අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ උතුම් ධර්මාවබෝධය ලබා වැඩ සිටි රහත් මුනිවරුන්ගේ චරිතාපදාන බොහෝ දෙනා අතර ප්‍රචලිත ය. එහෙත් රහත් මුනිවරියන්ගේ චරිතාපදාන ගැන දන්නේ අතළොස්සකි. ගෞතම බුද්ධ ශාසනයේ භික්ෂුණී සංඝයාගේ ආරම්භය සඳහා මුල් වුණු, “බුද්ධ මාතා” යන පරම දුර්ලභ නාමය ලැබූ, චිරරාත්‍රඥ (පැවිදිව බොහෝ කල් ගත කළ) භික්ෂුණීන් අතර අග්‍ර වූ මහා ප්‍රජාපතී ගෞතමී මහරහත් උත්තමාවිය ගැනයි ඔබට අද සිත පහදවා ගන්නට ලැබෙන්නේ.

මෙයින් කල්ප ලක්ෂයකට පෙර ලොව පහළ වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි හංසවතී නුවර එක්තරා ඇමති කුලයක මැය උපත ලැබුවා ය. ඇගේ පියා ශ්‍රද්ධාවන්ත උපාසකයෙකි. එක්තරා දිනක ඔහු තම දියණිය ද සමඟ බණ ඇසීම සඳහා විහාරයට ගියේ ය. එදින පදුමුත්තර බුදුරජාණන් වහන්සේ භික්ෂුණී පැවිද්ද ලබාගෙන සිටි තමන් වහන්සේගේ සුළු මව වෙත චිරරාත්‍රඥ භික්ෂුණීන් අතර අගතනතුරු ලබා දුන් සේක. මෙය දුටු ඇය දින සතක් මුළුල්ලේම මහදන් දී “මටත් යම් කලෙක බුදුවරයන් වහන්සේ නමක් හමුවෙහි මෙබඳු අග්‍රස්ථානයක් ලැබේවා”යි ප්‍රාර්ථනා කරමින් බුදු සිරිපා අබියස වැඳ වැටුනා ය. පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ඇගේ ප්‍රාර්ථනාව සමෘද්ධිමත් වනු දැක “මෙයින් කල්ප ලක්ෂයක් ගිය කල ගෞතම නම් සම්බුදුන් ලොව පහළ වන සේක. උන්වහන්සේගේ ශාසනයේ ඔබ ගෞතමී නම් වී අග්‍රස්ථාන ලබාගන්නේ යැ.”යි වදාළ සේක.

ඇය බොහෝ පින්දහම් කොට මරණින් මතු දෙව්ලොව උපත ලැබුවා ය. මෙසේ දෙව් මිනිස් සැප සම්පත් ලබමින් සසර සැරිසරා යන අතරතුර බුද්ධශූන්‍ය කාලයක ඇය බරණැස නුවර කාසි රජුගේ විජිතයෙහි එක්තරා දාස ග්‍රාමයක උපත ලැබ ප්‍රධාන වූ යම් දාස පුරුෂයෙක් වේද ඔහුගේ භාර්යාව බවට පත් වූවා ය. එකල පසේබුදුවරු ලොව පහළව සිටියහ. එක්තරා දිනෙක හිමාලයේ ගන්ධමූලක පර්වතයේ වාසය කළ පසේබුදුවරු පස්නමක් වස් වැසීම සඳහා කුටි තනා ගැනීමට අවශ්‍ය උපකරණ සොයාගැනීමට දාස ගම්මානයට වැඩම කළ සේක. එය දුටු ප්‍රධාන දාසිය උන්වහන්සේලාට වස් වැසීම සඳහා ආරාධනා කොට අනෙකුත් දාස දාසියන් ද කැමති කරවාගෙන සක්මන් මළු ආදියෙන් අංග සම්පූර්ණ වූ කුටි පහක් කරවා ඇඳ පුටු හා පැන් බොන, දන් වළඳන බඳුන් තබා ඒ තුන් මාසය පුරාවටම උපස්ථාන කොට වස් පවාරණය කළ පසු තුන් සිවුරු පූජා කළා ය. පසේබුදුවරු ඔවුන් බලා සිටියදීම අහසින් ගන්ධමාන පර්වතයට වැඩියහ. ඇය මරණින් පසු දෙව්ලොව සැප විඳ නැවත වරක් පේෂකාර ගමක ප්‍රධාන පේෂකාරයාගේ නිවසෙහි උපත ලබා වැඩිවියට පැමිණි කල පන්සියයක් පසේබුදුන්ට දානය පූජා කොට, දිවි ඇති තාක් පින්කම් කොට දිව්‍යලෝක හා මනුෂ්‍ය ලෝකයෙහි පමණක් සැරිසරන්නී අප බුදුරජාණන් වහන්සේ ලොව පහළ වීමට පෙර දඹදිව දෙව්දහනුවර මහා සුප්පබුද්ධ නම් ශාක්‍ය රජුන්ට දාව මහා යශෝදරා දේවීන් කුස පිළිසිඳ ගත්තී ය.

මනුලොව උපත ලැබූ ඇය ‘මහා ප්‍රජාපතී’ යන නාමය ලැබුවා ය. වැඩිමහල් සොයුරිය වූයේ මහාමායා දේවියයි. තරුණ වියට පත් වූ කුමාරිකාවන් දෙදෙනාම මවුපියන්ගේ මෙහෙයවීමෙන් කපිලවස්තු පුරයෙහි සුද්ධෝදන රජුගේ අගමෙහෙසියන් බවට පත් වී මහාමායා බිසවගේ කුසින් අප මහා බෝධිසත්වයන් වහන්සේ උපත ලැබී ය. නන්ද කුමරුන් මහා ප්‍රජාපතී ගෞතමියගේ කුසින් උපත ලැබී ය. මහාමායා බිසව දරු උපතින් සත්දිනකින් කලුරිය කොට තුසිත දිව්‍යලෝකයෙහි උපත ලැබුවා ය. ගෝතමී තොමෝ නන්ද කුමරුන් කිරිමව්වරුන්ට දී මහබෝසත් සිදුහත් කුමරුන්ට තමන්ගේ කිරි පොවමින් සෙනෙහසින් යුතුව ආදරයෙන් රැක බලා ගත්තා ය. පසු කලෙක සිද්ධාර්ථ මහා බෝධිසත්වයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්ව තම ඤාතීන්ට සංග්‍රහ කිරීමේ දී කිඹුල්වත් පුරයට වැඩි අවස්ථාවේ දී ඒ උතුම් ශ්‍රී සද්ධර්මය අසා සෝවාන් ඵල ලැබුවා ය.

රාහුල කුමරුන් හා නන්ද කුමරුන් ද බුදු සසුනෙහි පැවිදි වී අරහත්වයට පත් වූහ. සුද්ධෝදන රජතුමා ද අරහත්වයට පත් වී පිරිනිවන් පෑහ. ශාක්‍ය කෝලිය කුමාරවරුන් පන්සියයක් දෙනා ද අරහත්වයට පත් වූහ. ඉක්බිති මහා ප්‍රජාපතී ගෞතමී දේවිය ද භාග්‍යවතුන් වහන්සේ වෙත එළඔ පැවිදි බව ලබා ගැනීම සඳහා අවසර ඉල්ලා එයට කිසිදු අවකාශයක් නොලබා පසුව පන්සියයක් කුල කාන්තාවන් සමඟ තම කෙස් වැටි කපා කසාවත් පොරවා පා ගමනින්ම යොදුන් පනස්එකක් දුර ගෙවා විශාලා මහනුවර කූටාගාර ශාලාව වෙත පැමිණ ආනන්ද මහතෙරුන් වහන්සේගේ උපකාරයෙන් කාන්තාවන්ට බුද්ධ ශාසනයේ පැවිදි බව පිණිස අවසර ලබාගත්තා ය. භාග්‍යවතුන් වහන්සේ වදාළ අෂ්ට ගරුධර්ම පිළිගැනීමෙන් පැවිදි උපසම්පදාව ලැබූ මහා ප්‍රජාපතී ගෞතමී තෙරණියගේ පැවිද්දෙන් මේ බුද්ධ ශාසනයේ භික්ෂුණී සංඝයාගේ ආරම්භය සිදු විය. මහා ප්‍රජාපතී ගෝතමී උත්තමාවිය නොබෝ කලක් යන්නට පෙර ෂඩ් අභිඤ්ඤාලාභී සතර පටිසම්භිදාලාභීව උතුම් අරහත්වයට පත් විය. සෙසු පන්සියයක් භික්ෂුණීන් වහන්සේලා ද නන්දකෝවාද සූත්‍ර දේශනාව අසා උතුම් අරහත්වයට පත් වූහ. පසුකලෙක භාග්‍යවතුන් වහන්සේ බුදු සසුනෙහි අග්‍රස්ථාන පිරිනමන කල්හී, “පින්වත් මහණෙනි, මාගේ මේ ශාසනයෙහි චිරරාත්‍රඥ භික්ෂුණීන් අතුරින් මහා ප්‍රජාපතී භික්ෂුණිය අග්‍ර වන්නේ ය.” යැයි වදාළ සේක. භික්ෂුණී සංඝයාට මව් කෙනෙක් සේ නිවන් අවබෝධය පිණිස අවවාද අනුශාසනා කරමින් අරහත් භික්ෂුණීන් පන්සියයක් සමඟ වෙසෙන බුද්ධ මාතා මහා ප්‍රජාපතී ගෞතමී උත්තමාවියගේ ආයුෂ ක්‍රමයෙන් අවසන් විය.

