[fusion_builder_container hundred_percent=”no” equal_height_columns=”no” hide_on_mobile=”small-visibility,medium-visibility,large-visibility” background_position=”center center” background_repeat=”no-repeat” fade=”no” background_parallax=”none” parallax_speed=”0.3″ video_aspect_ratio=”16:9″ video_loop=”yes” video_mute=”yes” border_style=”solid” flex_column_spacing=”0px” type=”legacy”][fusion_builder_row][fusion_builder_column type=”1_1″ type=”1_1″ background_position=”left top” background_color=”” border_color=”” border_style=”solid” border_position=”all” spacing=”yes” background_image=”” background_repeat=”no-repeat” padding_top=”” padding_right=”” padding_bottom=”” padding_left=”” margin_top=”0px” margin_bottom=”0px” class=”” id=”” animation_type=”” animation_speed=”0.3″ animation_direction=”left” hide_on_mobile=”small-visibility,medium-visibility,large-visibility” center_content=”no” last=”true” min_height=”” hover_type=”none” link=”” first=”true”][fusion_text]

ඇත්තටම මේ පරලොව දිනූ කෙනෙක් ගැන. ඈ සිටියේ ඉන්දියාවේ. ඉන්දියාවේ සිරිත තමයි ගෑනු ළමයි ලාබාල තරුණ කාලෙම බන්දලා දෙන එක. ඈටත් ඒ දේ ම සිද්ධ වුණා. අවාසනාවක මහත… ඈට එකතු වෙන්න සිද්ධ වුණේ දුෂ්ට නැන්දම්මා කෙනෙක් ඉන්න මහා දුස්සීල පවුලකට.

නැන්ද ලේලි අරගලේ

බැන්දයින් පස්සෙ එන ඊළඟ ප්‍රශ්නෙ තමයි නැන්ද ලේලි අරගලේ. මේ ගෑනු ළමයගෙ ජීවිතේටත් ඔය අර්බුදේ ආවා.

ඇත්තටම සමහර ගෙවල් තියෙනවා, ඒ ගෙවල්වල නැන්දම්මා හරී… හොඳයි. ලේලි මහා… දුෂ්ටයි.

සමහරක් ගෙවල්වල ලේලි හරී… හොඳයි. නැන්දම්මා දුෂ්ටයි. සමහරක් ගෙවල් තියෙනවා එක්කෙනාට එක්කෙනෙක් දෙවෙනි නෑ.

හරියට කොච්චියි, මිරිසුයි වගේ. ඒත් සමහර ගෙවල් තියනවා. අනේ වාසනාවන්…! ඒ නැන්දම්මයි ලේලියි හරියට අම්මයි දුවයි වගේ. මේ ගෙදර ගත්තම, නැන්දම්මා මහ දුෂ්ට චරිතයක්. සමහරු ඉන්නවනේ…, ඒ ගෙදර ආණ්ඩු කරවන්න ඕන එයාට ඕන විදිහට. මුළු ගෙදරට ම එක අණයි. මේ ඒ ජාතියේ නැන්දම්මෙක්.

ඒත් මේ ලේලි උතුම් රත්නත්‍රය ගැන හිත පහදවාගෙන හිටියෙ. ඈ දුෂ්ට නෑ. අහිංසකයි.

තුනුරුවන් සරණෙ පිහිටි ජීවිතේ කා එක්කවත් හැප්පෙන්න යන්නෑනෙ. කට කැඩුණු ලෝහ භාජනේ වගේ නපුරු වචනයක් පිට කරන්නෙ නැතිව, ඈ බොහෝ…ම නිහඬව ඒ වහලෙ යට ජීවත් වුණා.

පින් රැස්වෙන පින් යාය දකින්නේ…

දවසක් මේ ගේ ඉස්සරහින් පින්වත් ස්වාමීන් වහන්සේනමක් වැඩම කරනවා. උත්තම තුනුරුවනට පැහැදුණු ලස්සන හිතක් තියන මේ ගෑනු දැරිවිට දැන් ඉවසිල්ලක් නෑ. උන්වහන්සේගේ උදාර ශාන්ත විහරණ දැක්කට පස්සෙ, සංවර ඉරියව් පැවැත්ම දැක්කට පස්සෙ අර ලේලිට මොනවාහරි පූජා කරන්න ම යි හිත.

එදා ගෙදර කැවුම් හදල තිබුණෙ. මේසෙ උඩ කැවුමක් තිබුණා.

‘මේක හොඳයි… ඔව්… මේක හොඳයි පූජා කරන්ට.’ ඈ කැවුම දෝතට ගත්තා. දුවගෙන ගියා එක පිම්මේ. ස්වාමීන් වහන්සේගේ පාත්තරේට අර කැවුම පූජා කළා. වන්දනා කළා. ඉක්මනින් ආපසු ආවා. දැන් හිත පිරිලා. සතුට දෝර ගලනවා. ඇයි..? සංඝයාට කැවුමක් පූජා කළානෙ.

කෙරුවෙ හොඳ – ඇහුවෙ බැණුම්

නැන්දම්මා ආවා. මේසය දිහා බැලු‍වා. කැවුම නෑ. වටපිට බැලු‍වා. රත්වෙන තාච්චියට අබ දැම්මා වගේ වුණා. තරහ පුපුරු ගහනවා. ලේලිට කෑ ගැහුවා.

“කෝ… මේ මේසෙ උඩ තිබ්බ කැවුම?”

“අනේ නැන්දෙ… මං ඒක කෑවෙ නෑ. මං ඒක විසි කළෙත් නෑ.”

“එහෙනම් කෝ ඒ කැවුම?”

නැන්දා යකින්නි වගේ. අහිංසක කෙල්ල බිම බලාගත්තා.

“කතා කරපන්… ඒක බහිරවයා ගිල්ල ද බොල?”

“අනේ නැන්දෙ… මං ඒක කෑවෙ නෑ. ඒක විසි කළෙත් නෑ. මං ඒක පූජා කළා.”

“පූජා කොළා.. හහ් හහ්.. පූජා කොළා.. දැන් එහෙනම් තෝ තමා මේ ගෙදර ළමාතැනී.. ආ…? දැන් තොට ඕන ඕන විදිහටයි මේ ගෙදර කටයුතු ආ…?.”

“අ..අ.. අනේ නැන්දෙ…, ම්.. මම්.. ඒ වගේ දෙයක් හාන්කවිසියක්වත් හිතුවේ නෑ.”

ඈ හෙමිහිට මැතිරුවේ ඇහෙන්නට නොඇහෙන්නට.

නැන්දගේ ඇස් දෙක හරියට දිෂ්ටියක් ආවේශ වෙලා වගේ. අර දැරිවි දිහා මරන් කන්ඩ වගේ බලාන හිටියා.

අර ගෑනු දරුවා බිත්තියේ මුල්ලට.. මුල්ලට.. ගුලි වුණා.

මේ වෙච්ච දේට පළිය ගන්නකන් අර මූසල නැන්දම්මට ඉවසිල්ලක් නෑ. නයා පෙනේ පුප්පලා වගේ හිතේ ද්වේෂය නැගිටලා.

නැන්දම්මා ද්වේෂයේ ගිනි දැල් ඇස් දෙකෙන් පිට කර කර එහෙ මෙහෙ බැලු‍වා. ඇගෙ දෑස් නැවතුනේ දොර මුල්ලේ තිබ්බ මෝල් ගහ ළඟ. අත් දෙක මෝල් ගහට ගියා. මෝල් ගහ එසවුණා. නැන්දම්මා මෝල් ගහ දෑතින් බදලා අර අහිංසක ගෑනු දැරිවිගේ උර පත්තට පහර දුන්නා.

ඈ වේදනාවෙන් උරපත්ත අල්ල ගත්තා. හෙමිහිට බිමට පාත් වුණා. ඇඳට වැටුණා.

