මංගණවැසි කුජ්ජතිස්ස මහරහතන් වහන්සේ

ලෝ සතුන් කෙරෙහි පතළ මහා කරුණාවෙන් පුරා සතලිස් පස් වසක් ශ්‍රී සද්ධර්මය දේශනා කරමින් බුදු සසුන් පිහිටුවා ඒ අපගේ භාග්‍යවතුන් වහන්සේ වෙසක් පුන් පොහෝ දිනයක කුසිනාරාවේ දී පිරිනිවන් පා වදාළ සේක. ඒ පිරිනිවන් පාන මොහොතේ දී තමන් වහන්සේ වෙනුවට ශාස්තෘත්වයෙහි පිහිටුවා වදාළ ධර්මයත්, විනයත් නිසා තම ජීවිත සුවපත් කර ගත් ප්‍රඥාවන්ත, පින්වන්ත මිනිසුන් රාශියක් බුදුරජුන්ගේ ඇවෑමෙන් පසුව ද බිහි විය. ඒ අතර සුගති රැකවරණය සලසා ගත් අය ද සදහට ම සතර අපායෙන් මිදුණ මිනිසුන් ද නැවත එක් වතාවක් පමණක් කාම ලෝකයට පැමිණ නිවන් අවබෝධ කරන්නවුන් ද නැවත කාම ලෝකයට නොපැමිණ අනාගාමීව බඹලොව ඉපදී නිවන් අවබෝධ කරන අය ද සිටියහ. එපමණක් නොවේ; රහතන් වහන්සේලා ද වැඩ සිටි සේක. ඒ, දඹදිව්තලයේ ය.

දඹදිවින් බුදු සසුන අතුරුදහන් වෙන්නට මත්තෙන් ධර්මාශෝක අධිරාජයාගේ රාජ්‍ය කාලය තුළ දී මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ අනුශාසනා පරිදි මහා මහින්ද මහරහතන් වහන්සේ බුද්ධ ශාසන දායාදය මේ ලක්දිවට රැගෙන ආහ. ඒ අනුව ලංකාදීපයේ බුදු සසුන පිහිටියේ ය. ලංකාවේ ද නිකෙලෙස් මුනිවරු බිහිවෙන්නට පටන් ගති. සිය දහස් ගණනින්, ලක්ෂ ගණනින් ලංකා ධරණී තලයේ ද උතුම් රහතන් වහන්සේලා පා තබා වැඩිය සේක. ඒ උත්තම රහතන් වහන්සේලාගේ ජීවිත කොතරම් නම් සුන්දර ද?

උන්වහන්සේලා තම ජීවිතය අවබෝධ කර ගත් අයුරු විස්මිත ය. දඹදිව්තලයේ වැඩ සිටි ඒ උතුම් රහතන් වහන්සේලාගේ විස්තර, ජීවිත තොරතුරු බොහෝ දෙනා දනිති. නමුත් ලංකාවේ වැඩ සිටි උතුම් මහරහතන් වහන්සේලා ගැන බොහෝ දෙනෙක් දන්නේ නැත. එදා දඹදිව වැඩ සිටි රහතන් වහන්සේලාගේ ද ලංකාදීපයේ වැඩ සිටි රහතන් වහන්සේලාගේ ද නිකෙලෙස් බවේ, අරහත්වයේ වෙනසක් නැත. ඒ සියලු උත්තමයන් වහන්සේලා සසරින් නිදහස් වූවෝ ය.

