උදා හිරුගේ පළමු රැුස් දහර තුරුලතා පත් අතරින් පෙරී විත් මහපොළව සිප ගනිද්දී රූස්ස වනස්පතීන්ගෙන් සැදුම් ලත් මහවනයක් මැදින් වැටී ඇති සුන්දර මංපෙතක් ඔස්සේ අපි ගමන් කරමින් සිටිමු. මීට වසර ගණනකට පෙර මේ මගින් යද්දී දක්නට ලැබුණ නිර්මල සුන්දරත්වය මාර්ග සංවර්ධනය විසින් තරමක් දුරස් කොට ඇතත් ගල් බොරළු වළවල් සපිරි මාවත මත කාපට් ඇතිරීම තුළින් ඇතිවී ඇති ගමන් පහසුව ද අගය කළ යුතු ම ය. වන පියසින් මෑත්ව මාවත අද්දර තැනිතලාවට පැමිණි
මොනරුන් උදා හිරුට මුහුණලා කරන රැුඟුම මනහර ය.
මේ හිරු උදා වන විට – ඇස් ඇති එක ම රජු ලෙස
පතුරුවා රන්වන් රැුස – මහපොළව බබුළුවන්නේ……..
මට මෝර පිරිත සිහි විය. මේ මොනරුන් අතර එදා සිටි එ් බෝසත් මොනරා අද මොනරුන් අතරින් පමණක් නොව සසරින් ද එතෙරට පියඹා ගොස් ය. එහෙත් එ් දහම තේරුම් ගන්නට අසමත් වූ මිනිසුන් අතර එදා සිටි කී දෙනෙක් අද මේ මොනරුන් අතර ඇද්ද? සසර ගමන නම් එබඳු ය. වාහනයේ හඬින් තැතිගත් මොනරුන්
රැුඟුම නවතා සැණෙකින් වන වදුලූ තුළ සැඟවී ගත්හ. මතුපිටින් සුන්දරව දිස් වුව ද සහේතුකව මෙන් ම අහේතුකව ද තැති ගැනීම තිරිසන් අපායේ ස්වභාවය යි.
හාත්පස කිලෝ මීටර් විස්සක තිහක පරාසය තුළ කිසිදු මිනිස්
වාසයක් නැත. මහ වනය පමණි. වනපෙත මැදින් මේ පාර
දිවෙන්නේ කතරගම සිට බුත්තල දක්වා ය. සොබාදහමට ඇළුම් කරන්නන් හට පාරාදීසයක් බඳු මේ වන පියසේ සුන්දරත්වයේ
සළු පිළී පොරවාගත් අවිනිශ්චිත අවදානමක් ද නැත්තේ නො වේ.
වාහන ගමනාගමනය සුලබ නොවන මේ මාවතේ අපට මුහුණලා
එන වාහනයක් ඉදිරියේ නතර කොට ඇත. කුමක්දෝ අවදානමක
සේයාවක් දැනුණ බැවින් මඳක් මෙපිටින් වාහනය නැවැත්වූ අපි එ් ගැන විපරම් කළෙමු.
දැවැන්ත වන හස්තියෙක් ඉදිරියෙන් පැමිණෙන රථයට මග හරස්කර ඇත. තම විජිතය තුළ මුළුමනින් ම අණසක පතුරුවා ඇති මේ දැවැන්තයා තම හොඬය රථය තුළට ම දමා යමක් ඉවතට ගත් අයුරු දිස් විය. සුළු මොහොතකින් තම ගනුදෙනුව පිරිමසා ගත් දැවැන්තයා එම රථය මුදාහළේ ය. අප අසලට පැමිණි එම රථයේ රියදුරා පැවසූ දෙයින් අපි අන්ද මන්ද වීමු.
”මහත්තයෝ ඔය තනි අලියා.. ඔහොම තමයි.. එයාට හිතුණා ම මේ පාරේ යන වාහන නවත්තනවා.. එ් වෙලාවට එයාට කන්න මොනව හරි නො දී යාම නම් බොරු.. හැබැයි හොඬවැලට ම දෙන්න ඕනේ. වීසි කළොත් තරහා යනවා..”
අපගේ අසරණ භාවය තේරුම්ගෙන දෝ ඉදුණ අන්නාසි ගෙඩියක් ද අප අතට දුන් රථයේ රියදුරා සැණෙකින් පිටත් වී ගියේ ය.
දැන් ඇත්තේ අපගේ වාරය යි. අප අසලට එනතුරු දැවැන්තයා සොඬවැල ඔසවා බලා සිටියි. දැන් ඉතින් පලා යා නො හැකි ය. අප ඔහු අසලට නො යන්නේ නම් අඩි කීපයක් ඉදිරියට තැබූ විට ඔහු අප අසල ය. සුන්දරත්වයේ මායා සිහිනය සැණෙකින් බිඳී ගොස් මග හැර යා නො හැකි ලෙස ජීවිතයට අවදානම ළඟා වන්නේ
මේ අයුරින් ය.
දම්වැල්වලින් බඳින ලද හීලෑ අලියෙකුගේ හොඬවැලකටවත් කෑමක් දී නොමැති මා තව මොහොතකින් මහ වන මැද දී සද්දන්ත වන අලියෙකුගේ හොඬයට අන්නාසි ගෙඩියක් දිය යුතු ය. ගත වෙන මොහොතක් පාසා අලියාත්, මාත් අතර පරතරය අඩු වෙමින් පවතී.
දැන් අපගේ පිහිටට අප සරණ ගිය ධර්මය හැර වෙන ඇත්තේ
කුමක් ද? අලියාත්, අපත් අතර පරතරය අඩි දෙක තුනක් වෙද්දී
මට සිහි වූයේ ධජග්ග සූත‍්‍රය යි. නාලාගිරි වැනි කුරිරු ඇතුන් පවා මෙත් මුදිතා ගුණයෙන් දමනය කළ එ් මහා මුනිරජාණන් වහන්සේ සරණ ගිය පුංචි ශ‍්‍රාවකයෙක් වන මා අතින් පිදෙන මේ පලතුර ඔබට ප‍්‍රිය උදෑසන ආහාරයක් වේවා..!
වන අලියාගේ සිරුරේ ගෑවෙමින් හොඬවැල මතට අන්නාසි ගෙඩිය දුන් මසිතට කිසිදු බියක් නො දැනුණි. වන අලියා ද කැමැත්තෙන් ම අපට ඉඩ සලසා දුනි. එ් ධර්මයේ අසිරිය යි.
ධර්මයේ අසිරිය වොරැුඳුන තවත් පුණ්‍ය චාරිකාවක් කරා ඔබ කැඳවාගෙන යන ගමනේ දී අප මුහුණ දුන් එ් සිදුවීම ද සටහන් කොට තබනුයේ ජීවිතයේ ඇති අනියත භාවයත්, ධර්මය තුළ පමණක් ම ඇති රැුකවරණයත් පසක් කරලීමට ය.
උදෑසන ම ගමන් ආරම්භ කොට අප මේ ළඟා වෙමින්
සිටින්නේ මොනරාගල දිස්ත‍්‍රික්කයේ පිහිටි ඓතිහාසික දෙමටමල් විහාර පුණ්‍ය භූමියට යි. කතරගම සිට බුත්තල දක්වා වැටී ඇති මාර්ගයේ බුත්තල නගරාසන්නයෙන් දකුණු පසට වැටී ඇති මාවත ඔස්සේ කි. මී. 08ක් පමණ ගමන් කිරීමෙන් ඔබට මෙම පුණ්‍ය භූමිය වෙත ළඟා විය හැකි ය. නො එසේ නම් මොනරාගල සිට බුත්තල මාර්ගයේ පැමිණ කුඹුක්කන හන්දියෙන් වම් පසට හැරී මාලිගාවිල මාර්ගයේ කි. මී. 06ක් පමණ ගොස් ඔක්කම්පිටිය කඩ මණ්ඩිය අසලින් දකුණට ඇති මාවත ඔස්සේ කි. මී. 02ක් පමණ ගිය විට ද මනස්කාන්ත දසුනින් සපිරි පූජනීයත්වයෙන් ද අනූන වූ මේ පින්බිම වෙත පිවිසිය හැකි ය.
හාත්පස එළන ලද හරිතවර්ණ කළාලයක් මත දිදුළන රතු මැණික් කැටයක් සේ වෙල් යාය මධ්‍යයේ පිහිටි රතු දුඹුරුවන් පැහැයෙන් යුතු මේ සෑය ඈත සිට දකිද්දී ම සිත පහන් වේ.
