[fusion_builder_container hundred_percent=”no” equal_height_columns=”no” hide_on_mobile=”small-visibility,medium-visibility,large-visibility” background_position=”center center” background_repeat=”no-repeat” fade=”no” background_parallax=”none” parallax_speed=”0.3″ video_aspect_ratio=”16:9″ video_loop=”yes” video_mute=”yes” border_style=”solid” flex_column_spacing=”0px” type=”legacy”][fusion_builder_row][fusion_builder_column type=”1_1″ type=”1_1″ background_position=”left top” background_color=”” border_color=”” border_style=”solid” border_position=”all” spacing=”yes” background_image=”” background_repeat=”no-repeat” padding_top=”” padding_right=”” padding_bottom=”” padding_left=”” margin_top=”0px” margin_bottom=”0px” class=”” id=”” animation_type=”” animation_speed=”0.3″ animation_direction=”left” hide_on_mobile=”small-visibility,medium-visibility,large-visibility” center_content=”no” last=”true” min_height=”” hover_type=”none” link=”” first=”true”][fusion_text]

අපගේ භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වී සති හතක්; එනම් දවස් හතලිස් නවයක් විමුක්ති සුවය විඳිමින් ගත කළ සේක. උන්වහන්සේ ගත කළ ඒ සති හතෙන් පස්වෙනි සතියෙහි අජපාල නුගරුක් සෙවණෙහි වැඩ සිටිද්දී මෙසේ සිතූ සේක.

‘ගුරුවරයෙක් නැතිව සිටීම දුකකි. මා යම් කිසි ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ සත්කාර කොට ගෞරව කොට ඇසුරු කොට වාසය කළ යුතු නම් එබඳු කෙනෙක් ලෝකයේ සිටිත් ද?’

එකල්හී භාග්‍යවතුන් වහන්සේ සකල ලොව සිසාරා මාගේ සීලයට, සමාධියට, ප්‍රඥාවට විමුක්තියට වඩා වැඩි කෙනෙක් සිටිත්දැයි නුවණින් බැලූ ‍සේක. බුදුරජාණන් වහන්සේගේ සීල, සමාධි, ප්‍රඥා, විමුක්තියට වඩා වැඩි කෙනෙක්වත් සමාන කෙනෙක්වත් මේ දෙවියන්, මරුන්, බඹුන්, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝකයෙහි නැත්තේ ය. ‘එසේ නම් ඒ අමා නිවන ලැබ දුන් ධර්මයට ගරු කරමින් සත්කාර කරමින් ගරුකොට තබා ගනිමි.’ යි උන්වහන්සේ සිතූ සේක.

එකෙණෙහි ම සහම්පතී බ්‍රහ්මරාජයා භාග්‍යවතුන් වහන්සේගේ චිත්ත පරිවිතර්කය දැන උන්වහන්සේ ඉදිරියෙහි පහළ විය. දණ මඬල බිම තබා වන්දනා කරමින් භාග්‍යවතුන් වහන්සේට මෙසේ පවසා සිටියේ ය.

“එය එසේ ම ය භාග්‍යවතුන් වහන්ස. එය එසේ ම ය සුගතයන් වහන්ස. අතීතයේ වැඩ සිටි සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ධර්මයට ම සත්කාර කොට ගරු කොට වාසය කළ සේක. අනාගතයේ පහළ වන්නා වූ සම්බුදුවරු ද ධර්මය ම ගුරු තනතුරෙහි තබාගෙන වාසය කරන්නාහු ය. එහෙයින් මෙකල පහළ වූ අරහත් සම්මා සම්බුදු වූ අප භාග්‍යවතුන් වහන්සේ ද අවබෝධ කරන ලද උතුම් ශ්‍රී සද්ධර්මයට සත්කාර කොට ගෞරව කොට ඇසුරු කරනා සේක.”

මෙසේ අප භාග්‍යවතුන් වහන්සේ අජපාල නුගරුක් සෙවණේ දී උතුම් ධර්මය ආචාර්ය තනතුරෙහි තබා ගත් සේක. මෙසේ ධර්මය ගුරු තනතුරෙහි තබා ගත් අප භාග්‍යවතුන් වහන්සේ තුන් ලෝකයේ ම ගුරුවරයා වන සේක. දෙවි මිනිසුන්ට යා යුතු – නොයා යුතු මග කියා දෙන සේක. ගුරු ඇසුරේ වටිනාකම නොයෙක් අයුරින් වදාරන සේක.