උන්වහන්සේලා ගමක වේවා, වනාන්තරයක වේවා, නිම්නයක වේවා, කඳු ගැටයක වේවා යම් තැනක වැඩ සිටිනවා නම් ඒ බිම ඇත්තෙන් ම සුන්දර ය. රහතන් වහන්සේ නමක් තුළ ඇති මේ අපූර්ව සුන්දරත්වය පෙන්වා වදාළේ බුදුරජාණන් වහන්සේ විසිනුයි. ගෞතම බුදු සසුන බැබළුනේ එබඳු පාරිශුද්ධ අති උතුම් රහතන් වහන්සේලාගෙනි. උන්වහන්සේලාගේ ජීවිත එතරම් සුන්දර වූයේ නිකෙලෙස් බව නිසා ය. උන්වහන්සේලා පිරිස් පිරිවරා වාසය කිරීමට කැමති වූයේ නැත. හුදෙකලාවෙ ම වාසය කිරීමට කැමති වූවෝ ය. රහතන් වහන්සේලා තමන් තුළ තිබෙන ගුණය සඟවාගෙන වාසය කළෝ ය. අල්පේච්ඡ ජීවිත ගත කළෝ ය. උන්වහන්සේලා සිව්පසය කෙරෙහි නොඇල්මෙන් යුතු සේක (ප්‍රත්‍ය අල්පේච්ඡතාව). එසේ ම ධුතාංග පුරුදු කිරීම සඟවාගෙන වාසය කළ සේක (ධුතාංග අල්පේච්ඡතාවය). බහුශ්‍රැත භාවය ලාභ සත්කාර පිණිස පාවිච්චි නොකර සඟවාගෙන සිටි සේක (පර්යාප්ති අල්පේච්ඡතාවය). තමන් ලබාගෙන තිබෙන ගුණ විශේෂයන් සඟවාගෙන සිටි සේක (අධිගම අල්පේච්ඡතාව). මේ ආකාරයට උන්වහන්සේලා සතර අල්පේච්ඡතාවයෙන් යුතු වූ සේක. දැන් ඔබට සිත පහදවා ගන්නට ලැබෙන්නේ ඉතාමත් අල්පේච්ඡ ජීවිතයක් ගත කළ, හුදෙකලා වාසය ප්‍රිය කළ, ලක්දිව වැඩ සිටි මහානුභාව සම්පන්න උතුම් රහතන් වහන්සේනමක් ගැනයි. ඒ, මංගණවැසි කුජ්ජතිස්ස මහරහතන් වහන්සේ ගැනයි.

උන්වහන්සේ මීට බොහෝ කාලයකට පෙර මී පැණි වෙළෙන්දෙකි. ඔහුට තවත් සහෝදරයන් දෙදෙනෙක් විය. මේ තිදෙනා ම එකතු ව කැලයෙන් මී පැණි කඩා ගෙනවුත් වෙළදාම් කරයි. එක් දිනක් බාල ම සහෝදරයා මී පැණි වෙළඳසැලේ නවත්වා, අනිත් සහෝදරයන් දෙදෙනා මී පැණි කඩන්නට කැලයට ගියහ. ඔය අතරේ පසේබුදුරජාණන් වහන්සේනමක් මී පැණි සොයා පිඬු සිඟා වැඩියහ. එවේලෙහි දිය ගේන්නට යන දාසියක් උන්වහන්සේ ව දැක්කා ය. ඇය උන්වහන්සේ වෙත එළඹ වන්දනා කොට, “ස්වාමීනී, අවේලාවේ පිඬු සිඟා වඩින්නේ කුමන දෙයක් අපේක්ෂාවෙන් ද?” යැයි විමසුවා ය. එවිට උන්වහන්සේ මී පැණිවල අවශ්‍යතාව වදාළ සේක.

එවිට අර දාසිය මී පැණි වෙළඳසැල පෙන්නුවා ය. පසේබුදුරජාණන් වහන්සේ වෙළඳසැලට වැඩිය පසු අර වෙළෙන්දා උන්වහන්සේ කෙරෙහි හිත පහදවාගෙන පාත්‍රයට මී පැණි පුරවද්දී ඒ පාත්‍රා කටින් පැණි උතුරා යන තෙක් ම මී පැණි පූජා කළේ ය. “මේ මී පැණි දානය හේතුවෙන් මට මේ දඹදිව තනි රජෙක් වෙන්නට ලැබේවා. මාගේ ආඥාව ආකාසයෙහි යොදුනක් දුර පැතිරේවා. පොළොවෙහිත් යොදුනක් දුර පැතිරේවා.” යැයි ඔහු ප්‍රාර්ථනා කළේ ය.

ඔහු අනිත් වැඩිමහල් සහෝදරයන් ආවාට පසු මේ පින අනුමෝදන් ද කළේ ය. පළමුව අසතුටු වූවත් ඒ දෙදෙනා පසුව සතුටු වී පින අනුමෝදන් වූහ.