අපි රථයෙන් බැස විහාරය දෙසට පිය නැගීමු.
”මහත්තයා.. සල් මල් ගන්න.. සල් මල් ගන්න..”
වයස අවුරුදු දහයක පමණ පුතෙක් අප වෙතට ම සල් මල් රැුගෙන ආවේ ය. පෙරදා රාත‍්‍රියේ කිරි වෙහෙර වන්දනා කරද්දී ඇසුණ ”මල් ගන්නකෝ” යන හඬවල් මකා දමමින් මේ පුතාගේ ආයාචනය මේ ලිපිය ලියන මොහොතේ පවා හදවතෙහි තැන්පත්ව පවතී.
අප සියලූ දෙනාටම ප‍්‍රමාණවත් පරිදි සල්මල් ගත් මම.. ”කීය ද පුතා..?” කියා විමසීමී.
”සල්ලි එපා.. මහත්තයා.. මල් පූජා කරලා පින් කර ගන්න.. අපි මල් විකුණන්නේ නෑ…”
මිල කළ නො හැකි පිනක මහිම වටහාහෙන සිටි සමන් මලක් බඳු පියකරු මුව මඬලක් ඇති එ් දරුවාගෙන් මා ඇසූ පැනය ‘හරි ද…වැරදි දැයි….’ සිතමින් අමිල වූ පුණ්‍යස්කන්ධයක් ම ඔහුට හිමි වේවායි පතමින් සල් මල් දෝත දරාගෙන සෑ මළුව වෙත පිවිසුනෙමු.
ප‍්‍රතිසංස්කරණයෙන් පසුව සුණු පිරියම් කොට නොමැති දෙමටමල් වෙහෙර සෑ රදුන් දිස්වන්නේ ජේතවනාරාමය මෙන් දුඹුරුවන් ගඩොල් පැහැයෙනි. සෑයේ කොත් කැරැුල්ල පසෙකින් දේවතා කොටුවේ සිට කොත මුදුන දක්වා සවිකොට කිබූ පැරණි ශිලා ස්ථම්භය අද ද එ් අයුරින් ම දැකිය හැකි ලෙස ප‍්‍රතිසංස්කරණ කටයුතු නිමවා ඇත.
සෑ රදුන් පැදකුණු කොට වන්දනා කළ අපි මේ සිද්ධස්ථානයේ ඓතිහාසික තොරතුරු දැන ගැනීමේ
රිසියෙන් මොනරාගල ඓතිහාසික දෙමටමල් විහාරාධිපති මොනරාගල දිස්ත‍්‍රික් ප‍්‍රධාන සංඝනායක මහෝපාධ්‍යාය පූජ්‍ය ගල්ටැම්වත්තේ ශ‍්‍රී චන්ද්‍ර ජෝති ස්ථවිරයන් වහන්සේ
මුණගැසීමු.
”ගෞරවනීය ස්වාමීන් වහන්ස, මේ විහාරස්ථානයේ ආරම්භය පිළිබඳ ව ඓතිහාසික තොරතුරු මොනවා ද?”
”ක‍්‍රි. පූ. 03 වන සියවසේදි දෙවනපෑතිස් රජතුමාගේ මලණුවන් වූ මහානාග යුව රජු විසින් මේ විහාරය කරවන ලද බවයි සැලකෙන්නේ. මහත්තයා අහලා ඇතිනේ ගැමුණු කුමාරයා තම සොහොයුරු සද්ධාතිස්ස කුමාරයා සමග ඇති වුණ විරසකය ගැන. එ් වෙලාවේ සද්ධාතිස්ස කුමාරයා ජීවිතාරක්ෂාව පතා සැඟවිලා හිටියෙ මේ
විහාරයෙයි.
අනාගතයේ රට එක්සේසත් කොට බුදු සසුන බබුළුවන මේ සොහොයුරන් සමඟි කරන්නත් එවකට මෙහි වැඩ සිටි ස්වාමීන් වහන්සේලා තමයි කටයුතු කළේ..
පූජනීයත්වය අතින් ගත්තොත් සුගලා දේවීන්
වහන්සේ දළදා වහන්සේ පවා මෙහි වඩා හිඳුවල
තියෙනව. එ් වාගෙ ම මේ භූමිය නිරන්තරයෙන් රහතන්
වහන්සේලාගේ පහසින් පූජනීය වුණ පින් බිමක්.
