මොහඳුරෙහි ගිලී වල්මත් වුණ දනන් හට, අමා දොර විවර කර, යා යුතු මග පෙන්වා වදාළ, අප ගෞතම මුනිරජාණන් වහන්සේගේ තෙමඟුල සිහි කෙරෙන උතුම් වු වෙසක් සඳ උදා වන්නට ඇත්තේ තව නොබෝ දිනකි.

එ් මහෝත්තමයාණන් වහන්සේගේ පා පහසින් පළමුවෙන් ම ලක් දෙරණ පූජනීයත්වයට පත් වුණ සුන්දර මහියංගණයෙන් ඇරඹුන පුණ්‍ය චාරිකා සටහන ද මේ ලක් පොළවේ මෙන් ම දඹදිව සිද්ධස්ථාන කරා ද ඔබ කැඳවා යන්නට සමත් වූ වග සිහි වන විට සිතට නිරාමිස සතුටක් දැනේ.

‘‘සුදර්ශන අයියේ, අපි මහාමේඝ වෙසක් කලාපෙට හැමෝගෙ ම අවධානයෙන් ගිලිහුන අප‍්‍රකට නැගෙනහිර සිද්ධස්ථාන ගැන ලියමු ද?”

පෙමිඳු මල්ලී ඇතුළු මහාමේඝ සොයුරු සොයුරියන්ගේ එ් ඉල්ලීම ඉවතලන්නේ කෙසේ ද?

කාර්යබහුල රාජකාරි දිවියට මඳ විරාමයක් ලබා දී එක් සිකුරාදා දිනෙක සවස් වරුවේ සුපුරුදු පරිදි නිවසේ දී ම තෙරුවන් වන්දනා කොට දෙවියන්ට පින් අනුමෝදන් කළ අපි ලංකාවේ බටහිර කෙළවරේ සිට නැගෙනහිර කෙළවරේ සංගමන්කන්ද තුඩුව ආසන්නයට වැටී ඇති ගමන් මග හරහා එ් සොඳුරු පුණ්‍ය චාරිකාව පිටත් වීමු.

ගමනක් පිටත් වීමට මත්තෙන් සිතියම් ඇසුරෙන් සහ අනෙකුත් තොරතුරු අනුසාරයෙන් එ් ගමන පිළිවෙළකට සැලසුම් කිරීමට මම පෙර සිට ම හුරු වී සිටිමි. එවිට ගමන පහසු ය. අතරමග කරදර අඩු ය. ගමනාන්තය පැහැදිලි ය.

සසර ගමන සඳහා ද එබඳු පැහැදිලි, නො වරදින මගක් තිබේ. එ් ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. යමෙක් එ් මගට පිළිපන්නේ වී ද ඔහු එ්කාන්තයෙන් ම එ් ගමන නිවනින් කෙළවර කරන්නේ ම ය. සැබැවින්ම විස්මයජනක වන්නේ එ් මග සොයාගැනීම ම නො වේ ද?

ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, දෙව් මිනිසුන්ගේ එක ම මාර්ගෝපදේශකයාණන් වහන්සේ ඔබ වහන්සේ ම ය.

කොළඹ සිට අපගේ ගමනාන්තයට ඇති දුර කි. මී. 352කි. කොළඹින් ගමන් ආරම්භ කළ අප රත්නපුර පසු කොට තිඹොල්කැටියෙන් වමට හැරී උඩවලව වැව් බැම්ම මතින් තණමල්විලට පැමිණියෙමු. මග දෙපස ඇති සොඳුරු දසුන් දැක ගැනීමට නම් ඔබ ? බෝ වීමට පෙරාතුව මේ ඉසව් පසු කළ යුතු ය. මේ ගමනේ දී අප කොළඹින් ගමන් ආරම්භ කළේ සන්ධ්‍යා කාලයේ බැවින් සඳ පහන් රැුයේ දිදුළන උඩවලව වැව් තලය දැක සැනසුනෙමු.

තණමල්විල සිට වැල්ලවාය බුත්තල පසුකොට මොනරාගලට ළඟා වන විට මධ්‍යම රාත‍්‍රියට ආසන්න වූ බැවින් කලින් සැලසුම් කර ගත් පරිදි ම මොනරාගල Roch Hill නම් කුඩා නිකේතනයේ රැය පහන් කළෙමු.
අලූයමින් අවදි වූ අප මොනරාගල පොතුවිල් මාර්ගයේ ගමේවෙල ආසන්නයට එන විට අප කණ්ඩායමේ සියලූ දෙනාම සිටියේ තද කුසගින්නකිනි. පාර අද්දර පිහිටි ගමේවෙල කොඩයාන බත් කඩේ හිතේ හැටියට උණු උණු කැකුළු බත් සප්පායම් වීමට කදිම පියසකි. අප සියඹලාණ්ඩුව පසු කොට ලාහුගල වනපෙතට ඇතුළු වන විට උදෑසන 9.00ට පමණ වන්නට ඇත.

වනපෙත මැදින් අප වේගයෙන් ඉදිරියට යද්දී පාර අද්දර ම සිටි වන අලින් තුන්දෙනෙකු අපට පසුවිය. එ් තුන්පත් රෑනක් දැයි නො දනිමු. මම අපගේ රියදුරු ඇමතීමි. ‘‘රණේ.. ඔහොම ම රිවස් කරන්නකො….” වන අලි බැලීමේ ආශාවෙන් හිටි රණසිංහ දෙවරක් නො සිතා රථය පසුපසට පැදවී ය. ‘‘අනේ තාත්තේ ළඟට යන්න එපා…” ජීප් රථයේ පසුපස ම ආසනයේ සිටි දියණිය කෑ ගැසුවා ය. මාගේ බලාපොරොත්තුව වූයේ වාහනයේ තිබුණු කොමඩු හා අන්නාසි ඔවුනට කෑමට දීමටයි.

අලි ?න සමීපයට එත් ම හිස දෙපසට වනා හොඬ ඔසවා ගත් නායක හස්තියා වේගයෙන් ඉදිරියට එද්දී රණසිංහ සියලූ වෙර යොදා සැණෙකින් ජීප් රිය ඉදිරියට පැදවූයෙන් රථයේ පිටුපස සිටි පිරිසගේ කෑ ගැසීම සුළු මොහොතකින් නැවතිණි. එහෙත් මඳ දුරක් යනතුරු ඔවුන් සිටියේ මා සමග නොමනාපයෙනි.

නොඉඳුල් වියළි කලාපීය වනපෙතක ඇති අසිරිය විඳ ගැනීමටත්, නිදැල්ලේ සැරිසරන වන හස්තීන් ඇතුළු නෙක වන සතුන් දැක බලා ගැනීමටත් ලාහුගල වනපෙත කදිම තෝතැන්නකි. එහෙත් ඔබ එකක් මතක තබා ගන්න. එනම් වන අලින් අසලට රථය නො පදවන්න. රථයෙන් බැස ඡුායාරූප ගැනීමට නො යන්න. ඔවුනට කෑම දීමට නො යන්න. මන්ද ඔවුන් මිනිස් ඇසුරට හුරු නො වුණු වන සතුන් වන බැවිනි.

කාර්මීකරණයෙන් දූෂණය නො වුණ යම් වනපෙතක් වේ ද එහි නිරතුරුව සියොත් ගී නද හා මුසුව රැහැයියන්ගේ නාදය තවමත් ඇසෙන වග මා අත් දැක තිබේ. නොඉඳුල් වනපෙතක් සොයා යන ඔබට එය කදිම මිනුම්දණ්ඩක් වනු ඇත. සවනත වැකෙන රැුහැයි හඬ හා එ්කාත්මිකව සොබා සොඳුරු සිරි විඳීමට සිත ඇරයුම් කළ ද අපගේ ගමනාන්තය එය නොවන බැවින් කඩිනමින් ලාහුගල පසුකර පොතුවිල් බලා ගමන් ඇරඹීමු.

නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත‍්‍රික්කයේ පොතුවිල් නගරයේ මුහුදු වෙරළට ඉතාමත් සමීපයේ සුන්දර අරුගම්බේ වෙරළ තීරයට යාබදව මෙම අසිරිමත් පුද බිම පිහිටා ඇත. මෑතක දී අතිගරු ජනාධිපතිතුමන්ගේ මැදිහත් වීමෙන් පිළිසකර කර ඇති නිසා මෙම ඓතිහාසික පුදබිම වෙත ඇති ප‍්‍රවේශ මාර්ග මෙන් ම ප‍්‍රවේශ මාර්ග පුවරු ද පොතුවිල් නගරයේ සිට ම පැහැදිලිව දැකිය හැකි ය. පොතුවිල් නගරයේ සිට අරුගම් පාලම දෙසට කි. මී. 01ක් පමණ පැමිණ ප‍්‍රවේශ මාර්ග පුවරුව අසලින් දකුණට හැරී මුහුදු වෙරළ ඔස්සේ වැටී ඇති මං තීරුව ඔස්සේ උතුරු දෙසට ගමන් කළෙමු.

දකුණු පසින් දිස් වන්නේ සුනිල්වන් වෙරළ තීරයයි වම් පසින් අප ඉදිරියෙන් පිහිටා ඇති සුවිසල් වැලි කඳු සිහිගන්වන්නේ සහරා වැලි කතරයි. සම්බුදු පහස ලැබේ නම් කතරකට වුව ද සිසිලස සැලසෙන බව කියාපාමින් නුවර එළිය වැනි සීත පළාත්වල වැවෙන සයිප‍්‍රස් ගස් සමූහයක් මේ ගිනි ගහන වැලි පොළවේ සරුවට වැඞී ඇත.

වැලි කඳු ඔස්සේ වැටි ඇති මාවත දිගේ අපි මුහුදු මහා විහාරය වෙත පියමන් කළෙමු. මෙහි දී ඔබට මුලින් ම දිස්වන්නේ අභිනවයෙන් ඉදි කොට ඇති මනරම් බුද්ධ මන්දිරය හා විහාර මහා දේවියගේ පිළිරුවයි. බුදු පිළිම වහන්සේට වන්දනා කළ අපි තවදුරටත් ඉදිරියට ගමන් කළෙමු.

අසිරියකි, කාලයේ වැලි තලාවෙන් පමණක් නොව මුහුදු වැල්ලෙන් ද වැසී ගිය අතීතයක නටබුන් රැුසක් අප දෑස ඉදිරියේ විද්‍යමානව ඇත. චතුරස‍්‍රාකාරව ඉදිකොට ඇති පිළිම ගෙය ගඩොල් හා ශෛලමය ස්ථම්භ යොදා උස්ව පිළියෙල කොට තිබේ. පිළිම ගෙයට පිවිසුම් ද්වාරය ඇත්තේ නැගෙනහිර දෙසිනි. පියගැටපෙළ සමග මුරගල් යුගලක් මෙන් ම විශේෂ ආකාරයේ සඳකඩ පහණක් ද දක්නට ඇත. නැගෙනහිර දෙසට මුහුණලා වැඩ සිටින පිළිම වහන්සේට වන්දනා කරන ඉරියව්වෙන් රාජාභරණ පැලඳි තවත් ප‍්‍රතිමා දෙකකි. මෙයින් එක් පිළිරුවක් කාන්තාවකගේ බව ද පැහැදිලිව දැකිය හැකි ය.

ප‍්‍රධාන පිළිම ගෙයට අමතරව ඇසට අසුවන මායිමේ තවත් නටබුන් රැුසක් ම දැකිය හැකි වේ. මේ පිළිබඳව තවත් තොරතුරු දැන ගැනීම සඳහා අපි මුහුදු මහා විහාරයේ වත්මන් විහාරාධිපතින් වහන්සේ වන පූජ්‍ය වරකපොළ ඉන්ද්‍රසිරි ස්වාමීන් වහන්සේ මුණගැසුනෙමු.

‘‘පින්වත් ස්වාමීන් වහන්ස, මේ විහාරස්ථානයේ ඓතිහාසික පසුබිම ගැන කරුණු ටිකක් සඳහන් කළොත්?”

‘‘මේ විහාරයේ ආරම්භය සැලකෙන්නේ ක‍්‍රි. පූ. දෙවන සියවසේ. ලංකා රාජාවලියේ 28 වන රජතුමා වන මහාදාඨික මහානාග රජතුමා විසින් තමයි මෙම විහාරය කරවා තියෙන්නේ. විහාර මහා දේවිය ගොඩබැසීමේ පුවතත් එක්ක සම්බන්ධවයි මෙහි අතීතය ඇරඹෙන්නෙ.”

‘‘ස්වාමීන් වහන්ස අපි අහල තියෙන්නෙ විහාර මහා දේවිය කිරින්දට ගොඩබැස්ස කියලයි.”

‘‘එ්ක මෙහෙමයි. ජනප‍්‍රවාදයට අනුව විහාර මහා දේවිය කිරින්දට පාවෙලා ආව තමයි. නමුත් ගොඩ බැහැල නැහැ. රජතුමාට සැලකරල තියෙනව ලස්සන නෞකාවක කුමාරිකාවක් පා වෙලා එනව කියල. රජතුමා සැල කරල තියෙනව මූද අද්දර හේන්වල අට්ටාල ගහගෙන බලන් ඉන්න කියල. එ් අට්ටාලහේන් තිබුණ පෙදෙස අදත් ‘අඞ්ඩාලච්චේන’ කියල හැඳින්වෙන්නෙ. පසුව කුමාරි පා වෙලා ගිය දිසාව අනුව ගිය රජතුමා අහල තියෙනව කෝ කුමාරි කියල. ‘කෝමාරි’ කියල අදත් හැඳින්වෙන්නෙ එ් ප‍්‍රදේශය යි. එ් වෙලාවෙ එතන හිටිය රටවැසියො අත දික්කරල පෙන්නුව අර ගමටයි ගොඩබැස්සෙ කියල. අර ගම තමයි ‘අරුගම’ වෙලා පසුකාලීනව බොක්ක යන්නට කියන ඉංග‍්‍රීසි ඊ්හ යන්නත් එකතු වෙලා ‘අරුගම් බේ’ වෙලා තියෙන්නෙ. අනික කිරින්දෙ සෙල් ලිපියෙ තියෙන්නෙ එතෙක් මිථ්‍යාදෘෂ්ටිකව හිටපු මහානාග රජතුමා පසුව තෙරුවන් සරණ ගිහිල්ල ගලේ විහාරය කරවල මහා සංඝරත්නයට පූජා කළ බවයි.”

‘‘ස්වාමීන් වහන්ස, එතකොට අතීතයෙදි මේ විහාරය හඳුන්වලා තිබුණෙ මොන නමින් ද?”

‘‘මහත්තයෝ මේ තමයි රුහුණෙ ලංකා විහාරය. මහාවංශයේ 34 වන පරිච්ෙඡ්දයේ මේ ගැන විස්තර තියෙනව.”

‘‘ස්වාමීන් වහන්ස, කොපමණ භූමි ප‍්‍රමාණයක් මේ විහාරස්ථානයට අයිති ද?”

‘‘මේ පිළිබඳ ව මත කීපයක් තියෙනවා. ගව් අටක්, එ් කියන්නෙ සැතපුම් 32ක් පුරා මෙය විහිදිලා තිබුණ බව සැලකෙනවා.”

‘‘ස්වාමීන් වහන්ස, වර්තමානයේ මේ නටබුන් මුණගැසෙන්නෙ කුමන වකවානුවක ද?”

‘‘1962 දි තමයි මුලින් ම මෙහි නටබුන් මුණගැහිල තියෙන්නෙ. තව මතු නො වුණු විශාල අතීත කතාවක් මේ වැල්ලෙන් සහ මුහුදෙන් යටවෙලා තියෙනව.”

‘‘ස්වාමීන් වහන්ස, සුනාමි ව්‍යසනය වූ අවස්ථාවේදි, මුහුද පසුපසට ගිය වෙලාවේ, මුහුදු පතුලෙන් බුද්ධ ප‍්‍රතිමාවක් ඇතුළු නටබුන් රැසක් මතු වී යළි නො පෙනී ගිය වග මා අසා තිබෙනවා.”

‘‘මහත්තයෝ මේ ප‍්‍රදේශයේ මුහුදු යන ධීවරයොත් කියනව එක් තැනක දැල් එළන්න පවා බැරි අමුතු පරිසරයක් තියෙනව කියල. මමත් ඔය ගැන බලන්න නාවික හමුදාවත් එක්ක ගියා. දිය යට කිමිදිලා බලද්දි මුහුදු පතුලෙ තියෙනව සඳකඩ පහණක්, කොරවක් ගලක්, එ් වාගෙ ම පියගැටපෙළක්, එ්ත් ඊට වඩා දෙයක් දකින්න හම්බ වුණේ නෑ. මොකද එතන මුහුද හරි ම අමුතුයි. දිය සුළියක් තියෙනව. වෙරළ අද්දරට වෙන්න තවත් ගිලා බැහැපු චෛත්‍යයක නටබුන් තියෙනව. එතන සැලකෙන්නෙ විහාර මහා දේවිය ගොඩ බැහැපු ස්ථානය විදියටයි.”

‘‘ස්වාමීන් වහන්ස, මේ පිළිම ගෙය තුළ බුද්ධ ප‍්‍රතිමාවට වන්දනා කරන ඉරියව්වෙන් නිර්මිත අනෙක් ප‍්‍රතිමා දෙක කවුද?”

‘‘පුරාවිද්‍යාවෙන් නම් කියන්නෙ මේ බෝසත් ප‍්‍රතිමා දෙකක් කියල. ජනප‍්‍රවාදයෙ සැලකෙන්නෙ කාවන්තිස්ස රජතුමා විසින් වෙරළට ගොඩබැස්ස විහාර මහා දේවිය මේ ස්ථානයට ගෙනැවිල්ල සඳුන් දියර කළ හතකින් නහවල, ඇය පැලඳ සිටි ස්වර්ණාභරණ සියල්ල ම මෙහි නිදන් කරල, ඇය නැවත සරසවල, මඟුල් ඇතා පිට නග්ගවල, මේ ආසන්නයේ තියෙන ලාහුගල මඟුල් මහා විහාරයට කැඳවාගෙන ගොස් විවාහ කර ගත් බවයි.”

‘‘ස්වාමීන් වහන්ස දැන් මට වැටහෙනව. විහාර මහා දේවිය කියන්නෙ සාමාන්‍ය ගැහැනියක් නෙවෙයි. සාමාන්‍ය කුමාරිකාවකුත් නෙවෙයි. ඇය තමයි ගැමුණු රජතුමාගෙ අම්ම. ඇය නො හිටින්න ගැමුණු කුමාරයා නෑ. රුවන්වැලි මහ සෑයත් නෑ. අපට කතා කරන්න බුදු සසුනකුත් නෑ. ඉතින් එ් වටිනාකම අපිට හරියට තේරන්නෙ නැති වුණාට අතීතය අනාගතය දෙක ම දැකිය හැකි රහතන් වහන්සේල දන්නව.”

‘‘බොහොම හරි මහත්තයා. මේ බිම රහතන් වහන්සේලා වැඩ හිටිය පින් බිමක් බවට පැහැදිලි සාක්ෂි තියෙනවා. ඉතින් එ් රහතන් වහන්සේලාගේ අනුශාසනා මත තමයි ඇයගෙ ආගමනය සිහිවෙන්න මේ වාගේ දැවැත්ත විහාරාරාම සංකීරණයක් කරවල තියෙන්නෙ. පසුව මේ ස්ථාන සංඝාවාස හදල, පිළිම ගෙවල්, පොහොය ගෙවල් හදල, වඩාත් වැඩි දියුණු වෙන්නෙ මේ ස්ථානවල සිය ගණන් රහතන් වහන්සේලා වැඩ සිටි නිසා ම යි.”

ගමේ හෝ නගරයේ වේවා යම් තැනක රහතුන් වැඩ සිටී ද එ් බිම හරි ම සුන්දරයි. එ් බිමට අපගේ නමස්කාරය වේවා.!

කලක් ත‍්‍රස්තවාදීන්ගේ අණසකට යටත්ව පැවති මෙම භූමිභාගය වර්තමානයේ මුළුමනින් ම වාගේ මුස්ලිම් ජනතාව වෙසෙන පෙදෙසකි. වසර 14ක පමණ කාලයක් මේ සියලූ තර්ජන හමුවේ විහාරස්ථානය රැක බලාගෙන වැඩ සිටි කතරගම සීලරතන ස්වාමීන් වහන්සේ නො වන්නට අද මෙම විහාරය නො තිබෙන්නට ද ඉඩ තිබුණි. උන්වහන්සේ මුහුණ පෑ අන්‍යාගමික ආක‍්‍රමණ හා අඩම්තේට්ටම්වල උච්ච අවස්ථාව වන්නේ විහාරය තුළ දී ම උන්වහන්සේට පොලූ මුගුරුවලින් පහර දීම යි. අවසානයේ උන්වහන්සේ හදිසියේ අපවත් වී වදාළ අයුරු පිළිබඳ ව ද විවිධ සැක සංකා මතුවී තිබේ. අන්‍යාගමික ආක‍්‍රමණකාරීන් විසින් විහාරස්ථානයේ බෝධි වෘක්ෂය පවා සය වතාවක් ම කපා දමා ඇත.

මුහුදු මහා විහාරය යනු බෞද්ධයන්ට පමණක් උරුම සිද්ධස්ථානයක් නො වේ; ජාති ආගම් කුල භේදයකින් තොරව රැකගත යුතු ජාතික සම්පතකි. මෙහි වර්තමානයේ වැඩ වෙසෙන ස්වාමීන් වහන්සේලාට දානය සැපයෙන වැඩපිළිවෙළක් පවා නැත. ත‍්‍රිවිධ හමුදාවේ නිලධාරීන් පැමිණෙන අවස්ථාවල දී ඔවුන් විසින් දානය පිරිනමනු ලබයි. අනෙක් දිනවලට ස්වාමීන් වහන්සේලාට ම දානය සකස් කර ගැනීමට සිදු වී තිබේ. මුහුදු මහා විහාරය දැක බලා වන්දනා කිරීමට පැමිණෙන සැදැහැවතුන් වියළි ආහාර ද්‍රව්‍ය වැනි දෑ පුජා කරන්නේ නම් බොහෝ පින් සිදු කර ගත හැකි ය.

නිරන්තරයෙන් සැදැහැවතුන් ගැවසෙන සිද්ධස්ථානයක් බවට මුහුදු මහා විහාරය පත් වුවහොත් දිවා කල රත් වන වැලි තලාවත්, රාත‍්‍රියට මොර ගහන මුහුදු සුළඟත් අතර හුදෙකලා සටනක් කිරීමට මේ ස්වාමීන් වහන්සේලාට සිදු නොවනු ඇත. එය විහාරස්ථානයේ සංවර්ධනයට ද අත්වැලක් ම වනු ඇත. ඉතින් ඔබත් පමා නො වී යන්න, නිල් දියඹත් වැලි තලයත් අතර මැවුන රහතන් වහන්සේලාගේ පා පහසින් සදා පූජනීය වූ මේ සොඳුරු පුද බිම වැඳ පුදා ගන්න.

ස්වාමීන් වහනසේගේ දෙපා නැමද සමුගත් මම පිළිම ගෙයට ගොස් විහාර මහා දේවියගේත්, කාවන්තිස්ස මහ රජතුමාගේත් පිළිරූ අතර මැද සිට බුදුරජාණන් වහන්සේට වන්දනා කළෙමි. කාවන්තිස්ස රජතුමාත්, විහාර මහා දේවියත් මේ රටටත් සම්බුද්ධ ශාසනයටත් කළ මහ මෙහෙය සිහිවන විට එ් උතුමන්ගේ පිළිරූ අතර සිට ගැනීමට ලැබීම පවා මොනතරම් භාග්‍යයක් ද? දැන් අප හට මෙම සිද්ධස්ථානයෙන් පිටත් වීමට වේලාව එළඹ තිබේ. එ් විහාර මහා දේවිය මඟුල් ඇතා පිට නංවාගෙන රැගෙන ගිය ඉසව්ව සොයාගෙන ය. එ් ලාහුගල වනපෙතෙහි සැඟවුණ මඟුල් මහා වෙහෙර යි.

(මෙම ලිපිය සකස් කිරීමේ දී තොරතුරු සපයා දුන් මුහුදු මහා විහාරවාසී උල්ලමත්තේ රතනප‍්‍රිය හිමියන්ටත්, පහසුකම් සපයා දුන් උදය ශාන්ත ගුණසේකර මැතිඳුන්ටත් වෙසෙසින් පුණ්‍යානුමෝදනා කරමි.)

සටහන
සුදර්ශන ශ්‍රී විජේසිංහ