ලොවේ කිසිවෙකුට සමාන කළ නොහැකි අසම වූ වීර්යයකින් හෙබි බුද්ධ වීරයන් වහන්සේ කෙලෙස් යුද්ධය ජයගෙන අමා දම් බෙදා දුන් සේක. පුරා සතලිස් පස් වසක් දෙව් මිනිසුන්ගේ කෙලෙස් ගිනි නිවා දුන් මහා වීර වූ අප භාග්‍යවතුන් වහන්සේ අමා රොන් බෙදා දුන් බුද්ධාරවින්දය වන සේක. ඒ අමා රොන් පානය කොට සැනසීමට පත් වූවෝ නම් බුද්ධ රාජයාණන් වහන්සේගේ හද මඩලින් උපන් ඖරස පුත්‍රයන් වහන්සේලායි. තුන් ලෝකය ම සත්‍යයෙන් නැහැ වූ සච්ච ධීරයන් වහන්සේ මහා පෘථිවිය සම වූ පෘථුල ප්‍රඥාවෙන් ද මහා සයුර සම වූ බුද්ධ ප්‍රඥාවෙන් ද යුතු වන සේක. කරුණා ආකරයක් වූ මහා කාරුණිකයන් වහන්සේගේ කාරුණික නේත්‍රයට මේ සුන්දර දිවයින ද හසු වූ සේක. ඒ නිසා ම තුන්වරක් වැඩම කිරීමෙන් පූජනීයත්වයට පත් කොට, ධර්මද්වීපය වන බවට අනාගත ඤාණයෙන් බලා වදාරා සක් දෙවිඳුට භාර කළ සේක. ශක්‍රාති ශක්‍ර වූ අප බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය සත්‍ය කරමින් මහා මහින්ද මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කොට මැනවින් බුදු සසුන පිහිට වූ සේක. උන්වහන්සේ සිංහලයන්ගේ අපා ගිනි නිවාලූ සේක. බුදුන් සරණෙහි පිහිට වූ සේක. ලක්දිව මිනිසුන්ට අමා ගුණ බෙදා දුන් ශ්වේත අරවින්දය වන සේක. මිහිඳු මහරහතන් වහන්සේගේ උතුම් ප්‍රඥාවත්, අනුකම්පාවත් නිසා ලක්දිව මගඵලලාභීන් බිහිවෙන්නට පටන් ගත්තේය. ලංකාද්වීපය බොහෝ සිංහල රහතන් වහන්සේලාගෙන් පිරී පැවතුණි. උන්වහන්සේලා තුළ තිබුණු අපමණ වීර්යයත්, විමුක්තියට කැපවීමත් පුදුම සහගත ය.

අප්‍රමාණ වීර්යයෙන් යුතු එක්තරා භික්ෂූන් වහන්සේනමක් සත් දින බැගින් සතර ඉරියව්වෙන් ම වාසය කළ සේක. සිව් වැනි සත් දිනෙහි විදර්ශනාව වඩා රහත්භාවයට පත් වූ සේක. එසේ ම ඛණ්ඩසේල විහාරයේ විසූ පධානීය තෙරුන්ට පධානඝරයේ හිඳ අරියවංශ සූත්‍ර දේශනාව අසමින් සිටිය දී සර්පයෙක් දෂ්ට කළේය. ඒ ගැන දැනගෙනත් ධර්ම දේශනාවට බාධාවක් වෙයි සිතා නොකියා, සිත පහදාගෙන ම ධර්මය ඇසූ සේක. තමන්වහන්සේ රැකි උතුම් ශීලය ආවර්ජනය කොට පිරිසිදු සිල් ඇත්තෙක් වෙමි යි ප්‍රීතියට පත් වූහ. ප්‍රීතිය ඉපදීමත් සමඟ ම ශරීරය පුරා විෂ ගමන් කිරීම නැවතී පොළොවට බැස්සේය. තෙරණුවෝ එතැනදී ම විදසුන් වඩා රහත් වූහ. මෙසේ අප්‍රමාණ වීර්යයෙන් යුතු ව රහත් වූ උත්තමයෝ ගණන් කළ නොහැකි තරම් ප්‍රමාණයක් මේ ලක්දිව වැඩ විසූහ. උන්වහන්සේලා ගිරිගුහාවල, ඈත වන සෙනසුන්වල කේෂර සිංහ රාජයන් බඳුව හුදෙකලාවේ ම වැඩ විසූහ. උන්වහන්සේලා සියලු සත්ත්වයන් කෙරෙහි අනුකම්පාවෙන්, කරුණාවෙන්, දයාවෙන් යුතු ව වැඩ විසූහ. තිරිසන් සහගත බැල්ලියකට කරුණාවෙන් යුතුව බඩගිනි නිවීම සඳහා දනක් දී දිට්ඨධම්මවේදනීය වශයෙන් ඒ පුණ්‍ය කර්මයේ අපමණ ඵල විපාක විඳ උතුම් අග්‍ර ඵලය වන අරහත් ඵලය ලැබූ ලක්වැසි උතුම් රහතන් වහන්සේනමක් ගැනයි අද සිත පහදවා ගන්නට ලැබෙන්නේ. එනම් චූලනාග රහතන් වහන්සේ ගැනයි.

