තලගුරු වෙහෙරේ ධම්මදින්න මහරහතන් වහන්සේ

ලෝ සතුන් කෙරෙහි පතළ මහා කරුණාවෙන් පුරා සතලිස් පස් වසරක් ශ්‍රී සද්ධර්මය දේශනා කරමින් බුදු සසුන් පිහිටුවා, ඒ අපගේ භාග්‍යවතුන් වහන්සේ වෙසක් පුන් පොහෝ දිනයක කුසිනාරාවේ දී පිරිනිවන් පා වදාළ සේක. භාග්‍යවතුන් වහන්සේ විසින් පිහිටුවා වදාළ ඒ ධර්මයත්, විනයත් නිසා තම ජීවිත සුවපත් කර ගත් ප්‍රඥාවන්ත මිනිසුන් රාශියක් බුදුරජුන්ගේ පිරිනිවීමෙන් පසුව ද බිහි විය. අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ බුද්ධ ශාසන දායාදය ශ්‍රී ලංකාද්වීපයට ලබා දුන් පසුව ද උතුම් මහරහතන් වහන්සේලා ලංකාද්වීපයේ බිහි වෙන්නට පටන් ගත්තේ ය. ෂඞ් අභිඤ්ඤාලාභී, සතර පටිසම්භිදාලාභී මහානුභාව සම්පන්න වූ උතුම් නිකෙලෙස් මුනිවරු ලංකාද්වීපයේ එකල වැඩ විසූහ. ඒ රහත් පරම්පරාවෙන් ලංකාවේ ආරම්භ වුණු භික්ෂු සංඝයාගේ පළමු ආචාර්යපාදයන් වහන්සේ, පළමු ගුරු දේවයන් වහන්සේ වන්නේ අපගේ මහින්ද මහරහතන් වහන්සේ ය.

මේ ලංකාද්වීපයේ වී පැදුරක් වේළා ගැනීමටවත් නොහැකි යුගයක් තිබුණු බව අප අසා ඇත. එතරම් මහරහතන් වහන්සේලා අහස් ගමනින් වැඩිය බව පැරණි පොත් පත්වල සඳහන් වේ. එසේ ම ශ්‍රී ලංකාද්වීපය එක ම මහා ඝණ්ඨාර ශබ්දයෙන් ඒකාබද්ධ වුණු භූමියක් විය. රුවන්වැලි මහා සෑ මළුවේ රහතන් වහන්සේලා බිහි නොවුණු එක ම කොටසක්වත් නැත. එතරම් මහා සෑය දෙස බලා බුද්ධාලම්බන ප්‍රීතිය උපදවා භික්ෂූන් වහන්සේලා අරහත්වයට පත් වූහ.

දඹදිව තරම් ම මේ ලංකාද්වීපය ද කසාවතින් බැබළුණේ ය. එවැනි වාසනාවන්ත යුගයක් උරුමව තිබුණි. නමුත් අද ඒ යුගයේ සුළඟත් අපට අහිමි වී ඇත. එවැනි යුගයක් ලංකාද්වීපයේ තිබූ බව පවා බොහෝ දෙනා දන්නේ නැත. නමුත් ඒ යුගයේ වැඩ විසූ උතුම් මහරහතන් වහන්සේලා ගැන අපට සිත පහදවා ගන්නට ලැබෙනවා නම් එය වාසනාවකි. දැන් ඔබට දැනගැනීමට ලැබෙන්නේ තලගුරු වෙහෙරේ වැඩ වාසය කළ උතුම් ධම්මදින්න මහරහතන් වහන්සේ ගැනයි.