සාමාන්‍ය ලෝකයේ නොයෙක් ගුරුවරු මුණගැසේ. එහෙත් ශ්‍රේෂ්ඨ ගුරුවරු බිහිවන්නේ බුදු සසුනක පමණි. මේ ලංකාදීපයට ශාස්තෘන් වහන්සේනමක් බඳු, ලක්දිව එකලු කළ හිරු මඬල වන අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ අපගේ ආදි ගුරුදේවෝත්තමයාණන් වහන්සේ වන සේක. මුල් ගුරු දෙවිඳු වන සේක. උන්වහන්සේ බුදු සසුන් දායාදය ලබා දී ගුරුවරයාට සත්කාර කරමින් ගෞරව කරමින් ධර්මය ඉගෙන ගන්නා ආකාරය කියා දුන් සේක. මෙසේ ගුරු ඇසුරේ වාසය කරමින් ධර්මය ඉගෙන ගනිමින් මගඵල ලැබූ උතුම් භික්ෂූන් වහන්සේලාගෙන් ලක්දිව පිරී පැවතුණි. උන්වහන්සේලා තම ගුරුවරයාට ජීවිතය පූජා කොට වාසය කළෝ ය. මෙසේ ලක්දිව පතළ වුණ සිංහල මහරහතන් වහන්සේලා අතරින් උතුම් ගුරුවරයෙක් මුණගැසිී ඒ ගුරු ඇසුරේ වාසය කොට තම ජීවිතය අරහත්වය කරා ගෙන ගිය උතුම් මහරතන් වහන්සේනමක් ගැනයි අද සිත පහදවා ගන්නට ලැබෙන්නේ. උන්වහන්සේ ‘සෝණ’ මහරහතන් වහන්සේ යි.

*************************

මේ ලංකාදීපයේ දුර්භික්ෂ කාලයක එක්තරා මහල්ලෙක් තවත් කුඩා දරුවෙකු සමග තැන් තැන්වල ඇවිදිමින් කෑම ටිකක් සොයාගෙන ජීවත් විය. ඒ කුඩා දරුවා ‘සෝණ’ නම් විය. එක් දවසක් මේ දෙදෙනා ඇවිදිමින් මහා විහාරයට පැමිණියෝ ය. ඔවුන් දෙදෙනා දුටු එක් මහරහතන් වහන්සේනමක් සෝණ නමැති කුඩා දරුවාගෙන් “මහල්ලා අත්හැර පැවිදි නොවන්නේ කුමක් හෙයින්දැ?” යි ඇසූහ. “අනාථ වුණු මා වැනි කෙනෙක් පැවිදි කරන්නේ කවරෙක්දැ?” යි සෝණයන් කී විට මහරහතන් වහන්සේ මොහු අනාගතයේ දී ශාසනයෙහි සැලකිය යුත්තෙක් වන්නේ යැයි දැක ඔහු මහල්ලාගෙන් වෙන් කොට කරුණාවෙන් පැවිදි කරවූහ. මනා සේ ධර්මය ඉගැන්වීම ද කළහ. පසු කාලයක මහතෙරුන් වහන්සේට බුදුරජුන්ගේ උප්පත්ති ස්ථානය ආදී සතර ස්ථාන වැඳීමට සිතක් පහළ විය. උන්වහන්සේ සෝණ සාමණේරයන් අමතා “පිණ්ඩපාතය කොට වළඳා මෙහි ම වාසය කරන්න. මම දඹදිව ගොස් සතර ස්ථානයන් වැඳ නැවත එන්නෙමි.” යි කියා කීහ. ඒ සාමණේරනම “මාගේ ජීවිතය ඇතිතාක් මම ඔබවහන්සේ අත් නොහරින්නෙමි.” යි කීය. ඉක්බිති මහතෙරුන් වහන්සේ ඒ සාමණේරනමත්, තව භික්ෂූන් වහන්සේලා කීපනමකුත් කැටිව තවලම්කාරයන් සමූහයක් සමග ගමනට පිටත් වූහ. මෙසේ ගමන් කරද්දී මහ වනය මැද දී තෙරුන් වහන්සේට වාත රෝගයක් උපන්නේ ය. එය මාරාන්තික විය. එවිට තෙරනම ඉතිරි භික්ෂූන්ට කථා කොට “මම දැන් මරණයට පත් වන්නෙමි. ඔබ වහන්සේලා වැඩිය මැනව. සැමදෙනා විපතට පත් වීමෙන් කම් නැතැ” යි කිීහ. ඒ සියලු භික්ෂූන් වහන්සේලා නික්ම ගිය නමුත් සෝණ සාමණේරයන් නොගියේ ය. තෙරුන් විසින් පිටත් කරන ලද නමුත් “ඔබ වහන්සේ මාගේ ගුරුවරයා ය. ඔබ වහන්සේ ජීවත් ව සිටින තුරු මම නොයමි”යි සාමණේරයෝ පැවසූහ. මහරහතන් වහන්සේ පිරිනිවියේ ය. සාමණේරයන් වහන්සේ දර එකතුකොට දේහය තැන්පත් කළේ ය. මෙකරුණ නිසා සක් දෙවිඳුගේ ආසනය සෙලවෙන්නට විය. ශක්‍ර දෙව් රජ අප්‍රකට වේශයකින් අවුත් සාමණේරනමගෙන් තොරතුරු විචාරා සෝණ සාමණේරයන් සමග එක් වී ශරීර පූජාව කොට දේහය දැවී ය.

ඉක්බිති සෝණ සාමණේරයන් ව උතුරු දඹදිවට ගෙන ගොස් මහා විහාරයක මහත් ඍද්ධි ඇති මහ තෙරුන් වහන්සේනමක් වෙත නවත්වා “මේ භික්ෂූන් වෙතින් ධර්මය ඉගෙන තමාගේ කටයුතු කර ගත මැනවැ.” යි කියා ගියේ ය. සෝණ සාමණේරයන් මහ තෙරුන් වෙතින් ත්‍රිපිටකය ඉගෙන උපසම්පදාව ලබා පූජ්‍ය ස්ථානයන් වැඳ මහ තෙරුන් වහන්සේගෙන් අවසර ගෙන හෙළදිවට වඩින්නට පිටත් විය. මහා කොට්ටිදේව නම් තැනට පැමිණි විට සෝණ තෙරුන් වහන්සේට එක් දහම් පදයක සැකයක් උපන්නේ ය. හෙතෙම නැවත හැරී ගොස් මධ්‍යම රාත්‍රී කාලයෙහි විහාරයට පැමිණ මහ තෙරුන්ගේ කුටියේ දොරට තට්ටු කළේ ය. මහ තෙරුන් විසින් කුමකට ආවෙහි දැයි විචාරන ලද්දේ “ස්වාමීනී, මට එක් දෙයක සැකයක් උපන්නේ ය. එහෙයින් ආවෙමි. එය මට විස්තර කළ මැනවැ.” යි කීය. “ඇවැත් සෝණය ඔබ විසින් සිතන ලද්දේ එහි නියම අර්ථය යි” යැයි තෙරනම කීහ. හෙතෙම එය අසාගෙන ලංකාදීපයට අවුත් බොහෝ දහස් ගණන් භික්ෂූන්ට ධර්මය උගන්වා පාලි අර්ථ කියා දීම කළේ ය.

අප්‍රමාදීව වාසය කරමින් දිවි දෙවැනි කොට ධර්මයේ හැසිරුණේ ය. පසු වර්ෂයේ දී සියලු කෙලෙසුන් නසා රහත් බවට පත් විය. සෝණ මහරහතන් වහන්සේ වස් තුන් මාසයේ ප්‍රථම භාගයේ දී පුවඟු දිවයිනෙහි ද මධ්‍යම යාමයේ මහා විහාරයෙහි ද පශ්චිම යාමයෙහි දී සෑගිරියෙහි ද එක් රැයක දී තුන්පොළක දහම් දෙසූහ. පවාරණය කරන දිනයේ උන්වහන්සේ මෙසේ ප්‍රකාශ කළ සේක.

“බුදුරජුන් දෙසූ නවාංග ශාස්තෘ ශාසනය යම් පමණ ද ඒ සියල්ල මා විසින් ඉගෙන ගෙන ප්‍රකාශ කරන ලදී. මහාර්ෂීන් වහන්සේගේ ශාසනයෙහි හැම දහම් සුවයක් ම මා විසින් අනුභව කරන ලදී. මම සත්කාරය නොකැමති වෙමි. මම යුගන්ධරයට යන්නෙමි.”

මෙසේ කියා සෝණ මහරහතන් වහන්සේ අහසට පැන නැගී යුගන්ධර පර්වතයට ගොස් පිරිනිවන් පෑහ. ඉක්බිති ආචාර්ය මහ තෙරුන් වහන්සේ දිවැසින් බලා යුගන්ධර පර්වතයට වැඩියහ. ශක්‍ර දේවේන්ද්‍රයා ද ‘සෝණ මහරහතන් වහන්සේ පිරිනිවියේ ය, පූජා පවත්වන්නෙමි’ යි සිතා පැමිණියේ ය. එහි දිව්‍යමය පූජා ද ආර්යයන්ගේ පූජා ද විය. මෙසේ ආචාර්යවරයෙකු විසින් සත්කාර කරන ලදී.

මෙසේ ගුරුවරයා අත් නොහැර වාසය කළ සෝණ මහරහතන් වහන්සේ ගුරු භක්තිය නිසා සසර දුකින් එතෙරට වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ “මේ ලොවේ සිටිනා නුවණැති කෙනා සද්ධර්මය ඉගෙන ගනී නම් තමන්ට ඒ ධර්මය කියා දුන් ගුරුවරයා දෙවියන් විසින් සක් දෙවිඳු පුදනවා වාගේ පුදන්නේ ය. බොහෝ දහම් දැනුමින් යුතු ඒ ගුරුවරයා පහන් සිතින් යුතුව ධර්මය මතුකර දෙන්නේ ය.” කියා වදාළ සේක.

ශ්‍රේෂ්ඨ, සත්පුරුෂ වූ ගුරුවරුන් ලැබ – ආචාර්යයන් වහන්සේලාට දිවි පුදා ඇසුරු කොට ගුරු ගෞරවය නිසා සක් දෙවිඳුන්ගේ ආසනය පවා සොලවාලූ, ලක්දිව පහළ වුණු, පිරිනිවන් පා වදාළ අපගේ සෝණ මහරහතන් වහන්සේට නමස්කාර වේවා…!

සාදු! සාදු!! සාදු!!!

(සීහළ වත්ථු ග්‍රන්ථය ඇසුරින්)

මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේනමක් විසිනි.

[/fusion_text][/fusion_builder_column][/fusion_builder_row][/fusion_builder_container]