මෝදු වුණ හිරු මඬල, සඳ මඬල සේ ම තාරකා ද බැස යා යුතු ය. නො බසින හිරු, සඳු හෝ තරු ලොව පවත්නේ නැත.

සුපිපුණ මල් ද පරව යා යුතු ය. නො පරවෙන මල් ලොව ඇත්තේ නැත.

එපරිද්දෙන් ම නැගුන යම් මේ රළ පහරක් වේ නම් එය බිඳී යා යුතු ම ය. නො බිඳෙනා රැල්ලක් ලෝකයෙහි හමු වන්නේ නැත.

තෙරක් නො පෙනෙනා මහ සයුරේ ගැඹුරු දියඹේ සිට වෙරළ කරා ඇදී එන ‘මුහුදු රැළිවලට ද’ පත්ලක් නො පෙනෙනා හදවතක ජනිත ව සමාජය කරා යොමු වන ‘සමාජ රැලිවලට ද’ මේ සිද්ධාන්තය එක සේ ම වලංගු ය. ගෙවා දැමූ ජීවිත කාලය තුළ මෙකී පොදු සිද්ධාන්තයේ නියත ප‍්‍රතිඵලයන් බොහොමයක් අපි දුටුවෙමු. අප වටා නැගුන රැළි නිමක් නැත. ආ පරිද්දෙන් ම හෝ ආවාටත් වඩා වැඩි වේගයකින් හෝ ඒ සියල්ල බිඳී විසිරී ගියා මිස තිරසාර ලෙස රැඳුන ‘රැල්ලක්’ නම් නො වී ය. සැබෑවකි. රළ පහරක් නම් බිඳී යා යුතු ම ය.

මෑත කාලයේ රැලි පිටින් අපට මුණ ගැසුණ නොයෙක් තරුවලට සිදු වූ දෙය ම පමණක් වුව ද අපට සිහි කර දෙන්නේ එයයි. ඒ සුපිරි තරු ගැන කියන්නට තරම්වත් දෙයක් ඉතිරි වී නැත. කාගේ හෝ රූපය සමාජයට රැල්ලක් වුණ අවස්ථා සුලභ ය. කර්ණ රසායන හඬකට ද එලෙස සමාජ රැලි තනනු හැකි විය. නොයෙක් සුවඳ, රස සහ පහස රැල්ලක් ලෙස සමාජය වෙලා බැඳ තබා ගත් අයුරු ද අපට අමතක නැත. එහෙත් අද ඒ කිසිවක් නැත. ඒ වෙනුවට ඇත්තේ වෙනත් දෙයකි. හෙට තවත් අලූත් දෙයක් විසින් ඒ ස්ථානය ආක‍්‍රමණය කෙරෙනු ඇත.

කවරකට වුව ද බහුල වශයෙන් පිරිස් යොමු වද්දී ද අලූත් දෙයක් වටා පිරිස් සංකේන්ද්‍රනය වෙද්දී ද ඒ සඳහා පොදුවේ යෙදෙන නාමය වන්නේ ද රැල්ල යන්නයි. රැල්ලක් ලෙස පෙනී ගිය ද එය ඇතැම් විට අන්ධ අනුකරණයක් හෙවත් රැල්ලක් නො වන්නට ද ඉඩ තිබේ. එය කාලය සමඟ දැකිය යුත්තකි. සරල ව ම කිව යුත්තේ රැල්ල ලෙස කියූ පමණින් සියල්ල රැලි ගණයට වැටෙන්නේ නැත කියා ය. තවත් එක් රැල්ලක් පමණකි ය කියා ලෝකය විසින් අවලාද නගන්නට යෙදුණ ඇතැම් දේවල් වඩාත් අර්ථාන්විත ව විරාජමාන වන්නේ ද රැල්ලක් නො ව හුදු අවබෝධාත්මක අනුගමනය කිරීම් ය ලෙස ගෙන හැර පෑ ඇතැම් දේවල් සමාජ භාවිතයෙන් බැහැරට යන්නේ ද රැල්ල, රැල්ලක් නො වන දෙයින් නිවැරදි ව වෙන් කර හඳුනාගන්නට සමාජය තවමත් පොහොසත් නො වන බව ද තහවුරු කරමිනි.

එලෙස රැල්ලක් ලෙස පෙන්වා දෙන්නට බහුතර පිරිසක් උත්සහ කළ ද කිසිසේත් ම රැල්ලක් නො වූ, එමෙන් ම වසර දහතුනක කාලයක් පුරාවට ලෝ වැසි බොදු සිත් සතන් නිර්මල සදහම් දියෙන් තෙමාලූ, ධර්මය නමින් නැගී ආ රැලි පෙරළී සුණු විසුණු වී යද්දී බොහෝ බාධක මධ්‍යයේ ඉන්ද්‍රඛීලයක් ව නො සෙල්වී සිටියා වූ, ජාතියේ පිනෙන් බිහි වී ගෞතම සම්බුදු සසුන බබුළුවාලූ පුණ්‍ය තීර්ථය වූයේ මහමෙව්නාවයි. එය අවිවාදිත ය.

කාලාන්තරයක් පුරාවට ධර්මය වැළලී ගොස් තිබිය දී, ධර්මය නමින් අධර්මය ඉස්මතු වෙමින් තිබිය දී ගෞතම බුදු සසුන දිවි හිමියෙන් සුරකින්නට ඉදිරිපත් වූ ගිහි පැවිදි පිරිස් වරින් වර ධර්ම ප‍්‍රබෝධයක් ජනිත කරවනු පසුගිය දශක කිහිපය තුළ දක්නට ලැබිණි. එවැනි ඇතැම් ප‍්‍රයත්නයන් සුළු කලකින් ම පරිහානියට පත් විය. ඇතැම් ඒවා ටික කාලයක් දීප්තිමත් ව නැගී සිටිමින් ශාසනික සේවාවන් හි නිරත විය. ඉතා ම සුළු කොටසක් පමණක් සැලකිය යුතු අන්දමේ දීර්ඝ කාලයක් පුරාවට සමාජය තුළ රැඳී පවතිනු දක්නට විය.

ඉදිරිපත් වූයේ එකම කටයුත්තක් උදෙසා වුව ද එකිනෙකාගේ පැවැත්ම මෙලෙස වෙනස් වූයේ, ධර්ම ප‍්‍රබෝධය රැල්ලක් ලෙස ඇතිවන්නක් බව මතුපිටට පෙන්වා දෙමිනි. එහෙත් සැබෑව නම් එය නො වේ. ධර්ම මාර්ගය තුළ ශාසනික සේවාවන් නිසි පරිදි ඉටු කරන්නට ඉඩ ලැබෙන්නේ දරා සිටිනා ධර්මයත්, පුණ්‍ය ශක්තියත් මත ය. පින සහ ධර්මය නො පවතින විට උදාරතර ශාසනික මෙහෙවරක නියැළීම කවරෙකුට වුව ද කළ නො හැක්කකි.