තලගුරු වෙහෙර විසූ ධම්මදින්න තෙරුන් උපසපන් වී බොහෝ කල් නො වූව ද උන්වහන්සේගෙන් උපදෙස් ලබා බොහෝ භික්ෂූහු රහත් භාවයට පත් වූහ. එය දැනගත් තිස්ස මහා විහාරවාසී භික්ෂූහූ “ධම්මදින්න තෙරණුවෝ වැරදි මග යොදවන්නෙක් නොවෙති. එබැවින් තෙරුන් වහන්සේ කැඳවාගෙන පැමිණෙන්න” යැයි භික්ෂූන් යැවූහ. ඒ භික්ෂූන් වහන්සේලා ගොස් “ආයුෂ්මත් ධම්මදින්නයෙනි, සංඝයා ඔබ වහන්සේ කැඳවන්නේ ය.” යැයි කීහ. “හිමිවරුනි, කිම ඔබලා තමා සොයන්නාහු ද? අනුන් සොයන්නාහු ද? ඇවැත්නි තමා සෙවීම කරමු.” යි භික්ෂූහු පැවසූහ. ධම්මදින්න තෙරුන්ගෙන් කමටහන් ලබා ඒ සියල්ලෝ ම රහත් වූහ.

තිස්ස මහා වෙහෙර භික්ෂූහූ යළි තවත් භික්ෂු පිරිසක් යැවූහ. මෙසේ තෙවරක් දක්වා යැවූ සියල්ලෝ ම රහත් වූහ. ඒ භික්ෂූන් එහි ම වාසය කළහ. භික්ෂු සංඝයා ගිය ගිය තැනැත්තන් ආපසු නො එන බැවින් සිව්වෙනි ව මහලු පැවිද්දෙකු යැවූහ. ඔහු ගොස්, “ස්වාමීනී, තෙවරක් ඔබ කැඳවනු පිණිස තිස්ස මහා වෙහෙර භික්ෂූ සංඝයා ඔබ කරා දූතයන් එවූහ. ඔබ වහන්සේ සංඥාව ගරු නොකරන්නෙහි ද? නොපැමිණියේ ඇයි ද?” යැයි ඇසී ය. තෙරණුවෝ පිළිතුරු නො දී විහාරයට නොපිවිස ම පා සිවුරු ගෙන්වාගෙන එවෙලෙහි ම පිටත් විය. උන්වහන්සේ වඩින්නා වූ අතරමග හඬකන නම් විහාරයක් ඇත. එහි වෙසෙන සැට වයස් පිරි මහ තෙර කෙනෙක් තමන් රහත් යැයි අධිමානයෙන් යුක්ත වෙයි. ධම්මදින්න තෙරණුවෝ ඒ මහතෙරුන් වෙත එළඹ වැඳ සුවදුක් විචාරා මාර්ගඵලාවබෝධය විමසූහ.

“ධම්මදින්නයෙනි, මවිසින් පැවිදි කිස අවසන් කරන ලදී. මම දැන් සැට වියෙහි සිටිමි.” යි මහතෙරුන් වහන්සේ පැවසූහ.

“ස්වාමීනී කිම. ඍද්ධි සම්පන්න ද?”

“එසේ ය ධම්මදින්නය.”

“ස්වාමීනී, එය ඒකාන්තයෙන් ම යහපත් ය. ඔබ ඉදිරියට ඇතෙකු එන සේ මැව්ව මැනවි.”

“යහපති.” යැයි පවසා තෙරණුවෝ මුළුමනින් ම සුදු වූ, සත් තැනකින් පොළොව ස්පර්ශ කරනු ලබන්නා වූ මහා ඇත්රාජයෙක් මැවූහ.

