highlights of the week
Home » NEW ARTICLES » ඒ සම්බුදුරජුන් පිළිබඳ නොපැහැදෙන්නෝ කවරහු ද?

ඒ සම්බුදුරජුන් පිළිබඳ නොපැහැදෙන්නෝ කවරහු ද?

මණිගණ විභා සමුජ්ජල – තලස්ස රතනාකරස්ස සිරි විභවං
භගවන්ත, මභි භවන්තං – වන්දේ ද්වත්තිංස විමල ලක්ඛණ සිරියා
තමසීති මනුඛ්‍යඤ්ජන – සමනුඛ්‍යඤ්ජිත වචිත්ත ලක්ඛණ විභවං
පජ්ජලිත කේතුමාලා – ජාල සමුජ්ජලිත රූප සෝභං වන්දේ!

සුප්‍රභාතයෙහි උදයගිරි පර්වතාග්‍රයෙන් නැගුණු ළහිරු මඬලක් බඳු, ඡද්දන්ත විල් ඉවුරෙහි තේජමාන වූ වනස්පති රුක් රජක්හු බඳු, රාජ හංසයන් මධුරස පිණිස පිරිවරාගත් සුපුෂ්පිත ස්වර්ණ පද්මයක් බඳු, සෞම්‍ය චන්ද්‍ර රශ්මියෙහි පහස ලැබ කාන්තිමත් වූ හිමවත් රාජයා බඳු, දුටු පමණින් නෙත් සිත් පිනා යන අචින්තනීය වූ රාජසුකෝමල මන මෝහනීය දේහ විලාස ඇති සුගත තථාගත අප භාග්‍යවතුන් වහන්සේගේ පින් මහිමයෙන් නිපන් රූප ශෝභාව, ඉහත ගාථා සජ්ඣායනා කොට සිහියට නගා ගනිමින් පෞරාණික උතුමෝ වන්දනා කළහ. කිම? භගවත් ගුණයෙන් කෝටි ලක්ෂයක් සක්වළට ම මුදුන්පත් ලෝක ජ්‍යෙෂ්ඨ වූ, නර ශ්‍රේෂ්ඨ වූ ඒ තිලෝගුරු බුදුරජුන් පිළිබඳ අපි නොපැහැදී සිටින්නමෝ ද?

දුටු දුටුවන්ගේ නේත්‍රයන් වසඟ කරන්නා වූ, නැවත නැවත දැකීමෙහි අභිරුචිය ඇති කරවන්නා වූ ඒ බුද්ධ ශෝභාව දෙවියන්ගේ දිව්‍ය ශෝභාව ද බඹුන්ගේ බ්‍රහ්ම ශෝභාව ද ඉක්මවා ගියේ ය. ප්‍රකෘතියෙන්, වැඩ සිටින තැන හිරු සඳු දහසක් පෑයූ කලක් මෙන් බබුළුවන රශ්මි ධාරා ඇති ඒ සම්බුදු සිරුරෙහි නොයෙක් සිය දහස් ගණන් පුණ්‍ය ලක්ෂණයෝ පිහිටියාහු ය. ඒ බුද්ධ රශ්මි දහරාවන් අදත් ඉතා දුර පවතින ලෝක ධාතු හරහා අභ්‍යවකාශයෙහි ගමන් කරන බව කියනු ලැබේ. අභිරූපී අප මුනි සඳුන්ගේ අසදෘශ ශ්‍රී ශෝභාව දැකීමෙහිලා පින්බර නෙත් ඇති මහා කච්චාන මහා ඛීණාසවයන් වහන්සේ පේටකෝපදේසයෙහි හාර සම්පාත භූමියෙහි දී මෙසේ වදාරණ සේක.

“එහිලා භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ගේ ද උපාසකයන්ගේ ද මැද වැඩ හිඳිනා සේක්, හාත්පසින් සිත් පහදවන්නේ – ස්වර්ණ වර්ණ වූයේ – අභිරූපී වූයේ – දර්ශනීය වූයේ අතිශයින් ම බබළන සේක. පූර්ව ශරීරයෙන් ස්වර්ණ වර්ණ රශ්මිය නැගී ආකාශයෙහි අසූ රියනක් පමණ තැන් ගන්නේ ය. පශ්චිම ශරීරයෙන් දකුණතින්, වමතින් ස්වර්ණවර්ණ රශ්මිය නැගී ආකාශයෙහි අසූ රියනක පමණ තැන් ගන්නේ ය. කේෂ ධාතූන් මත්තෙහි සිට සියලු කේෂ ධාතූන්ගෙන් මොනරෙකුගේ ගෙලෙහි පැහැ ඇති රශ්මිය නැගී ආකාශයෙහි අසූ රියනක් පමණ තැන් ගන්නේ ය. ශ්‍රී පාද තලය යටින් පබළු පැහැති රශ්මිය නැගී ඝන පෘථිවියෙහි අසූ රියනක් පමණ තැන් ගන්නේ ය. මේ අයුරින් හාත්පස අසූ රියනක් පමණ තැන ෂඞ් වර්ණ බුද්ධ රශ්මි මාලාවෝ බැබළෙමින් ලෙළදෙමින් දිව යන්නාහ. සියලු දිශාවෙන් ස්වර්ණමය සපුමල් විසුරුවන කලක් මෙන්, රන්මුවා කලසකින් නික්මෙන රන්රස දහරා ඉසින කලක් පරිද්දෙන්, දිගහරින ලද ස්වර්ණමය වස්ත්‍රයන්ගෙන් පරික්ෂිප්ත කරන කලක් පරිද්දෙන්, වේරම්බ වාතයෙන් ඔසවන ලද කෑල, කිණිහිරි ආදි පුෂ්පයන්ගේ රේණු ගවසන ලද කලක් පරිද්දෙන් බබළති. භාග්‍යවතුන් වහන්සේගේ ද අසූවක් අනුව්‍යංජන ලක්ෂණ, ඛ්‍යාම ප්‍රභා, උත්තම දෙතිසක් පමණ වූ ලක්ෂණාදියෙන් බබළන්නා වූ ශ්‍රී ශරීරය නැගුණු තාරකා ඇති ගුවන් තලය පරිද්දෙන්, විකසිත වූ පියුම් වනයක් පරිද්දෙන්, මුල සිට අග දක්වා මලින් පිරී ගිය සියක් යොදුන් උසැති පරසතු රුක පරිද්දෙන්, පිළිවෙළින් තබන ලද චන්ද්‍රමණ්ඩල දෙතිසකගේ ද දිව්‍යරාජයන් දෙතිසකගේ ද මහා බ්‍රහ්මරාජයන් දෙතිසකගේ ද ශ්‍රී ශෝභාව තමන් වහන්සේගේ ශ්‍රී ශෝභාවෙන් මැඩ පවත්වන කලක් පරිද්දෙන් බබළන සේක.”

මෙබඳු වූ අනන්ත ශ්‍රී භාග්‍යයෙන් හෙබි, මෙත් කරුණා ගුණ නුවණින් සයුරක් වූ ඒ සම්බුදුරජුන් පිළිබඳ නොපැහැදෙන්නෝ කවරහු ද?

මෙබඳු වූ රූ සිරියෙන් පමණක් නොව අප භාග්‍යවතාණෝ අනන්ත ගුණ ශෝභාවෙන් ද සමන්විත වූ සේක. මුනි රජාණෝ කරුණු සතක් පිළිබඳ ඉසුරුමත් බව පවත්වන සේක. (1.) ඇලිය යුතු දෙයෙහි නො ඇලෙන, ගැටිය යුතු දෙයෙහි නො ගැටෙන පරම ආශ්චර්යවත් ආර්ය ඍද්ධියෙන් සමන්විත ව තමන් වහන්සේගේ සන්තානය තම වසඟයෙහි ම පවත්වන සේක. (2.) ධ්‍යාන සමාපත්ති පිළිබඳ තථාගත බලයෙන් සමන්විත ව ධ්‍යාන සමාධි සමාපත්තීන් තම වසඟයෙහි පවත්වන සේක. (3.) ධර්මයට අධිපති හෙයින් එහිලා ඉසුරුමත් වන සේක. (4.) ශ්‍රාවක සඟ පිරිසට අධිපති හෙයින් එහිලා ඉසුරුමත් වන සේක. (5.) ලෝකයෙහි නොයෙකුත් පිරිස්වලට අග්‍ර වන හෙයින් එහිලා ඉසුරුමත් වන සේක. (6.) මුළු මහත් විශ්ව ධාතුවට ම අග්‍ර වන හෙයින් එහිලා ඉසුරුමත් වන සේක. (7.) වසඟ කරන ලද සිතින් යුතු ව අනන්ත ඍද්ධිය තම වසඟයෙහි පවත්වන සේක.

අප මුනි රජුන්ගේ ඉර්ධි බලය අට කරුණකින් සමන්විත ලෝකයෙහි අතිශයින් විස්මිත වූ ඉර්ධි බලය යි. එනම් තථාගතයාණෝ 1.) අබැටක් පමණ ඉඩක් තුළ අෂ්ට පරිෂ්කාරයන් දරාගෙන සතර ඉරියව්ව ම පැවැත්වීමට තරම්, මිනිසෙකුගේ ඇහි පිල්ලමක් මත සක්මන් කිරීමට තරම් බුදු සිරුර කුඩා කිරීමේ හැකියාවෙන් යුතු වන සේක. 2) දිගින් සැට යොදුන් ඇති, පළලින් පනස් යොදුන් ඇති සක්දෙව් රජුගේ පාණ්ඩුකම්බල ශෛලාසනය මුළුමනින් ම වසාගෙන වැඩ හිඳීමට තරම් බුදු සිරුර විශාල කිරීමේ හැකියාවෙන් යුතු සේක. 3) කෙතරම් දුරකට වුව ද ක්‍ෂණයකින් වඩින සේක. 4) සුළඟ, ජලය, ගින්න ආදි නොයෙකුත් වස්තූන් ඇසිල්ලකින් මවා දක්වන සේක. 5) ශරීරය, මනස මෙන් සැහැල්ලු කර වේගවත් බවට පත් කිරීමේ හැකියාවෙන් යුත් සේක. 6) මුළු මහත් විශ්ව ධාතුව ම තමන් වහන්සේට රිසි පරිදි පැවැත්විය හැකි සේක. 7) කැමති කැමති පරිදි ධ්‍යාන සමාපත්තිවලට ශීඝ්‍රයෙන් සමවදින සේක. එයින් නැගී සිටින සේක. 8) කැමති කැමති කාලයක් තුළ, කැමති ප්‍රදේශයකට බලපාන සේ පෙළහර පෑමේ හැකියාවෙන් යුත් සේක.

මෙසේ අනන්ත වූ ඓශ්චර්ය භාග්‍යයෙන් හෙබි, චිත්තේෂ්වර වූ, ධර්මේෂ්වර වූ, ලෝකේෂ්වර වූ සම්මා සම්බුදුරජුන් පිළිබඳ නොපැහැදෙන්නෝ කවරහු ද?

අපගේ බුදුරජාණෝ නොයෙක් ලොවී ලොව්තුරා ගුණ දහමින් බැබළී ගිය සේක. සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්ති ඥාන දර්ශන ආදියෙන් ආඪ්‍ය වූ සේක. නා නා විධ රූප අරූප ධ්‍යාන සමාපත්ති උපදවාගත් සේක. ගුරුපදේශ රහිතව ශ්‍රී සම්බුදු බව සාක්ෂාත් කොට සොඳුරු අමා නිවන ස්පර්ශ කළ සේක. දසබල ඥාන, සිව් විශාරද ඥාන ආදි අනන්ත අප්‍රමාණ වූ සම්බුදු නුවණින් දිදුළන සේක. පරමෝත්තම වූ ධර්මකාය සම්පත්තියෙන් යුත් සේක. ලොව කිසිවෙකුට හිමි නැති මහා කරුණා සමවත් නුවණින් ලොවෙහි දුක දැක දුකට පිහිට වන සේක. අතිශයින් විසිතුරු වූ යමා මහ පෙළහර පෑමේ අනන්‍ය සාධාරණ නුවණ ඇති සේක. ලෙව් සතුන්ගේ සැඟව ඇති පුණ්‍ය වාසනාව අඳුරු ගුහාවෙක පහන් එළියක් මෙන් ඉස්මතු ව පෙනෙන පරම විස්මිත වූ බුදු ඇසින් යුතු සේක. ඒ බුදුරජාණන්ගේ නොදත් කිසිවක් නැති – නොදුටු කිසිවක් නැති සියල්ල දන්නා සම්බුදු නුවණ ආවරණය කළ හැකි කිසිවකු විශ්වයෙහි නැත්තේ ය.

ඒ මේ අනුත්තර ධර්ම භාග්‍යයෙන් හෙබි, ලොව සියලු ගුණ සම්පත් වැගිරෙන, උතුරන ගුණ නිධානය වූ සම්මා සම්බුදුරජුන් පිළිබඳ නොපැහැදෙන්නෝ කවරහු ද?

එමතු ද නොව අතීත, වර්තමාන, අනාගත යන තුන් කල්හි ම අප ලෝකනාථයන් හට සම වූ පිරිවර ඇත්තෙකු, සම වූ යශෝරාව ඇත්තෙකු නැත්තේ ම ය. සුපිපි මල් කළඹක් සදිසි දේහ ශ්‍රී ඇත්තා වූ, නුවණින් කෝටිප්‍රාප්ත වූ, තමන් වැඩ වසන දිශාවට වැන්දවුනට පවා අමා නිවන් ලැබ දෙන සැරියුත් මහා තෙරිඳාණෝ බුදු පිරිසට අයත් සේක. නිලුපුල් කළඹකට සදිසි අතුල් පතුලින් සුදිලෙන, ඉර්ධියෙන් තිලොව අගපත්, තමන්ගේ නාමයෙන් සිව් අපාය පසුබස්වන්නා වූ මහා මුගලන් තෙරිඳාණෝ ද බුදු පිරිසට අයත් සේක. පා දුහුවිලි දෙව් බඹුන්ගේ මිණි කිරුළු මත ධාතු නිධානයක් කළ, තපෝ ගුණයෙන් පරම ශ්‍රේෂ්ඨ වූ, බුදු සසුනේ කිරි සයුරට පුන් සඳ මඬල බඳු මහා කස්සප අනුබුද්ධයන් වහන්සේ ද බුදු පිරිසට අයත් සේක.

එතෙක් මෙතෙක් ලොව පහළ වූ ගණනින් පමණ කළ නොහෙන මෙබඳු මහේශාක්‍ය රහතුන් ද සෙසු මග ඵලලාභී උතුමෝ ද බුදු පිරිසට ම අයත් වෙති. මෙතෙක් ලොව වැඩ සිටියා වූ ද අනාගතයෙහි ලොව සිටින්නා වූ ද සියලු භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා පිරිස බුදු පිරිසට ම අයත් ය.

එමෙන් ම සක් දෙව් රජාණෝ සම්බුදු මංගල්‍යයෙහි දී විජයුත්තර ශංඛ නාදය පැතිරූ බුදුරජුන්ගේ මෙහෙකරුවාණෝ ය. පන්සිළු දෙව් පුතු බේළුවපණ්ඩු වීණා නදින් පුද දුන් බුදුරජුන්ගේ මෙහෙකරුවාණෝ ය. සතරවරම් මහා රජවරු මහ බෝ සතුන් මනුලොව පිළිසිඳ ගත් තැන් පටන් සිව්දෙස රැකවල් ගත් බුදුරජුන්ගේ මෙහෙකරුවෝ ය. සුයාම දෙව් රජාණෝ අප මුනිඳුට වල්විදුනා පවන් සැලූ මෙහෙකරුවාණෝ ය. සහම්පතී මහ බඹ තෙමේ මුනිඳු සිරසට සේසත් දැරූ බුදුරජුන්ගේ මෙහෙකරුවාණෝ ය. මහාකාළ නා රජ තෙමේ අසූ දහසක් නා මෙනෙවියන් පිරිවරා නෘත්‍ය දක්වමින් බුදුන් පිදූ මෙහෙකරුවාණෝ ය. මෙසේ චාතුම්මහාරාජිකයේ පටන් අකණිටා බඹ තලය දක්වා සියල් දෙව් බඹහු ද තුන් කල්හි ම බුදුන් සරණ යන සියලු නාග, සුපර්ණ, යක්ෂ, අසුර, ගන්ධර්ව ආදි සත්වග ද බුදු පිරිසට ම අයත් වන්නේ ය. අදත් කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත දෙව් බඹුන් නාගයන් තථාගතයන්ගේ ස්තූපයන්, බෝධීන් වහන්සේලා පිරිවරා රැකගනු ලබන්නේ බුදුරජුන්ගේ කීකරු දරුවන් ලෙසිනි.