එක්තරා දිනෙක සමවත් සුවයෙන් වැඩසිටි ඒ උත්තමාවිය තමාගේ ආයුෂ ගෙවී අවසන් බව දැක, ‘භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවන් පෑම හෝ සාරිපුත්ත, මහා මොග්ගල්ලාන අග්‍ර ශ්‍රාවක උතුමන්ගේ පිරිනිවන් පෑම හෝ රාහුල, ආනන්ද, නන්ද යන මහතෙරුන් වහන්සේලාගේ පිරිනිවන් පෑම හෝ නොදකින්නෙමි. භාග්‍යවතුන් වහන්සේගෙන් අවසර ලබාගෙන පිරිනිවෙන්නෙමි’ යි සිතා තමන් සමඟ ගිහිගෙය හැරදා පැවිදිව අරහත්වයට පත් වූ පන්සියයක් රහත් භික්ෂුණීන්ට දැනුම් දුන්හ. පන්සියයක් අරහත් මුනිවරියන් සමඟ මහ ප්‍රජාපතී උත්තමාවිය භාග්‍යවතුන් වහන්සේ හමුවට ගොස් වන්දනා කොට මෙසේ පවසා සිටියා ය.

“සුගතයාණන් වහන්ස, මං නුඔවහන්සේගේ මව් වශයෙන් සිටියා. නමුත් මහා වීරයාණන් වහන්ස, නුඹවහන්සේමයි මගේ පියාණන් වහන්සේ. මාගේ අදරැති පුත්‍රයාණන් වහන්ස, නුඹවහන්සේට කිරි පෙවූ මේ අම්මාව නුඹවහන්සේ භව සයුරෙන් ගොඩ ගෙන අමා නිවන් දිවයිනේ පිහිටුවා රැකවරණය දී වදාළා නොවේද? රජදරුවන්ගේ අම්මලාටත් ‘රාජ මාතාව’ කියනවා. නැත්තම් ‘රාජ මහේෂිකාව’ කියලත් කියනවා. ස්ත්‍රීන්ට ලැබෙන ඒ නාමයන් සුලභව අසන්නට ලැබෙනවා. නමුත් යම් අම්මා කෙනෙකුට ‘බුද්ධ මාතා’ යන උතුම් නම අසන්නට ලැබෙනවා නම් ඇත්තෙන්ම ඒ නාමය අසන්නට ලැබීම අතිශයින් දුර්ලභයි. මහා රන් කඳක් බඳු නුඹවහන්සේගේ රන්වනින් බැබළෙන ඔය ශ්‍රී ශරීරය පෙන්වා වදාළ මැන. දෙතිස් මහා පුරිස ලකුණින් බබළන නුඹවහන්සේගේ රන්වන් ශ්‍රී ශරීරය මේ දෑසින් අවසන් වතාවට දැකගෙන මං ශාන්ත වූ අමා නිවනට යන්නෙමි!” එවිට අපගේ මහා කාරුණිකයන් වහන්සේ ඒ අසිරිමත් වූ සම්බුදු බඳ, නැගී එන හිරුමඬලක් වලාවෙන් මිදී දර්ශනය වන සෙයින් ප්‍රජාපතී තෙරණිය හට පෙන්වා වදාළහ.

ප්‍රජාපතී උත්තමාවිය අප භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාද පද්මය මත සිරසින් වැඳ වැටුණා ය. “මං යළි කිසිදාක මේ දෑසින් නුඹවහන්සේ දකින්නේ නෑ. ලොවෙහි මුදුනට වැඩි මුනිදාණන් වහන්ස, ලෝකයෙහි ස්ත්‍රීන් යනු බොහෝ අඩුපාඩු සහිත වූත් දොස් සහිත වූත් පිරිසක් බව මට තේරෙනවා. ඒ නිසා මා අතිනුත් කිසිදු අඩුපාඩුවක් දොසක් වූයේ නම් කරුණාවට ආකරයක් බඳු මුනිදාණන් මට සමාව දෙන සේක්වා!” ඇය භාග්‍යවතුන් වහන්සේගේ පාමුල වැඳ වැටී පිරිනිවන් පෑමට අවසර ඉල්ලා සිටියා ය.

ඒ අවස්ථාවේ අපගේ භාග්‍යවතුන් වහන්සේ මහා ප්‍රජාපතීි ගෝතමියට මෙසේ වදාළ සේක. “ගෝතමී, මේ ලෝකේ නුවණ රහිත බාල උදවිය ඉන්නවා. ස්ත්‍රීන්ගේ ධර්මාවබෝධය ගැන ඔවුන්ට සැකයි. ඒ නිසා ඔවුන්ගේ මිසදිටු දුරු වීම පිණිස ඍද්ධි ප්‍රාතිහාර්ය දක්වන්න.” එවිට මහා ප්‍රජාපතී මහරහත් තෙරණියෝ සම්බුදුරජුන් වන්දනා කොට අහසට පැන නැංගහ. පළමුවෙන්ම එතුමිය පමණක් තනිවම ආකාසේ පෙනී සිටියා ය. ඉන්පසු එතුමිය බඳු සිය ගණනක් භික්ෂුණීන් අහසේ පෙනී සිටියහ. නැවතත් ඒ සියලු භික්ෂුණීන් නොපෙනී එතුමිය පමණක් පෙනී සිටියා ය. ප්‍රාකාර, මහා කඳු පර්වත අතරින් විනිවිද ගියා ය. ජලයේ කිමිදෙන්නියක් සෙයින් පොළොවේ කිමිද ගියා ය. සිනේරු පර්වතය මිටට අරගත්තා ය. මහා පෘථිවිය මුලින්ම පෙරළා කුඩයක් සේ දරාගෙන අහසේ සක්මන් කළා ය. සිව් මහා සමුදුරේ ජල කඳ තමන්ගේ තනි අල්ලට ගත්තා ය. නැවතත් ගෞතමී රහත් තෙරණිය අහසේ පෙනී සිටිමින්, “මහා වීරයන් වහන්ස, මං නුඹ වහන්සේගේ පුංචි අම්මා. සදහම් ඇස් ඇතියාණනි, ඉතින් ඒ පුංචි අම්මාටත් උතුම් අරහත්වයට පත්වෙන්නට පුළුවන් වුණා. දැන් ඇය නුඹ වහන්සේගේ සිරිපා කමල් වන්දනා කරනවා.” යි පවසමින් අහස් තලයට වැඩම කොට නොයෙක් ආකාරයේ ඍද්ධි ප්‍රාතිහාර්යන් දක්වා වන්දනා කරමින් එකත්පස්ව වාඩිවී මෙසේ කිව්වා ය.

