‘බැඳීම්’ යනු මේ ලෝකයේ තිබෙන පුදුමාකාර වූ දෙයකි. අප අතර නොයෙකුත් බැඳීම් හට ගෙන තිබේ. ඥාතීන්, මිත්‍රයින්, සහෝදරයින්, අසල්වාසීන්, ලාංකිකයන් ආදී නොයෙකුත් බන්ධන ඒ අතර ප්‍රධාන වේ. නමුත් එකී සෑම බන්ධනයක් ම අභිබවා යන ඉතා දැඩි බන්ධනයක් මේ විශ්වය තුළ ගොඩනැගී ඇත. ඒ දෙමාපියන් සහ දරුවන් අතර තිබෙන බන්ධනය යි. එය කොතරම් ද යත් දෙමාපියන් තුළ තිබෙන පුත්‍ර ප්‍රේමය “පුත්ත පේමං ඡවින් ඡින්දති, ඡවින් ඡෙත්වා චම්මං ඡින්දති, චම්මං ඡෙත්වා මංසං ඡින්දති, මංසං ඡෙත්වා නහාරුං ඡින්දති, නහාරුං ඡෙත්වා අට්ඨිං ඡින්දති, අට්ඨිං ඡෙත්වා අට්ඨි මිඤ්ජං ආහච්ච තිට්ඨති”

‘සිවිය සිඳ, සම්, මස්, නහර, ඇට විනිවිද ගොස් ඇටමිදුලු මත තැන්පත්ව ඇත්තේ ය.’ ඒ තරමට ම මේ බැඳීම් සන්තානය තුළ කිඳා බැස ඇත.

මවක් දස මසක් දරුවෙකු කුස හොවාගෙන ලොවට බිහි කරන්නේ අප්‍රමාණ දුක් කන්දරාවක් විඳ දරාගෙන ය. දරුවන් වැදීම යනු යතුරු සිදුරකින් ඇත් පැටවෙක් එළියට ගැනීමක් වැනි දෙයකි. ඒ තරමට ම එය අසීරු ය. එසේ බිහිකරන දරුවා කෙරෙහි දෙමාපියන්ට අසීමිත බලාපොරොත්තු ගොන්නක් ද තිබේ. ඒසා වූ මහා බලාපොරොත්තු තබාගෙන සිටීම අරුමයක් නොවේ. මක් නිසා ද යත් ඔවුන්ගේ ලෝකය එම දරුවා නිසාවෙනි. නමුත් අසිරිය නම් එය නොවේ. ඒ අයුරින් දුක් විඳ බිහි කර, දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වී කවා පොවා හැදූ වැඩූ දරුවෙක් අතිශයින් ම දුර්ලභ වූ බුද්ධ ශාසනයකට පූජා කරනා මාපියවරුන් ය. ලොව පවතින අත්හැරීම් අතර මෙය ඉතා විශිෂ්ට ම අත්හැරීමකි. සුවිශේෂී වූ පරිත්‍යාගයකි. අමිල වූ කැප කිරීමකි.

සැබැවින්ම මෙය පහසු කටයුත්තක් නොවේ. බොහෝ මාපියවරු මේ අතිමහත් වූ කැපකිරීම කරන්නේ සතුටු පිරුණු මුහුණින් නොවේ. හැඬූ කඳුළින් යුතුව ම ය. ඒ පුත්‍ර ප්‍රේමය ඉතා දැඩි බැවිනි. එනමුත් පසුව ඒ දෙමාපියන් තරම් සතුටු වන තවත් මවක් පියෙක් මිහිපිට නැත්තේ ය. ඇත්තෙන්ම බුද්ධ පුත්‍රයෙක් ලෝකයට බිහි කරන්නට තරම් භාග්‍යයක් ලොව බොහෝ මව්වරුන්ට ද පියවරුන්ට ද නැති බව සදාතනික සත්‍යයකි. ඒසා වූ මහා පුණ්‍යවන්ත දෙමාපියන් ඇත්තේ අතලොස්සකි.