“ස්වාමීනී, මේ ඇතා කෙළින් කොට ගත් කන් ඇතුව, දික් කළ නගුට ඇතිව, සොඬය කටේ දමාගෙන, භයානක ශබ්ද කරමින් ඔබ ඉදිරියට එන සේ කළ මැනව.” යැයි කී ය. මහ තෙරණුවෝ ඒ කී සේ කළහ. එවිට ම උන්වහන්සේ තමන් වහන්සේ ම මැවූ ඒ වේගයෙන් එන ඇතාට භය වී දුවන්නට සැරසුණහ. එවිට ධම්මදින්න තෙරුන් වහන්සේ උන්වහන්සේගේ සිවුරු කොණ අල්වා නවත්වා, “ස්වාමීනී, රහතුන්ට භය උපදී ද?” යැයි ඇසී ය. ඒ අවස්ථාවේ දී තමා රහතෙකු නො වේ යැයි වටහාගෙන ඒ තෙරණුවෝ ධම්මදින්න තෙරුන් පාමුල උක්කුටිකව හිඳ “ආයුෂ්මතුනි, මට පිහිට වන්න.” යැයි අයැදූහ. ධම්මදින්න තෙරුන් වහන්සේ “ස්වාමීනී, ශෝක නොකළ මැනවි. දොම්නස් නොවනු මැනවි. මග ඵල ලැබීම උදෙසා කටයුතු කරන්නාට ම අධිමානය උපදියි.” කියා තෙරුන් අස්වසා කමටහන් දුන්නේ ය. මහතෙරනම කමටහන් ගෙන සක්මනට බැස තෙවෙනි පියවරේ දී රහත් ඵලය ලැබුවේ ය.

සිතුල්පව්වේ විසූ එවැනි තෙරුන් වහන්සේ කෙනෙකු වෙත ද පැමිණ එසේ විචාළ කල්හි ද එසේ ම පිළිතුරු ලැබුණි. උන්වහන්සේ ද ඍද්ධි ප්‍රාතිහාර්ය පෑමට හැකි යැයි කී කල්හි “ඉතා හොඳයි ස්වාමීනී, පොකුණක් මවන්න.” යැයි කීහ. තෙරණුවෝ මැවූහ. “එහි පියුම් ගොමුවක් මවන්න.” එය ද මැවූහ. “ඒ පියුම් ගර්භයේ සිට මිහිරි හඬින් ගී ගයමින් නටන කාන්තා රුවක් මවන්න.” එය ද මැවූහ. “ඒ ස්ත්‍රී රුව ගැන නැවත නැවත සිතන්න.” යැයි කියා ධම්මදින්න තෙරණුවෝ වෙහෙර තුළට පිවිසියහ. ඒ රුව ගැන සිතන්නා වූ තෙරුන්ගේ සැට වසරක් යටපත් ව තිබූ කෙලෙස් නැගී ආයේ ය. එකල තමා නොරහත් බව දැක ධම්මදින්න තෙරුන්ගෙන් කමටහන් ගෙන රහත් වී ය.

ඉන් පසු ධම්මදින්න තෙරුන් වහන්සේ පිළිවෙළින් තිස්සමහා විහාරය වෙතට පැමිණියහ. ඒ වේලාවෙහි එහි තෙරවරු සෑ මළුව හැමද බුද්ධාලම්භන ප්‍රීතියෙන් යුක්තව සිටිති. ඔවුනතර ධම්මදින්න තෙරුන්ට “මෙහි පා සිවුරු තැන්පත් කරන්න.” යැයි කියන්නෙක් හෝ ඒ පිළිබඳ විමසන්නෙක් හෝ නො වී ය. මොහු වනාහී ධම්මදින්න යැයි සිතා ප්‍රශ්න විචාළහ. විචාළ තාක් ප්‍රශ්න තියුණු සැතකින් මහනෙල් දඬු සිඳින්නාක් මෙන් විසඳා ඇඟිල්ලෙන් මහ පොළොවට ගසා “මේ අචේතනික වූ මහපොළොවත් ධම්මදින්නයාගේ ගුණ දන්නේ ය. ඔබ වහන්සේලා නොදන්නෙහු ය.” යැයි මේ ගාථාව කී ය.

“අචේතනායං පඨවි – විජානාති ගුණාගුණං
සචේතනා ච වෝ භන්තේ – න ජානාථ ගුණාගුණං”

මෙසේ පවසා ඒ මොහොතෙහි ම අහසට නැගී තලගුරු වෙහෙරට ම වැඩි සේක.

එක් අවස්ථාවක දුටුගැමුණු රජුගේ පුත් වූ සාලිය කුමාරයා පෙර භවයක දී මහවැලි ගඟ අසල මුණ්ඩාවක නම් ගමේ ලෝකුරුවෙක් ව ඉපදී සිටියේ ය. ශ්‍රද්ධාවත් වූ හෙතෙමේ තමාට ලැබුණු ඌරු මසක් පිස එයින් දන් දෙනු කැමතිව, “මේ ලංකාද්වීපයේ ඍද්ධිමත් වූ යම් කිසි උත්තම ක්ෂීණාශ්‍රව කෙනෙක් වෙත් නම් රහතන් වහන්සේලා අටනමක් අනුකම්පා කොට මගේ ගෙට පිඬු සිඟා වැඩිය මැනව.” යැයි කාලඝෝෂා කළහ. මේ හඬ දිව්‍ය ශ්‍රවණයෙන් අසා ධම්මදින්න මහරහතන් වහන්සේ තවත් රහතන් වහන්සේලා සත් නමක් සමඟ අහසින් ගොස් ගෙයි දොරකඩ වැඩ සිට එම දානය පිළිගත් සේක.

එසේ ම අපගේ දුටුගැමුණු මහරජ්ජුරුවෝ ඉතා දුකට පත් වී සිටි අවස්ථාවේ ජීවිතය ගැනවත් අපේක්ෂාවක් නැතුව කුණ්ඩලාභරණ දෙක විකුණා ‘කොට්ඨ’ නම් කඳුරටේ දී (කොත්මලේ දී) තණහාලේ බතක් ද ඇඹුල් කැඳක් ද රහතන් වහන්සේලා පස් නමකට පූජා කර ගත්හ. ඒ මහරහතන් වහන්සේලා පස් නම අතර තලගුරු වෙහෙරවාසී ධම්මදින්න මහරහතන් වහන්සේ පුවඟු දිවයින්වැසි දොළොස් දහසක් භික්ෂූන්ට දී පිණ්ඩපාතය වැළඳූහ. ධම්මදින්න රහතන් වහන්සේ තිස්ස මහා විහාරයෙහි මහ සෑ මළුවෙහි අපණ්ණක සූත්‍රයෙන් දහම් දෙසන්නේ විජිනිපත යටිකුරු කොට එහි සිටි පිරිසට අවීචිය පෙන්වී ය. එය උඩුකුරු කොට බඹලොව දක්වා දෙව්ලොව පෙන්වී ය. මෙසේ අපා භයින් තැති ගන්වා, දෙව් සැපයෙන් පොළඹවා දහම් දෙසා බොහෝ දෙනෙකුට ධර්මාවබෝධය කරවී ය.

මෙසේ ධම්මදින්න රහතන් වහන්සේ බුද්ධ ශාසනය බැබළවූ සේක. බොහෝ දෙනාට යහපත උදා කළ සේක. අපමණ ගුණයන්ගෙන් යුතු වූ සේක. වැරදි මග ගියවුන් හරි මගට ගත් සේක. මුළාවට පත් වූ අය ව ඒ මුළාවෙන් මුදවා ගත් සේක. සියලු දෙව් මිනිසුන්ගේ වන්දනාවට සුදුසු වන සේක. ඒ මහා ඍද්ධිමත්, මහානුභාව සම්පන්න, ත්‍රිපිටකධාරී, අප බුදුරජුන්ගේ හද මඬලින් උපන්නා වූ පිරිනිවන් පා වදාළ තලගුරු වෙහෙරේ ධම්මදින්න මහරහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා…!

සාදු! සාදු! සාදු!

 

– මහමෙව්නාව අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසිනි