මාගේ ස්වාමී වූ ශාක්‍යසිංහ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ලොව්තුරා බුදු වී බුද්ධ සංග්‍රහ සඳහා කිඹුල්වත් නුවරට වැඩමවා වදාළ සේක. පළමු දින සවස් භාගයේ යමාමහ පෙළහර දක්වා, බුද්ධවංශ, චර්යා පිටක, වෙස්සන්තර ආදී නොයෙක් දේශනාවලින් ධර්ම සංග්‍රහ කර නිමවා පසු දින උදෑසන පිඬුසිඟා වැඩි සේක. එදින වීථියෙහි දී දේශනා කොට වදාළ ධර්මයෙන් සුද්ධෝදන රජතුමා සෝවාන් ඵලයට පත් විය. රජ මාළිගයේ දී වදාළ දේශනාවලින් මහා ප්‍රජාපතී දේවීන් සෝවාන් වූ කල්හි පස්වරුවේ යශෝදරා දේවීන්ගේ මාලිගයට වැඩම කළ සේක. එහි දී වදාළ සඳකිඳුරු ජාතක දේශනාවෙන් ඔවුන්ගේ ශෝකය සන්සිඳවා, තුන්වන දිනයේ නන්ද කුමරු මහණ කොට, සත්වෙනි දිනයේ රාහුල කුමරුන් මහණ කොට වදාළ මහා ධර්මපාල ජාතක දේශනාවෙන් සුද්ධෝදන රජතුමා අනාගාමී ඵලයට පමුණුවා අවසානයේ ගම් නියම්ගම් රාජධානීන්හි ලෝසත සුවපත් කරමින් වැඩමවා වදාළ අප භාග්‍යවතුන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වසන සේක. ඒ සමයෙහි ශාක්‍ය කෝලිය දෙනුවර රජදරුවන්ගේ රෝහිණී නම් ගංගාවෙහි ජලය නිසා වූ දබරයක් මහා සංග්‍රාමයක් බවට පත් විය.

දෙනුවරවාසීන් ජලය බෙදාගැනීමට සටනක

ශාක්‍ය, කෝලිය දෙනුවරවාසීහු එක්වී රෝහිණී නම් ගංගාව දෙකට බෙදාගෙන ඒ ජලයෙන් ගොවිතැන් කරන්නාහු ය. පොසොන් මාසයෙහි හටගත් මහා නියඟයක් හේතුවෙන් ජලය සිඳී යන්නට වූ නිසා කරල් පීදිගෙන එන ගොයම් මිය යන්නට පටන් ගති. ඒ වෙලාවෙහි දෙනුවරවාසීන්ගේ කුඹුරු පාලකයෝ එක් වී සාකච්ඡා කරන්නේ, “ගංගාවෙහි ජලය දෙකොටසකට බෙදී යාමෙන් සියලුම ගොයම් මැරී යයි. එක් කොටසකට ම යන්නේ නම් ඒ ගොයම බේරෙයි. එම නිසා අපේ කොටසට ම ජලය හරවා දමනු. අපගේ කොටසට ම ජලය හරවනු.” මෙසේ දෙපිරිස ම ඔවුනොවුන්ගෙන් ජලය ඉල්ලා සිටියහ. ඒ අවස්ථාවෙහි කෝලිය නුවර ගොවියෝ “තොපගේ නුවර වී ගබඩා පිරී ගියා නම් තොපටත්, තොපගේ රජවරුන්ටත් සැපයි. එසේ වූවා කියා අපගේ වී ගබඩා පිරෙන්නේ නැත. අපි තොපට ජලය නොදෙමු.” යි කීවෝ ය. එවිට ශාක්‍ය නුවර ගොවියෝ ද “තොපගේ නුවර වී ශාලා පිරී යාමෙන් තොපටත්, තොපගේ රජුන්ටත් සැපයි. ඒ හේතුවෙන් අප හැමගේ වී ගබඩා පිරී නොයන්නේ ය. අප වෙහෙසට පත් නොකරව. අපිත් තොපට දිය නොදෙමු.” යි කියා දිය බැඳගත්හ. එවිට කෝලිය ගොවීන් ඒ දිය කැපූහ. මෙසේ වාදය වැඩිවීගෙන යද්දී දෙදෙනෙක්ගේ දබරය හතර දෙනෙක්, අට දෙනෙක්, දහසය දෙනෙක්, තිස් දෙදෙනෙක් ආදී වශයෙන් එකිනෙකා වැඩිවෙමින් ඔවුනොවුන් කලහ කරගන්නට පටන් ගත්හ.

මෙසේ දෙනුවර ගොවීහු එක සමානව බලවත් වූ නිසා එක කොටසක ගොවීන් පරදවා දිය දහරා උදුරාගත නොහැකිව ඔවුනොවුන් උදලු මිටි අමෝරාගෙන සිටි කල ඔවුනොවුන්ට පහර දී ගන්නට නොහැකිව ‘පරුෂ වචනයෙන් ජය ගන්නෙමු. කුල ගොත් ආදියෙන් බැණ ලැජ්ජා කරමු.’ යි කෝලිය නුවර ගොවීහු “තොපි හිවලුන් මෙන් තම තමන්ට ම ලැජ්ජා නැතිව එක කුසයෙහි උපන් නැගණියන් පවා විවාහ කරගෙන ඥාති සම්බන්ධය පවා කඩා බිඳ දමන ශාක්‍යයන්ගේ ගැති කොල්ලනි, අපට ජලය නොදෙන්නේ ද?” යි බැණ වදින්නට පටන් ගත්හ.
දබරය කෙමෙන් දැඩි වෙයි.

ශාක්‍ය නුවරවැසියෝ ඒ බසට තදින් කෝපයට පත් වී ඊට මෙසේ ප්‍රති පිළිතුරු දුන්හ. “මුළු ශරීරයේ ම කුෂ්ටයක් සැදි කැලෑ ගැහැනියකගේ කුසින් ඒ වගේ ම කුෂ්ට හැදුන කැලෑ මිනිසෙකුට දා ව කොලොම් සිදුරක උපන්, ගස් බෙනවල වවුලන් සේ ඉපදී අසරණව හැදුන වැඩුන කෝලියයන්ගේ ගැති කොල්ලනි, අපට තොප දිය නොදෙන්නේ ද?” මෙසේ කියමින් ඔවුහු ඔවුනොවුන්ගේ රජදරුවන්ට පරිභව කළාහු ය. එම අවස්ථාවේ සමහරු තම තමන්ගේ නගරවලට දිවගොස් ගම් ප්‍රධානීන්ට දබරය එක දෙක කොට කියා බිඳවූහ. ගම් ප්‍රධානීන් එක දහයක් කොට කියා මහ ඇමතිවරු බිඳවූහ. මහ ඇමතිවරු කිපී ගොස් විස්ස සිය ගුණයක් කොට කියා සේනාපතිවරු කලකිරවූහ. ඔවුන් කිපී ගොස් සියය දහස් ගුණයක් කොට කියූ පසු නිය පිටට ගලකින් පහර කෑ මත් ඇතෙකු සේ කිපී ගොස් රජවරුන් කෝපයෙන් මත් කරවූහ. ඒ මොහොතේ අසූ දහසක් පමණ ශාක්‍ය රජදරුවෝ සුළං දුටු ගිනි කඳක් සේ කෝප ගින්නෙන් දිලිහි දිලිහී තම තමන්ගේ සිව්රඟ සේනාව ගෙන “නැගණියන් හා දිවි ගෙවන ශාක්‍යයන්ගේ කඩුවල ඇති මුවහත කොපමණදැයි කෝලියන්ට පෙන්වන්නෙමු, කෙසෙල් කඳන් සේ අද කෝලියන්ව පොලු ගසන්නෙමු” යි වහසි බස් කියමින් දුව දුවා පැමිණියාහ. මෙසේ හඬ නඟමින් ශාක්‍ය රජදරුවෝ, විදුලියක් සේ කඩුපත්‍ර බමවමින් සිය දහසක් හෙණ හඩ නැංවූවා සේ දුනුදිය නංවමින් පැමිණ ගංගාවෙහි එක පැත්තක සිටගත්හ. මේ පුවත් ඇසූ දහසක් පමණ කෝලිය රජ දරුවෝ ද ගිනි දුටු ලුණු සේ කෝපයෙන් යුතුව තම තමන්ගේ ද සිව්රඟ සේනාව ගෙන “කොළොම් සිදුරෙහි උපන් අසරණයන්ගේ කඩු සරඹයෙහි මුවහත ශාක්‍යයන්ට පෙන්වා අල මදයක් සේ ඇසිල්ලකින් පොලුගසන හැටි බලව” යි වහසි බස් කියමින් දුවගෙන පැමිණ ගංගාවෙහි අනෙක් පැත්තේ සිටගත්තේ මේඝ ගර්ජනාවෙන් ගිගුම් දෙන මුහුදක් සේ කඩුපත් බමවමින් ය.