මේ ලෝකයට වෛද්‍යවරු, ඉංජිනේරුවරු, නීතිඥයින්, විද්‍යාඥයින් බිහි කරන මව්වරු පියවරු ලොව ඕන තරම් සිටිති. එසේ ම කෙළවරක් නොපෙනෙන සසරේ එසේ බිහි කළ බව ද නිසැක ය. එනමුත්, බුද්ධ ශාසනයකට පින්වන්ත දරුවෙක් දායාද කරන්නට නම් කල්ප ගණන් බලා සිටින්නට සිදු වෙයි. රජවරු, සිටුවරු බිහි කළත්, කුමන තරාතිරමක අය බිහි කළත් එක ම එක බුද්ධ පුත්‍රයන් වහන්සේනමක් බිහි කරන පින හා සම වන්නට අන් කිසිදු මවකට පියෙකුට නොහැකි ය. හේතුව ඒ බුද්ධ පුත්‍රයන් වහන්සේ අනෙක් සියලු තරාතිරම් ඉක්මවා ඉහළින් ම සිටින බැවිනි. රජවරු ද අද පැවිදි වූ පැවිදි උතුමන්ට වැඳුම් පිඳුම් කළ යුතු නොවේ ද? ගරු සත්කාර දැක්විය යුතු නොවේ ද? අහෝ මෙවන් අසිරියක් බුදු සසුනක හැර කොයින් නම් දැක ගන්න ද…..

බොහෝමයක් දෙමාපියන්ගේ අභිලාසය තම දරුවන් උගතුන්, ධනවතුන් කරන්නට ය. එහි වරදක් නොමැත. නමුත් තම දරුවා රටේ රජ වුවත් ඒ දෙමාපියන්ට එම දරුවාගෙන් ඇත්තේ තාවකාලික පිළිසරණක් පමණි. සමහර විට එය වසර කිහිපයකට ද සීමා විය හැකි ය. වැඩිම වුවහොත් ඒ පිළිසරණ මේ ජීවිතයට පමණක් ම වෙයි. එහෙත් ඔවුන් බුද්ධ පුත්‍රයෙක් බිහි කළා නම්, ඉන් සැලසෙන පිහිට පිළිසරණ වචනයෙන් කිව නොහැක. සසර දුකින් සදහට ම අත්මිදෙන්නටත් එය ම උපකාර වන්නට පුළුවනි. සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් මවට ලැබූ උපකාර සෙයිනි. එලෙස නොවුණත් ඒ දෙමාපියන්ට සංසාර ගමනේ බොහෝ කාලයක් එය හිතසුව පිණිස පවතී.

තම ලෙයින් ජනිත කළ දරුවෙකු බුදු සසුනට පූජා කරන්නට බොහෝ දෙමාපියන්ට සිත් නොනැමෙන්නේ ඔවුනොවුන් තුළ ඇති තියුණු බැඳීම් නිසාත්, ඔවුන්ට රැකවරණයක් නොමැති වේවි යැයි ඇති බිය නිසාත් ය. ඇත්ත වශයෙන් පැවිදි දරුවාට ගිහිගෙදර වසන දරුවන් මෙන් වස්තු සම්පත්, මිල මුදලින් උපකාර කළ නොහැකි බව සැබෑවකි. නමුත් අන් සියලු දරුවන්ට වඩා අවසානයේ දෙමාපියන් ගැන සොයා බලන්නේ පැවිදි පුත්‍රයා ය. ඒ ඔහු දෙමාපියන්ගේ ගුණ සුවඳත්, පිනක වටිනාකමත් අන් අයටත් වඩා දන්නා බැවිනි. දෙමාපියන්ට සැලකීමේ වටිනාකම දන්නා බැවිනි.

මව්පියන් අන් දරුවන්ට කතා කළත් ඔවුන්ට අසන්නට ලැබෙන්නේ ඒ අයගේ ප්‍රශ්න ගැටළු පමණි. සිත සැනසෙන වචනයක් ඇසෙන්නේ කලාතුරකිනි. එහෙත් පැවිදි පුතුට වචනයක් කතා කළත් සිත නිවී යයි. අන් දරුවන් නිරන්තරයෙන් දෙමාපියන්ගේ ලෙඩට දුකට පිහිට වෙති. ප්‍රතිකාර කරති. නමුත් පැවිදි පුතුගේ එක ම අදහස සංසාර දුකටම බෙහෙත් සපයා දීම ය. කිසිදා යළි ලෙඩ නොවන්නට ප්‍රතිකාර කිරීම ය. ඉඩකඩම් ඉල්ලා, යානවාහන, ගේ දොර ඉල්ලා කරදරයක් පැවිදි දරුවාගෙන් නොමැත. මුදල් හදල් ඉල්ලන්නට නිවසට එන්නේ නැත. දුන් නොදුන් දේ ගැන පැමිණිලි නැත්තේ ය. දරු මුණුපුරන්ගේ කරදර නැත්තේ ය. අඩු වශයෙන් වචන මාත්‍රයකින්වත් පීඩාවක් නොමැත. මෙය දෙමාපියන්ට මොන තරම් සහනයක්දැයි කියා අමුතුවෙන් ප්‍රකාශ කිරීමට අවැසි නොවේ.

තමාගේ ම දරුවෙක් බුද්ධ ශාසනයක පැවිදි වනවාත් සමග ම ඒ දෙමාපියන් හට තුන්ලොවෙහි ම ඇති අග්‍ර දායාදය ලැබෙයි. එනම් දුර්ලභ බුද්ධ ශාසනයක ඥාතීත්වය ලැබීම යි. හිමිකාරීත්වය ලැබීම යි. කෙළවරක් නෙැමැතිව අහස උසට සිව්පසයෙන් පිදුවත් කිසිවෙකුට බුද්ධ ශාසනයක ඥාතීත්වය ලබා ගත නොහැකි ය. දායාදය ලබා ගත නොහැකි ය. අසූහාරදහසක් වෙහෙර විහාර හැදූ ධර්මාශෝක නිරිඳුන්ට ශාසන දායාදය ලැබුණේ නැත. ලැබුණේ ශාසනයේ සිව්පසය පුදන දායකයෙක් වීම පමණි. නමුත් තම දරුවන් ශාසනයට පූජා කළා ද එතැන් පටන් ගෞතම බුදු සසුනේ දායාදය හිමි වී ය. ඥාතීත්වය හිමි වී ය. එසේ නම් බුදු සසුනට දරුවන් පිදු සියල්ලෝ ම දුලබ බුද්ධ ශාසනයක ඥාතීන් ම වෙති. දෙමාපියන්ට පමණක් නොවේ. ඒ තුළින් පවුල්වල සියලු සාමාජිකයන්ට ද ඒ අසිරිමත් උරුමය හිමි වෙති. වෙනත් කිසිම පුද්ගලයෙකුට මොන තරම් මිල මුදල් විය පැහැදම් කළත්, මේ උත්තම හිමිකාරීත්වය උරුම කර ගත නොහැකි ය. එහෙයින් මේ ඥාතීත්වය ලොව අග්‍ර ම ඥාතීත්වය යි. දායාදය යි.

මේ අයුරින් ද ධර්මයේ සඳහන් වෙයි. “යස්සහි භික්ඛුනෝ කාලකතෝ පිතා වා මාතා වා අම්හාකංඥාතකෝ ථේරෝ සීලවා කල්‍යාණ ධම්මෝති පසන්නචිත්තෝ හුත්වා තං භික්ඛුං අනුස්සරති. කස්ස සෝ චිත්තප්පසාදෝපි තං අනුස්සරණමත්තම්පි මහත්ඵලං මහානිසංස මේව හෝති. අනේකානි කප්පසනසහස්සානි දුග්ගතිතෝ වාරෙතුං අන්තේච අමතං පාපෙතුං සමත්ථමේව හෝතු .” “යම් භික්ෂුවකගේ මිය පරලොව ගිය පියා හෝ මව හෝ අපට නෑ වන තෙරුන් වහන්සේ සිල්වත් කෙනෙක, යහපත් පැවතුම් ඇති කෙනෙක, කියා පහන් සිතින් ඒ භික්ෂුව සිහි කෙරේ නම් ඒ චිත්තප්‍රසාදයත්, ඒ සිහි කිරීමත් මහත්ඵල මහානිශංස වන්නේ ය. කල්ප ලක්ෂ ගණනක් දුගතියෙන් මිදවීමටත්, අවසානයේ නිවනට පැමිණවීමටත් සමත් වන්නේ ය.”

