීරක්කොඩි මැතිඳුන් අතින් නිමැවුනු මේ පිළිරූ මිහින්තලයට ඇතුළු වනවාත් සමග ම අප නිරායාසයෙන් අතීතයට රැගෙන යයි.

එතැන් සිට සුළු වේලාවකින් ගුවන්තලය මත දිදුලන මිහින්තලය පුද බිම වෙත එක එල්ලේ වැටී ඇති ගල්පඩි සහිත පියගැටපෙළ අසලට පැමිණීමට අපට හැකි විය. පළමු පඩියේ සිට නිවී සැනසිල්ලේ හෙමින් සීරුවට මිහින්තලය වෙත පිවිසීමට කැමැත්තක් ඇති වුණ ද මේ ගමනේ දී කාලවේලාව ඉතිරි කර ගැනීම ඉතා වැදගත් හෙයින් එම ගමන මතු දිනකට කල් දමා මැද මළුව දක්වා රථයෙන් ම ගමන් කළ හැකි මග තෝරා ගතිමි.

මිහින්තලය මැද මළුව අසල එදා රහතන් වහන්සේලා පැන් පහසු වූ සිංහ පොකුණ අසලින් අපි පුද බිම වෙත පැමිණුණෙමු.

‘‘මහරජ ඔබ සත්ව හිංසාවෙන් වළකින්න. අහසෙහි පියාසරනා සියොතුන්ට ද පොළවෙහි සැරිසරනා සතුන්ට ද රට වැසියනට ද මේ මහ පොළවේ ඇවැසි තැනක රිසි සේ වාසය කිරීමට අයිතිය තිබිය යුත්තේ ය. ඔබ ඔවුන්ගේ පාලකයා පමණි.”

පිට දේශයකින් මෙහි සපැමිණි එ් උත්තමයාණන් දෙවන පෑතිස් නරනිඳුට දුන් අවවාදය අපූරුවට සටහන් කළ එ් පුවරුව පසු කරමින් අපි ඉහළට පා නැගීමු.

මේ ලක් දෙරණට අතීතයේ පටන් ම බොහෝ විදේශිකයෝ පැමිණ ඇත්තාහ. විජය රජතුමා, එළාර රජතුමා, කාලිංග මාඝ, අරිට්ඨකීවෙන්ඩු, අසවේදු වැනි නාමාවලියක් සිතට නැගුණ ද මිහිඳු මාහිමියන් තරම් අපගේ මුළු හදවතින් ම වන්දනීය වූ වෙනත් කෙනෙකුන් නම් නොමැත්තේ ම ය.

එ් අනුබුදු මිහිඳු හිමියන් හා දේවානම්පියතිස්ස නරපතිඳුන් අතර ඇති වූ එ් සොඳුරු හමුවේ විස්තර දැගැනීම සදහා අපි පළමු කොට මිහින්තලේ රජමහා විහාරවාසී පුදුක්කුලමේ චන්දරතන හිමියන් මුණගැසුනෙමු.
”මහත්තයා අද මිහින්තලේ රජමහා විහාරාධිපති පූජ්‍ය නාමල් වැවේ ධර්මකීර්ති ශ‍්‍රී රතනජෝති රත්නසරාභිධාන නායක ස්වාමීන් වහන්සේත්, පූජ්‍ය වලවාහැංගුන වැවේ ධම්මරතන හිමියනුත් බැහැරට වැඩල.
ඉතින් මම හැකි අයුරින් මිහින්තලේ ගැන අතීත කතාව පැහැදිලි කරල දෙන්නම්.

මහත්තය අහල ඇතිනෙ තුන්වෙනි ධර්ම සංගායනාවට නායකත්වය දුන්න මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සෙ ගැන. උන්වහන්සේගෙ ජ්‍යේෂ්ඨ ශිෂ්‍ය රත්නයක් තමයි ධර්මාශෝක මහ රජතුමාගේ පුත් මහින්ද ස්ථවිරයන් වහන්සේ.

ඉතින් තුන්වන ධර්ම සංගායනාවෙන් පස්සෙ මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේ දිවැසින් බලා වදාළා, එ් එ් ප‍්‍රත්‍ය දේශයන්හි බුදුසසුන ව්‍යාප්ත වන ආකාරය. එහි දී ලක් දෙරණෙ බුදු සසුන පිහිටන බව දැනගෙන, එ් කර්තව්‍යය කිරීමේ මහා වගකීම මේ මිහිඳු මා හිමියන්ටයි පැවරුවේ.

ඊට පස්සෙ මිහිඳු මා හිමියන් දිවැසින් බැලූව එකල ලක්දිව ස්වභාවය කොහොම ද කියල. එහි දී තේරුම් ගත්ත එවකට හිටිය මුටසීව රජතුමා මහලූයි, අනාගතයේ ඔහුගේ පුත් තිස්ස කුමාරයා රජ වෙනවා, අන්න එ් කාලය තමයි ලක්දිව බුදු සසුන පිහිටුවන්න හොඳ ම කාලය බව. ඉතින් මේ කරුණු උන්වහන්සේ තේරුම් අරගෙන තිස්ස කුමාරය රජ වුණාට පස්සෙ මාගේ පියාණන් වන ධර්මාශෝක රජතුමා වාගෙ ම දෙවන පෑතිස් රජතුමාත් ධර්මයෙන් අභිෂේක ලබත්වා…! කියල අනුකම්පාවෙන් ගමනට සූදානම් වුණා.

ඊට පස්සෙ ‘පොසොන් පෝය දවසෙදි රජතුමා මිස්සක පව්ව වෙත පැමිණේවා…. එහි දී ඔහුට අප මුණගැසෙත්වා..!’ යි අධිෂ්ඨාන කළා.”

‘‘එ් කියන්නෙ ස්වාමීන් වහන්ස එදා දෙවන පෑතිස් රජතුමාට මිහිඳු හිමියන් මුණගැසීම සිදුවෙන්නෙ මිහිඳු හිමියන්ගෙ එ් අධිෂ්ඨානය අනුවයි.”

‘‘උන්වහන්සේ මහා ඍද්ධිබල සම්පන්න මහ රහතන් වහන්සේනමක් නෙ. එ් විතරක් නෙවෙයි. එදා මේ මිස්සක පව්වට අරක්ගෙන හිටි දෙවියා තමයි මුව වෙසක් මවාගෙන මිහිඳු හිමියන්ගෙ දෙපා මුලට ම රජතුමාව කැඳවාගෙන ආවෙ කියල මහාවංශෙ පවා තියෙනවනෙ.

ඉතින් එදා මිහිඳු හිමියන් තිස්ස මෙහෙ එන්න කියල කියද්දි එක පාරට ම රජතුමා තිගැස්සුනා, කවුද මේ මහ වනයෙ මගෙ නමින් අමතන්න පුළුවන් කෙනා කියල.

පසුව මිහිඳු හිමියන් වදාළා අපි එ් ධර්මරාජයන් වහන්සේගේ ශ‍්‍රාවක පුත‍්‍ර ශ‍්‍රමණයන්, ඔබට අනුකම්පා පිණිස ම යි දඹදිව සිට මෙහි වැඩියෙ කියල.

එතකොට ම රජතුමාට මතක් වුණා එතුමාගෙ මිත‍්‍ර ධර්මාශෝක මහ රජතුමා එවා තිබූ හසුන්පතක් ගැන. මම තෙරුවන් සරණ ගියා, ඔබත් සිත පහදවාගෙන තෙරුවන් සරණ යන්න කියල එහි තිබුණ නේ ද කියල මතක් වුණා.

අර අඹ ගස් ගැන, නෑදෑයො ගැන, ප‍්‍රශ්නවලින් මිහිඳු හිමියන් තේරුම් ගත්ත රජතුමා මේ ධර්මය තේරුම් ගන්න තරම් නුවණකින් යුක්තයි කියල.

ඊට පස්සෙ රජතුමා ඇතුළු හතළිස් දහසක පිරිසට චුල්ලහත්ථි පදෝපම සූත‍්‍රය තේරුම් කරල දුන්න. එ් දෙසුම අවසානයෙදි රජතුමා ඇතුළු හතළිස් දහසක් පිරිස ම තෙරුවන් සරණේ පිහිටියා.”

‘‘එතකොට ස්වාමීන් වහන්ස මේ සංවාදය සිදුවුණේ කොතැන ද?”