ඒ වන විට ශාක්‍ය නුවර බිසෝවරු කෝලිය නුවර රජවරු හා වාසය කරති. කෝලිය නුවර උපන් බිසෝවරු ශාක්‍ය රජවරු සමඟ වාසය කරති. මේ නිසා තම තමන්ගේ සොහොයුරන් මරන්නට සැරසෙන සූදානම දැන, අසූ දහසක් ශාක්‍ය බිසෝවරු ද අසූ දහසක් කෝලිය බිසෝවරු ද සොයුරු ප්‍රේමයෙන් හා ස්වාමි ප්‍රේමයෙන්, “අද කවුරුන්ට කුමක් වේදෝ” යි සම වූ කරුණාවෙන් වැළපෙමින් සිටියාහ. මෙසේ මේ දෙනුවර ම සියලු ජනයා දෙනුවර ම හිස් කොට සියල්ලෝ ම මෙතැනට පැමිණ සිටියහ.

බුදුරජාණන් වහන්සේ ලොව බලා වදාරති

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ එදින අරුණෝදය නැගෙන වේලාවෙහි ‘අද කෙසේ ලොවට යහපතක් කරම්දෝ’ යි බලා වදාරති. එදින තමන්ගේ ඤාති සමූහයා බොහෝ දෙනා විනාශයට පත් වන බව දැක වදාරා තමන් වහන්සේ එතැනට වැඩියහොත් බොහෝ සේ යහපතක් වන බව දැනගෙන, තමන් වහන්සේ ම පාත්‍රා සිවුරු ගෙන අනඳ මහතෙරුන් වහන්සේවවත් නොකැඳවා, තනිව හැසිරෙන සිංහරාජයෙකු සේ සවස් යාමයෙහි දෙව්රම් වෙහෙරින් පිටත් වී එම ස්ථානයට වැඩමවා ගංගාවෙහි ඉහළ ආකාශයට නැගී පළඟක් බැඳ වැඩ හිඳිමින් සිය ශ්‍රී ශරීරයෙන් මුළු ලොව ම ඒකාන්ධකාර කොට වදාළ සේක. ඒ මොහොතේ භාග්‍යවතුන් වහන්සේ ‘මාගේ නෑයෝ එකිනෙකාට නොපෙනෙත්වා. ඔවුනොවුන්ගේ ශරීරයෙන් ලේ බිංදුවක්වත් සොලවාගත නොහැකි වේවා. මාගේ පාරමිතා නමැති මහා දිය වතුරෙන් ඔවුනොවුන්ගේ කෝප ගිනි සන්සිඳේවො…!’ යි අධිෂ්ඨාන කළ සේක.

ඒ වේලාවේ ඔවුන්ගේ ඒ සා මහා සෙනඟ අතර දෙදෙනෙක් ඔවුනොවුන්ට නොපෙනෙති. ඔවුන්ගේ කටහඬ නොඇසෙති. එකිනෙකාගේ අත තිබෙන ආයුධ නොදකිති. ඒ මොහොතේ ලෝකාන්ධකාර නිරයට වැටුනවුන් සේ සටන් කරනු තබා අන්ධකාරයෙන් ම සිහි නැති වූහ. එවිට බුදුජාණන් වහන්සේ ඒ අඳුර එකවර ම අතුරුදන් කරමින් ආකාශයෙහි සරා සඳමඩලක් මෙන් පෙනී සිටි සේක. ඒ වේලාවෙහි මාර සෙනඟක් මෙන් ගංගාවෙහි දෙපැත්තෙහි සිටි මහා සෙනඟ “කොල්ලනි, මේ සාමාන්‍ය අඳුරක් නො වේ. අපගේ බුදුරජුන්ගේ ප්‍රාතිහාර්යයක්. අපගේ බුදුරජු අපගේ කෝලාහලය දැක අපව සන්සිඳවීමට මෙතැනට වැඩි සේක. අපගේ බුදුන් දුටු නෑයන් නොව උන්වහන්සේ මරන්නට පැමිණි මාර සෙනඟ පවා හිස් ලූ ලූ අත දිව ගියහ. විදින්නට පැමිණි දුනුවායෝ පවා උන්වහන්සේට වැඳ වැටුනාහ. කුක්කුටමිත්ත වැනි දරුණු වැද්දෝ පවා විදින්නට නොහැකිව වැඳ වැටුණාහ. ඒ වැනි අපගේ ඤාති උතුමාණන් දැක දැක අපි සටන් නොකරමු. කලහ නොකරමු.” යි කියමින් අත තිබූ ආයුධ බිම දමා දෙනුවර එක්ව ඔවුනොවුන් අත්වැල් බැඳ සිනාසිසී ගොස් බුදුරජාණන් පිරිවරා සිට ගත්හ. ඒ මොහොතේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ විසි දහසක් පමණ ඤාති සමූහයා මැද තරු මැද තිබෙන සඳක් සේ දිලිහි දිලිහී වැඩ හිඳ “ශාක්‍ය කෝලිය රජවරුනි, කුමක්ද මේ සැණකෙළිය? ගංගාවෙහි ජල ක්‍රීඩාවට පැමිණියා ද?” යැයි විමසා වදාළ සේක. එවිට රජ දරුවෝ එකිනෙකා මුහුණු බලමින් මඳක් සිනාසී “ස්වාමීනී, ක්‍රීඩාවකට නොආවෙමු. දබරයකට ආවෙමු.” යි කීවෝ ය.