(ආකංඛෙය්‍ය සූත්‍ර අටුවාව)

මොහොතක් සිතා බලන්න එක් දරුවෙකු බුද්ධ ශාසනයකට පූජා කිරීමෙන් මොන තරම් භාග්‍යයක් ඒ පවුලට, දෙමාපියන්ට, ඥාතීන්ට උදා වෙනවා ද කියා. “දරුවෙක් පැවිදි කිරීමෙන් හතර වරිගයක් නිවන් දකිනවා ය” කියා කතාවක් ගොඩනැගෙන්නේ එනිසාවෙනි. පැවිදි වූ දරුවා ඒ සෑම දෙනාටම ධර්මයෙන් අනුශාසනා කරන බැවිනි. ධර්මයේ හැසිරීමට උපකාර කරන, අනුග්‍රහ කරන හේතුවෙනි. මේ ජීවිතයේ දෙමාපියන්, ඥාතීන් පමණක් නොවේ. පෙර ආත්මභාවවල අය ද පිහිට ලබා ගනිති. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ආත්මභාව පහකට පෙර මවත් පිහිට ලැබුවා ය. මහා කස්සපයන් වහන්සේගේ ආත්මභාව තුනකට පෙර මවත් පිහිට ලද්දා ය. සානු ස්වාමීන් වහන්සේගේ පෙර ජීවිතයේ මව යක්ෂ යෝනියේ ඉපිද සිට ද පිහිට ලැබුවා නො වේ ද? මේ අයුරින් පිහිට පිළිසරණ සලසා ගත් අය පමණ කළ නොහැක. මෙතෙකැයි කියා නිමක් නැත්තේ ය.

තවත් දරුවන් කොපමණ සිටියත් ඒ අය සිහිකිරීම තුළින් ඇති වන්නේ බන්ධනයක් පමණි. කෙලෙස් පමණි. තෘෂ්ණාවක් ම ය. ඒ අය ගැන සිතමින් මියපරලොව ගිය විට බොහෝ විට ප්‍රේතයන් වී, සතුන් වී ඔවුන් අතර ම උපදිති. කොතෙකුත් ඒ අවස්ථාවන් එකල සේ ම මෙකල ද දක්නට ලැබේ. එසේ වුවත් පැවිදි වූ පුත්‍රයන් වහන්සේ ගැන සඟ ගුණ සිහි කරමින් සිතුවහොත් ඒකාන්තයෙන් සුගතියේ උපත ලබන්නේ ය. අග්‍ර වූ පින් ද රැස්කර ගනිති. බුද්ධ ශාසනයට දරුවන් පූජා කළ දෙමාපියන් ලෝකයාගෙන් ද පිදුම් ලබති. ගරු බුහුමන් ලබති. ‘මේ අසවල් ස්වාමීන් වහන්සේගේ මෑණියෝ ය, පියාණෝ ය’ කියා ගරු කරති. උපකාර කරති. ඒ ඔවුන් කළා වූ උදාරතර කැපකිරීම නිසා ය. වෙන කිසිදු මවකට පියෙකුට කොතරම් දරුවන් සිටියත් මේ අවස්ථාව හිමි නොවේ.

මේ ලෝකයේ වාසනාවන්ත මවක්, වාසනාවන්ත පියෙක් යැයි යමෙකුට කිව යුතු නම් ඇත්තෙන්ම ඒ බුද්ධ පුත්‍රයන් වහන්සේනමක් වැදූ මවකට ම උරුම දෙයකි. පියෙකුට ම උරුම වන්නකි. මක් නිසා ද යත් ඔවුන් බුද්ධ ශාසනයක් රකින්නට සුවිසල් වූ කැපකිරීමක්, අත්හැරීමක් කළ නිසාවෙනි. අන් සියලු මව්වරු, පියවරු පරයා ඔවුන් ම ශ්‍රේෂ්ඨ වෙති. අග්‍ර වෙති. බුද්ධ ශාසනයට තම ලෙයින් ජාත කළ දරුවන් පිදු මව්වරු ද පියවරු ද අමා මහ නිවනින් සැනසෙත්වා! අනෙක් සියලු මාපියවරුන්ට ද සසුන් කෙත අස්වද්දන්නට බුදු සසුනට දරුවන් පුදන්නට පින් සිතුවිලි පහළ වෙත්වා…! බුදු සසුනක අසිරිමත් දායාදය ලබා ගනිත්වා…!

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසිනි.