කෙත අලංකාර ය. සිහිල් මඳනල ගතට සුවයකි. වැපිරූ දින පටන් අමුතු ම මාදිලියේ සෞන්දර්යයකි. නිල්වන් ගොයම මනහර ය. කිරි වැදුණු ගොයම ගොවි සිත පුබුදු කරයි. මනාව පැසුණු කෙත අතිශයින් ම මනහර ය. අස්වනු ගබඩා කර ගත් ගොවි සිත් හැම අතින් ම සතුටු වෙයි.

සසුන් කෙතත් එසේ ම ය. සසුන් බඹසරට වන් උතුමා කටුක් දුක් ඉවසමින් වෙහෙස මහන්සි වී සීල, සමාධි, ප‍්‍රඥා ගුණ වඩයි. අප‍්‍රමාදි වෙයි. කලින් කලට ආපසු හැරී බලන විට බඹසර ජීවිතයේ අසිරිය දකිමින් නිරතුරු ප‍්‍රබෝධයට පත්වෙයි. යම් කලෙක සියල්ල නුවණින් දකී ද එකල්හි සියල්ල අවබෝධ කරයි. කසාවතින් ගත සැරසූ නිකෙලෙස් උතුමන්ගේ රුව දැකීමත් ඉතා පියකරු ය. වෙනකක් තබා එවන් මුනිවරයන් වහන්සේලා ගැන සිහි කිරීමත් අප‍්‍රමාණ සැනසිල්ලකි. අස්වැසිල්ලකි. සන්සිඳීමකි.

සන්සුන් සිතින් අපි මෙසේ සිහි කරමු.

‘‘මේ ගෞතම බුදු සසුනේ පළමු වතාවට සිරි සදහම් අවබෝධ කළා වූ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ අරුණලූ උදා වූ කල්හි සිවුරු හැඳ පොරවාගෙන පාත‍්‍රය ද දෙපට සිවුරු ද ගෙන ගෙපිළිවළින් පිඬු සිඟා වැඩි සේක.
භද්දිය මහ රහතන් වහන්සේ අරුණලූ උදා වූ කල්හි සිවුරු හැඳ පොරවාගෙන පාත‍්‍රය ද දෙපට සිවුරු ද ගෙන ගෙපිළිවළින් පිඬු සිඟා වැඩි සේක.
වප්ප මහ රහතන් වහන්සේ අරුණලූ උදා වූ කල්හි සිවුරු හැඳ පොරවාගෙන පාත‍්‍රය ද දෙපට සිවුරු ද ගෙන ගෙපිළිවළින් පිඬු සිඟා වැඩි සේක.
මහානාම මහ රහතන් වහන්සේ අරුණලූ උදා වූ කල්හි සිවුරු හැඳ පොරවාගෙන පාත‍්‍රය ද දෙපට සිවුරු ද ගෙන ගෙපිළිවළින් පිඬු සිඟා වැඩි සේක.
අස්සජී මහ රහතන් වහන්සේ අරුණලූ උදා වූ කල්හි සිවුරු හැඳ පොරවාගෙන පාත‍්‍රය ද දෙපට සිවුරු ද ගෙන ගෙපිළිවළින් පිඬු සිඟා වැඩි සේක.
යස මහ රහතන් වහන්සේද විමල, සුබාහු, පුණ්ණජි, ගවම්පති ඇතුළු සිවු පණසක් වූ එ් අමා නිවන් දුටු රහතන් වහන්සේලා අරුණලූ උදා වූ කල්හි සිවුරු හැඳ පොරවාගෙන පාත‍්‍රය ද දෙපට සිවුරු ද ගෙන ගෙපිළිවළින් පිඬු සිඟා වැඩි සේක.

සාරිපුත්ත මහ රහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ යන අග‍්‍ර ශ‍්‍රාවක උතුමන් වහනන්සේලා ද මහා කච්චායන මහ රහතන් වහන්සේ, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඇතුළු අසූ මහා ශ‍්‍රාවක උතුමන් වහන්සේලා ද අරුණලූ උදා වූ කල්හි සිවුරු හැඳ පොරවාගෙන පාත‍්‍රය ද දෙපට සිවුරු ද ගෙන ගෙපිළිවළින් පිඬු සිඟා වැඩි සේක.

ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදු සසුනෙහි පැවිදි බව ලැබූ සිය ගණනින් දහස් ගණනින්, ලක්ෂ ගණනින්, කෝටි ගණනින් එ් අමා නිවන් දුටු රහතන් වහන්සේලා අරුණලූ උදා වූ කල්හි සිවුරු හැඳ පොරවාගෙන පාත‍්‍රය ද දෙපට සිවුරු ද ගෙන ගෙපිළිවළින් පිඬු සිඟා වැඩි සේක.

උන් වහන්සේලා ප‍්‍රණීත ආහාර දානයෙන් උද්දාමයට පත් නො වුණ සේක. කටුක වූ රූක්ෂ වූ ආහාර දානයෙන් දොම්නසට පත් නො වුණ සේක. කිසිම අයුරකින් හෝ දන්පැන් නො ලද කල්හි ද කිසිදු වෙනසක් නැතිව උපේක්ෂාවෙන් වැඩ සිටි සේක.

උන් වහන්සේලාට ඉතා සුසිනිඳු සළු පිළීවලින් කරන ලද අගනා සිවුරු ලද කල්හි ද උද්දාමයට පත් නො වුණ සේක. ඉතා කර්කෂ වූ ගොරෝසු රෙද්දෙන් නිමවන ලද සිවුරු ලද කල්හි ද දොම්නසට පත් නො වුණ සේක. විවිධාකර පණු කැළින් ගැවසී ගත් මළ සිරුරු ඔතන ලද ලේ සැරව වහනය වීමෙන් ඉතා පිළිකුලට පත් වී ගිය ජරා ජීර්ණ වී ගිය අපිරිසිදු වී ගිය දුර්වර්ණ වී ගිය දුටුවන්ගේ නෙත් සිත් ඇද නො ගන්නා වූ රෙදි කැබලිවලින් නිමවන ලද චීවරයන් ලද කල්හි ද කිසිම ආකාරයක විපිළිසර බවකින් තොරව ම පරිහරණය කරන ලද සේක. සියල්ල එක සේ උපේක්ෂා සහගතව ඉවසා වදාළ සේක.

උන් වහන්සේලා ඉතා වටිනා, ඉතා දුර්ලභ, අලංකාර වූ දැව දඬු උපයෝගි කර ගනිමින් මනා කොට සකසා විසිතුරු කරන ලද කුටි සේනාසනයන් ලද කල්හි ද උද්දාමයට පත් නො වුණ සේක. මහ ඝන වනාන්තරවල ද නිහඬ රුක් සෙවණ යට ද පාළු සොහොන් පිටිවල ද අඳුරු ගල් ගුහා තුළ ද කිසිදු ආකාරයක දොම්නසකට නො පැමිණ සුවසේ වැඩ සිටි සේක. සියල්ල එක සේ උපේක්ෂා සහගතව ඉවසා වදාළ සේක.

එ් අමා නිවන් දුටු රහතන් වහන්සේලා රෝග පීඩා වැළඳුණු කල්හි ද රෝග පීඩා වැළඳීමෙන් බලවත් පීඩා විඳින කල්හි ද තමන් වහන්සේලාගේ උතුම් ශ‍්‍රමණ ජීවිතයට නො ගැළපෙන ආකාරයේ කිසිම පිළියමක් නො කරන ලද සේක. ගිතෙල්, මී පැණි, උක් සකුරු ආදි ප‍්‍රණීත බෙහෙත් ලද කල්හි ද ඉතා කටුක වූ ඉතා තිත්ත රස වූ කර්කෂ වූ අප‍්‍රිය අමනාප දැක්මෙන් හා සුවඳින් යුතු වූ බෙහෙත් පානයන් ලද කල්හි ද කිසිදු ආකාරයක වෙනසකට පත් නො වී සියලූ දෙය උපේක්ෂාවෙන් ඉවසා වදාළ සේක.

එ්කාන්තයෙන් ම රහතන් වහන්සේලා නම් ලෝකයෙහි මුදුනට පත් වූවාහු ය. සියලූ දෙන අභිමුව ඉහළට ම වැඩියාහු ය. උන් වහන්සේලා කිසිවකට නො ඇලූනාහු ය. කිසිවකට නො ගැටුනාහු ය. මේ මහ පෘථිවි තලයෙහි නිදහසේ සැරිසරා වඩින්නේ උන් වහන්සේලා පමණක් ම ය.

දෙවියන් සහිත වූ, බඹුන් සහිත වූ, මරුන් සහිත වූ, ශ‍්‍රමණ බ‍්‍රාහ්මණයන් සහිත වූ දෙව් මිනිස් ප‍්‍රජාවෙන් යුතු මේ ලෝකයෙහි ගෞතම බුදුරජාණන් වහන්සේගේ එ් උතුම් සම්බුදු සසුන උපකාර කරගෙන අමා නිවන් දුටු රහතන් වහන්සේලා ශ්‍රේෂ්ඨ වන්නේ ම ය. අග‍්‍ර වන්නේ ම ය. ශ්‍රේෂ්ඨ වූ, අග‍්‍ර වූ, අතිශයින් ම විස්මිත වූ නිකෙලෙස් මුනිවරයන් වහන්සේලා මම සාදරයෙන් සිහිපත් කරමි. ඉතා ගෞරවයෙන් නමස්කාර කරමි.
මාගේ නමස්කාරය වේවා !

මහාමේඝ 2015 අධි ඇසළ කලාපය
WWW.MAHAMEGHA.LK

(අපවත් වී වදාළ ඊරියකැලේ උත්තරා දසසිල් මෙහෙණින් වහන්සේ කලකට පෙර මහාමේඝ පුවත් සඟරාව වෙනුවෙන් සම්පාදනය කළ ලිපියකි. පින්වත් මෙහෙණින් වහන්සේට එ් අමා නිවන් සුව දුර නො වේවා!)