තවද මනා පිළිවෙතෙහි පිළිපන්නා වූ, මුහුදට වන් මහා ගඟපැන් පෙරලා ගඟට නොවදනා සේ නිවන් වන් සඳැ පෙරලා සසරට නොවදනා පිළිවෙත්හි පිළිපන්නා වූ, සෙලින් හෙන දිය සෙල අනුව යන බවමුත් පිළිළොම්වැ නොයන්නා සේ, නිවනට අනුපිළිවෙත් පුරන බවමුත් නිවනට ප්‍රතිපක්ෂ වූ ප්‍රතිපත්තියක් නොපුරන්නා වූ උදයෙහි සිට අස්ථයට අවක්‍ර වූ මගින් යන හිරු සඳු දෙදෙනා සේ අවක්‍ර වූ පිළිවෙතින් නිවනට වදනා වූ, බුදු පසේබුදු මහරහතන්ගේ උත්තම වූ ප්‍රතිපත්තියෙහි පිළිපන්නා වූ, තිලෝගුරු බුදුන්ගේ දරුවෝහ යන බසට සුදුසු වූ පිළිවෙත්හි පිළිපන්නා වූ, ස්වාක්ඛාත ධර්ම විනය දෙක්හි වදාළ පරිද්දෙන් පිළිපන්නා වූ, කාමසුඛානුයෝගය හා ආත්මක්ලමථය යන දෙක හැර මධ්‍යම වූ ප්‍රතිපදාවෙන් හුදු නිවන් සාධන පිණිස පිළිපන්නා වූ, සියක් යොදුනෙනුදු දහස් යොදුනෙනුදු තමා හුන් තැනට විඩාවැ අවුත් සත්කාර කටයුතු වූ, දෙව්ලොව හැරපියා ද බඹලොව හැරපියා ද තමන් හුන් තැනට අවුත් පූජා කටයුතු වූ, දුරින් ආවවුන්ට කළ මනා සත්කාර තමන්ට ම කටයුතුවැ සිටියා වූ, තමන්ට දුන් දෙය මහත්ඵල මහානිශංස කරන හෙයින් ඉහලෝක පරලෝක සඳහා දෙන දන් පිළිගන්ට සුදුසු වූ, මිනිසුන් කෙරෙහි පටන් ගෙන සහම්පතී මහබඹු දක්වා සනත්කුමාර මහා බ්‍රහ්මයා දක්වා තිස්ස මහා බ්‍රහ්මයා දක්වා හාරිත මහා බ්‍රහ්මයා දක්වා එක හෙළා මුදුනෙහි දොහොත් තබාගෙන වන්දනාවට සුදුසු වූ හැල් වපුරන හැල්කෙතක් සෙයින් සියලු සත්වයා වපුරන්නා වූ කුසල් නමැති බිජුවට මහාඵල මහානිශංස කරන්නා වූ සාර මහා කෙත් බඳු වූ, සෝවාන් මාර්ගයෙහි පිහිටි ස්වාමිදරුවාණෝ එක්කෙනෙක, සෝවාන් ඵලයෙහි පිහිටි ස්වාමිදරුවාණෝ එක්කෙනෙක, සකදාගාමි මාර්ගයෙහි පිහිටි ස්වාමිදරුවාණෝ එක්කෙනෙක, සකදාගාමී ඵලයෙහි පිහිටි ස්වාමිදරුවාණෝ එක්කෙනෙක, අනාගාමී මාර්ගයෙහි පිහිටි ස්වාමිදරුවාණෝ එක්කෙනෙක, අනාගාමී ඵලයෙහි පිහිටි ස්වාමිදරුවාණෝ එක්කෙනෙක, රහත් මාර්ගයෙහි පිහිටි ස්වාමිදරුවාණෝ එක්කෙනෙක, රහත් ඵලයෙහි පිහිටි ස්වාමිදරුවාණෝ එක්කෙනෙක යන මේ අටදෙනා වහන්සේමුත් මට අනෙක් සරණෙක් නැත. මට අනික් පිහිටෙක් නැත. මට අනික් සමවායෙක් නැත. මට අනික් දිව්‍ය ඖෂධයෙක් නැත.