ලංකාද්වීපයෙහි අනුරාධපුරයේ දකුණු අකුධාතූන් වහන්සේ තැන්පත් ථූපාරාම නම් වූ ආශ්චර්යයවත් දාගැබ පිහිටි විහාරයෙහි අසිග්ගාහක නම් පිරිවෙනේ උත්කෘෂ්ට පිණ්ඩපාතිකාංගය රකින චූලනාග නම් තෙරුන් වහන්සේනමක් වැඩ වසන සේක. නිරන්තරයෙන් අනුරාධපුර නුවර චන්ද්‍රවංක වීථියෙහි පිඬුසිඟා වඩින සේක. ඉක්බිති එක් දවසක් පිඬුසිඟා ගොස් නැවත විහාරයට පැමිණ වළඳා විවේකයෙන් වැඩ සිටිනා විට එක් බැල්ලියක් දරුවන් වදා බඩසයින් පීඩිත ව වෙවුලන ශරීරයෙන් යුතු ව කිසි ආහාරයක් නොලැබ උන්වහන්සේ ඉදිරියෙහි මූණ බල බලා සිටියාය. තෙරුන් වහන්සේ එපරිද්දෙන් සිටියා වූ බැල්ලිය දැක හදවත කරුණාවෙන් බර වී සිතනා සේක්, “මේ සසර දුක නුවණින් සිතනා කල ඉතා භය එළවන්නේය. දවසක් මුළුල්ලෙහි ඇවිද්දත් කුස පිරෙන ආහාරයක් නොලබන්නේය. මහජනයෝ ගල් කැට, දඬු මුඟුරුවලින් ගසා එළවති. ඒ ඒ තැන වැටෙමින් දුක් විඳිති. අකුසල විපාක නම් භයානක දෙයක් ය. අකුසල් කරන සත්ත්වයෝ මේ බැල්ලිය සේ ම දුකට පත්වන්නේය. යම් කෙනෙක් සා දුකින් පීඩිත වූ සත්ත්වයෙකුට ආහාර ටිකක් දන් දුන්නොත් ඒකාන්තයෙන් ම ත්‍රිවිධ සම්පත්තිය ම ලබන්නේය.” මෙසේ නොයෙක් කාරණා සිතා තෙරුන් වහන්සේ කරුණාවෙන් පිරුණු සිත් ඇති ව අතින් දිය යුත්තක් නොදැක මා වැළඳූ ආහාරය වී නමුත් මේ බැල්ලියට යහපත් ම යැයි සිතා එක් තැනක වැලි ඉවත් කොට ඇඟිල්ලක් මුඛයෙහි බහා වමනය කොට අහර දන් දුන් සේක. එසේ ම පැන් ගෙනවුත් දුන් සේක. ඒ බැල්ලිය බත් කා පැන් බී සතුටට පත් වී නඟුට සලමින් සාදර දක්වා තෙරුන් වහන්සේ දිහා බල බලා සිටියාය. චූලනාග තෙරුන් වහන්සේ එය දැක ප්‍රීතියෙන් පිරුණා වූ සිත් ඇති ව නිර්වාණ සම්පත්තිය ම ලැබේවා යි ප්‍රාර්ථනා කළ සේක.