මේ කරුණෙහි ලා පළමුවෙන් නිර්මල දහමින් තමන් පෝෂණය විය යුතු ය. ධර්ම ඥනය ඇතිව, ඒ ශාස්තෘන් වහන්සේ ගැන ද ධර්මය ගැන ද ශ‍්‍රාවක පිරිස ගැන ද පැහැදුණ සිත් ඇතිව දහමේ හැසිරෙන්නා තම ජීවිතය කරා නිරන්තරයෙන් ගලා එන පුණ්‍ය ගංගාවක් යොමු කරගෙන සිටින්නෙකි. ධර්ම කථිකත්වයෙහි ද මනා හැකියාවක් තිබේ නම් ඒ තැනැත්තාට ධර්ම ප‍්‍රචාරයෙහි ලා මහා මෙහෙයක් ඉටු කිරීමේ භාග්‍යය ද හිමි වේ. කෙසේ වුවත් වත්මන් ලෝකයේ වැඩිපුරම බාධා ඇති වන්නේ ද ඒ කාරණා දෙකට ය. එනම්, අවබෝධයෙන් යුතු ව ධර්මයේ හැසිරීමටත්, සුපිරිසිදු දහම අන්‍යයන් උදෙසා බෙදා හැරීමටත් ය. ස්වකීය පුණ්‍ය ශක්තිය ඉතා වැදගත් මෙහෙයක් ඉටු කරන්නේ මේ අවස්ථාවේ ය. පින බලවත්ව නැගී සිටින විට ධර්මයට විරුද්ධව පැන නගින්නා වූ බලවේගයන් මැඩ පැවැත්වීම පහසු වේ. එවන් වූ ධර්ම සංහිඳියාවකින් කෙසේ නම් රැල්ලක් බිහි වන්න ද? මහමෙව්නාවෙන් පැතිරී ගිය ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නිර්මල දහම් සන්දේශය වටා, ඒ සම්බුදු සසුන් කෙතෙහි සිත පහදවා ගත් ගෞතම සම්බුදු ශ‍්‍රාවක පිරිසක් රොද බැඳ ගත්තා මිස හුදු රැල්ලක් ඒ වටා ගොනු නො වූ බව අප කියන්නේ මේ අර්ථයෙන් ම ය. එය ද අවිවාදිත ය.

රැල්ලක ආරම්භය වන්නේ ම ජනප‍්‍රියත්වයයි. නමුත් මහමෙව්නාවේ ආරම්භය වූයේ උතුම් ශී‍්‍ර සද්ධර්මයයි.

‘‘මුල්ගල තැන්පත් කරන වේලෙහි මා සිතට නැගුණේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය බබුළුවන පිරිසක් බිහි වේවා! යන අදහස පමණි. ඒ ගෞතම බුදු සසුනේ සුන්දර පණිවිඩය පැතිරෙන භූමියක් බිහි වීම ඉලක්ක කොටගෙන ය ‘මහමෙව්නාව’ යන නම තබන ලද්දේ.” (සත්‍යය සොයා යෑම, පූජ්‍ය කිරිබත්ගොඩ ඤණානන්ද ස්වාමින් වහන්සේගේ ස්වයං ලිඛිත චරිතාපදානය)

ඉනික්බිති ව එළඹියේ ඒ උත්තම සංකල්පය ඵල දැරූ සුපින්බර යුගයකි. ‘අනතුරු ව ටිකෙන් ටික දහම් ඝෝෂාව පැතිරෙන්නට විය.’ යනුවෙන් උක්ත ග‍්‍රන්ථයෙහි ලියා තිබීම කොතරම් නම් උචිත ද යන්න යළි යළිත් පෙනී යන්නේ ඒ දහතුන් වසරක කාලය ගැන මතකාවර්ජනයක යෙදෙද්දී ය.