“මහා මුනිවරයන් වහන්ස, මට දැන් උපතින් වයස අවුරුදු එකසිය විස්සක් වෙනවා. වීරයාණන් වහන්ස මට එය හොඳට සෑහේ. නායකයාණන් වහන්ස, මම පිරිනිවීමට යන්නෙමි.” ගෞතමී තෙරණිය මෙය පැවසූ පසු අනික් පන්සීයක් රහත් තෙරණිවරු අහසට පැන නැගී නොයෙක් ඍද්ධි ප්‍රාතිහාර්යයන් දක්වා ඒ උත්තමාවියන්ගේ ද නිකෙලෙස් බව ප්‍රකාශ කොට පිරිනිවීමට අවසර ඉල්ලූහ. “යම් පිරිනිවීමක් පිණිස ඔබ කල් බලා සිටියා ද ඒ කාලය දැනගන්න.” යැයි සම්බුදුරජුන් අවසර දුන් පසු මහා ප්‍රජාපතී ගෞතමී තෙරණියෝ අනෙක් රහත් තෙරණියන් වහන්සේලා සමඟ භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළහ. නැගිට පිටත්ව ගියහ. ඒ අවස්ථාවේ මහා වීර වූ තුන් ලෝකාග්‍ර වූ ලෝකනායකයන් වහන්සේ භික්ෂු සංඝයා සමඟින් කූටාගාර ශාලා දොරටුව තෙක් සිය පුංචි අම්මා අනුව වැඩම කොට වදාළ සේක. එකල්හි ගෞතමී තෙරණියෝ අවසන් වතාවට ශාස්තෘන් වහන්සේගේ පා කමල් වන්දනා කරගත්තා ය. මෙහෙණවරට වැඩම කොට අර්ධ පළඟක් බැඳගෙන ආසනයේ වැඩ සිටියා ය. එවිට බුදු සසුන කෙරෙහි පහන් සිත් ඇති උපාසිකාවෝ ගෞතමී තෙරණියගේ පිරිනිවීම ගැන අසා වැළපෙමින් ළයෙහි අත් ගසා හඬමින් ඇද වැටුණහ. ගෞතමී තෙරණියෝ උපාසිකාවන්ට අනුශාසනා කොට බැහැරට පිටත් කළහ. සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය බව පසක් කරමින් තෙල් රහිත වූ පහනක් නිවී යන්නේ යම් සේද එසේම මහා ප්‍රජාපතී ගෝතමී මහරහත් තෙරණිය පිරිනිවන් පෑවා ය. එකෙණෙහිම මහා පෘථිවිය කම්පා විය. අහස පුරා විදුලි කෙටිලි පැතිරී, අහස් කුස මහත් හඬකින් ගිගුම් දුනි. දෙවියෝ හඬා වැළපෙන්නට පටන් ගත්හ. අහසේ සිට දිව මල් වරුසා ඇද හැළෙන්නට පටන් ගති. මහාමේරු පර්වතය සැලී ගියේ ය. මහා සාගරය ද ශෝකයෙන් බැගෑපත් වූ කලක මෙන් ශෝකාකූල ඝෝෂාවක් කරන්නට පටන් ගති. එකෙණෙහි දෙවියෝත්, නාගයෝත්, අසුරයෝත්, බ්‍රහ්මයෝත් මහා සංවේගයට පත්ව මෙසේ පවසා සිටියහ. “අහෝ! මේ අරහත් වූ උත්තමාවී යම් ආකාරයකින් නිවී ගියා ද ඒකාන්තයෙන්ම හේතුඵල දහමින් සකස් වූ සෑම දෙයක්ම අනිත්‍යයි. අනිත් රහත් තෙරණිවරු පන්සිය දෙනාද පිරිනිවන් පා වදාළා.”

ඒ අවස්ථාවේ දෙවි බ්‍රහ්මයෝ අපගේ ශාස්තෘන් වහන්සේට මෙය දැනුම් දුන්හ. එවිට අපගේ ශාස්තෘන් වහන්සේ ආනන්දයන් වහන්සේ අමතා බුද්ධ මාතාව පිරිනිවීම ගැන භික්ෂූන්ට දැනුම් දෙන්න කියා වදාළ සේක. ගෞතමී තෙරණියෝ යම් ඇඳක පිරිනිවන් පෑවා ද ඒ ඇඳ රන්සිවි ගෙයක තැන්පත් කෙරෙන ලදී. සතරවරම් දේවතාවරු ඒ ශ්‍රී දේහය තැන්පත් රන්සිවිගේ උරහිසින් ඔසවා ගත්හ. පිරිනිවන් පෑ අනිත් තෙරණින් වහන්සේලාගේ රන්සිවි ගෙවල් අනෙක් දෙවිවරු උරහිසින් ගන්නා ලදුව ආදාහනය කරන ස්ථානය කරා ඔසවාගෙන යන ලද්දේ දෙවි දේවතාවෝ ද නාගයෝ ද අසුරයෝ ද බ්‍රහ්මයෝ ද නොයෙක් පුද පූජා පැවැත්වූහ. සුවඳ වර්ගයන්ගෙන් චිතකයන් කරවා රහත් තෙරණියන් වහන්සේලාගේ දේහයන් ඒ මත නංවා ඒ සියල්ල ආදාහනය කරන ලදී. ගෞතමී තෙරණියගේ අස්ථි ධාතූන් වහන්සේලා පමණක් ඉතිරි විය. භාග්‍යවතුන් වහන්සේගේ මෙහෙයවීමෙන් අපගේ ආනන්දයන් වහන්සේ ගෞතමී මහා තෙරණියගේ අස්ථි ධාතූන් වහන්සේලා ඇයගේ ම පාත්‍රයට පුරවාගෙන ලෝකනාථයන් වහන්සේගේ ශ්‍රී හස්තයට ලබා දුන්හ. ඒ අස්ථි ධාතූන් වහන්සේලා පිරි පාත්‍රය ශ්‍රී හස්තයෙන් පිළිගත් අපගේ භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.

“ඉතා සාරවත් අරටුව සහිත වූ මහා වෘක්ෂයක් තිබෙන්නේ යම් සේද, ඒ මහා වෘක්ෂයේ කඳ අනියතතාව නිසාවෙන් වැනසී යන්නේ යම් සේද, එසෙයින්ම භික්ෂුණී සංඝයාගේ මහත් වූ සාරවත් කඳ බදු ගෞතමී පිරිනිවී ගියා ය. අහෝ ආශ්චර්යයකි, මා හැදූ වැඩූ අම්මා සිය සිරුර පමණක් ඉතිරි කොට පිරිනීවී ගිය කල්හිත් මගේ සිතේ කිසි ශෝක වැළපීමක් හට නොගනී. බිහිසුණු සංසාර සාගරය ඕ තරණය කළා ය! සියලු දුක් සෝ තැවුල් නසා දැම්මා ය. සිහිල් වී ගියා ය. සොඳුරු වූ නිවීමකට පත් වී ගියා ය. මේ ගැන අන්‍යයන් විසින් ශෝක නොවිය යුත්තේ ය. මහණෙනි, ගෞතමිය පිළිබඳව මෙසේ දරා ගනිව්. ඕ තොමෝ නුවණැති වූවා ය. මහා ප්‍රාඥ වූවා ය. පැතිරගිය පුළුල් ප්‍රඥාවෙන් යුතු වූවා ය. භික්ෂුණීන් අතර පැවිදිව බොහෝ කල් ගත කළ තැනැත්තී චිරරාත්‍රඥ වූවා ය. ඒ ගෞතමී තොමෝ ඍද්ධි විෂයෙහි වශීප්‍රාප්ත වූවා ය. දිව්‍ය ශ්‍රවණයෙහි, පරචිත්තවිජාණන ඥානයෙහි වශීප්‍රාප්ත වූවා ය. සතර පටිසම්භිදාවෙහි එතුමිය තුළ තිබූ ඥානය ඉතා පිරිසිදු ය. එහෙයින් ගෞතමියගේ පරිනිර්වාණය යනු ශෝකාකූල වීමට කාරණාවක් නොවේ.

එහෙයින් මහණෙනි, තමාව පිහිට කරගෙන වාසය කරව්. සප්ත බොජ්ඣංග ධර්මයන් ප්‍රගුණ කොට මේ බිහිසුණු සසර දුක අවසානයට පත් කරව්!”

මෙසේ මේ උතුම් බුදුසසුනේ මහා ගුණස්කන්ධයක් දරා වැඩ සිටි, බුද්ධමාතා යන නාමයෙන් පිදුම් ලැබූ මහා ප්‍රජාපතී ගෞතමී මහරහත් උත්තමාවියට අපගේ නමස්කාරය වේවා!

සාදු! සාදු!! සාදු!!!

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.