අතීත, වර්තමාන, අනාගත යන කාලත්‍රයෙහි යමෙක් පහන් සිතින් බුදුරජුන්ගේ සරණගත වෙත් ද ඔවුහු සැම බුදු පිරිසට ම අයත් වන්නාහු ය. ඔවුහු බුද්ධ ශ්‍රී නාමයත්, මුනිඳුන්ගේ යශෝරාවයත් විශ්වධාතුව පුරා මිහිරි සුවඳක් ලෙසින් පතුරුවන්නාහු ය. මෙසේ අනූපම වූ යශ භාග්‍යයෙන් හෙබි, අසංඛෙය්‍ය ගණන් මුඛයන්ගෙන් ඔබ නමින් ගැයෙන යස ගී ඇත්තා වූ, ලොව කිසිවකුට හිමි නැති ප්‍රමාණයෙන් ද – ගුණ මහත්වයෙන් ද අසමසම වූ පිරිවර ඇත්තා වූ ඒ සම්බුදුරජුන් පිළිබඳ නොපැහැදෙන්නෝ කවරහු ද?

දීපංකර පාද මූලයෙහි දී යම් පැතුමක් සිත්හි දරාගත් සේක් ද අප භාග්‍යවතුන් වහන්සේ පිරිනිවීමට පළමු ඒ සියලු මනඃසංකල්පයන් සමෘද්ධිමත් කර ගත් සේක. උන්වහන්සේගේ කැමැත්ත වූයේ යමක් ද ඒ සියල්ල ඒ අයුරින් ම නොඅඩුව කූටප්‍රාප්තියට පත් වූයේ ම ය. ඒ පරාර්ථකාමී එක ම පැතුම වනාහී ලෙව් සතුන් මහා භය ඇති සසර සැඩ පහරින් එතෙර කරවා අමා මහ නිවන් සැපයට පැමිණවීම සහ දුගතියෙන් මුදවා ලෝ සතුනට සුගති සැප උරුම කර දීමයි.

තමන් වහන්සේගේ සරණට පැමිණීම ම එහිලා ප්‍රමාණවත් වූයේ ය. බුදුරජුන් සරණගත වූ කිසිවෙක් නිරයගාමී නො වූහ. අප මුනිඳුන් ජීවමාන නොවන අදත්, අනාගතයෙහිත් යමෙක් බුදුසරණ ලැබ සුගතිගාමී වෙත් ද ඒ සියල්ල අප මුනි සඳුන්ගේ ප්‍රාර්ථනාවන් මුදුන්පත් වූ නිසාමැයි! යමෙක් මේ ගෞතම සසුනෙහි මග ඵල නිවන් සුව විඳිත් ද අඩු ම තරමින් සැනසිලි මාත්‍රයක් හෝ ලැබ ගනිත් ද ඒ අපි සැවොම අපගේ මුනීන්ද්‍රයන් වහන්සේට ණයගැති වන්නෙමු. මෙසේ සූවිසි අසංඛෙය්‍යකට අධික ලෝ සතුන් සදාතනික සැපයට පමුණුවා වදාළ, තුන්ලොවට මහා අස්වැසිල්ලක් වූ මහා කාම භාග්‍යයෙන් හෙබි ඒ සම්මා සම්බුදුරජුන් පිළිබඳ නොපැහැදෙන්නෝ කවරහු ද?

යම් ඒ මහා වීර්යවන්ත වූ යොවුන් පුත්‍රයෙකු චණ්ඩ මත්ස්‍යයන්, බිහිසුණු දිය සුළි ආදි නොයෙක් බියෙන් හෙබි පරක් තෙරක් නො පෙනෙන මහා සයුරෙහි නොකඩවා සත් දිනක් සිය මව් කර තබාගෙන ගොඩබිමක් සොයා පිහිනුවේ ද ඒ පුත්‍රයාගේ සිතාගත නො හැකි තරම් වූ අද්භූත වීර්යය උතුම් ශ්‍රී සම්බුද්ධත්වය පිණිස විසි අසංඛෙය්‍ය කල්ප ලක්ෂයකට පෙර සුදුසු වූයේ ය. එතැන් පටන් අනාදිමත් කාලයක් මුළුල්ලෙහි කිසිසේත් අඩු නො වී හැම අතින් ම වැඩී ගිය ඒ වීර්යය, පාරමිතාවක් බවට පත් වූයේ ය. මව් කර තබා පිහිනන මොහොතෙහි අප බෝසතුන් තුළ පැවතියේ සම්බුදු බවට සුදුසු බව යන්තමින් සිතා ගත හැකි අංකුර අවස්ථාවෙහි පැවැති වීර්යයෙකි. එහෙත් ජය ශ්‍රී මහා බෝ මැඬ වජිරාසනය මත වැඩ සිටින අවස්ථාව වන විට සේනා සහිත මරු පැරදවීමට තරම් සුදුසු ලෙස අප මුනිඳුන්ගේ පරාක්‍රමාන්විත ශූරවීර භාවය පින් මහිමයෙන් වැඩී තිබුණි. අප මහා වීරයන් වහන්සේගේ සිරුර පිසදා හමන සුළඟට පවා නේරංජනා නදියේ දිය දහර මුළුමනින් ම වියළවාලීමේ හැකියාව පැවතුණේ ය. මහා බලැති අප මුනිඳාණෝ නිදහස් වීමට සිතුම පවා දුෂ්කර වූ මාර බන්ධනය සිඳ බිඳ දමා සසර කතරින් එතෙර වූහ.

එතැන් පටන්, ලෝකයෙහි පරිපූර්ණ වූ ලෝකනාථයන්ගේ වීර්යය ලෝ සතුන් සසර දුකින් නිදහස් නිදහස් කරවීමෙහි ලා යෙදවුණේ ය. අතීතයේ වසර ලක්ෂයක් උපරිම කොට වැඩ සිටි සර්වඥයන් වහන්සේලා යම් බුද්ධ කෘත්‍යයක් සිදු කළ සේක් ද පන්සාලිස් වසක් තුළ අප තථාගතයාණෝ ඒ සියලු බුදු කිස අනූන ව සම්පූර්ණ කළ සේක. ඉතා අල්ප පිනක් තිබූ සතුනට තමන් වහන්සේගේ දර්ශන මාත්‍රයක් ලබා දීමෙන් සුගති සැප අත්පත් කර දීමෙහි සිට මහ පැනැතියන් උතුම් අරහත්වයට පත් කරවීම දක්වා සියලු කෘත්‍යය ඒ සොයුරු බුදු කිසට අයත් වූයේ ය. ඒ බුද්ධ කෘත්‍යය මුළු මහත් දස සහස්සී ලෝක ධාතුවෙහි ම පැතිර ගියේ ය. යොදුන් ගණන් දුර ගිනි අව්වේ – කුසගින්නේ පා ගමනින් වඩිමින්, දුගියන්ගෙන් ලැබෙන ලුණුත් නැති නීරස බොජුන් වළඳමින්, මැසි මදුරු පීඩා බහුල මහ වනයෙහි රුක් මුල් සෙවණෙහි වැස්සට පවා තෙමෙමින් වැඩ හිඳිමින්, දිනකට දෙපැයක් පමණක් සැතපෙමින්, අවසන් මොහොත වන විට මාරාන්තික වේදනා දුන් රෝගයකින් පවා පෙළෙමින් බුද්ධ කෘත්‍යය සිදු කළ සේක්, මහා වීර්යයෙනි. මුළු මහත් විශ්ව ධාතුවෙහි ම ඒ භාග්‍යවතුන් වහන්සේගේ මහා වීර්යයට, මහා ප්‍රයත්නයට සම කළ හැකි වීර්යයෙකින් හෙබි කිසිවෙක් නැත්තේ ම ය.

මෙබඳු මහා ප්‍රයත්න භාග්‍යයෙන් හෙබි, වීර්ය පාරමිතාවෙන් ලෝකයෙහි අග්‍රරාජ වූ, මහා වීර ඒ සම්මා සම්බුදුරජුන් පිළිබඳ නොපැහැදෙන්නෝ කවරහු ද?

ඒ මේ භගවා ගුණය තුළ දිස්වන ශ්‍රී භාග්‍යය, ඓශ්චර්ය භාග්‍යය, ධර්ම භාග්‍යය, යශ භාග්‍යය, කාම භාග්‍යය හා ප්‍රයත්න භාග්‍යය යන සොඳුරු භාග්‍යවන්ත ලක්ෂණයන්ගෙන් විචිත්‍ර ජීවිත ඇති භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ මුළු හදින් ම පැහැදීමට ඔබට වාසනාව උදා වේවා!

රවීන් කෝදාගොඩ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

සෝවාන් මාර්ගය සහ සෝවාන් ඵලය

".......යම්තාක් සෝවාන් ඵලය සාක්ෂාත් කරන්නේ නැත්නම්, ඒ තාක් ම (සෝවාන් වනතුරු) ඔහුට කළුරිය කරන්න පුළුවන්කමක් නෑ.”