මේ සොඳුරු දහම් පණිවිඩයෙන් ප‍්‍රමුදිත වූ සිත් ඇත්තන් ධර්මය ඇසීමේ අරමුණෙන් ම මේ බුද්ධශ‍්‍රාවකයන් වහන්සේලා සේවනය කරන්නට වූහ. පාරම්පරික ව පැවත ආ නිසාවෙන් බෞද්ධව හුන් පිරිස් ලොව බිහි වූ අනුත්තරීය මනුෂ්‍ය රත්නය ගුණ වශයෙන් ම හඳුනාගෙන සරණ ගියහ; ඒ ශ‍්‍රී සද්ධර්මය ද ආර්ය මහා ශ‍්‍රාවක සඟ රුවන ද ගුණ වශයෙන් ම හඳුනාගෙන සරණ ගියහ. ජනප‍්‍රිය ගීතයන් ගයමින්, උසුළු විසුළු හා විහිළු තහළු සමඟින් පුණ්‍ය භූමි වන්දනාවේ යෑමට යොමු වී සිටි පිරිස් එදිනෙදා කටයුතුවල දී පවා බුදු ගුණ සිහි කරන්නට, සජ්ඣායනා කරන්නට වූහ. කරන්නන් වාලේ තෙරුවන් වන්දනා කළ සහ දෙන්නන් වාලේ දන් පැන් දුන් අය ශ‍්‍රද්ධාවෙන් යුතු ව ම, පින ගැන මනා අවබෝධයකින් යුතු ව ම දහම් මඟ හැසිරෙන්නට වූහ. අපගේ මව්පියන් බහුතරය ද ඔවුන්ගේ දෙමව්පියන් ද මරණයට පත් වූයේ මේ මහානීය නිධානය තමන් සතු කරගෙන නො වේ. එහෙත් මහමෙව්නාව නිසාවෙන් අපි එලෙස හිස් අතින් මිය යෑමේ අභාග්‍යයෙන් මිදුනෙමු. කලණ මිතුරු සඟ රුවනට නමස්කාර වේවා!

ධර්මය අසන්නට අසන්නට, ඒ දහම් රසයෙන් ප‍්‍රමුදිත වූ බොහෝ දෙනා දහම දකින්නට යොමු වූ සිත් ඇත්තන් බවට පත් වූහ. සුවසේ දහම් මඟ ප‍්‍රගුණ කිරීමට නම් පින බලවත් විය යුතු ම ය යන අවබෝධයෙන් සැදී ගිය සිත් සතන් ලද පිනැත්තෝ මහමෙව්නාව නම් වූ පින්කෙත සොඳුරු පුණ්‍ය මාලා දාමයන්ගෙන් සරසාලන්නට වූයේ ඉන් පසු ව ය.

දහම් සුවයෙන් පණ පෙවූ ප්‍රෞඪ ඉතිහාසය යළි බිහි වී යැයි හැඟෙන අයුරෙන් අසදෘශ බුද්ධ පූජාවන් මහමෙව්නාව සිසාරා සිදු කෙරෙද්දී එහි යට ගිය තතු නො දත් නිසාවෙන් හෝ ගෞතම සම්බුදු සසුන බැබළවීමෙහි ලා මහමෙව්නාව ඉටු කළ උත්තුංග කාර්යභාරය පිළිගැනීමට ඇති අකැමැත්ත නිසාවෙන් හෝ යම් යම් පිරිස් කියා සිටියේ මෙය හුදු රැල්ලක් බව යි. එය අභූත චෝදනාවක් වන්නේ සුපැහැදිලි ව තහවුරු වී ඇති පරිද්දෙන් ම මහමෙව්නාව යනු ගෞතම සම්බුදු සසුනේ අද්විතීය බැබළීමක් මිස ජනප‍්‍රියත්වය හඹා යන හෝ ජනප‍්‍රියත්වයෙන් මුලාවට පත් වන දෙයක් නම් නො වන නිසාවෙනි.

ධර්මයත්, පිනත් මේ අයුරින් ම ප‍්‍රමුඛ ව නැගී සිටිනා තුරාවට ගෞතම සම්බුදු සසුන විරාජමානවන බව නම් නිසැක ය. මහමෙව්නාව සතු ඒ පුණ්‍ය ශක්තිය චිරාත් කාලයක් ධර්මය තුළ ඔබට, අපට සුරක්ෂිතභාවය සලසන බව අපි විශ්වාස කරන්නෙමු.

‘‘දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති”

දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි උතුම් ශ‍්‍රී මුඛ බුද්ධ වචන ගංගාව (ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්) බොහෝ කල් ගලාබස්නා සේක්වා!
(සළායතන සංයුත්තය ‐ උද්දාන ගාථා)

රැල්ලේ සටහන
භාරත සූරියබණ්ඩාර