‘‘මහත්තය දැක්ක නේ ද ඔය සේල චෛත්‍යයෙ සලපතළ මළුවේ රන් වැටකින් වට කරල තියෙන තැනක්, එතන පොළවේ තියෙන්නෙ චන්ද්‍රකාන්ති කියන
පාෂාණයක්. අන්න එතනදි තමයි මේ සංවාදය ඇති වුණේ.”

‘‘එතකොට ස්වාමීන් වහන්ස මිස්සක පව්ව මුදුනෙ තියෙන ආරාධනා ගල කියන්නෙ මොකක්ද?”

‘‘මිහිඳු හිමියන් මේ ගමන පැමිණියේ ඉත්ථිය, උත්ථිය, සම්භල, භද්ධසාල, සුමන සාමණේර කියන මහ ඍද්ධිබල සම්පන්න ස්වාමීන් වහන්සේලත්, භණ්ඩුක කියන මාර්ග ඵලලාභී උපාසකතුමත් එක්කනෙ. එදා සවස් යාමේ රජතුමා පසුදා නුවරට වඩින්ට කියල මිහිඳු හිමියන්ට ආරාධනා කරල ගියාට පස්සෙ, මිහිඳු හිමියන් සුමන සාමණේරයන් වහන්සේට වදාළා ලංකාදීපවාසී දෙවියන්ට දහම් අසන්නට ආරාධනා කරන්න කියල. එදා සුමන සාමණේරයන් වහන්සේ මේ ධර්මය අසන්නට කාලය යි කියල කාලඝෝෂා කරපු තැන තමයි ආරාධනා ගල විදියට හඳුන්වන්නෙ.”

‘‘එතකොට ස්වාමීන් වහන්ස මේ අට සැට ලෙන් කියන්නේ?”

‘‘මහත්තය දකින්න ඇති මේ විහාර සංකීර්ණය පුරා ම කටාරම් කොටන ලද ගල් ලෙන් තියෙනව. ඔය වගේ ලෙන් හැට අටක් ප‍්‍රධාන වශයෙන් මේ අවට තියෙනව. මිහිඳු හිමියන් වැඩල මාසයක් ගතවෙන කොට
වස් වසන්න අරිට්ඨ ඇමති ප‍්‍රධාන රහතන් වහන්සේලා හැට අටනමක් වැඩ ඉඳල තියෙනව ඔය ලෙන්වල.”

අහෝ කෙතරම් ආශ්චර්යවත් ද? අප කුමකට මෙතරම් පමා වූවා ද? සිතට නිරාමිස දුකක් දැනෙද්දී පුදුක්කුලමේ චන්දරතන හිමියන්ගේ දෙපා නැමද සමුගත් මම එ් මිහිඳු හිමියන් වැඩවාසය කළ ගල් ලෙන සොයා පිටත් වීමි.

එ් ගල් ලෙන පිහිටා ඇත්තේ විහාර භූමියේ සිට මීටර් තුන්සීයක් පමණ ඈතින් තුරු වදුලූ සහිත ඝන වනාන්තරයක් මැදිකර ගනිමිනි. අද මේ කරා වැටී ඇති මාර්ගය ගල්පඩි සහිත මඳක් වෙහෙසකර එකකි.
ගමනේ විඩාව නිවා ගන්නට අපට බෙලිමල් කෝප්පයක් දී ජීවන ගමනේ විඩාව නිවා ගන්නට යන්ත දරන කීප දෙනෙක් එ් මග දෙපස සිටිති. හකුරුත් සමග බෙලිමල් කෝප්පයකින් විඩාව නිවාගත් මම එ් සොඳුරු ගල්ලෙන කරා පියමැන්නෙමි.

එය පිහිටා ඇත්තේ පොළවේ සිට අඩි 12ක් පමණ උසකින් යුත් ගල් කුළක් මත ය. එ් මත පිහිටි තවත් විශාල ගලක අර්ධ කවාකාර සිදුරක් ඇත. එය මෙම ගල් ලෙනට අපූරු පියස්සකි. ගල් ලෙන තුළ පැදුරක් එළුවා සේ ඉතා සුමට ලෙස ගලින් කළ ගල් යහනකි. එම ගල් යහනට අඩි හත අටක් ඈතින් සිතිජය තෙක් දිස්වන මහ ප‍්‍රපාතයකි.

