ජීවිත කාලයක් පුරා පවතින ආදරණීය බැඳීම් අපට තිරිසන් සතුන් අතරේ ඉතා ම කලාතුරකින් මිස මුණගැසෙන්නේ නැහැ. නමුත්… මනුෂ්‍ය වර්ගයා තුළ එවැනි බැඳීම් බොහෝමයක් තිබෙනවා. ඒ අතරිනුත්, විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ඇතිවන බැඳීම විශේෂ වූවක්.

සමාජය ගොඩනගන තැනුම් ඒකකය වන පවුල පදනම් වන්නේ ස්ත්‍රී පුරුෂයන් අතර ඇතිවන සම්බන්ධතාවය මත. නීතිමය ලියකියවිලි සහිත වූ විවාහයකින් එය සමාජ සම්මතයන් තුළ පිළිගැනීමට බඳුන්වනවා. එසේ සමාජ සම්මත විවාහයක් දක්වා ගෙන යන සබඳතාවයන් විවාහ යෝජනා මතත්, ආදර සම්බන්ධතා මතත් සිදු කෙරෙනවා. ඒ තාක් ම දක්වා කාලය තුළ කිසිදු ලිංගික ක්‍රියාවක නොයෙදීමෙන් ආරක්ෂා කරනු ලබන සුපිරිසිදු ජීවන චර්යාව ‘කුමර බඹසර’ සහ ‘කුමරි බඹසර’ නමින් හැඳින්වෙනවා.

‘බඹසර’ යන වචනය මනා අරුත් ඇතිව සමාජගත වන්නේ සම්බුදුරජාණන් වහන්සේගේ අනුශාසනයෙන්. එහිලා පරම පාරිශුද්ධ නිවන් මඟ හඳුන්වා දෙන්නේ ‘ශාසන බ්‍රහ්මචරියාව’ යනුවෙන්. සුපිරිසිදු දිවි පැවැත්මකින් යුතු වීම සසුන් ප්‍රතිපදාව තුළ බොහෝ සෙයින් පැසසුම් ලබනවා. සසුන් ප්‍රතිපදාව තුළ සසුන් බඹසර වටිනාකම් ලබනවා සේ ම ගිහි ජීවිතය තුළ කුමර, කුමරි බඹසරත් වටිනාකම් ලබනවා. අතීතයේ පටන් දූ පුතුන් විවාහය තෙක් බඹසර රැකගැනීම බොහෝ ගෞරව සම්ප්‍රයුක්ත ව සලකනු ලැබුවා.

එහෙත්… අද වන විට අපට පිළිගන්නට වී තිබෙන ඛේදනීය කාරණය තමයි යොවුන් වියට එළඹෙන්නටත් පෙර පටන් දූ දරුවන් බොහෝ දෙනෙකු බඹසර කිලිටි කර ගන්නා බව… සමාජයීය වටපිටාව යන්තමින් විමසා බැලුවත් අපට මේ කරුණ වටහා ගන්නට පුළුවනි. පාසලේ පුංචි පන්තිවල පටන් ම පෙම් සබඳතා ඇතිකර ගැනීමත්, උපකාරක පන්ති යන මුවාවෙන්, විනෝද ගමන් යන මුවාවෙන් කාමාස්වාදය විඳීම පිණිස ලැගුම්හල්වලට යාමත්, සිනමා ශාලා පරිශ්‍ර තුළ බඹසර කිලිටි කරගැනීමත් වගේ ම බස් රථ, උද්‍යාන ආදී විවෘත පරිසර තුළ කාම සේවනයේ යෙදීමත් අපට අසන්නට, දකින්නට ලැබෙනවා.

ඇතැම් විට මේ කිසිවක් දෙමව්පියන් කිසිසේත් ම දන්නේ නැහැ. නමුත් ඇතැම් අවස්ථාවල මෙවැනි දේ සිදුවන බව දැන දැනත් එය නුසුදුසු යැයි වළකන්නට දෙමාපියන් ඉදිරිපත් වන්නේ නැහැ. එය සාමාන්‍ය යැයි කියා හෝ තමන් අතින් ද සිදු වූවක් නිසා නොසලකා හැරිය යුතු යැයි කියා හෝ ඔවුන් සිතනවා වන්නට පුළුවනි. ඒ නිසා ම සමාජයීය අර්බුදයක් ද සාංසාරික අර්බුදයක් ද බවට පත්වන මේ වැරදි චර්යාවෙන් මිදෙන්නට බොහෝ දරුවන්ට ඉඩ ලැබෙන්නේ නැහැ.

බොහෝ පාසල් දරුවන් හා තරුණ තරුණියන් මෙවැනි පාපී ක්‍රියාවන්ට පෙළඹීම සඳහා මූලික වන හේතු කාරණා හැටියට පාප මිතුරන්ගේ ඇසුර, රාගයෙන් සිත යටවන අසභ්‍ය කතාබස්වලට සවන්දීම හා ස්මාර්ට් ජංගම දුරකථන භාවිතාකොට අන්තර්ජාලයෙන් අසභ්‍ය වීඩියෝ දර්ශන නැරඹීම ආදිය දක්වන්න පුළුවන්.

කුමර – කුමරි බඹසර නොරැකීම මෙන්ම, විවාහක ස්ත්‍රීන් – පුරුෂයන් තම ස්වාමියා – බිරිඳ ඉක්මවා පර ස්ත්‍රීන් – පර පුරුෂයන් කරා යාම තුළ ඇතිවන ආදීනවයන් මෙලොවත්, පරලොවත් විඳින්නට වනවා. මෙලොව දී ම නින්දා ලැබෙනවා. බිය, තැතිගැනීම ඇතිවනවා. රෝග පීඩා බහුල වනවා. වැරදි කාම සේවනය නිරයේ උපතට හේතු වනවා. නිරයේ විඳින්නට තිබෙන දුක මෙපමණයි කියා කියන්නට බැහැ. ඒ වගේ ම ප්‍රේතයන් අතරේත්, තිරිසන් සතුන් අතරේත් උපදින්නට සිදු වනවා. ඒ කාම ප්‍රේත ලෝකවලදී වගේ ම තිරිසන්ගත ජීවිතවලත් අතිශය දැවිලි තැවිලි සහිත ලිංගාශ්‍රිත රෝගවලට ලක් වනවා. යම් කලක මනුෂ්‍ය ලෝකයට එද්දී ස්ත්‍රීත් නොවන – පුරුෂත් නොවන නපුංශකයන් බවට පත් වනවා; නැති නම් ස්ත්‍රී භාවයන් ම ලබනවා. විවාහය අසාර්ථකයි. සතුරන් බොහෝ ඇතිවනවා. බොහෝම පීඩා සහිත වූ, දුක් කරදර ම පිරුණු විවාහ ජීවිතයක් ගෙවමින් ආදරයක් නොලැබ දුකින් පීඩිත වන්නට එය හේතු වනවා.

උතුම් වූ, පිරිසිදු වූ බඹසර සීලයක් ආරක්ෂා කර ගැනීමෙන් මෙලොව පරලොව වශයෙන් බලවත් ආනිශංස සකස් වනවා. බඹසර සීලයේ ආනුභාවය සත්‍යක්‍රියාවක් කොට කර්ම විපාකයකින් වැසී නොගත් උපද්‍රවවලින් අත්මිදෙන්නට පුළුවනි. ඒ වගේ ම බිය රහිත විසාරද බවත්, කල්‍යාණ කීර්ති රාවයත් මේ ජීවිතයේදී ම අත්විඳින්නට හැකි වනවා. මේ පුණ්‍යානුභාවයෙන් සුගතියට දොරටු හැරෙනවා. මිනිස් ලොව උපන්නොත් විවාහය සාර්ථක වනවා. සතුරන් ඇති වන්නේ නැහැ. කීකරු දූදරුවන්, ආදරණීය ස්වාමි භාර්යාවන් සහිත පවුලක් ගොඩනගාගෙන සැනසීමෙන් ජීවත් වන්නත් පුළුවනි.

බොහෝ දෙනෙකු බඹසරට කිලුටක් වන අයුරට වැරදි චර්යාවන්ගේ හැසිරෙන්නේ ආදරයේ නාමයෙන්. නමුත්… සැබෑ ආදරය කියන්නේ මේ ජීවිතයෙන් කෙළවර වන දෙයක් නෙවෙයි. මේ ජීවිතයේ දී හොඳින්, සතුටින් ඉන්නවා දකින්න කැමති වනවා වගේ ම මරණින් පසුවත් හොඳින්, සතුටින් ඉන්නවා දකින්න කැමති බව අයිති සැබෑ ආදරයට. ඉතින්… ඇත්තට ම ආදරෙයි නම්, මෙලොව වගේ ම පරලොවත් යහපත, හිතසුව අපේක්ෂා කළ යුතුයි.

ආදරයේ නාමයෙන් මේ ජීවිතයේ බියෙන්, සැකෙන් යුතුව කාමාස්වාදයේ යෙදීමෙනුත්, එයට අනුබල දීමෙනුත් අප කරන්නේ එකිනෙකාට අනාදරයක්. අපායට යන්න සැලැස්වීම, ප්‍රේත ලෝකයේ දුක් විඳින්න සැලැස්වීම, තිරිසන් අපායේ වැටෙන්න සැලැස්වීම ආදරණීය කාරණයක් ද? සතුටක් නැති, සැනසීමක් නැති කරදරකාරී පවුල් ජීවිතයක දුක් විඳින්න සැලැස්වීම ආදරණීය කාරණයක් ද? රාගය ම බලවත් කරගෙන කාමාස්වාදය විඳින පරිසර නිර්මාණය කර ගැනීමෙන් අප කරන්නේ අපවත්, අප ආදරය කරනවා යැයි සිතන අනිත් පාර්ශවයත් මහා අනතුරකට හෙළීම විතරයි.

කාමාස්වාදය සොයා යාම තුළ විවෘත වන අපායේ දුක නිතර නිතර සිහි කරන්න. අම්මා, තාත්තා සෙනෙහසින් හදා වඩා ගත් අප, සමාජ සම්මතයන් විසින් ආරක්ෂා කරනු ලබන ගෞරවනීය දිවි පැවැත්මෙන් යුතු වීමෙන් ඇති වන බලය නිතර නිතර සිහි කරන්න. එසේ ආනුභාව සම්පන්න වන්නට කැමති වෙන්න. ඔබ ආදරය කරන කෙනා අපායට යවන්නට එපා. ඒ කෙනාට සුගතිය රැක දෙන්න කැමති වෙන්න.

බඹසර අයිති කාය සුචරිතයට යි. කාය සුචරිතය වැඩෙන්නේ ඉන්ද්‍රිය සංවරයෙන්. ඉන්ද්‍රිය සංවරයට ප්‍රත්‍යය වන්නේ සිහිනුවණ ඇතිකම. සිහිනුවණ ඉබේ හට ගන්නේ නැහැ. ධර්මයට අනුව නුවණින් විමසීම යි ඊට උපකාරක. එසේ ධර්ම මනසිකාරයේ යෙදෙන්නේ ශ්‍රද්ධාවන්තයින්. ශ්‍රද්ධාව උපදින්නේ සද්ධර්ම ශ්‍රවණයෙන් මිසක් අසද්ධර්මයක් ශ්‍රවණය කිරීමෙන් නෙමෙයි. සද්ධර්මයක් ශ්‍රවණය කරන්නට ලැබෙන්නේ සත්පුරුෂයෙකුගෙන් මිසක් අසත්පුරුෂයෙකුගෙන් නෙමෙයි. සුචරිතය අප තුළ උපදවන මේ අනුපිළිවෙළ ප්‍රතිපදාවේ මුලින් ම සිටින්නේ ඒ උතුම් සත්පුරුෂයා; කල්‍යාණමිත්‍රයා.

සම්බුදුරජුන්ගේ ධර්මය ස්වාක්ඛාතයි. බලන්න, කල්‍යාණමිත්‍ර සේවනයත්, සද්ධර්ම ශ්‍රවණයත් යන බාහිර අංග අපට ලැබෙද්දී යෝනිසෝ මනසිකාරයත්, ධම්මානුධම්ම පටිපදාවත් වැඩී යනවා. ඒ උතුම් ධර්මය සන්දිට්ඨිකයි. මේ පුරුදු පුහුණු වන කාය සුචරිතයේ අපමණ ආනිශංස මෙලොව දී ම අත්විඳින්න ලැබෙනවා. ඒ ධර්මය අකාලිකයි. කල් නොයවා ම මේ බඹසර ම මුල් කරගෙන අපායෙනුත්, සසරිනුත් නිදහස් වන්නට පුළුවනි. ඒහිපස්සික වූ මේ උතුම් ධර්මය කිසි පැකිලීමකින් තොරව ඔබේ ආදරණීයයන් ව ද සමාදන් කරවිය හැක්කක්. අන්‍යයන් සමාදන් කරවිය හැකි මේ ධර්මය පුරුදු පුහුණු විය යුත්තේ තමා විසින්. තමා තුළිනුයි මේ සත්‍යය දැකිය යුත්තේ. තම තම නැණ පමණින් එය අභිවෘද්ධියට පත් කෙරෙනවා.

‘තම තම නැණ පමණ’ අප දන්නේ නැහැ. හැබැයි, ශ්‍රද්ධාව උපදවා ගන්න එය බාධාවක් නෙවෙයි. ඒ නිසා, අත්නොහැර කල්‍යාණමිත්‍රයන් සේවනය කරන්න.

ඇත්තට ම ආදරෙයි නම්… ඔබ ඔබ ව රැක ගන්න. ආදරණීයයන් ද රැක ගන්න. උතුම් බඹසර සිල් මැනැවින් රකිමින් අපත්, අප ආදරය කරන අයත් සුරකින සැබෑ ආදරයක උරුමකරුවන් වන්නට – මෙලොවත්, පරලොවත්, නිවනත් දිනන පින්වත් මිනිසුන් වන්නට… සම්බුදුරජුන් සරණ යාමෙන් උරුම වූ සරණ ධර්මය අපට පිහිට වේවා!!!

සටහන – උදුලා පද්මාවතී