මට අනික් මව්කෙනෙක් නැත. මට අනික් පියකෙනෙක් නැත. දෙව්මිනිස්ලොව සුව පතම් නමුදු මොවුන් ම සරණ යෙමි. බඹලොව නිරාමිස සුව පතම් නමුදු මොවුන් ම සරණ යෙමි. රාග ද්වේෂ මෝහ නමැති පාපධර්මයන් නොවන්නා වූ අමා මහ නිවන් සුව පතම් නමුදු මොවුන් ම සරණ යෙමි. මාගේ අකුසලින් බුදුරුව දැකගත නොහැකි නොහිනිම් නමුදු බුදුන්ගේ වෙස් ගත්තා වූ මේ සඟරුවන් මා ඇස පැමිණෙන්නේ මාගේ භාග්‍යයෙක. බුදුන් උපදනට පළමු උපන්නාට නොලැබෙන්නාහ. පස්වා දහසින් ඔබ්බෙහි නොලැබෙන්නා වූ තුමෝ දුස්සීලවැ සිට නරකයට යෙත් නමුදු මොහු බුදුන්නේ දරුවෝ යැයි යන සිතින් වැන්දවුන්ට වූ කලී අමා මහ නිවන් නොවරදවා දෙන්නා හ.

පැවිදි වන්ට පළමු ජාති කුල භේද තිබුණේ නමුදු බුදු සස්නෙහි මහණ වූ තැන් පටන් ජාති භේදය හැර මහාමායා දේවීන් වහන්සේට මුණුබුරු වැ සුදොවුන් මහරජාණන් වහන්සේ මුත්තණු තන්හී තබා යසෝදරා දේවීන් වහන්සේ මව් තැන්හි තබා ශාක්‍ය කුලෝද්භූත සර්වඥයන් වහන්සේ පියතැන්හි තබා සර්වඥපුත්‍ර රාහුල කුමාරයන් වහන්සේ මල්බෑ තනතුරෙහි තබා එක සර්වඥයන් වහන්සේගේ කුලයෙහි මාහැඟි කුල ලදින් සිටියහ.

හිරි ඔතප් වැනි දෙදහමුන් දෙකෙළවර ලා තුමූ මධ්‍යයෙහි සිටියහ. සිහිය වැනි පසිඳුරන් රකිනා දොරටුපාලයන් ලදහ. සීලය වැනි පිහිටක් ලදහ. සමාධිය වැනි නිධානයක් ලදහ. ප්‍රඥාව වැනි ඖෂධයක් ලදහ. පංචකාමය වැනි ගර්හිත වූ කුණු නොවළඳා හලහ. නිවන් වැනි මාහැඟි මිහිරක් වළඳන්ට සිටියහ. සිතක් වැනි චංචලයක් වසඟ කරන්ට සිටියහ. තෘෂ්ණා නමැති යකින්නක මන් බිඳින්නට සිටියහ…..

තවද කෙළ ලක්ෂයක් සක්වළ ආඥා පවත්නා වූ ධජග්ග පරිත්තය වදාරන්නා වූ ස්වාමිදරුවෝ තොපට දුකක් වුව මා හෝ සිහිකරව්. නැත, දහම් සිහිකරව්. නැත, සඟරුවන් සිහිකරව්. මේ තුනෙන් එකක් සිහිකළ කෙණෙහි වැඩි විනාශයක් තබා භයක්වත් ලොමුදහගැනුමක්වත් තැතිගැන්මෙක්වත් නොවේ යැයි වදාරණ සේක…..

එහෙයින් මේ ජාතියෙහි පටන් නිවන් දක්නා ජාති දක්වා මට සියලු දුක් නොවනු පිණිස සියලු උපද්‍රවයන් නොවනු පිණිස සියලු සැපත් සිද්ධවනු පිණිස ඒ සඟරුවන් සරණයෙමි යි සඟ සරණ යා යුතු….

උපුටා ගැනීම: සඟසරණ – විද්‍යාචක්‍රවර්ති