ව්‍යවහාරික මාර්තු මාසයේ අවසාන භාගය එළඹ තිබේ. චන්ද්‍ර මාස ක්‍රමයට ‘මැදින්’ නම් වූ මෙම මාසයේ පසළොස්වක පොහෝ දිනය අපගේ සම්බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ඥාතී සමූහයා උදෙසා ධර්ම දායාදය ලබා දීමේ අරමුණින් කිඹුල්වත්පුරය බලා වැඩම කරලීම ඇරඹූ දිනය යි. සම්බුදුරජාණන් වහන්සේගේ සිත ඒ කෙරෙහි නැඹුරු කරලන ලද්දේ කාළුදායී මහරහතන් වහන්සේ විසින් කිඹුල්වත්පුරයේ රමණීය පරිසරය පිළිබඳ ව සිදු කරන ලද සොඳුරු වැනුමකිනි. සැබැවින් ම, මේ වනාහි පරිසරය භාග්‍යවත් කාලයක එළඹුම කියාපානා සමය යි.

වසන්තයේ පළමු භාගයේ එළඹෙන මෙම මාසය ව්‍යවහාරික ලෝකය විසින් ද පාරිසරික කාරණාවන් අරබයා විශේෂිත කොට වෙන් කරලන ලද දින කිහිපයකින් ම යුතු වූවකි. මාර්තු 03 වන දිනට යෙදුන ලෝක වනජීවී දිනය ද මාර්තු 21 යෙදුන අන්තර්ජාතික වනාන්තර දිනය ද මාර්තු 22 යෙදුන ලෝක ජල දිනය ද මාර්තු 23 යෙදුන ලෝක කාලගුණ දිනය ද නිසාවෙන් මෙම මාසය සමස්ත ලෝකයා විසින් ම වැඩි වශයෙන් ස්වභාවික පරිසරය ආරක්ෂා කර ගැනීිම පිළිබඳ ව උද්f්‍යා්ගීමත් ව කථාබස් කරන සමයක් ලෙස දැක්වීමේ වරදක් නැත.

පසුගිය කාලයේ අප රට තුළ ද වන විනාශය පිළිබඳවත්, දුර්ලභ ගණයේ වන සතුන් හා තුරුලතා ආරක්ෂා කර ගැනීම පිළිබඳවත් විශාල සමාජ කතිකාවතක් ගොඩනැගෙන අයුරක් දක්නට ලැබිණ. දේශපාලනික මැදිහත් වීම්, අණ පණත්, නීතිරීති, සමාජ සම්මතයන් හා සමාජ ක්‍රියාකාරිකයන්ගේ නැගී සිටීම් හමුවේ වනාන්තර නොසිඳ ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාවය වඩාත් ප්‍රකට කෙරිණ.

සම්මා සම්බුදුරජාණන් වහන්සේ සියලු සත්ව වර්ගයාගේ ද සමස්ත පරිසරයේ ද සකල යහපත උදෙසා මානව හිතවාදී, පරිසර හිතවාදී දහමක් ලොවට දේශනා කොට වදාරා සියලු ලොව සුවපත් කොට වදාළ සේක. උන්වහන්සේ විසිනුදු ලොවට පෙන්වා දෙන ලද්දේ තුරුලතා රෝපණය කරන්නවුන් හට දිවරැය පින් වැඩෙන බව යි.

“ජනතාව උදෙසා මල් පලතුරු වවන, රුක් රෝපණය කරන, ඒදඬු පාලම් හදන, ගිමන්හල් පැන්පොකුණු කරවන, ගෙවල් ​දොරවල් දන් දෙන යමෙක් වෙයි නම් ඔවුන්ට දිවා රාත්‍රී දෙකේ හැම තිස්සේ ම පින් වැඩෙනවා.”

(වනරෝප සූත්‍රය)

වන වවන්නවුන්ට දිවා රැය පුණ්‍ය ගංගාවන් ගලා එන්නා සේ ම වන සිඳින්නවුන්ට බොහෝ පව් සිදු වනවා ඇත. වන සම්පත ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාවය නොයෙක් අයුරින් කථාබහට ලක්වන නූතන සමාජයේ උපන්දින, විවාහ මංගලෝත්සව, පාසලට යන පළමු දිනය ආදී විශේෂ දිනයන් මූලික කර ගනිමින් රුක් රෝපණයට යොමු වී සිටීම ප්‍රශංසනීය ප්‍රවණතාවයකි.

ස්වභාවික පරිසරයේ සමතුලිත පැවැත්ම පිණිස මහෝපකාරක වන ඒ වනය වනාහී ආදරයෙන් සුරැකිය යුත්තක් බව සැබෑ ය. නොසිඳිය යුත්තක් බව සැබෑ ය. එහෙත්, සිඳිය යුතු වනයක් ද තිබේ. ඒ වනය සිඳින්නෝ කුසල් ම රැස් කරති. මහත් වෙර වීරියෙන් යුතුව අකුසල් ප්‍රහාණය කරති. කුසල් වඩවන්නා වූ, අකුසල් දුරලන්නා වූ වන සිඳීම නම් කවරක් ද?

“වනං ඡින්දථ මා රුක්ඛං – වනතෝ ජායතී භයං
ඡෙත්වා වනං ච වනථං ච – නිබ්බනා හෝථ භික්ඛවෝ”

“පින්වත් මහණෙනි, ඔය කෙලෙස් වනය කපලා දාන්න. හැබැයි වනාන්තරයේ ගස් කපන්ට එපා. කෙලෙස් වනයෙන් තමයි බිය හටගන්නේ. මහ කෙලෙස් වනයත්, පොඩි කෙලෙස් වනයත් දෙක ම කපලා දාලා කෙලෙස් වනයකින් තොර කෙනෙක් වෙන්න.”

(මග්ග වග්ගය – ධම්මපදය)

කෙලෙස් බන්ධනයන් ඉක්මවාලීම කොතරම් දුෂ්කර අභියෝගයක් වූව ද වීරියෙන්, නුවණින්, සිහියෙන් යුතු ව අප්‍රමාදී ව කටයුතු කිරීමෙන් කුඩා වූ ද මහත් වූ ද කෙලෙස් වනය සිඳලන්නට හැක්කේ ම ය.