highlights of the week
Home » Archives » ‘අපේකම්’ අමතක කළ ‘අපේ සංවර්ධනය’ …

‘අපේකම්’ අමතක කළ ‘අපේ සංවර්ධනය’ …

සංවර්ධනය නාමයෙන් අප ලබා ගැනීමට උත්සාහ කරන දියුණුව කෙතරම් දුරට භෞතික සාධකවලට පමණක් බර වී තිබේ ද යන්න විග‍්‍රහ කිරීමට අප මෙයට පෙර කලාප කීපයක දී ම උත්සාහ කර ඇත. සංවර්ධන ඉලක්ක සකසා ගැනීමේ දී අධ්‍යාත්මික දියුණුව ද එහි අන්තර්ගත කොටසක් කර ගැනීමේ හැකියාව ගැන ද අප කතා කර ඇත.

මෙම විෂය ඔස්සේ ම සාකච්ඡා කරමින් සැලසුම්කරුවන් හා සංවර්ධනය සඳහා මැදිහත්කරුවන් වශයෙන් කටයුතු කරන අයගේ අවධානය සඳහා යොමුවිය යුතු කරුණු කීපයක් ඉදිරිපත් කිරීම මෙම ලිපියේ පරමාර්ථය යි.

සංවර්ධන නියමුවන්, ක‍්‍රියාධරයන් වශයෙන් කටයුතු කරන අය නිතර භාවිත කරන සංකල්ප දෙකක් නම් ‘ඉහළ සිට පහළට යොමු කරන සංවර්ධනය’ සහ ‘සහභාගිත්ව සංවර්ධනය’ යිි. (top-down approach and participatory development approach)

මින් පළමුවැන්නෙන් අදහස් වන්නේ ප‍්‍රජාවගේ අවශ්‍යතාවන් නියමාකාරයෙන් දන්නේ යැයි සිතා ගන්නා සැලසුම්කරුවන් හා සංවර්ධන ක‍්‍රියාධරයන් ප‍්‍රජාව වෙනුවෙන් සංවර්ධන සැලසුම් සකස් කර ක‍්‍රියාත්මක කිරීම ය. සහභාගිත්ව සංවර්ධනය සංකල්පයෙන් කියැවෙන්නේ ප‍්‍රජාව ද සමග එක්ව ඔවුන්ගේ ද සක‍්‍රීය දායකත්වය ලබාගෙන සහභාගිත්වයෙන් සැලසුම් සැකසීම සහ ක‍්‍රියාත්මක කිරීම ය. මේ යුගයේ සංවර්ධන සැලසුම් ඇතැම් විට මෙම ප‍්‍රවේශයන් දෙකෙහි සංකලනයක් ලෙස හඳුනා ගත හැක. එයට අමතරව මේ සංවර්ධන සැලසුම්වල යථාර්ථය ඉහත කී ක‍්‍රමවේදයන්ගෙන් ඔබ්බට ද යනු අද අපට හඳුනාගත හැකි ය. එ් දේශපාලනඥයන්ගේ මැදිහත් වීම තුළිනි.

ඉහළ සිට පහළට සැලසුම් සකස් කිරීමේ දී දේශපාලනඥයන් එ් සඳහා ක‍්‍රියාකාරී ලෙස මැදිහත් වන්නේ ඔවුන් ජනතාවගේ අවශ්‍යතාවන් හොඳින් දන්නා ඔවුන්ගේ නියෝජිතයන් ලෙස හඳුන්වා ගනිමිනි. පළමු ප‍්‍රශ්නය වන්නේ ඔවුන් ප‍්‍රජාවගේ අවශ්‍යතා වශයෙන් හඳුනාගෙන ඇත්තේ කෙසේ ද යන්න ය. දෙවැන්න, එහි දී ප‍්‍රජාවගේ සක‍්‍රීය මැදිහත් වීමක් තිබේ ද යන්න ය. මෙලෙස හඳුනාගත්, ප‍්‍රජාවගේ සැබෑ අවශ්‍යතා යනුවෙන් හඳුන්වන වැඩසටහන් සහ ව්‍යාපෘති කොතෙක් දුරට ප‍්‍රජා අවශ්‍යතා ඉටු කිරීමට ඉවහල් වනවා ද යන්න ඔබට ම තීරණය කර ගත හැකි කරුණකි.