එතැන් පටන් බැල්ලිය ද විහාරයට එයි. තෙරුන් වහන්සේ ද බැල්ලියට සුදුසු පරිදි බත් දෙන සේක. චූලනාග තෙරුන් වහන්සේගේ කුශල කර්මය මේ ජීවිතයේ දී ම විපාක දෙන්නට පටන් ගත්තේය. තෙරුන් වහන්සේගේ පුණ්‍යානුභාවයෙන් ඒ දවසේ ම සවස නොයෙක් දහස් ගණන් උපාසක උපාසිකාවන් ගිතෙල්, මී සකුරු ආදී වූ ගිලන්පස ගෙන්වා චූලනාග තෙරුන් වහන්සේ කොහිදැයි සොයමින් ඒ සියල්ල ම පිළිගැන්වීය. ඒ සියලු දේවල් නොයෙක් දහස් ගණන් භික්ෂූන් වහන්සේලාට දන් දී තමන් වහන්සේත් වැළඳූ සේක. මිනිසුන් විසින් නොයෙක් බෙහෙත් වර්ග ද පූජා කරන ලද කල්හි ඒවා ද භික්ෂූන්ට දන් දුන් සේක. එසේ ම රාත්‍රියෙහි දේවතාවෝ චන්ද්‍රවංක වීථියෙහි ඇවිද ‘චූලනාග ස්ථවිරයන් වහන්සේට හෙට දවසේ මහ දන් පවත්වාලව’යි අඬගා කීහ. සියලු මනුෂ්‍යයෝ ද, දේවතාවෝ ද නොයෙක් දාන වස්තූන් රැගෙන විහාරයට පැමිණියෝය. තෙරුන් වහන්සේ ඒ සියල්ල ම දැක විහාරයෙහි ගෙඩිය ගස්වා තුන්දහසක් පමණ භික්ෂූන් වහන්සේලාට දන් දී තමන් වහන්සේත් වැළඳූ සේක. තුන්වන දවසේ භික්ෂාව පිණිස පිටත් වූ කල්හි වහසල් දොරටුව වසන දේවතාවා උන්වහන්සේගේ පාත්‍රය ගෙන දොරටුවෙන් පිටත නොයෙක් දානෝපකරණ පිරූ ගැල් කඳවුරක් මවා දිව්‍යමය ආහාරපානවලින් චූලනාග තෙරුන් වහන්සේ ප්‍රධාන කොට භික්ෂූන් වහන්සේලාට මහ දන් පැවැත්වීය. එතැන් පටන් මනුෂ්‍යයෝ චූලනාග තෙරුන් වහන්සේ ප්‍රධාන තුන් දහසක් භික්ෂූන්ට මහ දන් පැවැත්වූහ. මෙසේ තෙරුන් වහන්සේට දෙවියන් හා මනුෂ්‍යයන් විසින් උපස්ථාන කරන ලදුව අවුරුදු තිස්දෙකක් ගෙවුණි. ප්‍රතිපත්තියෙහි මනාලෙස පිළිපන් ව සිටි උන්වහන්සේ නොබෝ කලකින් ම කෙලෙස් සතුරන් නසා රහත් බවට පැමිණි සේක.

ඉක්බිති පසු කලෙක පන්සියයක් භික්ෂූන් වහන්සේලා දඹදිව ජය ශ්‍රි මහා බෝධීන් වහන්සේ වඳින්නට යනු කැමති ව එකතැනකට රැස් ව, “ඇවැත්නි, දැන් බෝධි මණ්ඩලයට යන මඟ දුර්භික්ෂ ය. සොර සතුරන් හා සිංහ ව්‍යාඝ්‍රාදී චණ්ඩ සත්ත්වයින් විසින් උපද්‍රව සහිත ය. කෙසේ යම් ද?”යි කතිකා කරමින් සිටියාහ. ඉන් සමහර තෙරුන් වහන්සේලා පැවසුවේ “චූලනාග රහතන් වහන්සේ සමඟ වඩින්නේ නම් ඒ සියලු උපද්‍රව නොවන්නේය. පිණ්ඩපාතයත් සුලබ ව ලැබෙන්නේය. චූලනාග ස්ථවිරයන් වහන්සේ මහත් පින් ඇති සේක. ආනුභාව සම්පන්න වන සේක” යනුවෙනි. එය අසා හැමදෙනා වහන්සේ ම ගොස් චූලනාග රහතන් වහන්සේට ආරාධනා කළ සේක. “ස්වාමීනී, අපි ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වඳිනා කැමැත්තෙමු. ඔබ වහන්සේ අප හැම කැඳවා ගෙන ගොස් බෝධීන් වහන්සේ වන්දවා නැවත මෙරටට වැඩමවුව මැනවැ” යි කී සේක. උන්වහන්සේ ද එයට කැමති වී ඒ පන්සියයක් භික්ෂූන් පිරිවරා ථූපාරාම විහාරයෙහි පටන් මාවටුපටුන්ගම දක්වා සාරමාසයක් ඇතුළත දෙවියන් මනුෂ්‍යයන් කරන ලද සත්කාර සම්මාන ලබමින් වැඩි සේක. මාවටු තොටින් නැව් නැගී, සමුද්‍ර දේවතාවන් හා දිව්‍ය නාගයන් විසින් කරන ලද පූජා සත්කාර ලබමින් තුන්මසකින් ගොඩබැස එතැන් පටන් දෙවිමිනිසුන් කරන ලද සත්කාර සම්මාන ලබමින් සාරමාසයක් ඇතුළත වජිරාසන භූමියට පැමිණි සේක. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පෙරලා වඩිනා අතරමඟ දී චූලනාග ස්ථවිරයන් වහන්සේට බඩරුජාවක් ඇති වී කායික අපහසුවක් හටගත්තේය. එය දැක භික්ෂූන් වහන්සේලා වික්ෂේපයෙන් යුතු ව, “ස්වාමීනී, අප හැම ඔබ වහන්සේගේ පුණ්‍යානුභාවයෙන් ම කිසි අපහසුවක් නැතිව සැපසේ වැඩියෙමු. ඉදින් ඔබ වහන්සේට අන්තරායක් වී නම් කෙසේ අපි ප්‍රත්‍යයෙන් පීඩා නොවිඳ අපගේ රට බලා යම්දැ” යි කී සේක.

එපවත් අසා තෙරුන් වහන්සේ පවසනුයේ, “එසේ නොසිතව. මා පිරිනිවී කල්හි ආදාහන සත්කාර කොට ධාතු ගෙන පෙරහන් කඩේක බැඳ පිඬුසිඟා වඩිනා වේලෙහි ධාතු පෙරහන්කඩ කුඩයෙහි බැඳගෙන පළමුව සංඝ ස්ථවිරයන් වහන්සේ පිඬුසිඟා යන සේ සලස්වා හැමදෙනා එක් ව පිඩුසිඟා වැඩිය මැනව. එවිට හැමදෙනා වහන්සේට ම ආහාරයෙන් අපහසු නොවන්නේය” යැයි කියා පන්සියයක් භික්ෂූන් වහන්සේලාට ම අවවාද කොට පිරිනිවන් පෑ සේක. එකල්හි භික්ෂූන් වහන්සේලා ආදාහන සත්කාර කොට ධාතූන් වහන්සේලා රැගෙන නික්මුණු සේක. චූලනාග රහතන් වහන්සේ ජීවමාන කාලයෙහි මෙන් ම ප්‍රත්‍යලාභ ලැබ සුවසේ ම තමන් වහන්සේලා වසන මේ ලංකාද්වීපයට පැමිණි සේක. අහෝ! පුදුම සහගතය. බැල්ලියකට දුන්නා වූ ආහාර දානයෙහි ආනුභාවය. උන්වහන්සේ ජීවමාන කාලයෙහි මෙසේ ලෞකික, ලෝකෝත්තර සම්පත් ලබා පිරිනිවි කල්හි ද මෙබඳු ආශ්චර්යය පැවැත් වූ සේක යැයි සතුටු වී ඒ පන්සියයක් භික්ෂූන් වහන්සේලා ද වීර්යය වඩා භාවනා කොට රහත් බවට පැමිණි සේක.

මෙසේ සසර කතරින් එතෙරට වැඩිය, සංසාර ඕඝය තරණය කළ සියලු කෙලෙසුන් නසා නිකෙලෙස් හද මඩලක් දරාගෙන වැඩසිටිය, පුණ්‍ය ඉර්ධියෙන් යුතු වූ, ආනුභාවසම්පන්න වූ, දිව්‍ය, මනුෂ්‍යය, නාග, ගාන්ධර්වාදීන්ගෙන් පිදුම් ලැබූ ලක්දිව වැඩ විසූ චූලනාග රහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා!. උන්වහන්සේගේ ආනුභාවය සිහිකොට වීර්යය වඩා නිකෙලෙස්භාවයට පත් වූ ලක්දිව වැඩ විසූ ඒ පන්සියයක් රහතන් වහන්සේලාට නමස්කාර වේවා!.

සාදු! සාදු! සාදු!

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසිනි.