අලගියවන්න මුකවෙටි නමැති කිවියර
යුතු පද සන්න මේ කවි කළෙය අමයුර

මනාකොට කියන ලද්දේ සුභාෂිතය යි. එක්තරා සංස්කෘත පඬිවරයෙකුගේ අදහස අනුව මේ ලෝකය විෂ සහිත වෘක්ෂයකි. එහි හටගෙන ඇත්තේ අමෘත ඵල දෙකක් පමණි. එනම් සුභාෂිත රසාස්වාදය හා සජ්ජන සංගමය යි. මෙයින් ප්‍රකට වන්නේ මානව ඉතිහාසයෙහි ආරම්භයෙහි සිටම විෂ සහිත මේ ලෝකයේ යහපත් පැවැත්මට සුභාෂිත රසාස්වාදය ද මාර්ග දර්ශකයක් වූ බවයි.

මනාකොට කියන ලද උපදේශය ඍග්වේදය, උපනිෂද්, බ්‍රාහ්මණ ආදී ඉපැරණි සාහිත්‍යයෙහිදී අපට අහම්බෙන් හමු වේ. ජෛන සාහිත්‍ය බෙහෙවින් පෝෂණය වී ඇත්තේ සුභාෂිත උපදේශයෙනි. බුදු දහමේ ලෞකික ජීවිතයට බොහෝ අදාල වන කොටස්හි ද සුභාෂිත උපදේශ දැක්ක හැකිය. ආරම්භයේ සිට ම හෙළදිව වැසියන් බුදු දහම විසින් හික්මවනු ලැබීම නිසා මෙරට සමාජයේ යහපත් පැවැත්ම රඳා පැවතුණේ එම දහමේ ඇතුලත් චර්යා ධර්ම මාර්ගයෙනි. එහෙත් පසු කාලයක බුදු දහමත් සමඟ හින්දු දහමේ බලපෑම් ද මෙරට සමාජයේ නැග ආ නිසා එහි ප්‍රතිඵලයක් ලෙස අපගේ ආරාම අධ්‍යාපනයෙහි නීති ශාස්ත්‍රය ද අනිවාර්ය විෂයක්ව පැවති බව එහි ප්‍රාථමික අවස්ථාවෙහි ව්‍යසකාරය, අනුරුද්ධ ශතකය, සූර්ය ශතකය වැනි නීති ග්‍රන්ථ හදාරන්නට සිදු වීමෙන් පෙනේ.

සමාජයේ ගුණ වගාවට හා ශික්ෂණයට මහෝපකාරී වූ මේ සාහිත්‍ය ග්‍රන්ථ සිංහල සාහිත්‍යයට එකතු වූයේ කෝට්ටේ යුගයේ පහළ වූ ලෝවැඩ සඟරාවෙනි. මෙහිදී අපගේ පැසසුමට ලක්වන සුභාෂිතය නමැති පද්‍ය ග්‍රන්ථය, ලෝවැඩ සඟරාවෙන් අනතුරුව පහළ වූ සිංහල උපදේශනාත්මක ග්‍රන්ථයයි. සීතාවක රාජසිංහ රජුගේ අවදියෙහි වැජඹුණ ශ්‍රේෂ්ඨතම කිවියාණන් වූ අලගියවන්න මුකවෙටිතුමන්ගේ කෘතියක් වන සුභාෂිතය ඇත්ත වශයෙන්ම නීති ග්‍රන්ථයෙකි. ග්‍රන්ථය ආරම්භයෙහිදී ම කිවියාණන් ඒ බව පවසා ඇත්තේ මෙසේය.

පුවළ නීති සතගත පද අරුත් ලෙද
සිහළ බසින් සැකෙවින් කියමි පද බැඳ

ගැඹුරු වූ නීති ශාස්ත්‍ර ග්‍රන්ථයන්හි ආ පදාර්ථයන් සංක්ෂිප්ත කොට සිංහල භාෂාවෙන් පද්‍යයට නඟා කියන බව මෙහි පැවසිණ.

සුභාෂිතයේ මුල සිට අග දක්වා ඇති සෑම පද්‍යයක ම වාගේ නීති ශාස්ත්‍රයට අදාළ උපදේශ රසාත්මකව ඉදිරිපත් කොට ඇති බව දැකිය හැකිය. බෞද්ධ සංස්කෘතික ග්‍රන්ථයන්ගේ ද නාලඩියාර් වැනි ද්‍රවිඩ නීති ග්‍රන්ථයන්ගේ ද ආභාෂය ලැබූ අලගියවන්න කිවියාණෝ එකල ව්‍යවහාරයෙහි පැවති චර්යාධර්ම ද තම කෘතිය පෝෂණය කිරීම සඳහා උපයෝගී කර ගත්හ.

සුභාෂිතය කාව්‍ය ග්‍රන්ථයේ ආරම්භය වන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ගුණ සඳහන් පද්‍යයකිනි. එම පළමු පද්‍යයෙන් ම මෙහි ඇති ශබ්ද රසය, උපමා උපමේය, භාෂාව ආදී සෑම අංගයක් ගැන ම අවබෝධ කර ගත හැකිය.

සත වෙත පත මෙත සඟ හස සෙවි පසිඳු
අවනත සුර මත මිණිතර සර පුබුදු
දිගුරතැඟිලි දල පෙළ මොක් සුවඳ රැඳු
සියපත සිය සිය පත සියපත නමදු

අදහස:- සත්වයන් කෙරෙහි පැතුරුණු මෛත්‍රිය ඇති, ප්‍රසිද්ධ සංඝයා නමැති හංසයන් විසින් ඇසුරු කළ, වැඳීම පිණිස නැමුණු දෙවියන්ගේ හිස් මුදුනෙහි ඇති මැණික්වල රශ්මිය නමැති විලේ පිපුණු දික් රතු ඇඟිලි නමැති පෙති පෙළින් යුතු නිවන් නමැති සුවඳින් රැඳුණු බුදු රදුන්ගේ සිරිපා නමැති පියුම වඳුව.

පොදු ජන ජීවිතයේ සෑම අංශයක් කෙරෙහි ම බලපාන ප්‍රකට දෘෂ්ටාන්ත හා උපමා සුභාෂිතය පුරා විහිදී ඇත. රාජ්‍ය පාලනය, සත්පුරුෂ ආශ්‍රය, මහත්මා ගති පැවතුම්, පරාර්ථචර්යාව ආදී පොදුජන සුභසිද්ධියට අදාළ විවිධ කරුණු පිළිබඳ උපදේශ රාශියක් මෙහි ගැබ් වී ඇත.

කරදර දුදන පිරිසිඳ දතුවද සතර
ගොරතර සපුන් විලසින් කට මිණි ලකර
නරවර සඳුන් තුර වලඳිමිනි හැම වර
පරහට බියම මිස අම දෙති කවර වර

අදහස:- කුරිරු අසත්පුරුෂයෝ ශාස්ත්‍රය කෙළවරට ම දැන සිටියත්, කණ්ඨ මාණික්‍යයෙන් අලංකාර වූ ඉතා දරුණු සර්පයන් මෙන් හැමවිට ම රජ නමැති සඳුන් රුක වෙළාගෙන අනුන් හට බිය ම මිස කිසි කලෙක යහපතක් සලසත් ද?

විපුල ගුණැති මහතුන් හට පත් විපත
නිසල නැණින් යුතු උතුමෝ ම දුරලත
කලල ගිලුණු මත වරණිඳු ගොඩ ගනුත
තුමුල බලැති ගිජිදෙකු මිස අන් කෙවත

අදහස:- මහත් ගුණයෙන් යුතු මහත්මයන් හට පැමිණි විපත්තිය තැන්පත් නුවණ ඇති උත්තමයෝ ම දුරු කරති. මඩෙහි එරුණු මත් ඇත් රජු ගොඩ ගන්නට නම් මහත් බල ඇති ඇත් රජෙකු හැර අන් කවරෙක් සමර්ථ වේ ද?

මෑත ඉතිහාසයෙහි බාල පරපුර හික්මවීම සඳහා සුභාෂිතයෙන් ලැබුණු පිටිවහල සුළු පටු නොවේ. මෙහි පද්‍යයන් කටපාඩම් නොකළ එක දරුවෙකු හෝ දැරියක එදා මෙරට සමාජයෙහි සිටියා යයි සිතිය නොහැකිය. බාල පරපුර යහමඟට යොමු කරමින් ම සිංහල පද්‍යයේ රස වින්දනයට දොර විවෘත කිරීමක් වශයෙනුත් සිංහල භාෂාවේ ප්‍රවීණත්වය ලබා දීමේ ආරම්භක පියවරක් වශයෙනුත් එකල සුභාෂිතය මෙරට අධ්‍යාපන පටිපාටියෙහි විශේෂ ස්ථානයක් ගෙන තිබුණු බව අප විසින් අමතක කළ යුතු නොවේ.

මිනිස් හට සොඳුරු ගුණ සහ නුගුණ ඇත
නොදොස් කෙනෙකු මෙදියත උපදනේ නැත
වෙසෙස් සිනිඳු මුවරද බර සහස් පත
කොරොස් නළින් යුතු වෙයි කටු පෙළිනි යුත

අදහස:- මිනිසා හට යහපත් ගුණ මෙන් ම අයහපත් ගුණ ද ඇත්තේය. දොස් නැති තැනැත්තෙකු මේ ලොව උපදින්නේ නැත. විශේෂයෙන් මෘදු වූ මල් පැණියෙන් බර වූ නෙළුම් මල කටු ඇති රළු දණ්ඩකින් යුක්තය.

වර්තමාන අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් ගිලිහී ගොස් පවත්නා සුභාෂිතය වැනි අගනා උපදේශාත්මක ග්‍රන්ථ යලි බාල පරපුර වෙත යොමු කොට ඔවුන් යහමඟ ගැන්වීමට කටයුතු කිරීම වර්තමාන වැඩිහිටි පරපුරේ යුතුකමකි. දැනට දහම් පාසැල් පාඩම් පොත්වලට මේ කාව්‍ය කිහිපයක් ඇතුලත් කර ඇති නමුත් එය වර්තමාන දරුවන්ගේ කාර්ය බහුලත්වය මත සෑහෙන්නේ නැත. එම නිසා සුභාෂිතය, ලෝවැඩ සඟරාව, බුදුගුණ අලංකාරය වැනි පැරණි කාව්‍ය ග්‍රන්ථ දරුවන්ට කට පාඩම් කරවීමට කාලය උදා වී ඇත. එය අද දවසේ දරුවන්ගේ යහපත් ගුණ වගාවට අත්‍යවශ්‍ය අංගයකි. මේ සඳහා ජාතික අධ්‍යාපන ආයතන පෙරමුණ ගත යුතුය. සුභාෂිතය කාව්‍ය ග්‍රන්ථය මෙසේ නිමාවට පත් වෙයි.

නිති සුපසන්න සරසවි රැඳි මුව තඹර
කිවි ගජබින්න කළ එකසර කෙසර යුර
අලගියවන්න මුකවෙටි නමැති කිවියර
යුතු පදසන්න මේ කවි කළෙය අමයුර

අදහස:- ඉතා ප්‍රසන්න වූ මුව නමැති නෙළුම් මලෙහි නිතරම සරසවි දේවිය රැඳි, තනිව හැසිරෙන සිංහයෙකු මෙන් කවීන් නමැති ඇතුන් මැඩපැවැත්වූ, අලගියවන්න මුකවෙටි නම් කවියා පදයෙන් හා සන්නයෙන් යුතු වූ අමාවක් වැනි මේ කාව්‍ය කළේය.

ඇසුර:- සුභාෂිතය
සටහන: ජේ. එම්. මානෙල් පොඩිමැණිකේ