ඒ කළ පින්කමේ ආනුභාවයෙන් එසේ මී පැණි සියතින් පූජා කළ වෙළෙන්දා දෙව්ලොව ඉපිද දිව්‍ය සැප සම්පත් විඳ එයින් අනතුරුව ඉන්දියාවේ ඉපිද ‘ධර්මාශෝක’ නමින් අග රජ බවට පත් වූයේ ය. ඔහුගේ අණසක අහසේ යොදුනක් දුර ද පොළවෙහි යොදුනක් දුර ද පැතිරුණි. මහානුභාව සම්පන්න තේජස් ඇති රජෙක් බවට හේ පත් විය. අශෝක අධිරාජයා බුදු සසුන කෙරෙහි පැහැදී අසූහාර දහසක් වෙහෙර විහාර හැදුවේ ය. මහින්ද නම් වූ තමන්ගේ පුත් කුමාරයා ද සංඝමිත්තා නම් වූ දූ කුමරිය ද ගෞතම ශාසනයට පූජා කළේ ය.

බුදු සසුන බැබළවීමට අපමණ වූ කැපවීමක් කොට අවු. 41ක් රාජ්‍ය කොට හේ මරණයට පත් වී පසු කලෙක ලංකාදීපයේ උපත ලැබුවේ ය. නිසි වයසට පැමිණි පසු බුදු සසුනෙහි පැවිදි උපසම්පදාව ලැබූහ. උන්වහන්සේ උතුම් රහතන් වහන්සේනමක් බවට පත් වූහ.

උන්වහන්සේ ප්‍රසිද්ධියට පත් වූයේ මංගණවැසි කුජ්ජතිස්ස මහරහතන් වහන්සේ නමිනුයි. සද්ධාතිස්ස රජතුමා වරක් තමා විසින් සත්කාර කළ යුතු, වැඳිය යුතු රහතන් වහන්සේනමක් මට කියනු මැනවැයි සංඝයාගෙන් විමසා සිටියේ ය. භික්ෂූහු මංගණවැසි කුජ්ජතිස්ස තෙරුන් වහන්සේ ගැන රජුට කියා සිටියහ. රජතුමා පිරිවර ද කැටුව යොදුන් පහක් දුර ගෙවා තෙරණුවන් මුණගැසීමට ගියේ ය. මහ පිරිසේ ශබ්දය ඇසූ තෙරණුවෝ මේ කිනම් ශබ්දයක් දැයි විචාරා, උන්වහන්සේ දැකීමට රජු පැමිණෙන්නේ යැයි දැන වදාළහ. එවිට උන්වහන්සේ ‘මහලු කල මට රජ මැදුරේ කවර වැඩක් ද?’ යැයි සිතා දහවල් වේලාවෙහි ඇඳෙහි වැතිර බිම ඉරි අඳිමින් උන්නේ ය.

රජතුමා තෙරණුවන් කොහේදැයි අසා දිවාස්ථානයේ බව දැන එහි යන කල්හි තෙරණුවෝ බිම ඉරි අඳිමින් ඉන්නා ආකාරය දැක, ‘රහතන් වහන්සේලා අතින් විකාර වැඩ නොකරති. මොහු රහතන් වහන්සේනමක් නොවෙයි’ කියා නොවැඳ ම පිටත්ව ගියේ ය.

පසු කලෙක තමාගේ ආයුසංස්කාරය පිරිහී ගිය බව දත් තෙරණුවෝ සද්ධාතිස්ස රජුගේ කලකිරීම දුරු කිරීම සඳහා අධිෂ්ඨානයක් කළ යුතු යැයි සිතා මෙසේ අධිෂ්ඨාන කළහ. ‘මාගේ සිරුර කුළුගෙයක තබා ආදාහනය කිරීම පිණිස පූජාව පවත්වන කල්හි ඒ සිරුර සහිත කුළුගෙය මිනිසුන්ගේ අතින් මිදී අහසින් රජගෙට ගොස් රජු විසින් දුටු විටෙක බිම පිහිටාවා.’ පිරිනිවන් පාන්නට මත්තෙන් උන්වහන්සේ, “මාගේ කුළුගෙයි වෙනත් ආසනයක් ද පිළියෙල කරන්න.” යැයි භික්ෂූන් වහන්සේලාට පැවසූහ. පසුව උන්වහන්සේ එක් ආසනයක පිරිනිවන් පා වදාළහ. රන් සිවිගෙය පස් යොදුන් මග අහසින් ම ගියේ ය. එම මාර්ගයේ ගස් ද පඳුරු ද කුළුගෙය දෙසට නැමී ගියහ. කුජ්ජතිස්ස මහරහතන් වහන්සේ පිරිනිවුණු බවත්, කුළුගෙය අහසින් එන බවත් දක්වා රජුට පණිවුඩ යැව්ව ද රජු එය විශ්වාස නො කළේ ය.