ආවේණික සංවර්ධන දැක්මක අවශ්‍යතාවය

ප‍්‍රජාවගේ සංවර්ධන අවශ්‍යතා මොනවා ද යන්න හඳුනාගැනීම සහ එ්වා ක‍්‍රියාත්මක කළ යුත්තේ කෙසේ ද යන්න සංවර්ධන මැදිහත්කරුවන් විසින් නිතර ම පාහේ වාද විවාද කරන මාතෘකාවකි. එලෙස තීරණය කිරීමේ දී සැබෑ ප‍්‍රජා අවශ්‍යතා ඉටු වනවා ද යන්න මත සංවර්ධන මැදිහත්වීම්වල සාර්ථකත්වය තීරණය වේ. නූතන ගෝලීයකරණය වූ සමාජයක් තුළ සංවර්ධන පුවේශයන්ගේ මුලික ඉලක්ක වන්නේ භෞතික සංවර්ධනය උපරිම පරමාර්ථය කර ගත් වැඩසටහන් ය. එසේ කිරීමේ දී සංවර්ධනය වන රටවල් යැයි අප ආදර්ශ වශයෙන් ගන්නේ ද අනුගමනය කරන්නේ ද දියුණු යැයි සම්මත රටවල ප‍්‍රමිතීන් ය. එසේ කරන විට, අප රටට සහ ප‍්‍රජාවට එ්වා කෙතරම් දුරට ගැළපේ ද යන්න සිතා බලන බවක් නො පෙනේ. අවසන් ප‍්‍රතිඵලය වන්නේ අපට නො ගැළපෙන ඉලක්ක පසුපස යන්නන් වාලේ හඹා යන්නන් බවට අප පත් වීම ය. එයට හේතුව අපටම ආවේණික සංවර්ධන දැක්මක් අප තුළ නොමැතිකම ය.

සැබෑ ස්වදේශීය සංවර්ධනයක ලක්ෂණය විය යුත්තේ අප අවට ම ඇති ඉඩම්, ජලය, ගහ කොළ, අපගේ දේශීය දැනුම වැනි සම්පත්, අපගේ සංස්කෘතිය සහ සංවිධාන රටාවට ගැළපෙන ලෙස කාර්යක්ෂම ලෙස භාවිත කිරීම ය. එබඳු ස්වදේශීය සංවර්ධන ප‍්‍රයත්නයක දී අපගේ දේශීය සම්පත් කාර්යක්ෂම ලෙස භාවිත කිරීම තුළ රටේ සංස්කෘතික විවිධත්වය, ප‍්‍රජාවගේ සුභසාධනය සහ පරිසරයේ ස්ථාවරත්වය ආරක්ෂා වීම සහතික ය.

කතා කරනවා පමණයි….

අපගේ සංස්කෘතික උරුමයන් රැුක ගැනීම ගැනත්, දේශීය දැනුම ගැනත් සම්ප‍්‍රදායික කෘෂිකර්මය ගැනත් බහුතරයක් දේශපාලනඥයන්, සැලසුම් සම්පාදකයන් කතා කරනු දක්නට ලැබෙන නමුත් එ් සඳහා ක‍්‍රියාකාරී වීමක් හෝ විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීමක් ගැන අසන්නට ලැබෙන්නේ නැත. අප අවට විමසා බැලූවහොත් දේශීය කෘෂිකාර්මික දැනුම ගැන ලියැවුණු පොත්පත්, පර්යේෂණ වාර්තා ඕනෑ තරම් සොයා ගන්නට පුළුවන. ජලය සහ පස සංරක්ෂණය කිරීම, දේශීය සත්ව වෙදකම, ස්වාභාවික පළිබෝධ පාලන ක‍්‍රම, සශ්‍ය මාරුව, කෘෂි වන වගාව, ආහාර සැකසීමේ සම්ප‍්‍රදායික තාක්ෂණය යන මේවා ගැන ප‍්‍රමාණවත් තොරතුරු ලේඛනගතව ඇත. මේ තොරතුරු සමග විවිධ පර්යේෂකයන් කළ පර්යේෂණ වාර්තා ද ඇත. සම්ප‍්‍රදායික ගොවිතැනෙහි වාසිදායක බව ගැන පූවත්පත්, රූපවාහිනී සහ ගුවන්විදුලි මාධ්‍යවල වැඩ සටහන් ඕනෑ තරම් ඇත. පාරිභෝගික ජනතාව ද එ් ගැන කතා කරති.

එහෙත්, කුමක් හෝ හේතු නිසා එම දැනුම භාවිතයට ගැනීමක් අද සිදු නො වේ. සිදු වුව ද එ් පිළිගත හැකි ප‍්‍රමාණයකට හෝ පිළිවෙළකට නො වේ.

අපට කුමක් වෙලා ද?

මෙයට ඍජු පිළිතුරක් දීමට කිසිවෙකුට හැකියාවක් නැත. එහෙත් අපට වැරදුන තැන් කොතැන ද යැයි විමසුමක් කර ගන්නට මෙය කාලය යි.

එක් වර ම අපට හඳුනා ගත හැකි කාරණයක් නම් අප ලෝකය දෙස බලන දෘෂ්ටියේ වෙනස් වීම ය.

දේශීය ගොවිතැන උදාහරණයක් ලෙස ගෙන බලමු. එහි ඇති ලක්ෂණ අප බලන්නේ බටහිර විද්‍යාත්මක දෘෂ්ටියකිනි. බටහිර විද්‍යාව අනුව යමක් පිළිගන්නේ එ්වා වාස්තවික ලෙස ඔප්පු කළ හැකි යැයි සම්මත වූ විට ය. එලෙස වාස්තවික ලෙස සත්‍යෙක්ෂණය කළ නො හැකි කොටස් අවිද්‍යාත්මක යයි අපි ප‍්‍රතික්ෂේප කරමු. එ් අනුව දේශීය බීජවල ගුණාංග, පළිබෝධ පාලන ක‍්‍රම, ඇතැම් වගා ක‍්‍රම ‘විද්‍යාත්මක’ යැයි අපි පිළිගනිමු. දේශීය ගොවිතැනෙහි අනෙක් වැදගත් කොටස් වන විශ්වීය ජීවන දැක්ම, දැනුම එ්කරාශී කර ගත් ක‍්‍රමවේද, අධ්‍යාත්මික බලවේග, විශ්වීය බලය උපයෝගී කර ගැනීම, සංවිධාන සහ ආයතන ව්‍යුහය කිසිදු නවීන විද්‍යා සංකල්පයකට ගෝචර නොවන බැවින් එ්වා ‘හනමිටි’ අදහස් වශයෙන් ඉවත් කර ඇත්තෙමු.

විශ්වීය දැක්ම (Cosmo vision), යනු කුමක් ද?

සරලව කියනවා නම් ඉන් අදහස් වන්නේ යම් ප‍්‍රජාවක් තමන් ජීවත් වන ලෝකය දෙස බලන ආකාරය යි. ඕනැම සමාජයක කෘෂිකර්මය තේරුම් ගෙන තිබුණේ ස්වභාවධර්මය, මිනිසා සහ අධ්‍යාත්මික ලෝකය (spiritual world) යන අංග තුන අතර පවතින සහාය සම්බන්ධයක් වශයෙනි. මිනිසුන්ගේ හැසිරීම සහ ස්වභාවධර්මය අතර දැඩි සබඳතාවක් ඇති බව අප පැරැුන්නෝ දැඩිව විශ්වාස කළහ. බුදු දහම මත පදනම් වූ ජීවන දර්ශනයේ හොඳ-නරක, පින් පව් ඉතා පැහැදිලිව හඳුනාගෙන සිටි ඔවුහු එම මූලධර්ම ගොවිතැනෙහි දී අනුගමනය කළහ. රජය දැහැමි වූ විට කලට වැසි ලැබීම සහ සෞභාග්‍යය උදා වනවා මෙන් ම අදැහැමි ක‍්‍රියාකාරකම් නිසා නියඟය, වසංගත, අස්වනු පාළු වීම් සිදු වන බව ඔවුහු අත්දැකීම් ආශ‍්‍රයෙන් ම විශ්වාස කළහ. කෘෂිකාර්මික කටයුතු මෙන් ම අනෙකුත් ආර්ථික කටයුතුවල දී විවිධ පුජා, අභිචාර විධි, බාර වීම්, දේව ආරක්ෂාව සඳහා යැදීම් වැනි අධ්‍යාත්මික (නො පෙනෙන බලවේග සමග) කටයුතුවලට ඔවුන් පෙළඹුනේ මෙම සම්බන්ධය ගැන තිබූ විශ්වාසය හේතු කොට ගෙන ය. මේ අනුව පෙනී යන්නේ අප පැරැුන්නන් කෘෂිකර්මය තේරුම් ගත්තේ පොළව, ජලය, වාතය, බීජ ආදි ස්වාභාවික සම්පත් සහ මිනිසා අතර ඇති භෞතික සම්බන්ධයක් ලෙස පමණක් නො වන බව යි. එහි විශාල කොටසක් සඳහා අධ්‍යාත්මික ලෝකයේ ද දායකත්වයක් ඇති බව ඔවුහු දැන සිටියහ.

මිනිසුන් කරන හොඳ දේ සහ නරක දේවල ප‍්‍රතිඵල වන්නේ අධ්‍යාත්මික බලවේගවල ඍජු ප‍්‍රතික‍්‍රියාවලට මුහුණ දීමට සිදු වීම ය. අපට හිතකර බලවේග (අපට උදව් කරන දෙවියන්) සහ අහිතකර බලවේග (අපට වින කරන යක්ෂයන්, පේ‍්‍රතයන්) ගැන ඔවුන් තේරුම් ගත්තේ එ් අන්දමට ය. ගොවිතැන් කිරීමේ දී මෙන් ම අනෙකුත් ආර්ථික සමාජ ක‍්‍රියාකාරකම්වල දී යහපත් දිව්‍ය බලවේග සමග මෙන් ම අයහපත් යක්ෂ, පේ‍්‍රත බලවේග සමග ද ගනුදෙනු කිරීමට මනා අවබෝධයක් තිබිය යුතු ය. දෙවියන් සතුටු කළ යුතු මෙන් ම යක්ෂයන් පේ‍්‍රතයන් අසතුටු නො කර තබා ගත යුතු ය.

මෙයට අමතරව මිය ගිය තම ඥාතීන් ද යම් යම් අමනුෂ්‍ය වේශයන්ගෙන් බලපෑම් කරන බව ඔවුහු විශ්වාස කළහ. පිටස්තරයකු වශයෙන් ඔබට මේ කිසිවක් නිරීක්ෂණය කළ නො හැකි බව සැබෑ ය. එහෙත් ගැමි ජීවිතයේ සෑම අංශයක් තුළ ම, සහ ඔවුන්ගේ තීරණ ගැනීමේ ක‍්‍රියාවලිය තුළ මෙම අධ්‍යාත්මික බලවේග කරන කාර්යභාරය අති විශාල ය.

මේ සියල්ල දැන් විපරිනාමයට භාජනය වෙමින් පවතී. සැම රටක ම පාහේ ජනගහන සංයුතිය වෙනස් වීම, ආර්ථික සාධක, තාක්ෂණ දියුණුව, මාධ්‍ය බලපෑම, ස්වභාව සම්පත් ක්ෂය වීම වැනි හේතු නිසා දේශීය දැනුම සහ එ් මත පදනම් වු සංස්කෘතිය විනාශ වීගෙන යන්නට පටන් ගෙන ඇත්තේ ය.

රැක්ම පිණිස වූ දැක්ම

අපේ සංස්කෘතිය තුළ ඇතැම් විට කන්දක්, කැලෑවක්, පර්වතයක්, ගසක් හෝ දිය පහරක් පූජනීය ලෙස සලකා ඇත. මතුපිටින් පෙනෙන අන්දම පමණක් සලකා බලා මෙය හුදු ගස් ගල් වන්දනාවක් වශයෙන් අපට බැහැර කළ නො හැක. ස්වභාවික වස්තුවක් හෝ සංසිද්ධියක් ඔවුන් පූජනීය තත්ත්වයට පත් කළේ එ්වා ආරක්ෂා කර ගැනීමේ උපක‍්‍රමයක් වශයෙනි. හොඳ ම උදාහරණය ශ්‍රී පාද කන්ද ය. බුදුරජාණන් වහන්සේගේ සිරි පා පිහිටුවා තීබීම නිසා පමණක් නොව සමස්ත රටේ ම ජල අවශ්‍යතා සඳහා එය සංරක්ෂණය විය යුතු විය. එහෙයින් ම එය පූජනීය කන්දකි. කුඹුරු යායක් අසල නුග රුකකට ඔවුන් සැලකුවේ ගස විශාල වීම නිසා ම නො වේ. ඇතැම් විට සෙවණ සලසන නිසාමත් නො වේ. එහි වගා ආරක්ෂණය සලසන ගම්භාර දෙවියන් භූමාටු දෙවියන්ගේ වාසස්ථාන බව දැඩිව විශ්වාස කළ බැවිනි.

එහෙත් අද සිදු වී ඇත්තේ කුමක් ද? අද අපට ස්වභාවික සම්පත් පෙනෙන්නේ එහි ආර්ථික වටිනාකම සඳහා පමණි. කැලෑවක් පූජනීය ලෙස අපට පෙනෙන්නේ නැත. කැලෑව අපගේ මුදලට ඇති කෑදරකම අවුස්සන්නකි. එහි ගස්වල ආර්ථික අගය පමණක් අපට පෙනේ. ගස් කපා වෙනත් ආර්ථික වගාවක් කළ හැකි බිමක් ලෙස කැලෑව අපට පෙනේ.

ඉර සඳ අපගේ වගාවට කරන බලපෑම ගැන අද අපි කතා කරන්නෙමු. අද අපට නො පෙනෙන පැති සම්ප‍්‍රදායික ගොවීන්ට පෙනින. වගා කාල සටහන සකසා වත්තේ සඳෙහි කලාවන් අනුව ය. නියඟ සහ වැස්ස පුරෝකථනය කිරීමට මෙම කියැවීම් අත්‍යවශ්‍ය විය. සත්ව සහ කෘමි හානි, රෝග වළක්වා ගැනීමට මෙම දැනුම උපයෝගී විය.

කල් යල් බලා කළ ගොවිතැන රකිමු

තවත් වැදගත් කරුණක් ඔබේ අවධානයට යොමු කරමි. සම්ප‍්‍රදායික දැනුම පරම සත්‍යයක් ලෙස ගත යුතු යැයි වැරදි වැටහීමක් අප ඇති කර ගත යුතු නැත. ඇතැම් සම්ප‍්‍රදායික ක‍්‍රියාකාරකම් අදට නො ගැළපෙනවා විය හැක. ස්ත‍්‍රී පුරුෂ ලෙස කාර්යයන් බෙදා තිබු අන්දම අද ලෝකයට නො ගැළපෙනවා විය හැක. ගම්වල පැවති වැඩවසම් නායකත්වය එකලට සුදුසු වුව ද අදට සුදුසු නැත. වෙනස් වන ලෝකයට ගැළපෙන ලෙස දේශීය දැනුම ගළපා ගන්නට අප දක්ෂ විය යුතු ය.

අප ප‍්‍රජාව ඉලක්ක කොට ගෙන සංවර්ධන මැදිහත් වීම් කරනවා නම්, පළමු පියවර විය යුත්තේ ඉලක්ක ප‍්‍රජාව කවුරුන් ද, ඔවුන්ගේ ගති ස්වභාවය කෙසේ ද යැයි තේරුම් ගැනීම නො වේ ද? සංවර්ධන මැදිහත්කරුවන්, සැලසුම්කරුවන් විසින් ප‍්‍රජාව සඳහා යම් සංවර්ධන මැදිහත් වීමක් කරන්නට පෙර තේරුම් ගැනීමට උත්සාහ කළ යුත්තේ ඔවුනගේ විශ්ව දැක්ම ගැන ය. ප‍්‍රජාව යමක් තමනට ගැළපේ යැයි වැළඳ ගන්නේ තම ජීවන දැක්මට එකඟ වනවා නම් පමණක් නො වේ ද? කෘෂිකර්මයේ නව තාක්ෂණය හෝ වෙනත් නව සොයාගැනීම් අමු අමුවේ ගොවීනට පටවන්නට පෙර ගොවීන් තම පරිසරය සහ විශ්වය තේරුම් ගන්නා ආකාරය අධ්‍යයනය කිරීම අත්‍යවශ්‍ය ය.