අපට එක්වර ම එ් ප‍්‍රපාතය දුටු විට සිතට නැගෙන්නේ බියකි. අපට යම් හෙයකින් මේ ගල් යහන මත සැතපෙන්නට සිදුවුවහොත් ප‍්‍රපාතයට පෙරළී යාදෝ යි බියෙන් මුළු රැු පුරා නිදිවර්ජිතව සිටීමට සිදුවෙනු ඇත. නමුත් බිය දුරු කළ, ඉඳුරන් සංවර කළ එ් රහතන් වහන්සේලාට මේ බියකරු ගිරි ගුහා සොඳුරු ප‍්‍රාසාදයන් ම වූවා නිසැක ය.

ගුවන් තලය අරා නැගුණ යෝධ සුදු නෙළුම් මල් කැකුළක් වන් බුදුරජාණන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතූන් වහන්සේ නිදන් කොට තැනූ මිහින්තලා මහ සෑයට අප රැුගෙන ආ ඕලූ මල් පූජා කර වන්දනා කළ අපි සෑ මළුවට වී බැස යන හිරු රැුස් අතරේ සැඟවෙන ඈත සිතිජය දක්වා දිස්වෙන මනස්කාන්ත දසුන් අතරේ අනුරපුර නගරය දෙස නෙත් හෙළීමු.

නිල්වන් පාටින් වැසුනු වන ගොමු අතරින් අහස උසට නැගි රන්මැලි සෑ රදුන් ඈතින් දිස්වෙයි. මිහිඳු මාහිමියන් එදා ස්වර්ණමාලී සෑ රදුන් පිහිටන ස්ථානය මේ යැයි දෙවන පෑතිස් නිරිඳුට දක්වා, සපුමල් මිටි අටක් ගෙන එ් පොළව පි¥ සේක. එකෙණෙහි මේ මහ පොළව කම්පිත විය. රජු රන් නගුලින් එ් සීමාව සලකුණු කොට සෙල්ලිපියක් කර වී ය. මොහොතකට එ් අතීත කතාව මනසේ මැවෙද්දී තවදුරටත් විමසිලිමත් වීමි. මුළු අනුරපුර පෙදෙස පුරා ම බැලූ බැලූ අත දකින්නට ඇත්තේ මහා චෛත්‍යරාජයෝ ය.

මගේ මේ හෙළ දෙරණ එක ම ධර්මද්වීපයක් කළේ මිහිඳු හිමියන් පළමු කොට මේ බිමට වඩිමිනි. විහාර ගෙය අසල ගඩොලින් තැනූ ස්ථූපයක නටබුන් ඇත. එ් ආසන්නයේ මිහින්තලේ රජ මහා විහාරවාසී සරණංකර හිමියෝ වැඩ සිවියහ.

‘‘ස්වාමීන් වහන්ස මොකක්ද මේ සෑය?”

‘‘මහත්තයෝ ඔතන තමයි මිහිඳු හිමියන් පිරිනිවන් පෑවට පස්සෙ ආදාහනය කළ තැන.”

සිතුවිලි මොහොතකට නතර විය. බොඳ වූ නෙතින් යුතුව මම එ් සෑය ළඟ දණින් වැටුනෙමි. දඹදිව දික්විජය කළ ධර්මාශෝක පුත් කුමරා ලෙස ඉපිද සියලූ රජ සැප හැරදා ගොයුම් ගොත් මුනිරජුන්ගේ ළයෙහි උපන් දරුවෙකු ලෙස අබිසෙස් ලැබ එ් උපන් බිම ද හැරදා අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් මේ බිමට වැඩම කොට, ගෞතම මුනිරජුන්ගේ නිමල දහම මෙහි චිරස්ථායී කොට රඳවා, දස දහස් ගණනින් රහතන් වහන්සේලා බිහි කොට, නැවත සිය මව්බිම වෙත නො වැඩ මේ පින්බිම ම සුවඳවත් කරමින්, අවසන් හුස්ම පොද පවා මේ වා තලයට ම මුසු කොට අවසන් සිරුර ද මෙහි ම හොවා පිරිනිවන් පෑ මහෝත්තමයාණන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.!

සටහන
සුදර්ශන ශ්‍රී විජේසිංහ