පසුකාලීන යුගයෙදි පවා මලියදේව මහ රහතන් වහන්සේ මේ බිමේදි චඡුක්ක සූත‍්‍රය දේශනා කරද්දී සංඝයා වහන්සේලා හැටනමක්
රහත් වූ බව සදහන් වෙනවා. මේ තොරතුරුත් එක්ක බලන කොට දෙමට මල් විහාරය ක‍්‍රි.පූ. යුගයෙන් ආරම්භ වෙලා වරින් වර ප‍්‍රතිසංස්කරණයට ලක්වෙමින් පැවතිලා පොළොන්නරු යුගය වෙනකොට ඉතා දියුණු මට්ටමේ
විහාරාරාම සංකීර්ණයක්ව පැවති බවයි කියන්ට
තියෙන්නේ.”
”ස්වාමීන් වහන්ස මේ විහාරාරාම සංකීර්ණයේ
දකින්ට තියෙන වෙනත් විශේෂ දේ මොනවා ද?”
”මහත්තයෝ ලංකාවේ පැරණි ම භික්ෂු ආරාම ඉදිකරල කියෙන්නේ පඤචපසාද කියන අනුපිළිවෙළ ක‍්‍රමයකට. මේ විහාරයත් එහෙමයි. මහත්තයල දකින්ට ඇති සෑය පිහිටුවල තියෙන්නෙ අඩි දහයක් විතර උස වේදිකාවක් තනවල එ් මත. අද එක් පිවිසුම් ද්වාරයක් විතරක් දකින්ට තිබුණට සතර දිසාවෙන් වාහල්කඩ දොරටු සතරක් පිහිටල තිබිල තියෙනව. මේ පඤචපසාද විහාර සැලසුම අනුව උපෝසථඝරය ඉදිවෙන්නෙ විහාරයේ
මධ්‍ය කොටසේයි. සිව් දිසාවෙනුයි භික්ෂු ආවාස කුටි තනවන්නේ. එ් මගින් සතර දිගින් වඩින මහ සඟරුවනත් සංකේත කෙරෙනවා.
මේ විහාරයේ තියෙන විහාර මන්දිරයත් සුවිශේෂයි. ඉතා ම පැරණි එකක්. මධ්‍යයේ පිහිටි උපෝසථාඝරයටත්, බෝධි මණ්ඩපයටත් එපිටින් සංඝයා වහන්සේලා වෙනුවෙන් ඉදිවුණ කුටි 44ක නටබුන් දකින්ට පුළුවන්.
අද මේ පින් බිම ගැන ජනතාව එතරම් දැනුම්වත් නෑ… එ්ත් මෙහි පෞරාණික බවත්, පූජනීයත්වයත් දන්න සැදැහැවතුන් මේ සෑය වඳින්ට එන්න අමතක කරන්නේ
නෑ. දුරුකතර ගෙවාගෙන මේ බිමට පැමිණෙන සැදැහැවතුන්ට රැුයක් නැවතිලා ගිමන් නිවාගෙන නිදහසේ
වන්දනා මාන කරගෙන යන්ට පහසුකමත් අපි හදලා තියෙන්නේ එ් අයට පින් රැුස්කර ගන්ට උදව් කරන්ටයි.”
අපි උන්වහන්සේගේ දෙපා නැමද සමුගත්තෙමු. ඉපැරණි විහාර මන්දිරයට ගොස් මල් පහන් පුදා වන්දනා
කළෙමු. ආපසු එන ගමනේ දී විහාරය පසු කොට සැතපුම් භාගයක් පමණ නැගෙනහිර දෙසට එන විට පිහිටුවා ඇති ඉපැරණි ශිලා ඵලකයක මෙසේ සටහන්ව ඇත.
‘සිධම ගාමක අභය රජය විහරෙ සතහ ගමක’
‘යහපතක් ම වේවා! ගාමණී අභය රජු විහාරයට ගම් සියයක භුක්තිය පවරන ලදී.’
රට එක්සේසත් කොට බුදු සසුන බැබළවූ ගැමුණු රජතුමා පවා ගම් සියයකින් පුදනු ලැබූ මේ සොඳුරු
වෙහෙර වැඳ පුදාගෙන පින් රැුස් කර ගන්නට තවත් පමා වන්නේ කුමකට ද?

සටහන
සුදර්ශන ශ්‍රී විජේසිංහ