මෙම ලිපියේ මුල දී මවිසින් මතු කරන ලද ප‍්‍රශ්නය වන දේශීය දැනුම මත පදනම් වූ කෘෂිකර්මය ප‍්‍රචලිත නො වන්නේ ඇයි ද යන්නට යම් තරමකටවත් පිළිතුරක් මෙහි දී අපට සොයා ගත නො හැකි ද?

පර්යේෂකයන් වශයෙන් අපි දේශීය බීජ ගැන, වගා තාක්ෂණය ගැන, පළිබෝධ මර්ධනය ගැන, පසු අස්වනු තාක්ෂණය ගැන සොයා බැලූවෙමු. එහෙත් එලෙස සොයාගත් තොරතුරු අප පිළිගත්තේ බටහිර සංකල්පවලට ගැළපේ නම් පමණි. වාස්තවික ලෙස ඔප්පු කළ හැකි නම් පමණි. බටහිර විද්‍යා සඟරාවක විද්වතුන් පිරිසකට පර්යේෂණ ක‍්‍රමවේදය සහ විද්‍යාත්මක කරුණු ඔප්පු කර පෙන්වීමට හැකි වූවා නම් පමණි.
බටහිර විද්‍යාව තුළින් අපගේ සම්ප‍්‍රදායික විශ්ව දැක්ම සත්‍යෙක්ෂණය කළ නො හැකි බව අපි අමතක කළෙමු. තාමත් වර්ධනය වෙමින් පවතින බටහිර විද්‍යාව පරදවන මහා දැනුම් සම්භාරයකින් අප පොහොසත් බව අපි අමතක කළෙමු. ප‍්‍රජාවගේ විද්‍යාව බටහිර සංකල්ප තුළට ඔබ්බවා බැලිය නො හැකි බව අපි අමතක කළෙමු.

දේශීය කෘෂිකර්මය තේරුම් ගැනීමට ස්වදේශීය මානසිකත්වයකින් යුතු අපගේ ම දැක්මක් අපට තිබිය යුතු ය. බටහිර විද්‍යා සංකල්ප තුළ ගිලූන මනසකින් යුතුව හෙළ ගොවිතැන නගා සිටුවිය නො හැක. ගොවීන්ගේ / ප‍්‍රජාවගේ විශ්ව දැක්ම හරිහැටි තේරුම් ගන්නේ නැතිව ඔවුන් හිස මතට සංවර්ධනය නාමයෙන් යම් යම් දේ අත් හැරීම නියම සංවර්ධන උපාය මාර්ගයක් වන්නේ නැත. හෙළ ගොවිතැනෙහි හරය දැකිය හැකි වන්නේ අපගේ ජීවන දැක්ම අගයන, එය තේරුම් ගැනීමට නැමුණු මානසික තත්ත්වයක් සහිත සැලසුම්කරුවන්, සංවර්ධන ක‍්‍රියාධරයන්ට පමණි.

අප රටේ ප‍්‍රජාවගේ නියම අවශ්‍යතා හඳුනාගැනීමේ ක‍්‍රමවේදයක්, ප‍්‍රජාවගේ සැබෑ ජීවන දැක්ම සමග සංවර්ධන උපායමාර්ග ගැළපීමේ ක‍්‍රමවේදයක්, අපට ම ආවේණික වූ සංවර්ධන ක‍්‍රමවේදයක් ගැන යළි සිතා බැලීමේ කාලය එළඹ ඇත.

මේ, ඔබට සිතන්නට කාලය යි…!

මහාමේඝ 2015 පොසොන් කලාපය
WWW.MAHAMEGHA.LK

හරිත සටහන
හැපී ගී‍්‍රන්ස් සංවිධානයේ ගරු සභාපති
කේ. එ්. ජේ. කහඳව

හැපි ග‍්‍රීන්ස් සංවිධානය
www.happygreens.lk
මහමෙව්නාව භාවනා අසපුව, කුඹල්වෙල, ඇල්ල.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

ගෙවත්තක් වගා කරමු – බහු වාර්ෂික බෝග වගා කිරීම

"වසර සිය ගණනක් පුරා පරිණාමය වෙමින් සැකසුන, ආර්ථික අතින් ඵලදායී මෙම ගෙවතු උද්‍යානයේ මූලධර්ම ගැන යම් පමණකට අවබෝධයක් තිබීම ඔබගේ ගෙවත්ත සකසා ගැනීමට උපකාරයක් විය හැකි ය."