ආකාසෙ වගේ හිතක්…

ඔත්පල වෙලා ඇඳට වැටුණට පස්සෙ, ඊ ළඟට තියන අමාරුම දේ මොකක්ද? ඒ තමයි ලෙඩ ඇඳේ ඉඳන් හිත රකින එක.

ඇයි..? දුක සැප බලන්න එන අයගෙ නොයෙකුත් කතාබහනේ. ඇගේ ඇඳ වටේටත් නොයෙකුත් අය එකතු වුණා. නැන්දම්මගේ දුෂ්ටකම් දන්න අයට මේ වෙච්ච අපරාදෙ ඉහිලු‍ම් නෑ.

අසාධාරණේ දෑහට පෙන්නන්න බැරි, එක තලත්තෑනි ගෑනු කෙනෙක් අර දැරිවිගේ හිස අත ගගා මේ විදිහට කීවෙ ඇහැට උනන කඳුළකුත් හිමිහිට පිහදාන ගමන්.

“උඹ හරී… හොඳයිනෙ මයෙ පුතේ… ඉස්සෙල්ලාම අපි ලෙඬේ හොඳකර ගනිමුකො. ඊට පස්සෙ… ඊට පස්සේ.. මං බලාගන්නම් කෝ..”

මේක අහන් හිටපු තව අම්මණ්ඩි කෙනෙක්…

“ඔව්.. ඔව්.. ඔව්.. හැම එකකට ම කරබාගෙන හිටියාම හරියයියැ. මං නං ඒකට කියන්නේ නිවටකම කියලා.. ඕං..”

තවත් එකියක් ඒකට ම උල්පන්දම් දුන්නා.

“හරියට හරි අක්කණ්ඩි.. මාත් මේ කට පියාගෙන හිටියට මොකෝ.. මේ ටික මේ අපේ එකීට කියාදෙන්නෙ කවද්ද.. කවද්ද.. කියල දෑතෙ ඇඟිලි ගැන ගැන හිටියේ. දැන් ඉතිං තමන්ට ම තේරුණානෙ බං.”

ඒක අහගෙන හිටපු වයසක උන්දෑ ඊ ළඟට හැරුණේ එහායින් හිටපු පහළ ගෙදර තරුණ පහේ දැරිවි පැත්තට.

“ඕං.. උඹලත් තේරුම් ගනිල්ලා, පෙළවහක් කරගන්ඩ හදිසිය කියලා අතන මෙතන පැටලෙනවා නෙමෙයි. කොලු‍වා හොඳ වුණත් ඒ ගෙදර මහ උන්දෑ කොහොමෙයි කියලා දහ දොළොස් වතාවක් කල්පනා කරන්ට ඕන. නැත්නම් උඹලටත් වෙන්නෙ පොලු‍ පාරවල් කාල නහින්ට තමයි. ඕං.. මං කීව කියල හිතාගන් කෙල්ල..”

අර තරුණ කෙලී මේකට ඇවිස්සිලා ගියා.

“හ්ම්.. මගෙත් එක්කනං කොහෙද ඒවා.. නිවටය දැක්කමලු‍ එළුවත් රැවුල් පාන්නෙ, ආ.. මේකත් පීරපන් කියලා.”

කතාව සැරේට නැගලා යනවා.

මේ ඔක්කොම කතාබහ මැද්දෙ, කනට ඇහෙන දේවල් හිතට වැද්දගන්නෙ නැතිව, අර දරුවා උහුලන්ට බැරි වේදනාවෙන් පණ අදිනවා.

බලන්ඩ ආව නඬේ ඔය විදිහට සුවදුක් බැලු‍ව. ගුරුහරුකනුත් දුන්න. තම තමන්ගේ වංහුං කතා කළා. අර දැරිවිගෙ හිසේ ඉඳන් දෙපතුල දක්වා ම අතගෑවා. දිග හුස්මකුත් හෙළලා, කම්මුලේ අතගහගෙන ටිකක් වෙලා බලා ඉඳලා හිමීට එකා දෙන්නා පිටත් වෙලා ගියා.

නඬේ ගිය බව දැනගෙන නැන්දම්මා හීන් සීරුවට එළියට ආවා. ඉස්සරහ දොර අඩවල් කරල, ලේලිගේ කාමරේට හෙමිහිට එබිකම් කළා. ලේලි ඇස් පියාගෙන ඉන්නවා.

“ම්.. තාම මැරිලා නැති පාටයි..” ඈ තමාටම කොඳුර ගත්තා.

හොරගල් අහුලන්නැහහේ හෙමීට හෙමීට කාමරයට අඩිය තිබ්බා. ඒ මොකෝ ඒ..? ආදරේට ද? මොන ආදරයක් ද? මැරිල ද බලන්න.

නළලේ රැලි තුනක් නංවලා, දෑස් දෙබැම පොඩ්ඩක් හකුළුවලා, ලේලි දිහා මොහොතක් හෝදිසියෙන් බැලු‍වා.

‘තාම හුස්ම වැටෙනවා. ම්.. ඔව්.. තාම හුස්ම වැටෙනවා. හ්ම්.. හ්ම්..’

හෙමිහිට ඔළුව පාත් කළා. ලේලිගෙ කනට කොඳුරලා කීවා “තෝ මැරියන්… මැරියන්…” කියලා. මේ ඇහැට, කනට පෙනෙන, ඇහෙන දේවල් මැද්දේ කොහොමද මේ ලේලි ඒ කිසි දේකට හැප්පෙන්නැතිව ඉන්නෙ?

හරී… ආශ්චර්යයි. ඈ එහෙම ඉන්නවා. පිටත ප්‍රශ්නෙ ඇතුළට ගන්නෙ නැතිව.., ඇතුළෙ ගැට ගැහෙන්න දෙන්නෙ නැතිව.. ඈ ඉන්නවා. බාහිර කිසි දේකට හිතින් හේත්තු වෙන්නෙ නැතිව ඉන්නවා.

උරපත්ත ඇදුම් දෙද්දි ඒ වේදනාවත් ඉවසගෙන ඉන්නවා. ඇහෙන, කියන දේවල් ඔක්කෝමත් ඉවසගෙන ඉන්නවා.

වෙච්ච අසාධාරණෙත් සිහි නොකර ඉන්නවා. වෛර ක්‍රෝධ හිතේ ඉපදෙන්න දෙන්නෙ නැතිව ඉන්නවා.

මට නැන්දම්මා මෝල් ගහෙන් ගැසුවා ය… මට කොඳුර කොඳුර මැරියන් කීවා ය.. ගෙදරට ආ දා පටන් අඩන්තේට්ටම් කළා ය.. මේ කිසි චිත්‍රයක් ඇගේ හිත් ආකාසෙ ඇඳෙන්නේ නෑ.

ශ්‍රේෂ්ඨයි… ඒ හිත හරියට අරූපී ආකාසෙ වගේ.

කෙනෙහෙලිකම් එනකොට එක දිගට, කෙනෙකුට ඉන්ඩ පුළුවන් නම් මේ වගෙ නිහඬ වෙවී…

ඇත්තටම ඒක නේද ධර්මය කියන්නේ?

රන්දා සිත කුසලේ බල ගන්ටයි…

ඉර නගිනවා… බහිනවා… ඉර නගිනවා… බහිනවා… මේ විදිහට දින දින ගෙවුණා. එදා තමයි මෝල් ගස් පහර කාල හත් වෙනි දවස.

ඈ දන්නෙ නෑ මේ ගෙවී යන්නේ ඇගේ ජීවිතයේ අන්තිම පැය කීපය කියලා. හැබැයි ඈ කොහොමටත් බිඳිලා යන කය බිඳිලා යද්දි, කුසල් හිත බිඳෙන්න දෙන්නෙ නෑ. පින් හිත පළුදු වෙන්න දෙන්නෙ නෑ.

‘මං සංඝයාට කැවුමක් පූජා කළා…’

මිහිරට තත් හැඬවෙන වීණාවකින් පැතිරිලා යන වෙණ නඳක් වගේ ඒ පින් සිතිවිල්ල ඇගේ හද මඬල පුරා රාව ප්‍රතිරාව දෙනවා. මුළු සන්තානෙට ම එච්චරයි.

ඈ ටික වේලාවක් වේගෙන් ඉහළට පහළට හුස්ම ගත්තා. සුළු මොහොතකින් ජීවිතයට පණ දුන්නු අන්තිම සුසුම් පොද මේ වා තලයට මුහු වෙලා ගියා.

තණ අග රැඳුණු පිණි බිඳක් වැනි ජීවිතේ වියැකිලා ගියා. දියේ මතුපිට ඇන්ද ඉරක් වැනි ජීවිතේ මැකිලා ගියා.

උපන් සත්වයාට උරුම මරණයත් අරගෙන ඈ පරලොවට ගියා.

වටිනා ම කාරණය…

ඒකට තමයි, කල්ප ගණනකින් ලැබෙන උතුම් තුනුරුවනෙන් පිහිට ලැබගත්තා කියන්නෙ.

ඔව්… බුද්ධ රත්නය.. ධම්ම රත්නය… සංඝ රත්නය..

වැස්සක් වෙලාවට මහා කුඩයක් ඉහළුවා වගේ… පුරුදු කරපු ධර්මය ම, දහමේ හැසිරුණු ඈ ව රැක්කා. දහමේ හැසිරුණු කෙනා කොහොම නම් දුගතියක යන්න ද? මේ දහමේ හැසිරීමේ ආනිශංසය එය නොවැ.

අපේ මුගලන් මහරහතන් වහන්සේ තව්තිසාවට වැඩම කළ වෙලාවක මේ සොඳුරු දෙවඟන මුණගැහුණා.

ඈ දැන් සතුටින් ඉන්නේ… ඒ සත්පුරුෂයින්ගේ ලෝකේ.

කොයි ලොව යන්නේ – මරණින් පස්සේ…

අපි කාටත් ඔය අන්තිම විභාගෙ එනවා. ඒක පාස් වුණොත් පාස්. ෆේල් වුණොත් ෆේල්. ආයෙ වතාවක් ඉල්ලන්න බෑ.

ඈ නම් පාස් වුණා. ඉහළින් ම පාස් වුණා. අපට..? අපටත් ගෙවෙන තප්පරයක් තප්පරයක් ගානේ ඒ මොහොත ළං වෙනවා.

ඔව්… ඇත්තටම. ගෙවෙන තප්පරයක් තප්පරයක් ගානේ අවිනිශ්චිතයි.

එහෙම නම් අපිටත් වටින්නේ ඈ පුරුදු කළ දහම ම යි. කාරුණික මුනිඳුන්ගේ දහම ම යි.

ඒ බණ පදවල මේ විදියට විස්තර වෙනවා.

“පින්වත් මහණෙනි, නපුරු හොරු ඇවිදින් දෙපැත්තේ මිට තියන කියතකින් මේ ශරීරයේ කොටස් කපනවා. එතකොට පවා යමෙක් හිත කිලිටි කර ගත්තොත් එයා මගේ අනුශාසනාව කරන කෙනෙක් නෙමෙයි. එතකොට වුණත් පින්වත් මහණෙනි, ඔබ හික්මෙන්නට ඕන මේ විදියටයි.

‘‍මම නම් මේ හිත වෙනස් කර ගන්නේ නෑ. නපුරු වචනයක් පිට කරන්නේ නෑ. හිතානුකම්පී ව ම වාසය කරනවා. තරහ නොගෙන ම ඉන්නවා. මෙත් සිතින් ම ඉන්නවා. ඒ අය ගැනත් මෙත් සිත පතුරුවාගෙනයි ඉන්නේ. සකල ලෝකයටත් මෙත් සිත පතුරුවාගෙනයි ඉන්නේ. මහත් කොට එකඟ වෙච්ච සිතින්, ප්‍රමාණ රහිත කොට, වෛර නැති, ද්වේෂ නැති මෙත් සිත පතුරුවාගෙනයි ඉන්නේ.’ ඔබ හික්මෙන්නට ඕන ඔය විදිහටයි.

පින්වත් මහණෙනි, ඔබ විසින් මම මේ කියත උපමා කරගෙන කරපු අවවාදය නිතර සිහි කළොත්, ඔබට කුමන ආකාරයෙන් වචන ඇහුණත් ඉවසන්නට බැරි දෙයක් තියෙනව ද?

අන්න ඒ නිසා පින්වත් මහණෙනි, මේ කියත උපමා කරගෙන දුන් අවවාදය ගැන නිරන්තරෙන් සිහිපත් කරන්නට ඕන. ඒක ඔබට බොහෝ කාලයක් හිත සුව පිණිස පවතීවි.”

(කකචූපම සූත්‍රය – ම. නි.)

එනිසා පින්වත.. ඔබ කවුරු වුණත්, ඔබ කුමක් කළත්.., ඔබ එතැන් ඉඳන්.., මේ බුද්ධානුශාසනාව කරන කෙනා වෙන්න.

ඔබ ඉවසිය යුතු තැන, ඔබේ ගෙදර වෙන්න පුළුවන්. ඔබ එතැන ඉඳන් ඉවසන්න.

ඔබ ඉවසිය යුතු තැන, ඔබ රැකියාව කරන තැන වෙන්න පුළුවන්. ඔබ එතැන ඉඳන් ඉවසන්න.

ඔබ ඉවසිය යුතු තැන ඔබේ පාසල එහෙම නැත්තම් ටියුෂන් පන්තිය වෙන්න පුළුවන්. ඔබ එතැන ඉඳන් ඉවසන්න.

ඔබ ඉවසිය යුතු තැන මහමඟ වෙන්න පුළුවන්, ඔබ එතැන ඉඳන් ඉවසන්න.

ඔව්.. ඔබට ඉවසාගන්ට අමාරු දේවල් එක දිගට එන්න පුළුවන්. එතකොටත් ඉවසන්න.

ඔබ අහල තියෙනව ද සක් දෙවිඳාණෝ මෙහෙම කියලා තියනවා?

“තමන්ගෙත් අනුන්ගෙත් දෙපැත්තෙම යහපත කැමති කෙනා, අනුන් කිපුණු බව දැන ගත්තම, තමන් සිහියෙන් යුතුව සංසිඳෙනවා.”

එනිසා ඔබත් අර්බුදයක් හැදෙන්න දෙන්න එපා. නිහඬ වෙන්න. වචන පිට වුණාම කෝලාහල දුරදිග යනවා.

ඊට වඩා ඉවසීම කියන ගුණය ගොඩාක්.. සුන්දරයි. ඒ ඉවසීම නම් වූ සොඳුරු ගුණයට ඔබේ දිවිය පුදන්න.

එවිට ඔබටත් දෙව්ලොවට යන ස්වර්ණ ද්වාරය විවර වේවි.

එනිසා…,

ඒ පරලොව දිනන්නට සිත් ඇත්තෝ, මේ කියත උපමා කොට වදාළ, පිවිතුරු පරමෝත්තම බුද්ධාවවාදය..,

හිස් මුදුනින් පිළිගනිත්වා.!

යෙහෙන් හද මඬලේ රුවා ගනිත්වා.!

සිත, කය, වචනයෙන් ක්‍රියාවට නංවත්වා.!

මෙලෙසින් පරලොව දිනූ අය.

සතුටින් ඉන්න වග අසා සැනසී..

මෙලොව ගෙවනා ජීවිතේ..

ඉවසීම පරම කොට වාසය කරත්වා.!

ඔබට තෙරුවන් සරණයි !


මහමෙව්නාව භාවනා අසපුවේ මෑණියන් වහන්සේ නමක් විසිනි.

[/fusion_text][/fusion_builder_column][/fusion_builder_row][/fusion_builder_container]