භාග්‍යවතුන් වහන්සේ දබරය සන්සිඳවූ සේක

රජදරුවන්ගේ බස් ඇසූ බුදුපියාණන් වහන්සේ “ඔබලා කුමන කලහයකට ආවෝ ද?” යැයි අසා වදාළහ. රජ දරුවෝ “ස්වාමීනී, අපි කෝපයට පත්ව යුද්ධයකට ආවා මිස ඊට හේතුව කුමක්දැයි නොදනිමු.” යි කීහ. පසුව සේනාපතිවරුන්ගෙන් ඇසුවත් ඔවුන් ද හේතුවක් නොදන්නා බව කීහ. මෙසේ යුවරජවරු, මහ ඇමතිවරුගෙන් ද විමසූහ. ඔවුන් ද නොදන්නා බව කීහ. පසුව කුඹුරු පාලකයෝ ගොවියන්ගෙන් විමසූහ. ගොවියෝ ජලය සඳහා දබරයකැයි කීවෝ ය. ඒ වේලාවේ “රජ දරුවනි, ජලයට කොපමණ වටිනාකමක් තිබේ ද?” යැයි භාග්‍යවතුන් වහන්සේ විමසූ සේක. “ස්වාමීනී, ජලයේ වටිනාකම ඉතා ස්වල්පයකි” යි රජවරු පිළිතුරු දුන්හ.

“රජවරුනි, මහපොළොව කොපමණ වටිනවා ද?”

“ස්වාමීනී, මහපොළොව ඉතා වටිනා දෙයකි.”

“රජවරු කොපමණ වටිනවා ද?”

“ස්වාමීනී, රජවරු බොහෝ සේ වටිනවා ය.”

“බිසෝවරු කොපමණ වටිනවා ද?”

“ස්වාමීනී, ඔවුන් ද බොහෝ සේ වටිනවා ය.”

එවිට බුදුරජාණන් වහන්සේ “තොපගේ සහෝදරකම කොපමණ වටිනවා ද?” කියා විමසූ සේක. “ස්වාමීනී, සහෝදරකම නම් මහමෙරක් සේ උතුම් දෙයක් ම ය” යි ඔවුහු කීහ.

එබස් ඇසූ බුදුපියාණන් වහන්සේ “එහෙම නම් තෙපි හැමදෙනාම මුහුදට ගලා යන ස්වල්ප වූ ජලයක් නිසා මහපොළොව සේ වටිනා වූ රජවරු ද රාජ මහේසිකාවන් ද වටිනා වූ සොයුරු සමූහයා ද නසා දැමීමට සිතීම නම් නොහොබිනා දෙයක් ම ය.” යි වදාරා “තොපගේ වංශයෙහි උපන් බුදුරජාණෝ පංච වෛරයන් දුරු කිරීම නිසා සුවෙන් වෙසෙති. තොප ද පංච වෛරයෙන් මිදෙන්න.” යි දේශනා කරමින් මේ ගාථාව වදාළ සේක.

“සුසුඛං වත ජීවාම
වේරිනේසු අවේරිනෝ
වේරිනේසු මනුස්සේසු
විහරාම අවේරිනෝ”

මෙම ධම්මපද ගාථාව වදාරා අපගේ භාග්‍යවතුන් වහන්සේ නන්දන, තිත්තිර, රුක්ඛධම්ම යන ජාතක දේශනාවන් වදාරා අවසන අත්තදණ්ඩ සූත්‍රයෙන් ධර්මය දේශනා කොට දෙනුවර රජුන් ද බිසෝවරු ද සහෝදරයන් ද එකිනෙකා ක්ෂමා කරවා ගංගා යමුනා නදී මෙන් වෙනස් නො වී සිටින්නැයි අවවාද කොට ශාක්‍ය කෝලිය ඤාතීන්ගේ කළහය සන්සිඳුවා වදාළ සේක.

සටහන

– මානෙල් පොඩිමැණිකේ