අර්බුද නොමැතිව ගෙවී යන මිනිස් ජීවිත අද දක්නට නොමැති තරම් ය. සෑම කෙනෙකු ම පාහේ දෛනික ව කටයුතු කළමනාකරණය කරගන්නේ තම තමන් මුහුණපාන ගැටළු විසඳා ගැනීමට වෙහෙසෙමිනි. ඒ නිසා ම බොහෝ දෙනාගේ ජීවිත ගත වන්නේ ජීවත් වීම වෙහෙසක් බව අත්දකිමිනි.

මෙසේ වෙහෙසකාරී ව ගෙවී යන ජීවිත සහිත වූවන් තමන් මුහුණ දෙන අර්බුද සම්බන්ධයෙන් සෑමවිට ම පාහේ චෝදනා කරන්නේ බාහිර පුද්ගලයන්ට සහ බාහිර දේවලට ය. ‘අසවල් කෙනා නිසා, අසවල් දෙය නිසා මේ මේ පීඩා උපන්නේ ය’ කියා මැසිවිලි නැගීම අතිශය සාමාන්‍ය කරුණක් බවට පත්ව තිබෙන්නේ එහෙයිනි. අන් අයට සහ අන් දෙයට ඇඟිල්ල දිගු කරමින් සිටිනා මේ පැවැත්ම තුළ ද ජීවිත වෙලා පවත්නේ දුක්පීඩා මිශ්‍රිත කායමානසික ස්වභාවයන් ම ය.

‘අසවල් කෙනා නිසා, අසවල් දෙය නිසා’ කියා අප විසින් චෝදනා නගනු ලබන අර්බුදයන් විචක්ෂණශීලී ව විමසා බැලුවහොත් ඒ සෑම කාරණාවක් ම කේන්ද්‍රගත වන්නේ තම තමන් වටා ම ය යන්න කිසිසේත් ම බැහැර කළ නොහැකි සහ බැහැර කළ නොයුතු කරුණකි. සැබැවින් ම, ජීවිත කරා එළඹෙන අර්බුදයන් අරබයා බාහිරයට චෝදනා නගන්නට පළමු අප විමසා බැලිය යුත්තේ එහිලා අපගේ දෝෂය කුමක් ද යන්න ය. අර්බුද ඔඩු නොදුවන පරිදි සන්සිඳවීමටත්, තමතමාගේ කායචිත්ත සුවපහසුව පිණිසත් එයින් මනා පිටුබලයක් සැලසෙන බව නිසැක ය.

බොහෝසෙයින් විඳවමින්, කලකිරීම් බහුල ව ගෙවෙන ජීවිත කථාවන් අපට විවෘත වුවහොත් ඒ බොහෝ දෙනා තමන් ව පීඩාවට පත් කරලන හේතු සාධකය තමා විසින් තමාට ම සමීප කරවාගෙන තිබෙන බව පැහැදිලි ව පෙනී යනු ඇත. විශ්වාසය නොපිහිටවිය යුතු තැන් කෙරෙහි විශ්වාසය පිහිටවීමෙන් ද විවෘත නොවිය යුත්තන් ඉදිරියේ විවෘත වීමෙන් ද නීච ස්වභාව ඇති පුද්ගලයන්ගේ පහත් පෙළේ සිතැඟිවල ගොදුරු බවට අද සමාජයේ බොහෝ දෙනා පත්ව සිටින බව ඒ පුවත්හි සාරාංශය යි.

යොවුන් දූ දරුවන්ගේ පටන් මැදිවිය දක්වා ම කිසිදු වෙනසක් නැතිව, ගිහි පැවිදි උගත් නූගත් ස්ත්‍රී පුරුෂ වෙනසක් ද නැති ව තම පුද්ගලිකත්වය අන් අය ඉදිරියේ විවෘත කිරීමට පෙර ඒ ගැන කිහිපවරක් සිතා නොබැලීමේ ආදීනවයන් විඳිමින් ජීවිතයේ බොහෝ පටලැවිලිවලට බඳුන් වන සමාජයක් අද නිර්මාණය වී තිබේ. පීඩාව තමා කරා එළඹුන පසු කොතරම් දෙස්දෙවොල් තැබූව ද කොතරම් චෝදනා නැගූව ද එවිට ඵලක් නැත. එනිසා, ආධ්‍යාත්මික දියුණුව අල්ප වූ සමාජයක් තුළ තම වරද හෝ අඩුපාඩුව හෝ ඕනෑම තැනක දී ඕනෑම කෙනෙකු හා කථාබහ නොකළ යුතු බව මැනැවින් සිහි තබා ගත යුතු යි. සත්පුරුෂ ගුණයෙන් හීන වූවන් ඉදිරියේ නිරාවරණය වනවාට වඩා තමාගේ ගැටළුවලට සත්පුරුෂ ධර්මය තුළින් හුදෙකලාවේ පිළියම් සෙවීම වුව ද බොහෝසෙයින් හිතසුව පිණිස පවතින බව නිසැක ය.

අර්බුද, පීඩා හමුවේ අප නිතර සිහි කළ යුතු අනෙක් කාරණය නම් කර්ම – කර්ම ඵල ස්වභාවය ය. සාංසාරික සත්වයන්ගේ ජීවිත මත කර්මය වනාහී ගාමක බලවේගය යි. ඇස කන නාසය දිව කය මනස යනු පැරණි කර්මයන් බවත්, විශේෂයෙන් සකස් වූ දේවල් බවත්, විඳවමින් දැකිය යුතු දේවල් බවත් භාග්‍යවතුන් වහන්සේ වදාරා තිබේ. නොසිතූවිරූ අර්බුද, පීඩා ජීවිත කරා එළඹෙන්නේ පටන් ගත් කෙළවරක් නොපෙනෙනා අනන්ත සසරේ සිත කය වචනය මෙහෙයවා අප විසින් රැස් කරන ලද කර්මයක විපාකය ලෙසින් වීමට ඇති අවකාශය ම අති මහත් ය.

කර්මය යනු එසැණින්, මොහොතින් විපාක උපදවා සිඳී යන්නක් නොවේ. ඇතැම් කර්ම එසේ මේ ජීවිත කාලයේ දී ම දිට්ඨධම්මවේදනීය ව ද ඇතැම් කර්ම ඊළඟ ජීවිතයේ දී උපපජ්ජවේදනීය ව ද තවත් කර්ම පිරිනිවන් පානා තුරු සසරේ කොයිම අවස්ථාවක හෝ අපරාපරියවේදනීය ව ද විපාක උපදවමින් සාංසාරික සත්වයන්ගේ පැවැත්මට බලපානා බවත් සම්බුදුරජාණන් වහන්සේ වදාරා තිබේ. අපට නොපෙනෙන – අපට සිහි නොවන සසර කථාවක් අප මුහුණ දෙන අර්බුද පසුපස ඇත්තේ නම්, එය ද අප ම වැපිරූ දෙයින් නෙළන අස්වැන්න නොවේ ද?

එනිසා, අප සොයා බැලිය යුත්තේ අප ගැන ය. අප යනු අර්බුදයේ මුල මිස අර්බුදයේ මැද හෝ අග නොවේ. එය සිහි තබාගෙන, අර්බුද සන්සිඳුවන සත්පුරුෂ ධර්මය ම පිහිට පිළිසරණ කරගනු විනා අපට කවර නම් රැකවරණයක් ද?