ඉන් පසු එම කුළුගෙය ථූපාරාමය පැදකුණු කොට ශිලා චෛත්‍ය පිහිටි තැනට ගිය කල්හි චෛත්‍ය භූමියත් සමඟ උඩට නැගී කුළුගෙට උඩින් පිහිටියේ ය. එවිට දහස් ගණන් මිනිසුන්ගේ සාධුකාර පැවතුණි. එවේලෙහි ලෝවාමහාපායේ සත් වෙනි මාලයෙහි විනය කර්මයක් කරමින් හුන් මහා ව්‍යග්ඝ නම් තෙරණුවෝ මේ කවර නම් ශබ්දයක් දැයි ඇසූහ.

“ස්වාමීනී, මංගණවැසි තෙරුන් වහන්සේ පිරිනිවන් පෑහ. රන්සිවි ගෙය අහසින් ම වැඩියේ ය. මේ ඒ සාධුකාර නාදය යි.”

එවිට උන්වහන්සේ “පින්වතුන් නිසා මමත් සත්කාර ලබන්නෙමි” යි අතවැසියන් කථා කරවා අහසින් වැඩම කොට සිවි ගෙයට පිවිස දෙවෙනි යහනෙහි හිඳ පිරිනිවන් පෑහ. රජතුමා පැමිණ මල් සුවඳ ආදිය ගෙන ගොස් අහසෙහි තිබුණු කුළු ගෙයට පූජා කළේ ය. පූජා කොට, “ස්වාමීනී, ඔබ වහන්සේ ජීවමාන කල මට කරුණා නොකළහ. ඔබ වහන්සේගේ ගුණය සැඟවූහ. දැන් මා කෙරෙහි අනුකම්පාවෙන් මෙහි වැඩි සේක. මට සමාවනු මැනව.” යි කීහ. එකෙණෙහි ම සිවි ගෙය පහතට බැස භූමියෙහි පිහිටියේ ය. රජතුමා මහත් පූජාසත්කාර කොට ආදාහන කටයුතු නිමවා ධාතූන් ගෙන සෑයක් කර වී ය.

උන්වහන්සේත් සමඟ එකට පිරිනිවුන මහා ව්‍යග්ඝ තෙරුන් වනාහි මී පැණි පූජා කළ පින අනුමෝදන් වූ එක් සහෝදරයෙක් ය. දෙව්ලොව ඉපිද පසුව ලංකාවේ දේවානම්පියතිස්ස නමින් රජ වී බුද්ධ ශාසනයට තම ලංකාදීපය පූජා කරමින් මහත් සේවයක් කොට කලුරිය කළාට පසු නැවත ලංකාවේ ම උපත ලබා සසුන් ගත වී මහා ව්‍යග්ඝ රහතන් වහන්සේ නමින් ප්‍රසිද්ධ වූහ.

කුජ්ජතිස්ස මහරහතන් වහන්සේ ඍද්ධි ප්‍රාතිහාර්ය පාමින් පිරිනිවන් පෑ ස්ථානය අදටත් අනුරාධපුරයේ ගඩොල් පමණක් ඉතිරි වුණ සෑයක් ලෙස දක්නට ලැබේ. එය හඳුන්වන්නේ ‘කුජ්ජතිස්ස පබ්බත’ නමින් ය. ඒ උතුම් පුදබිම බොහෝ දෙනාගේ අවධානයට ලක්වන්නේ නැත.

මේ සංසාර ගමනේ එකටම පින් කොට දෙව්ලොව ඉපිද නැවත මනුලොවට පැමිණ දඹදිවත් ලංකාදීපයේත් රජකම් කොට බුදු සසුන බබුළුවා නැවත අන්තිම ජීවිතයේදී ලංකාවේම ඉපිද බුදු සසුනේ පැවිදි වී මහරහත්භාවය ලබා දෙදෙනා වහන්සේම එකම කුළු ගෙයක යහන් දෙකක එකටම පිරිනිවන් පෑහ.

මේ ලංකාදීපය එළිය කරන්නට පෑයූ තාරකාවන් බඳු වූ ඒ අපගේ මහෝත්තම කුජ්ජතිස්ස මහරහතන් වහන්සේට ද මහා ව්‍යග්ඝ මහරහතන් වහන්සේට ද නමස්කාර වේවා!

– මහමෙව්නාව අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසිනි